Friday, April 19, 2024

කිරිදිගල්ලේ කිරි අම්මලා මැරූ මස්වැද්දෝ නොච්චියාගමදී අල්ලති.

Must read

kirindigalla _ cows_ update

ඉබ්බාගමුව, කිරිදිගල්ල ප්‍රදේශයේ පිහිටි වත්තක තණ උලාකමින් සිටි කිරි ගවයින් අට දෙනෙකු, ඉකුත් 23 දා රාත්‍රියේදී එම ස්ථානයේදීම ඝාතනය කර මස් පැහැරගෙන යාමට සම්බන්ධ බව කියන මස් වැද්දන් දෙදෙනෙකු නොච්චියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමග එම සාහසික අපරාධයේ සුලමුල මේ වන විට අනාවරණය වී තිබේ.

මොවුන් විසින් මෙලෙස ගවයින් ඝාතනය කර ලබා ගන්නා මස්, දෙහිවල සත්වෝද්‍යානයට මස් සැපයීමේ කොන්ත්‍රාත්තුව භාරගෙන සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචි සැපයුම්කරුවෙකුට අලෙවි කර ඇති බවද, සුඛෝපභෝගී වෑන් සහ ජීප් රථ යොදාගනිමින් කලක් තිස්සේ මෙම පිරිස ගව මස් ජාවාරම කරගෙන ගොස් ඇති බවද නොච්චියාගම පොලිසිය කියයි.

ගව ඝාතන සදහාම විශේෂයෙන් සැකැසූ තියුණු මුවහත සහිත කුඩා පිහි කිහිපයක් සහ ජංගම දුරකථන කිහිපයක්ද පොලිසිය විසින් සැකකරුවන් සන්තකයේ තිබියදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු හිටපු අමාත්‍යවරයෙකුගේ මස්සිනා කෙනෙකු බවත්, මෙම ගව ඝාතනවලට සම්බන්ධ තවත් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිසිය කියයි.

නොච්චියාගම, රාජාංගණය, කහටගස්දිගිලිය, කැබිතිගොල්ලෑව, පුත්තලම, කටුපොත, දුම්මලසූරිය සහ හෙට්ටිපොල යන ප්‍රදේශවල පසුගිය සමයේදී සිදු වූ ගව ඝාතන සහ ගව සොරකම් අපරාධ 18 ක් සිදුකර ඇත්තේ මෙම කල්ලිය විසින් බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. ඒ අනුව මෙම ජාවාරමුන් විසින් එම ප්‍රදේශවල සිටි කිරි ගවයින් 52 දෙනෙකු මරා මස් පැහැරගෙන ගොස් ඇති බවද හෙළි වී තිබේ.එක් දිනකට කිලෝග්‍රෑම් 2000 ක පමණ විශාල මස් ප්‍රමාණයක් සතුන් වත්තට අවශ්‍යවීම නිසා බේරුවල සැපයුම්කරුගේ අවශ්‍යතාවය සැපිරීම පිණිස ගව ඝාතන සිදුකර ඔහු වෙත මස් සපයා දුන් බවද අත්අඩංගුවට ගත් ජාවාරමුන් හෙළිකර තිබේ.

වැව් පිටි, වෙල්යායවල් සහ පොල්වතු වැනි ස්ථානවල බැද සිටින ගවයින් සහ එම ස්ථානවලට ළගාවිය හැකි මාර්ග පිළිබදව පස්වරු කාලයේදී තොරතුරු රැස්කරගන්නා මෙම ජාවාරමුන් අලුයම් කාලයේදී එම ස්ථානවලට පැමිණ ගවයින් මරා දමන බව අනාවරණය වී තිබේ. ගවයින් මස් කිරීම පිළිබද මනා පළපුරුද්දක් සහිත මෙම කල්ලිය සතුන් මස් කිරීමට විශාල ප්‍රමාණයේ ආයුධ භාවිතා නොකරන බවත්, ඔවුන් සතු තියුණු මුවහත සහිත කුඩා පිහි යොදාගනිමින් , ජංගම දුරකථනවල ආලෝකය ආධාරයෙන් එම කාර්යය සිදුකරන බවද පොලිසිය හෙළි කරගෙන තිබේ. විනාඩි 15 – 20 ක් වැනි කෙටි කාලයකදී ගවයෙකු මරා මස්කිරීමේ හැකියාව ඇති මෙම කල්ලිය ගවයින්ගේ කුර කොටස් සහ අතුණුබහන් කොටස් ඉවත් කර ගව සිරුර කොටස් දෙකකට හෝ තුනකට කපා වාහනවලට පටවාගෙන පලාගොස් ඇති බවද පොලිසිය කියයි.

නොච්චියාගම, අඹගහහගම ප‍්‍රදේශයේ වැව් පිටියක තණ උලාකෑම සදහා බැද සිටි ගවයින් දසදෙනෙකු පසුගිය 20 වැනිදා රාත‍්‍රියේදී මරා මස් පැහැරගෙනයාම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ නොච්චියාගම පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු අනුව රජරට ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක වූ මෙම මහා පරිමාණ හොර හරක් ජාවාරමේ සුලමුල හෙළිකරගැනීමට සමත් වී තිබේ.

මූලාශ්‍රය – ජනයුගය පුවත්පත

පෙර පුවත 

කිරිදිගල්ලේ වත්තක බැද සිටි කිරි ගවයින් අට දෙනෙකු මරා මස් රැගෙන ගිහින් ! ( VIDEO)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article