Thursday, April 25, 2024

වෙන්නප්පුවේ හෝටලයකදී අරුන්දික මහින්ද හමුවෙද්දී, යාපහුවේ යූඇන්පී කාරයින්ට ටී. බී.ගෙන් දේශණයක් !

Must read

alg_2017_5_25පුස්තකාලවල වැඩට බැස්ස සෞඛ්‍ය කම්කරුවන්ට මහඇමැතිගෙන් සත්තමක්.

කුරුණෑගල සහ ඒ අවට ප‍්‍රදේශයන්හි පැතිරී තිබෙන ඩෙංගු වසංගතය පිළිබදව සාකච්ඡා කිරීම සදහා ඩෙංගු මර්දන කමිටු රැස්වීමක් පැවැත්වුණේ පසුගිය බදාදාය. පළාත් සභා සංකීර්ණයේ පිහිටි ලිච්ඡවී ශාලාවේදී පැවැති මෙම රැස්වීමේ මුලසුන ගෙන සිටියේ ආණ්ඩුකාර අමරා පියසීලි , මහ ඇමැති ධර්මසිරි දසනායක සහ සෞඛ්‍ය ඇමැති ලක්ෂ්මන් වේඩරුවය. කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුළ සිදුකෙරෙන ඩෙංගු මර්දන කටයුතු සම්බන්ධ ගැටලූ පිළිබදව අදහස් දැක්වූ කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ ලේකම් දුර්ගා වික‍්‍රමසිංහ කීවේ, කුරුණෑගල ප‍්‍රාදේශීය සභාව සදහා සෞඛ්‍ය කම්කරුවන් දස දෙනෙකුගේ පමණ හිගයක් ඇති බවත්, ඩෙංගු මර්දන වැඩසටහන් සදහා කම්කරුවන් යෙදවීමේදී එම අඩුපාඩුව තදින් දැනෙන බවත්ය. එම ගැටලුව සදහා ක්ෂණික විසදුමක් යෝජනාකරමින් මහ ඇමැති ධර්මසිරි පළාත් පාලන කොමසාරිස්වරයා වෙත නියම කළේ කොන්ත‍්‍රාත් පදනම යටතේ සෞඛ්‍ය කම්කරුවන් දසදෙනකු බදවාගැනීම සදහා කුරුණෑගල ප‍්‍රාදේශීය සභාව වෙත කඩිනමින් අවසර ලබාදෙන ලෙසය. නමුත් පළාත් පාලන කොමසාරිස්වරයා වෙනුවට නැගී සිටියේ එම දෙපාර්තමේන්තුවේම වෙනත් නිලධාරියෙකි. ‘‘අපි ඒ සම්බන්ධයෙන් හොයලා බලලා කටයුතු කරන්නම් සර්. ’’ අදාළ නිලධාරියා කීවේය. ‘‘හොයලා බලන්න දෙයක් නැහැ. මෙච්චර මේ ඩෙංගු බෝවෙලා තියෙන වෙලාවේ තවත් මොනවද බල බලා ඉන්නේ. ඔහොම බල බලා ඉන්න ගියාම තමයි වැඩ කල්යන්නේ. ඒ නිසා කම්කරුවෝ දහදෙනෙක් බදවාගන්න අදම අවසර දෙන්න.’’මහඇමැති ධර්මසිරි කීය. ‘‘මම කොමසාරිස්තුමාට කියන්නම් සර්. ’’එවර නිලධාරියා පැවසීය. ‘‘කොමාසාරිස්තුමා මෙතැනට ඇවිත් නැද්ද ? ’’ධර්මසිරි එවර ඇසීය. ‘‘නැහැ සර්, එතුමා රැස්වීමක ඉන්නේ. ’’නිලධාරියා නැවත කීය. ‘‘ආණ්ඩුකාරතුමියයි, මහ ඇමැතිතුමායි ඉන්න රැස්වීමට වඩා වැදගත් රැස්වීම මොකක්ද ? කොමසාරිස්තුමා දැනගන්න එපායැයි මේ රැස්වීමට එන්න. මේකනේ වැදගත් රැස්වීම. ’’ එවර නෝක්කාඩු කීවේ ඇමැති වේඩරුවය. ‘‘වහාම මේ කම්කරුවෝ දහදෙනා බදවාගන්න වහාම අවසර දෙන්න. ලේකම්තුමිය, ඔබතුමියත් මේ කම්කරුවෝ ටික හෙටම බදවාගෙන වැඩට යොදවන්න. ආයේ පත්තරවල දැන්වීම් දම දමා, ඉන්ටර්වීව් කර කර ඉන්න එපා. ගම්වල මිනිස්සු ඕනෑ තරම් ඉන්නවානේ. වැඩකරන්න පුලුවන්ද කියලා අහලා බදවාගන්න. මම මෙහෙම කිව්වා කියලා එකපාරට වැඩට ගන්නත් එපා. අත පය හතර හොදට තියෙනවාද කියලා බලලා ගන්න. ’’ධර්මසිරි කියද්දී සාකච්ඡා සභාව සිනාසයුරේ ගිලී ගියේය. ‘‘දැන් ඔබතුමියට දහයක්නේ අඩුයි කියන්නේ. දැනට සභාවේ කම්කරුවෝ කී දෙනෙක් ඉන්නවාද ? ’’මහ ඇමැති ධර්මසිරි කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ ලේකම්වරියගෙන් පෙරළා ප‍්‍රශ්න කළේය. ‘‘තිස්දෙනෙක් ඉන්නවා සර්. ’’ලේකම්වරිය ඇහෙන නෑහෙන ගාණට කීවාය. ‘‘ තිහක් ඉදලත් වැඩකට යොදවන්න මිනිස්සු නැහැ. එහෙනම් ඉතිං කම්කරු පත්වීම් ගත්තු අය පුස්තකාලවලයි, වෙන වෙන තැන්වලයි වැඩට දාලා ඇති. එහෙම නේද ? ’’ධර්මසිරි ප‍්‍රශ්න කරද්දී ලේකම්වරිය එය අනුමත කරමින් හිස සැලූවාය. ‘‘ඒකනේ කියන්නේ. හැමතැනම තියෙන ප‍්‍රශ්නේ ඕක තමයි. කම්කරු පත්වීම අරගෙන වැඩකරන්නේ පුස්තකාලවල. ඔබතුමිය ඒ අයටම කියලා මේ කම්කරුවෝ දහදෙනා හොයාගන්න. තමන් වෙනුවෙන් වැඩකරන්න කෙනෙක් හොයාගෙන එන්න එයාලට කියන්න. එහෙම නැතුව පුස්තකාලවල වැඩකරන අය පාරට දාන්න ගියොත් එහෙම මෙතැන තව ප‍්‍රශ්නයක්නේ. නැත්තම් මේක කරන්න බැහැ. ’’ධර්මසිරි කීවේය.

තමන්ගේ හපන්කම් ගැන යාපහුවේ යූඇන්පී කාරයින්ට ටී. බී. ගෙන් දේශණයක් !

අවුරුදු ගණනාවක් තිස්සේ ලබා තිබූ බාලගිරිදෝෂය අවසන් කරවමින් මහව නගර ශාලාව විවෘත කෙරුණේ පසුගිය ඉරිදාය. ඇමැති එස්. බී. දිසානායකගේ අතින් මීට වසර දහ තුනකට පෙරදී තැබුණු මුල්ගල අවුරුදු ගණනක් තිස්සේ පැලවෙමින් තිබියදී දැයට කිරුළ වැඩසටහන යටතේ ඒ සදහා රුපියල් කෝටි අටක මුදලක් වෙන්නරවා ගනිමින් එහි ඉදිකිරීම් ආරම්භ කිරීමට ඇමැති ටී. බී. ඒකනායක විසින් පසුගිය රජය සමයේදී කටයුතු කර තිබිණි. එම මුදලින් සම්පූර්ණ කළ නොහැකි වූ නගර ශාලාවේ ඉතිරි ඉදිකිරීම් සදහා වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව වයඹ සංවර්ධන අමාත්‍යංශය හරහා තවත් රුපියල් කෝටි දෙකක මුදලක් වෙන්කරවා ගන්නට යාපහුව එජාප සංවිධායිකා අචිනි ලොකුබණ්ඩා සමත් වී තිබිණි. පසුගිය ඉරිදා එලෙස විවෘත කෙරුණේ වසර දහතුනක ඉතිහාසයක් සහ ආණ්ඩු දෙකක දායකත්වයක් ඇති මහව නගර ශාලාවය. විවෘත කිරීමේ උත්සවය සදහා අචිනි විසින් ඇමැති ටී. බී.ට පුද්ගලිකවම ආරාධනා කර තිබූ නමුත් ටී. බී. නොසලකා හරිමින් උත්සවය සංවිධානය කරන්නට එහි සංවිධායකයින් විසින් කටයුතු කළ බවක් මුල සිටම පෙණිනි. ඇමැති ටී. බී. ගේ නම සමරු ඵලකයේ සදහන් වී තිබූ නමුත් නගර ශාලාව විවෘත කිරීමේ උත්සවය මුලුමනින්ම එක්සත් ජාතික පාක්ෂික මුහුණුවරකින් සංවිධානය වී තිබූ බවක් පෙණිනි. නිල් – කොල එකමුතුවෙන් සම්මුතිවාදී ආණ්ඩුවක් රට තුළ ක‍්‍රියාත්මක වෙමින් ඇති බවක් කියැවෙන නමුත් මහව නගර ශාලා භූමියේදී නම් දැකගත හැකිවූයේ කොල කොඩි පමණි. උත්සවයට ගෙන්වා තිබුණේත්, ආරාධනා ලැබ තිබුණේත් එක්සත් ජාතික පාක්ෂිකයින් පමණක් බවද පෙනෙන්නට තිබිණි. කෙටියෙන්ම කිවහොත් උත්සවයේ ආරාධිතයින් වෙනුවෙන් තේ මේසය පවා සකස් වී තිබුණේ මහව ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක පේ‍්‍රමදාස සිල්වාගේ නිවසේදීය. ඇමැති ටී. බී. උත්සවයට නොපැමිණෙනු ඇතැයි තැන තැන කියැවෙනු ඇසුණු අතර උත්සවයට සහභාගි වී සිටි වැඩිදෙනෙකු ටී. බී.ගේ නොපැමිණීම බලාපොරාත්තු වූ බවද පෙනෙන්නට තිබිණි. නමුත් ඒ කසුකුසු සියල්ල බොරු කරවමින් ටී. බී. නියමිත වේලාවටම උත්සව භූමිය වෙත පැමිණියේය. කොල කොඩිවලින් පිරී ගිය, යුඇන්පීකාරයින් අරක්ගත් උත්සවයක් වූ නමුත් ඒ පිළිබද කිසිදු වෙනසක් නොපෙන්වූ ඇමැති ටී. බී. සිනහමුසු මුහුණින්ම උත්සව භූමියට ගොඩ වූයේ අචිනිට විහිලුවක්ද කරමිනි. ඇමැති නාවින්නගේ පැමිණීමත් සමග උත්සවය ආරම්භ වූ අතර වන්නිනායක පිළිරුවට පුෂ්පෝපහාර දක්වන්නට මෙන්ම ධජ එසවීමටත් ටී. බී. එකතු විය. අනෙක් ආරාධිතයින්ට පෙර නගර ශාලාවට ඇතුලු වූ ටී. බී. උත්සවයේ න්‍යාය පත‍්‍රය පරීක්ෂා කර බැලීමටද වගබලා ගත්තේය. න්‍යාය පත‍්‍රයේ තමන්ගේ නම සදහන් වී තිබූ බැවින්දෝ හෙතෙම ආරාධිතයින් වෙනුවෙන් වෙන්කර තිබූ අසුනක වාඩි විය. එජාපය විසින් පල නොකියා පලා බෙදන්නට ගොස් තමන් වෙත ලබා අගනා අවස්ථාවක් උදාකර දී ඇති බව වටහාගත් ටී. බී. එම අවස්ථාව මැනවින් ප‍්‍රයෝජනයට ගැනීමට සමත්විය. උත්සව භූමියේ පිරී සිටි එක්සත් ජාතික පාක්ෂිකයින් අමතමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරයෙකු ලෙස තමන් විසින් යාපහුවට ගෙනා සංවර්ධනය පිළිබදව ආවර්ජනයක යෙදීමට ටී. බී. වගබලා ගත්තේය. ‘‘මැතිවරණ කොට්ඨාශයකට මහින්දෝදය විද්‍යාගාර දෙන්නේ පහයි කියලා තියෙද්දී මම යාපහුවට මහින්දෝදය විද්‍යාගාර පහලොවක් ගත්තා. අඹන්පොල, මහව, පොල්පිතිගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල තුනේම අලුත් ගොඩනැගිලි හැදුවා. අඹන්පොල කියලා වෙනම පරිපාලන ඒකකයක් හදලා දුන්නා. පොලිසිවල ගොඩනැගිලි ටික හැදුවා. පාරවල් ඔක්කොම කාපට් කළා. පාදෙණිය – අනුරාධපුර පාර, ඉබ්බාගමුව – මඩගල්ල පාර හැදුවා. කෝටි අටක් හොයාගෙන මේ ගොඩනැගිල්ලත් හැදුවා. නමුත් මේකේ වැඩ ඉවර කරන්න කලින් දැයට කිරුළ ඉවර වුණා. ඒකයි මේකේ වැඩ නැවතුණේ. ’’ යැයි ටී. බී. කියද්දී උත්සවයේ සිටි එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෝ මීයට පිම්බාක් මෙන් එය අසා සිටියහ. සිය කතාව අවසන් කිරීමට පෙර ඇමැති නාවින්න ගැනත් වචනයක් කියන්නට ටී. බී. අමතක නොකළේය. ‘‘හෙට සිදුවෙන කැබිනට් සංශෝධනයේදී ඔබතුමාට තවත් ඇමැතිකමක් ලැබිලා මේ වැඩකටයුතු වඩාත් හොදින් කරගෙන යන්න පුලුවන් වෙන්න කියලා මම ප‍්‍රාර්ථනා කරනවා. ’’ ටී. බී. කීය. හොද හිතින් යුතුව කරන්නට ඇති නමුත් ටී. බී.ගේ එම ප‍්‍රාර්ථනාව මල්ඵල ගැන්වී නැති බවක් පසුගිය සදුදා දහවල් වනවිට දැනගත හැකිවිය.

මහින්දගේ පුත්තලම් ගමනේ නොකියැවුණු කතා මෙන්න !

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුගිය ඉරිදා පුත්තලම් දිස්ත‍්‍රික්කය පැත්තට පැමිණ තිබුණේ විවාහ මංගල්‍යයන් දෙකකට සහභාගිවීමටය. ඉන් පළමුවැන්න මන්ත‍්‍රී සනත් නිශාන්තගේ හිතවතෙකුගේ වූ අතර එම විවාහය සදහා අස්සන් තබන්නට සනත් නිශාන්ත හරහා මහින්දට ආරාධනාවක් ලැබී තිබිණි. සනත් නිශාන්තද වාහනයට නංවා ගත් මහින්ද කල්වේලා ඇතිවම විවාහය පැවැති වෙන්නප්පුවේ හෝටලයට පැමිණියේය. තම ඇරයුම පිළිගෙන පැමිණි මහින්ද මනාල යුවළගේ ඥාතිහු විසින් උණුසුම් ලෙස පිළිගනිද්දී මහින්ද පිළිගැනීම සදහා තවත් සුවිශේෂි අමුත්තෙක්ද හෝටල් දොරටුව ළග රැදී සිටියේය. ඒ නියෝජ්‍ය ඇමැති අරුන්දික ප‍්‍රනාන්දුය. දෑත් එකතු කර අරුන්දික කළ ආචාරය පිළිගත් මහින්ද ‘‘කොහොමද ඉතිං’’යැයි පවසමින් සුපුරුදු ලෙසම අරුන්දිකගේ උරහිසේ දෑත රැදවීය. විවාහය ලියාපදිංචි කිරීමේ නැකැතට ටික වේලාවක් ඉතිරි වී තිබූ බැවින් විවාහ මංගල්‍යය පැවැති උත්සව ශාලාවට කෙලින්ම නොගිය මහින්ද හෝටලයේ සූදානම් වී තිබූ විශේෂ කාමරයකට ගියේය. ඒ තනිවම නොව අරුන්දික ප‍්‍රනාන්දු සහ සනත් නිශාන්තද සමගය. විවාහ ලියාපදිංචි කිරීමේ නැකැත ආසන්න වනතෙක්ම මහින්ද, අරුන්දික සහ සනත් නිශාන්ත අතර සයකන් මන්ත‍්‍රණයක් අදාල හෝටල් කාමරය තුළ සිදුවිය. සාකච්ඡාව අවසන් කර කාමරයෙන් එළියට පැමිණි මහින්ද විවාහ උත්සවය පැවැති ශාලාව වෙත ගොස් මනාලියගේ පැත්තෙන් සාක්ෂියට අස්සන් කළේය. මනාලයාගේ පැත්තෙන් විවාහයට අස්සන් කළේ මන්ත‍්‍රී සනත් නිශාන්තය. අස්සන් තැබීමෙන් අනතුරුව එකම මේසයක වාඩි වූ මහින්ද, සනත් නිශාන්ත සහ අරුන්දික යළිත් සුහද කතාබහක යෙදී සිටි අයුරු දැකගත හැකිවිය. මහින්දගේ ළගින්ම සිටගත් අරුන්දික මනාල යුවල සමග ඡායාරූපයකටද පෙනී සිටි අතර සනත් නිශාන්ත ඡායාරූපයට සිටගත්තේ මනාලයාගේ පැත්තේය. විවාහ මංගල්‍යයේ වැඩකටයුතු අවසන් කළ මහින්ද අරුන්දික හෝටලයේ තනිකර තමන් සමග පැමිණි සනත් නිශාන්තද වාහනයේ නංවාගෙන හෝටලයෙන් පිටත්විය. අනෙක් විවාහ මංගල්‍යය පැවැත්වුණේ එදින රාත‍්‍රියේ බැවින් වයික්කාල ප‍්‍රදේශයේ පිහිටි හෝටලයක් වෙත ගිය මහින්ද එහි පැය කිහිපයක් විවේක ගත්තේය. විවේක ගත්තායැයි කීවාට මහින්ද එම හෝටලයේ රැදී සිටි පැය කිහිපය තමන්ට හිතවත් පළාත් සභා සහ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී පිරිසක් හමු වීමට යොදාගෙන තිබිණි. වයඹ පළාත් සභාව නියෝජනය කරන ඇමැතිවරු දෙදෙනෙකුද මෙම හමුවට එක් වී සිටියහ. සාකච්ඡාව අවසන් කළ මහින්ද අනෙක් විවාහ මංගල්‍යය සදහා පිටත්වීමට සූදානම් විය. මගුල් ගෙදරට සහභාගිවීමට යන ගමන අතරතුරදී මාදම්පේ ප‍්‍රදේශයේ පිහිටි පළාත් සභා මන්ත‍්‍රී පාලිත රෝහණගේ නිවසට ගොඩවැදීමටද මහින්ද කටයුතු කළේය. මගුල් ගෙදරට එන ගමනේදී ඒ ආසන්නයේ පිහිටි තම නිවසටද ගොඩවැදී යන්නැයි මන්ත‍්‍රී පාලිත රෝහණ විසින් මහින්දට කල්ඇතිවම ආරාධනා කර තිබිණි. පාලිත රෝහණගේ නිවසින් තේ කෝප්පයක්ද බිවූ මහින්ද නිවසින් එළියට බැස්සේ කැබිනට් සංශෝධනය ගැන එහි පැමිණ සිටි රූපවාහිනි මාධ්‍යවේදීන් වෙත කෙටි අදහසක්ද දක්වමිනි. දුම්මලසූරිය ප‍්‍රදේශයේ හෝටලයක පැවැති විවාහ මංගල්‍යය සදහා යන්නට පෙර ඒ ආසන්නයේ පිහිටි පන්සලකට ගොඩවෙන්නටද මහින්දට සිදුවිය. ඒ මහින්ද එන බව සැල වූ පිරිසක් එම පන්සලේ රැස් වී සිටීම හේතුවෙනි. පන්සලේ රැස් වී සිටි පිරිස වෙත ආචාර සමාචාර දැක් වූ මහින්ද ඒ ආසන්නයේම පිහිටි හෝටලය වෙත ගොස් විවාහ මංගල්‍යට එක්විය. වාමාංශික දේශපාලන පක්ෂයක ක‍්‍රියාකාරිකයෙකුගේ විවාහයක් වූ එම මංගල්‍යය සදහා වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන අසංක නවරත්න සහ සමන්ප‍්‍රිය හේරත්ද ඇරයුම් ලබා සිටියහ. වයඹ පළාත් සභාවේ වත්මන් දේශපාලන තත්වය ගැන අසංකගෙන් සහ සමන්ප‍්‍රියගෙන් විමසාබැලීමටද මහින්ද අමතක නොකළේය.

සැණකෙළි ප‍්‍රචාරක ලොරියත් ඩෙංගු මර්දනයට.

කුරුණෑගල සහ ඒ අවට ප‍්‍රදේශවල පැතිරී තිබෙන ඩෙංගු වසංගතය හේතුවෙන් ඇමැතිවරයාගේ සිට කම්කරුවා දක්වා වූ සෞඛ්‍ය අංශයේ නිලබලධාරින් මේ වනවිට ගෙවා දමමින් සිටින්නේ දැඩි අවිවේක කාලසීමාවකි. වසංගත තත්වය පාලනය කිරීම සදහා පිරිසිදු කිරීම්, පරීක්ෂා කිරීම්, දූමායන කටයුතු මෙන්ම දැනුවත් කිරීම්ද මේ වනවිට අඛණ්ඩවම සිදුවෙමින් තිබේ. ඩෙංගු මැඩලීමේ කටයුතුවලට විශාල බාධාවක් වී ඇති කම්කරු සහ වාහන හිගය හේතුවෙන් මේ දිනවල වැඩියෙන්ම අපහසුතාවය පත්වී සිටින්නේ වයඹ සෞඛ්‍ය ඇමැති ලක්ෂ්මන් වේඩරුවය. ඩෙංගු මැඩලීමේ කටයුතු සදහා වාහන සහ කම්කරුවන් ඉල්ලමින් වේඩරුව වෙත ලැබෙන ඉල්ලීම්වල කෙළවරක් නැති බව කියැවෙයි. මේ තත්වය හමුවේ අසරණ වී ගිය ඇමැති වේඩරුවට සිය පුද්ගලික කාර්යයක් සදහා කුලී පදනම යටතේ ලබාගෙන තිබූ ලොරි රථයක් පවා ඩෙංගු මැඩලීම වෙනුවෙන් දන්දෙන්නට පසුගිය සතියේදී සිදුවිය. ඇමැති වේඩරුව සභාපතිත්වය දරණ මලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන සැණකෙළියක් සදහා මේ දිනවල කටයුතු සූදානම් වෙමින් තිබේ. අදාල සැණකෙළියේ ප‍්‍රචාරක කටයුතු සදහා කුලී පදනම මත ලොරි රථයක් ලබාගන්නට වේඩරුව විසින් කටයුතු කර තිබිණි. පසුගිය දිනෙක වේඩරුව වෙත ලැබුණු ඇමැතුමකින් කියැවුණේ ඩෙංගු මර්දනය පිළිබදව ජනතාව දැනුම්වත් කිරීම සදහා වාහනයක් නැති බවකි. ඒ සදහා යෙදවිය හැකි වාහනයක් සොයාගැනීමට බැලූ නමුත් එකම වාහනයක්වත් හමුනොවීම හේතුවෙන් වේඩරුව අන්තිමට කළේ මලියදේව විදුහල් සැණකෙළිය පිළිබද ප‍්‍රචාරක කටයුතුවල යෙදෙමින් තිබූ ලොරිය ඩෙංගු මර්දනය පිළිබද දැනුවත් කිරීමට ලබාදීමය. මලියදේව සැණකෙළිය පිළිබද ප‍්‍රචාරක පුවරු එල්ලාගෙන, ඩෙංගු රෝගය පිළිබද දැනුවත් කරමින් නගරය පුරා සැරිසරන ලොරිය වේඩරුවගේ හිතවතුන් මෙන්ම මලියදේව ආදි සිසු සාමාජිකයින්ද උඩ බිම බලන්නට වූහ. තමන්ගේ වැඩකට ගෙනා ලොරි රථය පවා ඩෙංගු මර්දනයට යොදවා එක් ගැටලුවකට විසදුමක් ලබාදුන් නමුත් ඇමැති වේඩරුවට ඊට වැඩි කරදරයකට මුහුණදෙන්නට සිදු වී තිබිණි. ඒ මලියදේව සැණකෙළියේ ප‍්‍රචාරක පුවරු එල්ලාගෙන නගරය පුරා දුවන ලොරිය පිළිබදව විමසමින් වැල නොකැඩී ගලා ආ ඇමැතුම්වලට උත්තර බදින්නට වේඩරුවට සිදුවී තිබීම හේතුවෙනි.

උපුටාගැනීම – ජනයුගය පුවත්පත, 2017 මැයි 25 බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article