Thursday, April 18, 2024

අසාධාරණ දඩ සහ කොන්දේසි ඉවත්කරනවා නම් බස් ගාස්තු වැඩිවීමක් එපා !

Must read

rooban_silva

බස් හිමියන් මත පනවා ඇති අසාධාරණ දඩ සහ කොන්දේසි ඉවත් කරන්නේ නම් බස් ‍ගාස්තු වැඩිකිරීමක් අවශ්‍ය නොවන බව සමස්ත ලංකා පුද්ගලික බස්රථ ධාවකයින්ගේ සමාගම් සම්මේලනයේ සභාපති ඒ. රූබන් සිල්වා මහතා කියයි.

සභාපතිවරයා මේ බව පැවසුවේ අනිද්දා සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිත බස් ගාස්තු සංශෝධනය පිළිබදව වයඹ ටුඩේ වෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ. රූබන් සිල්වා මහතා මෙසේද පැවසීය.

‘‘ ඇත්තෙන්ම කියනවා නම් බස් හිමියෝ විදිහට අපි දැන් වැළලිලා ඉන්නේ. බස් තුන හතරක් තියෙන බස් හිමියන්ට ඒවායින් දෙක තුනක් ගෙදර තියාගෙන එක බස් රථයක් විතරක් පාරට දාන තත්වයක් තමයි දැන් උදාවෙලා තියෙන්නේ. අපේ රටේ පුද්ගලික බස් හිමියන්ට දඩ ගහන තුන් කට්ටුවක් ඉන්නවා. පොලිසිය දඩ ගහනවා. පළාත් සභාව වෙනම දඩ ගහනවා. ඒ අතරෙම ජාතික ගමනාගමන කොමිසමත් දඩ ගහනවා. දඩ ගහනවා මදිවාට ඉතාම අසාධාරණ කොන්දේසි ගණනාවක් බස් හිමියන් මත පටවන්නත් ජාතික ගමනාගමන කොමිසම කටයුතු කරලා තියෙනවා. කොමිසමෙන් අපිට දැන් නියෝග කරලා තියෙනවා බස්වලට කැමරා හයිකරන්න කියලා. මීට පෙර සල්ලි ගෙවලා කැමරා සවි කරපු බස් තියෙනවා. ඒවා වැඩ කරන්නේ නැත්නම් තව පාරක් විසිදාහක් ගෙවලා කැමරා සවි කරගන්න කියලා කොමිසම කියනවා. එහෙම කරලත් ඉවරයක් වෙන්නේ නැහැ. ඒ කැමරා සවිකරන කොම්පැනියට අවුරුද්දකට වතාවක් රුපියල් හයදාහ ගාණේ ගෙවලා නඩත්තු වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා නීතියකුත් ගෙනත් තියෙනවා. ඊට අමතරව ජාතික ගමනාගමන කොමිසමට හැම අවුරුද්දකම රුපියල් තුන්දාහ ගාණේ දීලා සිම් කාඩ් එකක් ගන්නත් ඕනෑ. අපි රූට් ෆෝමිට් එක සදහා අවුරුද්දකට රුපියල් තුන්දාහයි. දැන් මේ කැමරාවටයි, සිම් එකටයි ගෙවන රුපියල් නවදාහක අමතර මුදලත් එක්ක රූට් ෆෝම්ට් එක ගන්න විතරක් රුපියල් දොලොස්දාහක් ගෙවන්න වෙලා තියෙනවා. මේ වගේ අනවශ්‍ය වියදම් එක්ක අපි කොහොමද මේ ව්‍යාපාරය කරන්නේ ? කැමරා හයිකරන්න වෙනවාට අපි විරුද්ධ නැහැ. රුපියල් විසිදාහක් හරි දීලා එකපාර මේ කැමරාව සවිකරගන්න අපි ලෑස්තියි. නමුත් අවුරුද්දෙන් අවුරුද්ද සල්ලි ගෙව ගෙවා ඒ කැමරාව අලුත් කරන්න ඕනෑ කියලා ගෙනත් තියෙන නීතිවලටයි අපි විරුද්ධ. දැන් කොමිසමෙන් අපිට සිම් එකක් නිකුත් කරනවා රුපියල් තුන්දාහකට. ජංගම දුරකථන සිම් එකක් කඩේකින් රුපියල් සීයට ගන්න පුලුවන්කම තියෙද්දී හැම අවුරුද්දෙම රුපියල් තුන්දාස් පන්සීය ගාණේ දීලා කොමිසමෙන් සිම් එකක් ගන්න කියලා බස් හිමියන්ට කියනවා. මෙන්න මේවාටයි අපි විරුද්ධ වෙන්නේ. බස් හිමියන්ගේ සාක්කුවේ රුපියල් පනහක් තියෙනවා නම් ඒකෙන් හතලිහක් උදුරාගන්න තමයි ජාතික ගමනාගමන කොමිසම හැම වෙලාවකම උත්සාහ කරන්නේ.

ජාතික ගමනාගමන කොමිසමෙන් හදලා තියෙන අලුත් නීතිරීතිවලට අනුව මගේ දරුවෙක් දීග යද්දී මගේ බස් එක දෑවැද්දට දෙන්න බැරි තත්වයක් දැන් උදාවෙලා තියෙනවා. ඉස්සර රුපියල් තුන්දාහක් ගෙවලා ඕන කෙනෙකුට බස් එකක් පවරලා දෙන්න පුලුවන් විදිහට හදලා තිබුණු නීති වෙනස් කරලා දැන් බස් එකක් පවරවනවා නම් එක අවුරුද්දකට රුපියල් පහලොස්දාහ ගාණේ ගෙවන්න ඕනෑ කියලා නීතියක් ගෙනල්ලා. මොකක්ද මේ නීතියේ තේරුම ? ඒ පහලොස් දාහයි, කැමරාවට හයදාහයි, සිම් එකට තුන්දාහයි, ලොග් ෂීට් එකට මාසෙකට දාහයි, පිවිසුම් පොතට දාහයි, බස් එකේ ෆිට්නස්වලට කියලත් තව පන්සියයක් ගන්නවා. කොහොමද බස් හිමියා මේ සියල්ලම දරාගන්නේ. මේ දඩයි, ගාස්තුයි ගෙවන අතරේ සේවක පඩිනඩි, ලීසිං, ටයර්, සර්විස්, අමතර කොටස් මිල ඇතුලූ බස් කර්මාන්තයේ සමස්ත පිරිවැය ඉහළ ගිහින් තියෙනවා. බස් හිමියන්ට මේ කර්මාන්තය එපා වෙන තැනට කටයුතු සිද්ධවෙලා තියෙනවා. ඒ නිසා බස් හිමියන් මත පටවලා තියෙන මෙවැනි අසාධාරණ දඩ සහ කොන්දේසි ඉවත් කරනවා නම් බස් ගාස්තු වැඩිකිරීමක් අපිට එපා. ’’ යැයි හෙතෙම පැවසීය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article