Thursday, March 28, 2024

අත්තංගනේ සාසනරතන නාහිමියෝ රාමඤ්ඤ නිකායේ ලේඛකාධිකාරී තනතුරට.

Must read

Attangane_sasanarathana_ thero

ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව ලේඛකාධිකාරී තනතුරට කුලියාපිටිය දියකලමුල්ල ශ‍්‍රීපති පරිවේනාධිපති, හිටපු නියෝජ්‍ය සඤ්ඤා ලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ සාසනරතන නාහිමියෝ පත්කරනු ලැබ සිටිති.

පසුගිය සිකුරාදා (23 දා) නාරාහේන්පිට ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මූලස්ථානයේදී නාපාන පේමසිරි මහානායක මාහිමිපාණන්වහන්සේ ඇතුලු පාලක කාරක සංඝසභික ස්වාමින් වහන්සේලාගේ සහභාගීත්වයකින් පැවති ඡන්ද විමසීමකින් අනතුරුව හිටපු මහලේකම් මාතලේ ධම්මකුසල හිමියෝ අනුනායක පදවියෙන් පිදුම් ලැබුවායින් අනතුරුව පුරප්පාඩුවූ එම මහාලේකම් තනතුරට සාසනරතන හිමියෝ පත්වූහ.

වර්ෂ 1955 දී උපත ලද එහිමියෝ 1968දී වෙරලූගම රතනජෝති මාහිමිපාණන්වහන්සේගේ ශිෂ්‍යයෙකු වශයෙන් උතුම් ප‍්‍රවෘජාභූමියට පත්ව 1974දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබාගන ඇත. ප‍්‍රාචීන හා විශ්වවිද්‍යාලයන්ගෙන් ශාස්ත‍්‍රපති පණ්ඩිත හා ත‍්‍රිපිටක විශාරද උපාධි හිමිකරගන එතැන් පටන් ප‍්‍රදේශයට අනූපමේය ශාසනික හා සමාජයීය සේවයක් සිදුකරමින් 1980 වසරේදී ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ප‍්‍රාදේශීය සංඝ සභාවේ ලේඛකාධිකාරී තනතුර ලැබ ජාතික සාසනික මෙහෙවරට පිළිපන් උන්වහන්සේ 1996 වසරේදී නිකායේ පාලක සංඝසභාවටත් 2003 වසරේදී කාරක සංඝසභාවටත් තේරීපත්වූහ.

නිකායේ ශාසනික ගැටලු පසිදලීම පිණිස ක‍්‍රියාත්මක පරියාප්ති සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී තනතුර වර්ෂ 2007 පටන් හෙබවූ උන්වහන්සේ 2011 වසරේදී නිකායේ උත්තරීතර තනතුරක් වූ නියෝජ්‍ය සඤ්ඤාලේඛකාධිකාරී තනතුරට පත්කෙරිණ. නිකායික භික්‍ෂුවගේ විනය ප‍්‍රඥප්තිය හා අධිකරණමය කටයුතු භාරව කටයුතුකරන උපරිමානුවිජ්ජක මණ්ඩලයේ සාමාජිකත්වය 2015දී ලද උන්වහන්සේ ඒ හාසම්බන්ධව නිකායේ මහානායක මාහිමිපාණන්වහන්සේගේ අනුශාසනා අනුව කැපීපෙනෙන මෙහෙයක් ඉටුකළහ. එමෙන්ම දෑ වසරක් පාසා සිදුකරණ නිකායේ උපසම්පදා පූජෝතසව හා රාජ්‍ය මහෝත්සවයන්ගේ බර කරටගෙන කටයුතුකරන ස්වාමින්වහන්සේ නමක් වශයෙන් උන්වහන්සේ කා අතරත් ප‍්‍රකටය.

තරුණ අවධියේ පටන් ශික්‍ෂාකාමී භික්‍ෂුවක් ලෙස ආදර්ශ සම්පන්නව ප‍්‍රදේශයට මෙන්ම ජාතික සාසනික සේවයට මාහැගි මෙහෙවරක් සිදුකළ උන්වහන්සේ විදෙස් ධර්මප‍්‍රචාරක කටයුතුවලටද මහත්වූ සේවයක් කර ඇත. ඇමරිකාව, කාම්බෝය, ලා ඕසය, සිංගප්පූරුව, චීනය, තායිලන්තය, ඇතුලු රටවල් ගණනාවකම ධර්ම ප‍්‍රචාරක කටයුතුවල නිරතවූ උන්වහන්සේ අදටත් සිය ප‍්‍රිය ශිෂ්‍ය ආචාර්ය සූරක්කුලමේ පෙමරතන, ශාස්ත‍්‍රපති දේවාලහන්දියේ සෝමරතන ස්වාමීන්වහන්සේලා ඇමරිකාවේ පීටර්සබර්ග් විහාරයේ හා සිංගප්පූරුවේ ධර්මායතනයේ එම කටයුත්තේ යොදවා ඇති අතර මෙරට සාසනික සේවයටද විශාල භික්‍ෂු පරපුරක් දායාදකොට ඇත.

අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් උපදේශකවරයෙකු වශයෙන් කටයුතුකරන උන්වහන්සේ ඊට අමතරව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ජාතික බෞද්ධ බුද්ධිමණ්ඩලයේ ප‍්‍රධාන උපදේශක ස්වාමීන්වහන්සේ නමක්ද වේ. ශ‍්‍රී ලංකා භික්‍ෂු විෂ්වවිද්‍යාලයේ උත්තරීතර මණ්ඩලයද නියෝජනයකරන උන්වහන්සේ බුද්ධශාසන අමාත්‍යංශයේ උපදේශකක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකුද වශයෙන් උන්වහන්සේ මේ වනවිටත් කටයුතු කරමින් සිටිති.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article