Saturday, April 20, 2024

ඩී. බී.ගේ බෝම්බයෙන් වයඹ ඇමැති මණ්ඩලය පරල වෙයි !

Must read

ayg_2017_06_08

මැතිවරණ කොමසාරිස් ඉබ්බාගමුවේදී නළුකමට බසී.

මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය පසුගිය සෙනසුරාදා කුරුණෑගල ආවේ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේදී පැවැති ඡන්ද හිමියන්ගේ දින සැමරුම් උත්සවයකට සහභාගිවීමටය. මෙම උත්සවයට ග‍්‍රාම නිලධාරිවරුන්, මැතිවරණ දෙපාර්තමේන්තු නිලධාරින් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක්ද සහභාගි වී සිටියහ. ප‍්‍රධාන ආරාධිතයා ලෙස එම උත්සවයට සභභාගි වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එහි විශේෂාංගයක් ලෙස වේදිකා ගත වූ නාට්‍යයක රංගනයකට එක්වීමේ දුලබ අවස්ථාවක් දැකගන්නටද එදින උත්සවයට සහභාගිවූවෝ වාසනාවන්ත වූහ. අතීතයේ සාමකාමීව පැවැති ඡන්ද විමසීම් කාලානුරූපීව වෙනස් වූ අයුරු නාට්‍ය කණ්ඩායමක් විසින් වේදිකාවේදී රගදැක්වූ අතර වර්තමානයේදී ඡන්ද විමසීම්වලදී සිදුවන බව කියන ප‍්‍රචණ්ඩත්වය සහ දූෂණ පිළිබදවත් රංගනයෙන් පෙන්වූහ. සිය පළමු රංගනය අවසන් කරමින් නාට්‍ය කණ්ඩායම සභාවට කීවේ පවතින මැතිවරණ රටාවේ වෙනස්කම් කළයුතු නම් ඒ පිළිබදව යෝජනා කිරීමට නරඹන්නන්ටද අවස්ථාවක් ලබාදෙන බවය. ඒ අනුව කලින් රග දැක්වූ නාට්‍යම තමන් යළි රගදක්වන බවත්, එහිදී මැතිවරණයකට නොගැලපෙන සහ වෙනස් කළ යුතුයැයි සිතන අවස්ථාවක් දුටුවහොත් අත්පුඩියක් ගසා එය නිවැරදි කළ හැකි බවද රංගන ශිල්පිහු සභාවට කීහ. ඒ අනුව දෙවැනි වරටත් නාට්‍ය රග දැක්වුණු අතර, ප‍්‍රචණ්ඩත්වය සහ මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධව නාට්‍යයේ තිබූ ජවනිකා දෙකකදී සභාවෙන් අත්පුඩි වැදිණි. අත්පුඩි ගැසූ දෙදෙනාට වේදිකාවට ගොඩ වී එය නිවැරදි කර රගදක්වා පෙන්වන්නටද සිදුවිය. එම නිවැරදි කිරීම් සමග නාට්‍ය ඉදිරියට ගලාගෙන ගිය අතර ඡන්දයෙන් පරාජයට පත් වූ අපේක්ෂකයෙකු විසින් මැතිවරණ කොමසාරිස්වරයාට අල්ලස් ලබාදී ප‍්‍රතිඵලය වෙනස් කරන ආකාරය දැක්වෙන ජවනිකාවක් වේදිකාවේ රගදැක්වෙමින් තිබිණි. සභාවේ නිහඩ බව බිදිමින් තවත් අත්පුඩියක් වැදුණු අතර එවර අත්පුඩිය වැදී තිබුණේ ආරාධිතයින් සදහා වෙන් වූ ඉදිරි පුටුපෙළෙහි අසුන්ගෙන සිටි මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ දෑතිනි. ඒ අනුව කොමසාරිස්වරයාගේ චරිතය නිවැරදි ලෙස රගදක්වන්නැයි නාට්‍ය කණ්ඩායමෙන් ලැබුණු ආරාධනාව පිළිගත් සභාපති මහින්ද වේදිකාවට ගොඩවිය. නාට්‍ය ශිල්පීහු සභාපතිවරයාගේ කරවටා සළුවක්ද පළන්දවා ඔහුගේ චරිතයට හිමි අසුනේ වාඩිකරවූහ. ඒ අනුව පැරදුණු අපේක්ෂකගේ චරිතය රග දැක් වූ රංගන ශිල්පියා විසින් මැතිවරණ කොමසාරිස්වරයාට අල්ලස් දෙන ආකාරය යළි රගදැක්වූ අතර , සභාපති මහින්ද සිය සුපුරුදු ස්වභාවයෙන්ම ඊට ප‍්‍රතිචාර දැක්වීය. ‘‘කලින් තමන්ගේ වැඩ ටික හරියට කරගෙන හිටියා නම් මහ ජනයාටවත්, ඡන්ද ගණන්කරන අයටවත් සල්ලි දෙන්න ඕනේ නැහැ. තමුන්ගේ ප‍්‍රතිපත්ති ටික හරියට තියාගත්තා නම් සල්ලි දෙන්න ඕන වෙන්නෙත් නැහැ. ඒක නිසා ප‍්‍රතිපත්ති හරියට තියාගන්න. ඡන්ද නීති ආරක්ෂා කරන්න.ගණන් කරන නිලධාරින්ටවත්, මහජනයාටවත් ඔය මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. ’’සභාපතිවරයා කියද්දී සභාව අත්පොළසන් හඩින් පිරී ගියේය.

පිට්ටනිවල වතුර අස්කරන්න මැකො බැහැ කියයි.

එම රංගනයෙන් අනතුරුව සභාව ඇමැතූ මැතිවරණකොමිසම් සභාපතිවරයා ඡන්දය සහ ඡන්දයේ ඇති බලය ගැන විනාඩි 45 කට ආසන්න කාලයක් පුරා දේශණයක් පැවැත්වූයේ සභාවේ පූර්ණ අවධානය තමන් වෙත රදවාගනිමිනි. ‘‘මට මේ කුරුණෑගලදී හරි කෑගල්ලේදී හරි කවුරුහරි අම්මා කෙනෙක් කීවා සර් හොද වැඩක් නම් තියෙනවා පරමාධිපත්‍යයයි, ඡන්ද බලයයි ගැන ලංකාවේ අයට උගන්වන්න ඕනේ නම්. පහේ ශිෂ්‍යත්ව විභාගෙට ඕක දාමු කිව්වා ඕක. ඔක්කොම අම්මලා ඡන්ද බලේ ගැන ඉගෙන ගනීවි කීවා. තාත්තලටත් කියලා දීලා උපදින්න ඉන්න ළමයටත් කියලා දෙනවා කිව්වා. ’’ සභාපතිවරයා කියද්දී සභාව සිනාවේ ගිලී ගියේය. ‘‘අද තරුණයෝ ඡන්දෙ ගැන උනන්දු නෑ කියලා කියනවා. ඒක බොරු. තරුණයෝ සමාජ වැඩවලට , දේශපාලන වැඩවලට කැමතියි. නමුත් එපා වෙලා තියෙන්නේ ඇයි. එයාලගේ හිතේ තියෙනවා දේශපාලඥයෝ කියන්නේ යක්කු, පෙරේතයෝ, රාස්සයෝ කන පරාස්සයෝ , බෝවෙන රෝග වලින් පෙලෙන අය, හොරු, අල්ලස් දෙන, අල්ලස් ගන්න අය කියලා. ඒක වැරදියි. එහෙම ගන්න අය ඇති. නමුත් ඒ අයට ඒවා දෙන්නේ කවුද ? ඒ ගොල්ලන්ට ඡන්දේ දෙන්න කවුද ? සිරකරුවෝද මනුෂ්‍යයෝය කියලා කියනවා. ඒ වගේ තමයි දේශපාලනඥයෝද මනුෂ්‍යයෝය. මේ දේශපාලඥයින්ට කවුද ඡන්දේ දුන්නේ. කවුද ඒ අයව තෝරාගත්තේ ? අපේම ඡන්ද ලැයිස්තුවල ඉන්න අපේම ඥාති තමයි. ඒ එක්කෙනෙක්වත් අගහරු ලෝකෙන් හරි, අයිස්ලන්තෙන් හරි, ඉන්දියාවෙන් හරි ආවේ නැහැ. ඒ ඔක්කොම අපේ රටේ. එයාලට ජන්දේ දුන්නේ අයිස්ලන්තේ හාදයෝද ? නැත්නම් පැපුවා නිව්ගිනියාවල හාදයෝද ? චිලීවල හාදයෝද ? නෑ ඔක්කොම දුන්නේ ලංකාවේ හාදයෝ. ජන්දේ දීලා ඉවර වෙලා බැණ බැණ ඉන්නවා මුන් හොරකම් කරනවා ඇර වෙන මුකුත් කරන්නේ නෑ කියලා.’’තවත් වරෙක සභාපති මහින්ද පැවසීය. සිය කතාව අතරතුරදීම කථන මේසයෙන් ඈත් වී වේදිකාවේ තිබූ ප්ලාස්ටික් පුටු පේළිය පිටුපස වටයක් ගිය හිටපු මැතිවරණ කොමසාරිස්වරයා මෙසේ කීවේය. ‘‘අද ඕනම මල ගෙදරකට ගියොත් ඉඳගන්න තියෙන ප්ලාස්ටික් පුටුව පිටිපස්සේ ගහලා තියනවා, අහවල් මැතිතුමාගේ ප‍්‍රතිපාදනවලින් ප‍්‍රදානය කරන ලදී කියලා. වාඩිවෙලා ඉන්න ටෙන්ට් එකේ ගහලා තියෙනවා අහවල් මැතිතුමා දුන්නා කියලා. ඒකටද අපිට මන්ත‍්‍රීවරු ඕනේ ? මල ගෙදරට පුටු ඉල්ලගන්නද අපිට මන්ත‍්‍රිවරු ඕනේ ? ගංවතුර වෙලාවෙදි සහන මල්ලක් ඉල්ලගන්නද මන්ත‍්‍රීවරු ඕනේ ? එහෙම නැත්නම් ප‍්‍රතිපත්ති සම්පාදනයටද මන්ත‍්‍රීවරු ඕනේ ? ’’යැයි කියමින් හෙතෙම සභාවෙන් ප‍්‍රශ්න කළේය. වත්මන් මැතිවරණ රටාව තුළ පවතින දුර්වලතා ගණනාවක් පෙන්වාදෙමින් කතා කළ සභාපති මහින්ද දේශප‍්‍රිය තමන්ට රට වටින්ම එල්ලවන චෝදනාවන්ට පිළිතුරු දීමටද අමතක නොකළේය. ‘‘අපේ රටේ හැමෝම කියන්නේ ඡන්දේ නම් නෑ, මැකොනම් ඇවිද ඇවිද ඉන්නවා කියලා. කෙටියෙන්ම කිව්වොත් ඡන්දේ නැත්තේ ඡන්දේ තියන්න ඕනෑ විදිහට ලෑස්තිවෙලා නැති නිසයි. දැන් මේ පිට්ටනියට හොදට වහිනවානේ. දැන් මැච් මේකේ මැච් එකක් ගහන්න පුලුවන්ද ? බැහැ. පෑව්වට පස්සේ පුලුවන්ද? ඒත් බැහැ. වතුර අස්කරලා ඒ වැඩකටයුතු කළොත් තමයි මැච් එක ගහන්න පුලුවන්. ඒක කරන්න ඕනේ කවුද ? පිට්ටනියට නියමාකාරයට හදන්න ඕනේ මේ පිට්ටනියේ භාරකාරයෝ. අම්පයර්ස්ලාටයි, ඉස්කෝරස්ලටයි වතුර අස්කරන්න බැහැ. අපි කරන්නේ ඒ වැඩේ. පළාත්පාලන අමාත්‍යංශයයි, පාර්ලිමේන්තුවයි තමයි පිට්ටනිය හදලා දෙන්න ඕනෑ. වැස්සොත් ඕවර්ස් ගාණ අඩු කරන්න ඕනෑද කියන එක මට තීරණය කරන්න බැහැ. අයිසීසී එකේ රූල්ස්වලට තමයි ඕවර්ස් ගණන අඩුකරන්න ඕනේ. අපේ අයිසීසී එක කවුද ? අපේ පාර්ලිමේන්තුව. අපිට ඡන්දය තියන්න ඒ ගොල්ලෝ තවමත් නීති හදලා ඉවර නැහැ . ඒක නිසා තමයි මට ඇවිද ඇවිද ඉන්න වෙලා තියෙන්නේ. ’’

‘‘  වීදුරු ගෙවල්වල ඉදගෙන ගල් ගහන්න එපා !  ’’ වේඩරුවගෙන් ඩී.බී. ට අවවාදයක් !

වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය මේ වනවිට පවතින්නේ පිපිරෙන්නට ආසන්න වූ ගිනි කන්දක ස්වභාවයෙනි. විවිධ හේතු පදනම් කරගනිමින් ආණ්ඩු පක්ෂය තුළ නිර්මාණය වී ඇති කල්ලි හේතුවෙන් ආණ්ඩු පක්ෂය තුළින් මේ වනවිට දැකගත හැකිවන්නේ ‘‘මණ්ඩලේ කචල් ’’ස්වභාවයකි. පෙරේදා පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී මන්ත‍්‍රී ඩී. බී. හේරත් විසින් ඇමැති මණ්ඩලය එල්ල කරමින් ‘‘බෝම්බයක් ’’පුපුරුවා හැරියේ ආණ්ඩු පක්ෂයේ අභ්‍යන්තර ගැටුම්වල ගිනි පුපුරු ටිකක් ඉන් පිටතටද විසිකරවමිනි. මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික කරුණු දැක්වීම් යටතේ අදහස් දැක් වූ ඩී. බී. කීවේ පළාත් සභාවේ අමාත්‍යංශ හරහා ඇමැතිවරුන් විසින් මහජනතාව වෙත ලබාදෙන පත්වීම් වෙළද භාණ්ඩ බවට පත් වී ඇති බවය. ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව සාධක ඇති බවද කී ඩී. බී. කීය. ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම තුළ පත්තු කළ යුතුව තිබූ ගිනි ගෙඩියක් ඩී. බී. විසින් සභාව මැදට ගෙනැවිත් අතහැරීම හේතුවෙන් වයඹ ඇමැති මණ්ඩලයේ සාමාජිකයින් තරමක් සලිතව ගිය බවක් පෙණිනි. ඩී. බී. ට උත්තර බදින්නට නැගීසිටියේ මහඇමැති ධර්මසිරි දසනායකය. ‘‘මේක බරපතල චෝදනාවක්. එයාට ලේසියෙන් මේකෙන් ගැලැවෙන්න බැහැ.’’ධර්මසිරිට කියන්නට ලැබුණේ එපමණි. ‘‘ තොප්පිය හරි නම් දාගනිත්වා ’’යැයි මන්ත‍්‍රී කියමින් මන්ත‍්‍රී ඩී. බී. තම අසුනේ සිටම තවත් හින්ට් එකක් පාස්කරනු ඇසිණි. ඩී. බී.ගේ එම උපහාසය ධර්මසිරි කෝප ගන්වන්නට සමත්විය. ‘‘මේ. මේ, ඔයා ඉන්නකෝ ටිකක්. මම ඔයාගේ කතාවේදී බාධා කළේ නැහැනේ. ඔහොම ඉන්න ටිකක් ’’යැයි කී ධර්මසිරි දිගටම කතාකරගෙන ගියේය. ‘‘පහුගිය කාලේ පත්වීම් දුන්නේ අධ්‍යාපන අමාත්‍යංශයෙනුයි, සෞඛ්‍ය අමාත්‍යංශයෙනුයි. ඒ නිසා ඒ ඇමැති දෙපළ මේ චෝදනාව සම්බන්ධයෙන් වගකියන්න ඕනෑ. මම මේකට කමිටුවක් පත්කරනවා. ඩී. බී. හේරත් මන්ත‍්‍රීතුමා ඒකට ඇවිත් සාක්ෂි දෙන්න ඕනෑ. ඊට පස්සේ ඒ ගැන මේ සභාවට වාර්තාවක් දෙන්න ඕනෑ. ඒකේ වගකීම මම භාරගන්නවා. එහෙම කටට ආව පළියට ඒවා මේවා කියන්න බැහැනේ. හේතු තියෙන්න ඕනෑ. ’’යැයි කී ධර්මසිරි වාඩිවිය. අනතුරුව නැගී සිටියේ සෞඛ්‍ය ඇමැති ලක්ෂ්මන් වේඩරුවය. ඇමැති වේඩරුව තරමක ආවේගයෙන් යුතුව අදහස් දැක්වූ බව පෙනෙන්නට තිබිණි. ‘‘මම විශ්වාස කරනවා මේක ඩී. බී. හේරත් මන්ත‍්‍රීතුමා වගකීමෙන් යුතුව ප‍්‍රකාශයක් වෙන්න ඇති කියලා. කරුණු කාරණා දන්න නිසානේ එතුමා එහෙම කියන්න ඇත්තේ. ඒ නිසා ඒ දන්න දේවල් කියන්න එතුමාට අදම අවස්ථාවක් දුන්නොත් හොදයි කියලා මම හිතනවා. හැබැයි මම එකක් කියන්නම්. වීදුරු ගෙවල්වල ඉදගෙන ගල් නම් ගහන්න එපා. එහෙම නම් මමත් ඒ ඕන එකකට සූදානම්. මම දුන්නු රස්සා වෙළද භාණ්ඩයක් වෙලා තියෙනවා නම් කරුණාකරලා කියන්න. මම කාගෙන්වත් ප්ලේන්ටියකවත් බීලා නෙවෙයි රස්සා දීලා තියෙන්නේ. ආණ්ඩුකාරතුමියගේ ඉදලා පක්ෂ විපක්ෂ සියලුදෙනාටම රැකියා දුන්නු ප‍්‍රමාණවල්, ඒ දුන්න අයගේ නම් ගම් එක්කම ලේඛණයක් මම හදලයි තියෙන්නේ. ඒ නිසා මම නම් කිසිම කෙනෙකුට සල්ලිවලට රස්සා දීලා නැහැ. ’’යැයි කී වේඩරුව වාඩිවිය. අනතුරුව නැගිට්ටේ අධ්‍යාපන ඇමැති සන්ධ්‍ය රාජපක්ෂය. ‘‘මගේ අමාත්‍යංශයෙනුත් පත්වීම් 43 ක් දුන්නා. ඒ දුන්නු ක‍්‍රමවේදය කවුරුත් දන්නවා. ඒ නිසා ඒ ක‍්‍රමවේදය පිළිබදව සියයට දාහක විශ්වාසයයෙන් යුතුව මම කියනවා අධ්‍යාපන අමාත්‍යංශයෙන් නම් ඔය කියන විදිහේ දෙයක් සිදුනොවුණු බව. සන්ධ්‍යගෙන් අනතුරුව නැගී සිටියේ කෘෂිකර්ම ඇමැති සුමල් තිසේරාය. ‘‘ අපි මේ විදිහට සවුත්තු වෙන්න ඕනෑ නැහැ. මට නම් අනුන්ගේ සල්ලි සත පහක්වත් ඕනෑ නැහැ. මේවා ඇහෙනකොට හිතට හරි අමාරුයි. මොකද අපි අමාත්‍යංශයක් කරන්නේ සද්භාවයෙන්. මේ අමාත්‍යංශය කලින් කරපු කෙනෙක් තමයි ඩී. බී. හේරත් මන්ත‍්‍රීතුමා කියන්නේ. මේක ඇත්තටම අපි කණ්ඩායමක් විදිහට කණ්ඩායම ඇතුලේ කතා කළ යුතු දෙයක්. මේ වගේ දෙයක් සභාවේදී කතාකරනවා කියන්නේ මුලු සභාවට හෑල්ලුවට පත්වීමක්. අනිත් අතට අපේ ඇතුලේ තියෙන ප‍්‍රශ්නයක් අද එළියට දුන්නා. කණ්ඩායම ඇතුලේ කතාකරලා මේ ප‍්‍රශ්නය විසදාගත්තා නම් මීට වඩා හොදයි.’’ යැයි කී සුමල්ද වාඩි විය. ‘‘වෙළද භාණ්ඩ කියලා කීවාම භාණ්ඩ හුවමාරුව, මුදල් හුවමාරුව කියලා විවිධ දේවල් තියෙනවා. මේක අපේ ඇමැතිවරු මුදල්වලින් ගණනය කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රටේ තොටේ මහජනතාව කතාවෙන දෙයක් ගැන මේ සභාවට ඇවිත් කතාකිරීමේ වගකීම ඉටුකළා මිස එක එක කොමිසම් ඉස්සරහයි, එෆ්සීඅයිඞී එකටයි ගිහින් සාක්ෂි දෙන්න මම සූදානම් නැහැ. ඒ නිසා කොහේවත් යන දේවල් අපේ ඇමැතිවරු භාරගන්න උවමනාවක් නැහැ. මේ සභාවේ යම් කිසි වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකමට යම් ගැටලුවක් එනවා නම් ඕනෑම වෙලාවක ඒ ගැන කතාකරන්න අපි සූදානම්. අපිත් ඇමැතිකම් කරපු උදවිය තමයි. නමුත් ඒ ඇමැතිකම් කරද්දි අපි විනිවිද භාවයකින් යුතුව කටයුතු කරලා තියෙනවා.’’ ඩී. බී. යළි කී නමුත් ඇමැතිවරු කිසිවෙක් ඊට උත්තර බැන්දේ නැත.

විකුණපු පත්වීම් ගැන සභාවෙන්ම ඔත්තුවක්.

තේ විවේකයෙන් පසුව සභාව යළි ආරම්භ වූයේ ප‍්‍රශ්නවලට පිළිතුරු දීමේ වාරයද සමගිනි. ආණ්ඩු පක්ෂ සංවිධායක බණ්ඩාර රාජපක්ෂ විසින් ඇමැති වේඩරුව වෙත යොමුකර තිබූ ප‍්‍රශ්නයකින් විමසා තිබුණේද සෞඛ්‍ය අමාත්‍යංශය හරහා ලබාදුන් පත්වීම් කිහිපයක් පිළිබදවය. ඊට පිළිතුරු දීමට නැගී සිටි ඇමැති වේඩරුව කීවේ ඊට පැයකට පමණ පෙර ඔහු විසින්ම කළ ප‍්‍රකාශය බිදී යන ආකාරයේ කතාවකි. ‘‘අපි තේ බොන වෙලාවෙදී අපේ ඇමැතිතුමෙක් මට කීවා මගේ අමාත්‍යංශයෙන් දීපු පත්වීම් දෙකක් විකුණලා තියෙනවා කියලා. ඒ නිසා ඒ පත්වීම් විකුණපු අයගේ නම් ගම් එක්කම මේ ප‍්‍රශ්නයට උත්තරයක් දෙන්න ඕන නිසා මම මේ ප‍්‍රශ්නයට පිළිතුරු දෙන්න තවත් මාස දෙකක කාලයක් ඉල්ලනවා. ’’ වේඩරුව කීවේය.

උපුටාගැනීම – ජනයුගය පුවත්පත, 2017 ජූනි 08 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article