Saturday, April 20, 2024

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලෙන් ඇමැති දයාසිරිට නරක උපන්දින තෑග්ගක් !

Must read

ayg_2017_06_15_02

හාවාට විදින්න ගිය නියෝජ්‍ය ඇමැති අශෝක් පදුරට විදී.

ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ පසුගිය සෙනසුරාදා කුරුණෑගල පිහිටි සිය නිවසේදී මාධ්‍ය හමුවක් කැදවා තිබුණේ ඉදිරියේදී සිදුකිරීමට නියමිත ත‍්‍රිරෝද රථ නියාමන වැඩපිළිවෙල පිළිබදව මාධ්‍ය දැනුවත්කිරීමටය. මෙරට තුළ ඇති ත‍්‍රිරෝද රථ ප‍්‍රමාණය ඉතා සීඝ‍්‍රයෙන් වැඩිවෙමින් ඇති බැවින් එය පාලනය කිරීම සදහා රජයේ අවධානය යොමු වී ඇති බව අශෝක් එහිදී කීවේය. ඉකුත් අයවැයෙන් ත‍්‍රිරෝද රථ මිලදීගැනීම සදහා ලීසිං පහසුකම් සැපයීම සීමාකළේද මෙම තත්වය පාලනය කිරීමට බව කී අශෝක් අඵතෙන් ත‍්‍රිරෝද රථ රියදුරු බලපත් ලබාගැනීමට අයැදුම් කරන අය වෙනුවෙන් පුහුණු වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය තීරණය කර ඇති බවද කීය. ඒ අනුව මින් ඉදිරියට නව ත‍්‍රිරෝද රථ රියදුරු බලපත‍්‍ර ලබාගැනීම සදහා අයදුම්කරන අයදුම්කරුවන් වෙනුවෙන් එක්දින පුහුණු වැඩමුඵවක් පවත්වන බවත්, ත‍්‍රිරෝදරථ රියදුරු බලපත් ලබාගත හැකිවන්නේ එම පුහුණු වැඩමුඵවේදී ලැබෙන සහතිකය ඉදිරිපත් කිරීමෙන් පසුව පමණක් බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය. ඉදිරියේදී බස් ගාස්තු සංශෝධනයක් සිදුවන්නේදැයි මාධ්‍යවේදියෙකු අශෝක්ගෙන් ඇසුවේ ඔය අතරවාරයේදීය. ඊට පිළිතුරු බදිමින් අශෝක් කීවේ සෑම වසරකම ජූලි මාසයේදී බස් ගාස්තු සංශෝධනයක් සිදුවීමට නියමිත බැවින් ඒ පිළිබදව බස් හිමියන්ගේ සංගම් සමග සාකච්ඡා කිරීම ආරම්භ කර ඇති බවය. ඒ අනුව ඉදිරියේදී සියයට හයක් හෝ හයයි දශම පහක ප‍්‍රතිශතියකින් බස් ගාස්තු ඉහළයාමට ඉඩ ඇති නමුත් තවමත් ඒ පිළිබදව අවසන් තීන්දුවක් ගෙන නැතැයදි අශෝක් කීවේය. සියල්ල කණපිට හැරෙන්නට පටන්ගන්නේ අශෝක් විසින් අඩමානයට කළ එම ප‍්‍රකාශය එක්තරා රූපවාහිනි නාලිකාවක් විසින් හදිසි පුවතක් ලෙස විකාශය කිරීමත් සමගිනි. එම පුවත දුටු බොහෝදෙනෙකු බස් ගාස්තු වැඩිවීම පිළිබදව විමසන්නටවීම හේතුවෙන් අශෝක්ගේ දුරකථනයට වැල නොකැඩී ඇමැතුම් ගලා එන්නට විය. බස් ගාස්තු සංශෝධනය පිළිබද සාකච්ඡා කෙරෙමින් ඇතිවා මිස ඒ පිළිබද අවසන් තීරණයක් ගෙන නැති බව අශෝක්ට ඒ සියලුදෙනාටම පුන පුනා කියන්නට සිදු වී තිබිණි. එදින රාත‍්‍රියේ රූපවාහිනි ප‍්‍රවෘත්ති විකාශයන්වලදී මෙන්ම පසුදින පුවත්පත්වලදීත් වැඩි ඉඩක් ලැබී තිබුණේ අශෝක්ගේ කටින් පැන්න බස් ගාස්තු සංශෝධන කතාවටය. බස් ගාස්තුව පිළිබද කතාබහට මුල්තැන ලැබීම හේතුවෙන් අශෝක් මාධ්‍ය සාකච්ඡාව කැදවීමට නිමිත්ත වූ ත‍්‍රිරෝද රථ නියාමනය සම්බන්ධ ප‍්‍රවෘත්තියද අතුරුදන් වී තිබිණි. ‘‘දැන් බලපුවාම ත‍්‍රී විලර් නියාමනය බස් ගාස්තුව යටවුණා වගේනේ පේන්නේ. විද්දේ හාවාට, වැදුණේ පදුරට වගේ වැඩක් තමයි අන්තිමේදී මටත් වුණේ. ’’පසුදින උදෑසන පුවත්පත් කියැවීමෙන් පසු අශෝක් විසින් තම පුද්ගලික කාර්ය මණ්ඩලය සමග කියා තිබිණි.

මැල්සිරිපුර කලඑළි මංගල්‍යයෙන් ආසන සංවිධායකලා අතුරුදන් !

මැල්සිරිපුර නගරයේ ඉදිකෙරුණු වීදි පහන් පද්ධතිය වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායකගේ විවෘත කෙරුණේ ඉකුත් 06 වැනිදාය. අඹේපුස්ස – දඹුල්ල මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මංතීරු හතරක් සහ වාහන නැවැතුම් මංතීරුවක්ද සහිතව නවීකරණය කෙරුණු මැල්සිරිපුර නගරයට මෙම නව විදුලි පහන් පද්ධතිය ලැබීමටත් සමග දියුණු නගරයක මුහුණුවරක් ලැබී තිබිණි. අඹේපුස්ස – දඹුල්ල මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අලව්ව, පොල්ගහවෙල, පොතුහැර, කුරුණෑගල සහ ඉබ්බාගමුව ඇතුලු නගර ගණනාවකදී මාර්ගය පුඵල් කිරීමට සැලසුම් කර තිබූ නමුත් ඒ සියලු සැලසුම් වෙනස් කරන්නට සිදුවූයේ එම නගරවල ව්‍යාපාරිකයින් සහ ඉඩම් හිමියන් විසින් මාර්ග පුඵල්කිරීමට අවශ්‍ය ඉඩකඩ ලබාදීමට මැලිවීම හේතුවෙනි. එසේ නමුත් මැල්සිරිපුරදී එම තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වූ අතර, මැල්සිරිපුර ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති එච්. පී. කේ. එම්. පෙරේරාගේ මෙහෙයවීමෙන් මැල්සිරිපුර ඉඩම් සහ ව්‍යාපාර හිමියෝ වන්දි ඉල්ලීමකින් තොරව මාර්ග පුඵල් කිරීමේ කටයුතු සදහා ස්වේච්ඡාවෙන්ම සහයෝගය ලබාදුන්හ. මේ හේතුවෙන් මැල්සිරිපුර නගරය වෙනුවෙන් සැකැසුණු මුල් සැලසුමෙහි දශමයක හෝ වෙනසක් නොකරමින් නවීකරණ කටයුතු සිදුකිරීමට ව්‍යාපෘති භාර නිලධාරිහු කටයුතු කළහ. මුල් සැලසුමේ නොතිබුණු වීදි පහන් පද්ධතියක් මැල්සිරිපුරට ලැබෙන්නේද එහි ව්‍යාපාරික ප‍්‍රජාව විසින් නගරය සංවර්ධනය කිරීමට ලබාදුන් සහයෝගය අගය කිරීමක් සහ ප‍්‍රතිඋපකාර දැක්වීමක් ලෙසිනි. එහි අවසන් ප‍්‍රතිඵලය ලෙස මාර්ග තදබදයෙන් තොර, වාහන නැවැත්වීමේ මනා ඉඩකඩක් සහිත අලංකාර නගරයක් බිහි වී තිබිණි. නව වීදි පහන් පද්ධතිය විවෘත කිරීම හරහා අඵත් වූ මැල්සිරිපුර නගරය කළඑළි දැක්වීමට මුල්වන්නේද මැල්සිරිපුර ව්‍යාපාරිකයින්ගේ සංගමයම වෙයි. එම සංගමයේ මූල්‍ය දායකත්වයෙන් යුතුව ‘‘මැල්සිරිපුර කලඑළි මංගල්‍යය’’යැයි නම් තබමින් සංවිධානය කර තිබූ විවෘතකිරීමේ උත්සවය ආරම්භ කෙරුණේ පස්වරු හයට පමණය. උත්සව ආරම්භයට පෙර, නගරය නවීකරණයට දායක වූ සදහා මාර්ග සංවර්ධන අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුලු රාජ්‍ය ආයතනවල නිලධාරිහු කරදගොල්ල මංසන්ධියේ සිට පෙරහැරකින් මැල්සිරිපුර නගරය හරහා කැදවාගෙන ඒමට මැල්සිරිපුර ව්‍යාපාරිකයින්ගේ සංගමය කටයුතු කළේය. මහ ඇමැති ධර්මසිරි පෙරහැරට එක් වූයේ උත්සව භූමිය ආසන්නයේදීය. මහින්ද පිලේ සාමාජිකයෙකු වන ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුමිත් උඩුකුඹුරද උත්සවයට එක් වී සිටියේය. ඇමැති නාවින්නද මෙම උත්සවයට සහභාගිවීමට ඇරැයුම් ලබා සිටි නමුත් හදිසි රාජකාරි කටයුත්තක් හේතුවෙන් පැමිණීමට නොහැකි බව උත්සව සංවිධායකයින්ට දන්වා එවා තිබිණි. හිරියාල ආසනයේ ඇති දියුණු සහ ප‍්‍රධානම නගරයේ පැවැත්වුණු උත්සවයක් වූ නමුත් විශේෂත්වය වූයේ එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ දෙකෙහිම ආසන සංවිධායකවරුන් දෙපළ මෙම උත්සවය වර්ජනය කර තිබීමය. මැල්සිරිපුර ව්‍යාපාරිකයින් ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් හිරියාල එජාප සංවිධායක ජගත් යාපාට සහ ශ‍්‍රීලනිප සංවිධායක කමල් ඉන්දිකට විවෘත කිරීමේ උත්සවය සදහා ආරාධනා කර තිබූ නමුත් එම දෙපළම උත්සවය මගහැර ගොස් තිබිණි. ජගත් සහ කමල් උත්සවයේ දක්නට නොවීම පිළිබදව තිරය පිටුපස නොයෙකුත් කතා කියැවෙමින් තිබූ නමුත් එම දෙපළගේ අඩුව බාධාවක් කරනොගනිමින් උත්සවය සාර්ථක ලෙස පැවැත්විණි.

මහ ඇමැති, මහ රෑ , මහ අකරතැබ්බයක.

උත්සවය අවසන් වන විට රාත‍්‍රී නවයත් පසුවී තිබූ අතර මහ ඇමැති ධර්මසිරි වීදි පහන් පද්ධතිය විවෘත කිරීමට පාරට බැස්සේ ඉන් අනතුරුවය. මැල්සිරිපුර බස් නැවතුම්පොල ආසන්නයේ ස්ථාපිත කර තිබූ පාලක පුවරුව වෙත ඇවිද ගිය ධර්මසිරි රැස්ව සිටි පිරිසගේ අත්පොළසන් මධ්‍යයේ එහි ස්විචය පණගැන්වීය. අභාග්‍යයකි ! ධර්මසිරි පණ ගැන්වූ ස්විචයෙන් වීදි පහන් පද්ධතිය සක‍්‍රිය වූයේ නැත. එතැන සිටි කිහිපදෙනෙකු විසින් දන්නා ශිල්ප දමා බැලූ නමුත් වීදි පහන් නම් දැල්වුණේ නැත. උත්සව සංවිධායකවරුන් විසින් කළ ඉල්ලීමකට අනුව මැල්සිරිපුර දන්සැල් භූමිය ආසන්නයේ පිහිටි තවත් පාලක පුවරුවක් වෙත ගිය ධර්මසිරි එහි ස්විචයද පණගැන් වූ නමුත් ඊට ද අත්වූයේ පෙර ඉරණමය. එතැන සිටි ප‍්‍රදේශය භාර විදුලි අධිකාරිවරයා ක‍්‍රියාත්මක වී අදාල පාලක පුවරුවල යතුරු ගෙන්වා ගන්නා තෙක් විනාඩි කිහිපයක් බලා සිටින්නට ධර්මසිරිට සිදුවිය. ගෙන්වා ගත් යතුරුවලින් පාලක පුවරුව විවෘත කළ විදුලි අධිකාරිවරයා එහි යට කොටසේ තිබූ තවත් ස්විචයක් කරකවා දෝෂය නිවැරදි කිරීමෙන් පසුව නැවත වතාවක් විදුලිය විවෘත කරන ලෙස ධර්මසිරිට ආරාධනා කළේය. ධර්මසිරිගේ අතින් එවර පණගැන්වුණු ස්විචය හරහා විදුලි පද්ධතිය ක‍්‍රියාත්මකවීමත් සමග මැල්සිරිපුර නගරය ඒකාලෝක වී ගියේය.

ජනපති කුරුණෑගල නෑ ගමනක.

ජනපති මෛත‍්‍රී පසුගිය සෙනසුරාදා වැඩි සද්දයක් බද්දයක් නැතිවම කුරුණෑගල පැත්තේ ඇවිත් ගොස් තිබිණි. ජනාධිපතිවරයාගේ ගමන කෙතරම් හීන්සීරුවේ කෙරී ඇතිදැයි කිවහොත් ජනාධිපතිවරයා කුරුණෑගල එන බවක් පොලිසිය පවා දැනුම්වත් වී නොසිටි බව කියැවේ. පොලොන්නරුවේ පැවැති පොසොන් පින්කම්වලට සහභාගි වූ ජනපති ආපසු කොළඹ බලා යන්නට තීරණය කර තිබුණේ ගොඩබිම් මාර්ගය ඔස්සේය. කොළඹ යන අතරමගදී සිය හිතවතුන් කිහිපදෙනෙකුගේ නිවෙස්වලටද ගොඩවදින්නට ජනාධිපතිවරයා තීරණය කර තිබීම ඊට හේතු වී තිබිණි. ඒ අනුව කුරුණෑගල බෞද්ධාලෝක මාවතේ පිහිටි තම හිතවත් වෛදවරයෙකුගේ නිවසට ජනාධිපතිවරයා ගොඩවැදී තිබුණේ සෙනසුරාදා පස්වරුවේදීය. එම නිවසට ගොඩවැදීමට පෙර ඒ ආසන්නයේම පදිංචි ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යය සාධක බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චිගේ නිවස වෙතද ජනාධිපතිවරයා ගිය නමුත් ඔහු ඒ වනවිට නිවසේ නොසිටීම හේතුවෙන් ජනාධිපතිවරයා තමන් යන්නට ගිය වෛද්‍යවරයාගේ නිවසට ගොස් තිබිණි. සැහැල්ලු ඇදුමකින් සැරසී තම නිවසට ගොඩ වූ ජනපති මෛත‍්‍රී වෛද්‍ය නිවසේ නිවැසියන් විසින් උණුසුම් ලෙස පිළිගත්හ. ජනාධිපතිවරයා එම නිවැසියන් සමග ආ ගිය තොරතුරු කතා කරමින් සිටියදී වෛද්‍ය සමන්ත කිතලවආරච්චිද ජනපති සොයාගෙන එම නිවසට පැමිණියේය. එහි සිටි පිරිස සමග ඡායාරූප කිහිපයකටද පෙනී සිටි ජනපති මෛත‍්‍රී වාහනයට නැග කොළඹ බලා ගමන් ඇරඹුවේ තරමක වේලාවක් එම නිවසේ ගත කිරීමෙන් පසුවය.

පාපන්දුවක් කපා දයාසිරි උපන් දිනය සමරයි.

ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර සිය 48 වැනි උපන්දිනය සැමැරුවේ පසුගිය ඉරිදාය. උපන්දිනය යෙදුණු එදින දයාසිරි වෙන්කර තිබුණේ සිය මැතිවරණ කොට්ඨාශයේ පැවැති වැඩසටහන්වලට සහභාගිවීමටය. දවසේ වැඩකටයුතු ආරම්භ කිරීමට නිවසින් එළියට බසින්නට සූදානම් වූ දයාසිරිට ඔහුගේ සමීප හිතවතුන් සහ පුද්ගලික කාර්ය මණ්ඩලය එක්ව සංවිධානය කර තිබූ උපන්දින සැමැරුමකටද එක්වන්නට සිදුවිය. තණ නිල්ලක් මත ඇති පාපන්දුවක හැඩය ගත් අපූරු උපන්දින කේක් ගෙඩියක් දයාසිරිගේ හිතවතුන් විසින් සූදානම් කර තිබිණි. දයාසිරිගේ හිතවතුන් ‘‘හැපි බර්ත් ඩේ ටූ යූ’’යැයි ගයද්දී දයාසිරි විසින් කේක් ගෙඩිය මත තිබූ 48 හැඩය ගත් ඉටිපන්දම දැල්වීය. අනතුරුව කේක් ගෙඩියේ වූ පාපන්දුව කැපූ දයාසිරි ඉන් කැබැල්ල බැගින් සිය හිතවතුන්ට කැව්වේය. අනතුරුව පඩුවස්නුවර සිය කාර්යාලයට ගොඩ වූ දයාසිරිට එහි කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ තවත් කේක් කැපිල්ලකට සහභාගිවන්නට සිදුවිය. පඩුවස්නුවර සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වූ දයාසිරි ප‍්‍රදේශයේ ළමා නිවාසයකට ගොස් සිය උපන්දිනය වෙනුවෙන් එහි සිටි ළමුන්ට ඇදුම් පැළදුම්, පොත්පත් ඇතුලු ත්‍යාග ප‍්‍රදානයක්ද සිදුකළේය. එදින පස්වරුව දයාසිරි ගතකළේ උපන්දිනය වෙනුවෙන් ප‍්‍රදේශයේ වෙහෙර විහාරවලදී සංවිධානය කර තිබූ ආගමික වැඩසටහන්වලට සහභාගි වෙමිනි. ආගමික වැඩසටහන් කිහිපයකටම සහභාගි වූ දයාසිරි තම උපන්දිනය වෙනුවෙන් සංවිධානය වී තිබූ තවත් වැඩසටහන් කිහිපයක් ඉතිරි වී තිබියදී ආපසු නිවස බලා පිටත්විය. දයාසිරි හදිසියේ නිවසට ගොස් තිබුණේ මේ දිනවල එංගලන්තයේදී පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන තරගාවලියේ පකිස්ථානය සහ ශ‍්‍රී ලංකාව තරගවැදුණු ක‍්‍රිකට් තරගය නැරැඹීම පිණිසය. එම තරගය ජයගෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරග වටයට පිවිසෙනු ඇතැයි දයාසිරි දැඩි විශ්වාසයක පසුවිය. නමුත් දයාසිරිගේ විශ්වාසය පඵදු කරවමින් ශ‍්‍රී ලංකා පිල තරගයෙන් පරාජයට පත් වූ අතර ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ උපන්දිනය දා ඔහු වෙත ඉතාමත් නරක තත්වයේ තෑග්ගක් පිරිනමමින් තරගාවලියෙන් ඉවතට විසිවන්නටද ශ‍්‍රී ලංකා පිලට සිදුවිය.

උපුටාගැනීම – ජනයුගය පුවත්පත, 2017 ජූනි 15 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article