Thursday, April 25, 2024

කල්පිටියේ ඉඩම් විකිණීමට එරෙහිව මේසය උඩට නැගපු වයඹ මන්ත්‍රී මාධ්‍යයට කතාකරයි ! – VEDIO

Must read

niyas_on _table_1

කල්පිටිය ප‍්‍රදේශයේ පිහිටි රජයේ ඉඩම් වෙනත් ප‍්‍රදේශවල ව්‍යාපාරිකයින්ට ලබාදීමට විරෝධය පළකරමින් වයඹ පළාත් සභා මන්ත‍්‍රී එස්. එච්. එම්. නියාස් මහතා පෙරේදා පැවැති  ( 20 දා ) වයඹ පළාත් සභා රැස්වීමේදී සිය මේසය මතට නැගී විරෝධය පලකළේය.

වයඹ පළාත් සභා සංකීර්ණයේ පිහිටි සශ‍්‍රී ශාලාවේදී  පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික කරුණු දැක්වීම් යටතේ අදහස් දක්වමින් සිටි එස්. එච්. එම්. නියාස් මහතා මෙලෙස සිය මේසය මතට ගොඩ වී විරෝධය දැක්වීය.

මධ්‍යම රජයට අයත් සංචාරක අධිකාරිය හරහා කල්පිටිය ප‍්‍රදේශයේ පිහිටි ඉඩකඩම් කොළඹ ව්‍යාපාරිකයින්ට අලෙවි කරමින් ඇති බව මන්ත‍්‍රීවරයා එහිදී පැවැසීය.

තම ව්‍යාපාර පවත්වාගෙන යාම සදහා බදු පදනම මත රජයේ ඉඩම් ලබාදෙන්නැයි කල්පිටිය ප‍්‍රදේශයේ සංචාරක ව්‍යාපාර පවත්වාගෙන යන ව්‍යාපාරිකයින් විසින් කලක් තිස්සේ කරමින් සිටින ඉල්ලීම් පසෙකින් තබා කොළඹින් එන ධනපතීන්ට ඉඩම් අක්කර ගණනින් ලබාදීම අනුමත කළ නොහැකි බවද මන්ත‍්‍රීවරයා පැවසීය. මෙම අසාධාරණයට එරෙහිව පළාත් සභාව සතු බලතල ක‍්‍රියාත්මක කිරීමට වයඹ ප‍්‍රධාන අමාත්‍යවරයා සහ වයඹ පළාත් ඉඩම් අමාත්‍යවරයා වහා කටයුතු කළ යුතු බවද හෙතෙම පැවසීය.

කල්පිටිය ප‍්‍රදේශයේ ජීවත්වන පාරම්පරික ධීවරයින්ට සහ ඉඩම් අහිමි ජනතාවට ලැබිය යුතු ඉඩම් වයඹ පළාතෙන් පිට ජීවත්වන ධනපතීන්ට ලබාදෙන්නේ කෙසේදැයි මන්ත‍්‍රීවරයා මෙහිදී ප‍්‍රශ්ණ කළේය. මෙම ව්‍යසනය පිළිබදව තමන්ට මෙම අවස්ථාවේදීම පිළිතුරක් අවශ්‍ය බව පැවැසූ නියාස් මන්ත‍්‍රීවරයා තම මේසය මතට නැගී දිගින් දිගටම අදහස් දක්වන්නට විය. කල්පිටිය ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වෙමින් ඇති මෙම ක‍්‍රියාදාමය මත වයඹ පළාත් සභාවේ අයිතිය ඇත්තේ වයඹ ජනතාවටද එසේත් නැතිනම් කොළඹ ධනපතීන්ටදැයි මන්ත‍්‍රීවරයා මේසය මත සිටම ප‍්‍රශ්න කළේය. විනාඩි තුනකට වැඩි වේලාවක් සිය මේසය මත සිට අදහස් දැක් වූ නියාස් මහතා, පළාත් ඉඩම් අමාත්‍ය සුමල් තිසේරා මහතා විසින් ඊට පිළිතුරු ලබාදීමට ඉදිරිපත්වීම හේතුවෙන් සිය මේසයෙන් බිමට බැස්සේය.

සුමල් තිසේරා මහතා ප‍්‍රකාශ කළේ කල්පිටිය ප‍්‍රදේශයේ පිහිටි ඉඩම් හයක් බදුදීම සදහා වයඹ පළාත් සභාවේ කැබිනට් මණ්ඩලය වෙත කොළඹින් ඉදිරිපත් කර තිබූ යෝජනාවක් පසුගිය සතියේදී ප‍්‍රතික්ෂේප කළ බවය. අනතුරුව අදහස් දැක් වූ වයඹ පළාත් සභා මන්ත‍්‍රී මන්ත‍්‍රී චින්තක මායාදුන්න සහ වයඹ අධ්‍යාපන ඇමැති සන්ධ්‍ය රාජපක්ෂ යන මහත්වරුන්ද නියාස් මහතාගේ අදහස අනුමත කරමින් අදහස් දැක්වූහ.

නියාස් මහතා වෙත ප‍්‍රතිචාර දක්වමින් අදහස් දැක් වූ වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා , කල්පිටිය ප‍්‍රදේශයේ ඉඩම් බදුදීම සම්බන්ධයෙන් රජය මේ දක්වා වයඹ පළාත් සභාවෙන් ඉල්ලීමක් කර නැතැයි පැවසීය. රජයේ සංවර්ධන කටයුතු සදහා ඉඩම් පවරාගැනීමේදී නම් මිස පුද්ගලික පරිහරණය සදහා ඉඩම් ලබාදීමකදී රජය ඒ පිළිබදව පළාත් සභාව දැනුම්වත් කළ යුතු බවද පැවසීය. ඒ නිසා මේ මන්ත‍්‍රීවරයා විසින් නැගූ චෝදනාව සම්බන්ධයෙන් සොයාබැලීමට කටයුතු කරන බවත්, දැනට රජයෙන් බලහත්කාරයෙන් ඉඩම් පවරාගැනීමක් සිදුනොකරන බවත් ප‍්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එස්. එච්. එම්. නියාස් මහතා වයඹ පළාත් සභා රැස්වීමේදී මේසය මතට නැගී විරෝධය පළකල අයුරු, චින්තක මායාදුන්න සහ සන්ධ්‍ය රාජපක්ෂ යන මහත්වරුන්ද නියාස් මහතාගේ අදහස අනුමත කරමින් අදහස් දැක්වූ අයුරු සහ නියාස් මහතා විසින් සිය විරෝධය පිළිබදව මාධ්‍යට අදහස් දැක් වූ අයුරු පහත ඡායාරූප සහ වීඩියෝ දර්ශණවලින් දැක්වෙයි.

niyas_1

niyas_4

niyas_3

niyas_2



- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article