Thursday, April 25, 2024

සුවිසල් ජන ගගක් මැද වෙඩිසිංහ දැයෙන් සමුගනී.

Must read

wedisinghe_furenal

වයඹ පළාතටත්, ශ්‍රී ලංකා මාතාවටත් මහත් කීර්තියක් අත්කර දෙමින් යුගයක් එකලු කළ, සුපිරි යතුරුපැදි ධාවන ක්‍රීඩක ආනන්ද වෙඩිසිංහ මහතා ඊයේ ( 01 දා) පස්වරුවේ අපමණ මහජන බුහුමන් ලබමින් දැයෙන් සමුගත්තේය.

නුවරඑළියේදී පැවැති මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී අනතුරකට ලක්ව මහනුවර මහ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ සති 5 ක කාලයක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි ආනන්ද වෙඩිසිංහ මහතා පසුගිය 29 වැනිදා සිය අවසන් හුස්ම වා තලය වෙත මුදාහලේය.

දෙදිනක් පුරා කුරුණෑගල, වැවරවුම, විල්තෙර උයනේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තැබුණු දේහය ඊයේ පස්වරුවේ කුරුණෑගල මහනගර සභා සුසාන භූමියෙහි මිහිදන් කෙරිණි.

ආගමික වතාවත්වලින් පැවැති කෙටි අවමංගල සභාවේදී යතුරුපැදි ශූර ගයාන් සදරුවන්, හිටපු යතුරුපැදි ක්‍රීඩක උපාලි දසනායක සහ ආනන්ද වෙඩිසිංහ මහතාගේ පුත් කේන් වෙඩිසිංහද අදහස් දැක්වූහ. නිවසේ පැවැති අවමගුල් උත්සවය සදහා කිසිදු පක්ෂ විපක්ෂ දේශපාලනඥයෙකු හෝ රජයේ වගකිවයුතු නිලධාරියෙකු එක් වී නොසිටීම විශේෂත්වයක් විය.

නිවසින් පිටත් වූ අවමගුල් පෙරහැර කුරුණෑගල මහනගර සභා සුසාන භූමිය කරා පිටත්විය. සදහටම තමන් අත්හැර යන තම ආදරණීය සගයා අවසන් මොහොතේදීත් තනිනොකළ මෙරට යතුරුපැදි ධාවන ක්‍රීඩාවේ නියුතු සියලු ක්‍රීඩකයින් ඔවුන්ගේ යතුරුපැදිවල නැගී මෘතදේහය සමග සුසානභූමිය දක්වා ගමන් කලහ. මෙම යතුරුපැදි පෙළපාලිය සදහා ගයාන් සදරුවන්, ඉෂාන් දසනායක, ලහිරු ජීවන්ත ඇතුලු යතුරුපැදි ක්‍රීඩාවේ යෙදෙන සියලු ක්‍රීඩකයින් ඔවුන් තරග සදහා යොදාගන්නා සිය සුපුරුදු යතුරුපැදිය සමග සහභාගි වී සිටියහ.

ආනන්ද වෙඩිසිංහ මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා මෘතදේහය ගෙනයන මගදෙපස සුවිසල් ජනකායක් එක් වී සිටි අතර ඔහුගේ දෙණ පිටුපසින් ගමන්කරමින් දහස් සංඛ්‍යාත ජනතාවක් කුරුණෑගල මහනගර සභා සුසාන භූමිය වෙත පැමිණියහ. මේ හේතුවෙන් කුරුණෑගල නගරය තුළ පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ දැඩි රථවාහන තදබදයක්ද ඇතිවිය. දේශපාලනඥයින්, ආගමික නායකයින්, කලාකරුවන් වැනි සමාජයේ ජනප්‍රිය සහ විශේෂ පුද්ගලයින්ගේ අවමගුල් ගණනාවක් කුරුණෑගලදී පැවැත්වී ඇති නමුත්, ඒ කිසිවෙකුගේ අවමගුලකට මේ තරමේ ජනකායක් කිසිදිනෙක සහභාගි වී නැති බවත්, එදා මෙදා තුර කුරුණෑගලදී පැවැති අවමගුල්වල් අතරින් අතිදැවැන්ත ජනකායකගේ සහභාගිත්වයෙන් පැවැති එකම අවමගුල ආනන්ද වෙඩිසිංහ මහතාගේ අවමගුල බවද තතු දත් අය තියති.

කුරුණෑගල මහනගර සභා සුසාන භූමිය වෙත ගෙනා ආනන්ද වෙඩිසිංහ මහතාගේ දේහය දැකබලාගැනීමට විශාල ජනකායක් පැමිණිම හේතුවෙන් එහිදී ඇති වූ උණුසුම් තත්වය පාලනය කිරීමට හමුදා නිලධාරින්ටද මැදිහත්වන්නට සිදුවිය. සිය ඥාති හිතමිතුරන්ගේ, සහෝදර ක්‍රීඩකයින්ගේ සහ තමන්ට ආදරය කළ දහස් ගණන් ජනතාවගේ සෝසුම් මැද ආනන්ද වෙඩිසිංහ මහතාගේ මෘතදේහය පස්වරු 6.30 ට පමණ මිහිදන් කෙරිණි.

වසර හතලිස් හතක කෙටි ජීවිත කාලය තුළ තම උපන්බිමටත්, උපන්ගමටත් ඉටුවිය යුතු  යුතුකම් ඉටුකරමින් අභිමානවත් වයඹ පුත්‍රෙයකු ලෙස නික්ම ගිය ආනන්ද වෙඩිසිංහ නැමැති අප්‍රමාණ මිනිසා වෙත වයඹ ටුඩේ පුවත් වෙබ් අඩවිය සිය උත්තමාචාරය  පුදකර සිටී. අප මේ සටහන අවසන් කිරීම සදහා යොදාගන්නේද ඊයේ පස්වරුවේ ඔබේ  ප්‍රත්‍රයා හැඩූ කදුලින් සහ කැඩුණු සිංහලෙන් වචන එකතු කරමින්  ඔබට සමුදීමට යොදාගත් ආදරණීය වචන තුනයි.

 ‘‘ ස්තූතියි ආනන්ද වෙඩිසිංහ !  “

 

wedisinghe_furenal_1 wedisinghe_furenal_2 wedisinghe_furenal_3 wedisinghe_furenal_4 wedisinghe_furenal_5 wedisinghe_furenal_6 wedisinghe_furenal_7 wedisinghe_furenal_8 wedisinghe_furenal_9 wedisinghe_furenal_10 wedisinghe_furenal_11 wedisinghe_furenal_12 wedisinghe_furenal_13 wedisinghe_furenal_14 wedisinghe_furenal_15 wedisinghe_furenal_16 wedisinghe_furenal_17 wedisinghe_furenal_18 wedisinghe_furenal_19 wedisinghe_furenal_20 wedisinghe_furenal_21 wedisinghe_furenal_22 wedisinghe_furenal_23 wedisinghe_furenal_24 wedisinghe_furenal_25 wedisinghe_furenal_26 wedisinghe_furenal_27 wedisinghe_furenal_28 wedisinghe_furenal_29 wedisinghe_furenal_30 wedisinghe_furenal_31 wedisinghe_furenal_32 wedisinghe_furenal_33 wedisinghe_furenal_34 wedisinghe_furenal_35 wedisinghe_furenal_36 wedisinghe_furenal_37 wedisinghe_furenal_38 wedisinghe_furenal_39 wedisinghe_furenal_40 wedisinghe_furenal_41 wedisinghe_furenal_42 wedisinghe_furenal_43

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article