Saturday, April 20, 2024

රොබට්හිල් වතු බංගලාවෙන් මතු වූ උණ්ඩ සමග යළි අවදි වූ කොටිකාපොල ත්‍රිත්ව ඝාතනයේ අදුරු මතක.

Must read

kotikapola_ wepons

මාවතගම, කොටිකාපොල, රොබට්හිල් වතු බංගලාවේ සිවිලිමෙහි සගවා තිබියදී පෙරේදා සොයාගත් අත් බෝම්බ, ජීව උණ්ඩ ඇතුලු පුපුරණ ද්‍රව්‍ය තොගය 2005 වසරේදී එම ගම්මානයේදී සිදු වූ ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතන සදහා යොදාගැනීමෙන් පසුව ඉතිරි වූ ඒවාදැයි අනාවරණය කරගැනීම සදහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

2005 වසරේ මැයි 14 වැනිදා රාත්‍රියේ කොටිකාපොල ප‍්‍රදේශයේ නිවසකට කඩාවැදුණු ආයුධ සන්නද්ධ කල්ලියක් විසින් එහි නිවැසියන්ට බෝම්බ ගසා වෙඩි තැබීම හේතුවෙන් එම නිවසේ සිටි අඹුසැමි යුවළක් සහ ඇතුලු එකම පවුලේ ඥාතිහු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරවලට ලක් වූ එම පවුලේ ඥාතිවරයෙකු දිවිගලවා ගැනීමට සමත් වූ නමුත් හෙතෙමද මේ වනවිට පූර්ණ ආබාධිත තත්වයට පත්ව සිටී.

මෙලෙස අමානුෂික ලෙස ඝාතනය කෙරුණේ එවකට වයඹ පළාත් සභා මන්ත්‍රීනි කුමාරි ඒකනායක මහත්මියගේ සහෝදරයෙකු වන ධනංජය ඒකනායක මහතා , ඔහුගේ බිරිය වූ ප්‍රියංකා විජේසිංහ මහත්මිය සහ ඒකනායක පවුලේම තවත් සමීපතම ඥාතිවරයෙකු වූ කේ.එම්. කරුණාතිලක මහතායි. ධනංජය ඒකනායක මහතා ඔහුගේ අනෙක් ඥාතින් දෙදෙනාද සමග තම නිවසේ ඉදිරිපස කොටසේ වාඩි වී සුහද කතාබහක යෙදී සිටියදී එම ස්ථානයට කඩා වැදුණු සාහසිකයින් ඔවුන් වෙත අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව දිගට හරහට වෙඩි තබා තිබේ. වෙඩි හඩ ඇසුණු ප්‍රියංකා විජේසිංහ මහත්මිය තම සැමියා සිටි ස්ථානයට දිවගෙන පැමිණ ඇති අතර ඝාතකයින් ඇය වෙතටද වෙඩි වරුසාවක් එල්ල කර තිබිණි. කෙසේවෙතත් තම සැමියා සිටි ස්ථානයට පැමිණීමට පෙර නිවස තුළ සිටි දරුවන් තිදෙනා යාබද නිවසට යැවීමට විජේසිංහ මහත්මිය විසින් කටයුතු කිරීම නිසා දරු තිදෙනාගේ දිවි බේරී තිබිණි. මෙම ත‍්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් ලෙස එකල රොබට්හිල් වත්තේ වතු පාලකවරයෙකු ලෙස කටයුතු කළ අයෙකු සහ ඔහුගේ සොහොයුරෙකු නම් කර තිබිණි. මෙම ත්‍රිත්ව ඝාතන සිද්ධියෙන් දින කිහිපයකට පසුව රොබට්හිල් වත්තේ පොල් ගොඩක් තුළ සගවා තිබූ අත්බෝම්බ කිහිපයක් සහ ජීව උණ්ඩ තොගයක්ද පොලිසිය විසින් එම දිනවලදී සොයාගනු ලැබූ නමුත් ඝාතනය සදහා යොදාගත් ගිනි අවිය අද දක්වා හමු නොවීම විශේෂත්වයකි. මෙම ත්‍රිත්ව ඝාතනයට අදාල නඩුව දිගු කලක් තිස්සේ පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වූ අතර අදාල ඝාතන සිද්ධිය ඇසින් දුටු එකම සාක්ෂිකාරිය වූයේ ධනංජය ඒකනායක මව වූ කුසුමා ඒකනායක මහත්මියයි. ඇයද පසුකලෙක අභාවප්‍රාප්ත වීමත් සමග නඩුව ඉදිරියට ගෙනයාමට තරම් ප්‍රබල සාක්ෂි නොවූ අතර ඝාතනවල විත්තිකරුවන් ලෙස නම් කර සිටි වතු පාලකවරයා සහ ඔහුගේ සොහොයුරා අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

අදාල ඝාතන සිද්ධිය වූ දිනවලදී , පුපුරණ ද්‍රව්‍ය හමු වූ අදාල වතු බංගලාවේ පදිංචිව සිට ඇත්තේ ත්‍රිත්ව ඝාතන සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම්කර සිටි වතුපාලකවරයා බව කියැවෙයි. අදාල සිදුවීමෙන් පසුව වතු හිමිකරු විසින් ඔහුව සේවයෙන් පහකර ඇතත් පසුකලෙක ඔහු නැවත සේවයේ පිහිටුවීම හේතුවෙන් අදාල වතු පාලකවරයා මෙම නිවසට නිතර ආගිය බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වි තිබේ.

අක්කර සියයක පමණ වපසරියකින් යුත් රොබට්හිල් වත්තේ බංගලාවේ සිවිලිමෙහි සගවා තිබියදී පහත සදහන් පුපුරණ ද්‍රව්‍ය සහ හමුදා උපකරණ සොයාගැණිනි.

01. ජී පී එම් ජී ජීව උණ්ඩ 46 ක් සහ හිස් උණ්ඩ 18 ක්,
02. ටී 56 අවි සදහා යොදාගන්නා ජීව උණ්ඩ 67 ක් , පුහුණු උණ්ඩ 156 ක් සහ මැගසින් 4 ක්,
03. ජීව අත් බෝම්බ 3ක්,
04. එම් පී එම් ජී ජීව උණ්ඩ 33 ක්,
05. එම් 16 ජීව උණ්ඩ 27 ක්,
06. පිස්තෝල උණ්ඩ ඇසුරුම් දෙකක්,
07. මිලි මීටර් 9 ජීව උණ්ඩ 41 ක්,
08. මිලි මීටර් 38 ජීව උණ්ඩ 38 ක්,
09. එස් ජී බෝර 16 උණ්ඩ 04,
10. මිලි මීටර් 69 ජීව උණ්ඩ 07 ක්,
11. මිලි මීටර් 45 ජීව උණ්ඩයක්,
12. පුහුණු පිස්තෝල උණ්ඩයක්,
13. යුද හමුදා ලෝහ හිස්වැසුමක් (හෙල්මටයක්),
14. යුද හමුදා ටී ෂර්ට් එකක්,
15. මැගසින් පැළදීම සදහා යොදාගන්නා පූචස් 01 ක්,
16. රාත‍්‍රි කාලයේදී සංඥා නිකුත් කිරීමට යොදාගන්නා පැරා ලයිට් දෙකක්

තම නිවසේ තිබූ මෙම අවි ආයුධ තොගය පිළිබදව වයඹ ටුඩේ වෙත අදහස් දැක්වූ නිවසේ හිමිකරු අනිල් කුරේ මහතා මෙසේ පැවැසීය. ‘‘ මේ ආයුධ දැක්ක ගමන් මම හිතුවා මේවා ආමි එකට හෝ පොලිසියට අයිති ආයුධ තමයි මේ කියලා. මම ඒ ගමන්ම පොලිස් හදිසි ඇමැතුම් අංශයට සහ මාවගතම පොලිසියට මේ ගැන දැනුම්දුන්නා. මම ඇමරිකාවේ හිටපු කාලේ මගේ අයියා කෙනෙකුට තමයි මේ ගෙදර බලාගන්න භාරදීලා තිබුණේ. මේ ආයුධ කාගේ ඒවාද ? ඒවා කොහොම මෙතැනට ආවාද කියලා කිසිම දෙයක් මම දන්නේ නැහැ. ඒ නිසා මේකේ සුලමුල හොයලා දෙයි කියලා මමත් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා. ’’යැයි පැවැසීය.

රොබට්හිල් වත්තේ හිමිකරු වන අනිල් කුරේ මහතා වසර එක හමාරකට අධික කාලයක් විදේශ ගත වී සිට මීට දින කිහිපයකට පෙර තම නිවසට ආපසු පැමිණ තිබේ. තමා නිවසේ ගතකළ රාත‍්‍රි කිහිපයේදීම නිවසේ සිවිලිමෙන් යම් යම් ශබ්ද ඇසීම හේතුවෙන් සිවිලිම පිළිසකර කිරීම සදහා සේවකයින් දෙදෙනෙකු යෙදවීමට අනිල් කුරේ මහතා විසින් පෙරේදා උදෑසන කටයුතු කර තිබේ. සිවිලිම පිලිසකර කිරීමට වහලයේ ඇස්බැස්ටස් තහඩු ඉවත් කළ සේවකයින්ට සිවිලිමේ සගවා තිබූ පොලිතින් මල්ලක් හමු වී ඇති අතර අනිල් කුරේ මහතාගේ දැනුම්දීමට අනුව එය විවෘත කර බැලීමේදී එතුල තිබූ පතරොම් පෙට්ටියක් සේවකයින්ට හමු වී තිබේ. පසුව අනිල් කුරේ මහතා විසින් තම නිවසේ සිවිලිමේ ඇති පුපුරණ ද්‍රව්‍ය බෑගය පිළිබදව මාවතගම පොලිසියට සහ පොලිස් හදිසි ඇමැතුම් ඒකකයට දැනුම් දී තිබේ. ඒ අනුව පිලැස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයක්ද සහිතව එහි පැමිණි රත්ගල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරිහු විසින් සිවිලිමේ තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගය සහිත බෑගය එතැනින් ඉවත් කරගෙන පහළට ගෙන එනු ලැබූහ.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරිහු විසින් පෙරේදා පස්වරුවේ මෙම නිවස සහ රොබට්හිල් වත්ත පුඵල් සෝදිසියකට ලක්කළහ. සොයාගත් අවි ආයුධ කොටිකාපොල ත‍්‍රිත්ව ඝාතන සිද්ධියේ සැකකරුවන් විසින් භාවිතා කළ ඒවාදැයි එසේ නැතිනම් සංවිධානාත්මක අපරාධයක් සිදුකිරීමේ අරමුණින් එම නිවසේ සගවා තිබුණේදැයි අනාවරණය කරගැනීම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවමින් සිටිති.

kotikapola_ wepons_2

kotikapola_ wepons_5

kotikapola_ wepons_6

kotikapola_ wepons_3

kotikapola_ wepons_4

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article