Thursday, March 28, 2024

ආණ්ඩුවේ හොද නරක ගැන අශෝක් සහ රන්ජන් බුකි සටනක !

Must read

ayg_2017_07_13

ගල්ගමුව රෝහලේ විවෘතය – අද නොවේ හෙට !

ගල්ගමුව රෝහලේ නව වාට්ටු සංකීර්ණය විවෘත කිරීම පසුගිය සතියේදී තෙවැනි වතාවටත් කල්ගියේය. ජනපති මෛත‍්‍රීගේ අතින් ගල්ගමුව රෝහල විවෘතවීමට නියමිතව තිබුණේ පසුගිය 06 වැනි බ‍්‍රහස්පතින්දාය. නමුත් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න එදින පාර්ලිමේන්තුවේ රැදී සිටීම අනිවාර්ය වී තිබීම හේතුවෙන් තමන්ට උත්සවයට සහභාගිවීමට නොහැකි බව උත්සවයකට දින කිහිපයකට පෙර රාජිත විසින් දැනුම් දී තිබිණි. රාජිතගේ එම පණිවිඩයත් සමග ගල්ගමුව රෝහල විවෘත කිරීම දින නියමයක් නොමැතිවම තවත් වතාවක් කල් ගියේය. මීට පෙරත් අවස්ථා දෙකකදී ජනපතගේ අතින් විවෘත කිරීමට සූදානම් කෙරුණු ගල්ගමුව රෝහල නියමිත පරිදි විවෘත කළ නොහැකි වූයේ යම් යම් හේතු මත එම උත්සව දෙකද අවලංගු කිරීමට සිදුවීම හේතුවෙනි. පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයත් හදිසියේ අවලංගු කිරීමට සිදුවීමෙන් වයඹ සෞඛ්‍ය අමාත්‍යංශය අලි අමාරුවක වැටී තිබිණි. අදාල උත්සවය වෙනුවෙන් සැකැසූ ආරාධනාපත් මුද්‍රණය කර ආරාධිතයින්ට වෙත යවන්නට වයඹ සෞඛ්‍ය අමාත්‍යංශය ඒ වනවිට කටයුතු කර තිබූ අතර විවෘත කිරීමේ උත්සවයට අදාල පහසුකම් සපයාගැනීම ඇතුලු එහි සංවිධාන කටයුතුවලින් වැඩි ප‍්‍රමාණයක්ද ඒ වනවිට අවසන් වී තිබිණි. උත්සවය ඉදිරි දිනයක් සදහා කල්ගිය බව දන්වමින් ආරාධිතයින්ට මෙන්ම උත්සවය සදහා පහසුකම් සැපයීමට භාර දී තිබූ පිරිස් වෙතද දැනුම්දෙමින් තවත් දුරකථන ඇමැතුම් වටයක් ගන්නට අමාත්‍යංශ නිලධාරින්ට සිදු වී තිබිණි.

ජනපතිගේ උත්සවයෙන් මොහාන්ට කැපිල්ලක්.

ගල්ගමුව රෝහල විවෘත කිරීම කල්ගියත් ඊට සමගාමීව සැලසුම් කර තිබූ තවත් උත්සවයක් සදහා ජනපති මෛත‍්‍රී පසුගිය බ‍්‍රහස්පතින්දා ගල්ගමුවට ආවේය. ගල්ගමුව වාරිමාර්ග අභ්‍යාස ආයතනය, අන්තර්ජාතික වාරිමාර්ග අභ්‍යාස ආයතනයක් බවට පත්කරමින් එම භූමියෙහි අභිනවයෙන් ඉදි වූ නව පරිපාලන ගොඩනැගිල්ල ජනපති මෛත‍්‍රී අතින් එදින විවෘත කෙරිණි. මැති ඇමැතිවරු රැසක් උත්සවයට සහභාගි වී සිටි නමුත් උත්සව සභාව ඇමැතීමේ අවස්ථාව ලැබී තිබුණේ විෂය භාර අමාත්‍යවරුන් ලෙස විජිත් විජයමුණි සොයිසා , පාලිත රංගේ බණ්ඩාරට සහ ගල්ගමුව ආසනය වෙනුවෙන් නියෝජ්‍ය ඇමැති තාරානාත් බස්නායකට පමණි. ගල්ගමුවේ ශ‍්‍රීලනිප සංවිධායකවරයා ලෙස නියෝජ්‍ය ඇමැති තාරානාත්ට වැඩි සැලකිලි ලැබීමත්, එජාප සංවිධායකවරයා වන තමන්ට කුඩම්මාගේ සැලකිලි ලැබීමත් පිළිබදවත් උත්සවයට සහභාගි වි සිටි වයඹ පළාත් සභා මන්ත‍්‍රී මොහාන් පෙරේරා සිටියේ නොසතුටිනි. ‘‘මේ උත්සවයේ සංවිධාන කටයුතු ගැන රංගේ බණ්ඩාර ඇමැතිතුමායි, විජිතමුනි සොයිසා ඇමැතිතුමායි එක්ක ගල්ගමුවේ වාරිමාර්ග කාර්යාලයේදී සාකච්ඡාවක් තිබුණා. එතැනදී ජනාධිපතිතුමාගෙයි, රංගේ බණ්ඩාර ඇමැතිතුමාගෙයි, විජිතමුනි සොයිසා ඇමැතිතුමාගෙයි, ගල්ගමුවේ සංවිධායකවරු දෙන්නා විදිහට තාරානාත්ගෙයි, මගෙයි පොටෝ ස්ටේජ් එකට දාන්නයි, ඒ අයටම කතා දෙන්නයි, ඒ නම් ටිකම සමරු ඵලකයට දාන්නයි තීන්දුවකට ආවා. අන්තිමට උත්සවේ දවසේ මගේ පොටෝ එකයි, නමයි හැම තැනකින්ම හැලිලා. මම ස්ටේජ් එකෙත් නැහැ, ඵලකෙත් නැහැ, අන්තිමට මට කතාවකුත් නැහැ. උත්සවයට සෙනග දාහ දෙදාහ ගේන්නම් කියලා එදා පොරොන්දු වුණු අය මිනිස්සු දෙසියක්වත් ගෙනැත් හිටියේ නැහැ. උත්සවයේ හිටියේ අපි ගෙනාව යූඇන්පි කාරයෝ ටිකයි, අපේ මන්ත‍්‍රීවරු ටිකයි විතරයි. සෙනග දෙසියක් ගෙනාපු තාරනාත්ට කතාවක් ලැබෙද්දී උත්සවයට සෙනග ගෙනාපු මට කතාවකුත් නෑ. පහුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමා ගල්ගමුවෙන් දිනෙව්වේ අපි. එතකොට තාරානාත්ලා හිටියේ මහින්ද එක්ක. අන්තිමට මෛත‍්‍රී දිනවපු අපට මොකුත් නැහැ. මෛත‍්‍රී පරද්දන්න වැඩකරපු මිනිස්සුන්ට ඔක්කොම තියෙනවා. මේ වෙච්ච අසාධාරණය ගැන නම් මම කටපියාගෙන ඉන්නේ නැහැ. අගමැතිතුමාටයි, ජනාධිපතිතුමාටයි මම මේ ගැන ලියනවා. ’’උත්සවය අවසන්වීමෙන් පසුව මොහාන් තම මන්ත‍්‍රී කණ්ඩායම සමග කීවේය.

එම විවෘත කිරීමේ උත්සවයේ සංවිධාන කටයුතු භාරව සිටි පිරිස් විසින් ජනපති මෛත‍්‍රීගේ ඇස රවටනු පිණිස කර තිබූ තවත් අපූරු වැඩක් පිළිබදව ගල්ගමුවේ ජනතාව තවමත් කතාකරමින් සිටිති. උත්සව දිනය එළැඹෙන තුරුම වාරිමාර්ග අභ්‍යාස ආයතනයට පිවිසෙන ප‍්‍රධාන දොරටුවෙහි වැඩ අවසන් කිරීමට එහි ඉදකිරීම් භාරගත් ශිල්පීන්ට නොහැකිවීමෙන් උත්සවයට දෙතුන් දිනක් තිබියදීත් එය තිබුණේ අඩක් ඉදි වූ ගමන්ය. අඩක් ඉදිකළ දොරටුවේ අවලස්සන මැකීම සදහා උත්සව සංවිධායකයින් විසින් අපූරු උපක‍්‍රමයක් යොදාගෙන තිබිණි. පිවිසුම් දොරටුව සැකසීමට යොදාගෙන තිබූ ගල් කැබැලිවල රටාවට අනුවම ඩිජිටල් මුද්‍රණ පුවරු සකසාගත් සංවිධායකයින් පිවිසුම් දොරටුවේ අඩුව එම මුද්‍රණ පුවරුවලින් සම්පූර්ණ කළහ. උත්සවය අවසන්වන තෙක් ඩිජිටල් මුද්‍රණ පුවරුවල පිහිටෙන් විරාජමානව වැජඹුණු පිවිසුම් දොරටුව උත්සවය අවසානයේදී එහි තිබූ සැරසිලි ගැලැවීයාමත් සමග පෙර පැවැති තත්වයටම පත්විය. වාරිමාර්ග අභ්‍යාස ආයතනයේ දොරටුව පසුකර යන කවරෙකුගේ වුවද මුවගට දැන් සිනාවක් නැ‍ගෙන්නේ ජනපති පැමිණි දිනයේදී සහ අද වනවිට එම දොරටුවේ පවතින වෙනස දැකීමෙනි. රුවන්වැලිමහා සෑයේ වැඩ අවසන් වී තිබෙනු දකින්නට කැමැති වූ දුටුගැමුණු රජුට සද්ධාතිස්ස කුමරුන් විසින් සුදු රෙදි එල්ලා සෑය සම්පූර්ණ කර පෙන්වූවා සේ වාරිමාර්ග අභ්‍යාස ආයතනය විවෘත කරන්නට ආ ජනපති මෛත‍්‍රීට එහි දොරටුව ඩිජිටල් මුද්‍රණ එල්ලා සම්පූර්ණ කර පෙන්වීමට උත්සව සංවිධායකයින් විසින් කටයුතු කළ බව දැන් ගල්ගමුවේදී මෙන්ම ඒ අවට ගම්වලදීත් සුලබව අසන්නට ලැබෙන කතාවකි.

රාජ්‍ය වෙසක් මහෝත්සවය – ලබන වසරේ කුරුණෑගලට.

ජාතීන් අතර සංහිදියාව ඇති කිරීම අරමුණු කරගනිමින් සංවිධානය වී තිබූ තරමක වෙනස් මුහුණවරකින් යුත් ශීල ව්‍යාපාරයක් මාවතගමදී පැවැත්වුණේ පසුගිය ඇසල පොහෝ දිනයේදීය. මාවතගම ප‍්‍රදේශයේ ප‍්‍රකට ව්‍යාපාරිකයෙකුට අයත් හෝටලයකදී පැවැති මෙම ශීල ව්‍යාපාරයට භික්ෂූන් වහන්සේට අමතරව, අනෙකුත් ආගමික නායකයින්ද සහභාගි වී සිටීම විශේෂත්වයක් විය. පෙහෙවස් සමාදන් වී සිටි බෞද්ධයින්ට දන් පිළිගැන්වුණේද ඉස්ලාම් සහ හින්දු භක්තිකයින්ගේ අතිනි. වයඹ ආණ්ඩුකාර අමරා පියසීලි මෙන්ම වයඹ පළාත් සභා මන්ත‍්‍රී අජිත් රෝහණද එදින එම ස්ථානයේදී සිල් සමාදන් වී සිටියහ. විනෝදකාමී චරිතයක් ලෙස ප‍්‍රකටව සිටින මන්ත‍්‍රී අජිත් රෝහණ උතුරු සඵවක්ද පොරවාගෙන පෙහෙවස් සමාදන් වී සිටින අයුරු තරමක වෙනස් දසුනක් බවට පත් වී තිබිණි. මන්ත‍්‍රී ජේ. සී. අලවතුවලගේ ඇරැයුමින් අධිකරණ සහ බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂද මෙම සුවිශේෂි කටයුත්ත දැකබලා ගැනීමට මාවතගමට තිබූ අතර එම කාර්යය විජයදාසගේ පැසසුමටද ලක්විය. ‘‘ඇමැතිතුමා, ඊළග අවුරුද්දේ රාජ්‍ය වෙසක් උත්සවය කුරුණෑගලට දෙන්න බැරිද ? ’’අලවතුවල කල්යල් බලා විජයදාසගෙන් ඉල්ලීමක් කළේය. ‘‘ ඒක හොද අදහසක්. හොදට ඉඩකඩ තියෙන කුරුණෑගල පැත්තේ පන්සලක් බලන්න. අපි 2018 වෙසක් උත්සවය එතැන කරමු. ’’ විජයදාස කීවේය.

රන්ජන් අසයි – අශෝක් කියයි.

අමුතු වැඩ කරන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අතර නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායකට හිමිවන්නේ මුල් තැනකි. ඇමැති රන්ජන් පසුගිය අගහරුවාදා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ තවත් අපූරු වැඩක් කර තිබිණි. තමන්ද කොටස්කරුවෙකු වන වත්මන් ආණ්ඩුවේ හොද නරක ගැන, ආණ්ඩුවේම තවත් නියෝජ්‍ය ඇමැතිවරයෙකු රන්ජන් විසින් සම්මුඛ සාකච්ඡාවකට ලක්කරන වීඩියෝ සංවාදයක් සිය ෆේස්බුක් ගිණුමට ඔස්සේ මුදාහැරීමට ඔහු එදින කටයුතු කර තිබිණි. තමන්ට උත්තර බදිනු පිණිස රන්ජන් විසින් එදින අල්ලාගෙන තිබුණේ නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහය. රන්ජන් මෙම සංවාදය සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණේ පසුගිය අගහරුවාදා වුවත්, අදාල සංවාදය සැබැවින්ම සිදු වී තිබුණේ ඊට සතියකට පමණ පෙරදීය. නියෝජ්‍ය ඇමැති අශෝක් ඉකුත් 05 වැනි බදදා සමාජ සුබසාධන සහ සවිබලගැන්වීමේ අමාත්‍යංශයට ගොඩවැදී තිබුණේ මෑතකදී පැවැති සමෘද්ධි නිලධාරින් බදවාගැනීමේ තරග විභාගයෙන් තෝරාගැණුනු අයැදුම්කරුවන් පිළිබදව තොරතුරු කිහිපයක් ලබාගැනීමටය. සිය අමාත්‍යංශයට ගොඩුවැදුණු අශෝක් සාදරයෙන් පිළිගත් රන්ජන් ඔහු පැමිණි කාර්යය ඉටුකරදීමෙන් පසුව තවත් ඉල්ලීමක් කළේය. ‘‘ඇමැතිතුමා, අපේ රටේ සංඛ්‍යාලේඛණ ගැන ඔබතුමාට පුදුම දැනුමක්නේ තියෙන්නේ. ඔබතුමානේ පාර්ලිමේන්තුවේ ඉන්න සංඛ්‍යාලේඛණ ඔස්තාර්. ඒ දැනුමත් එක්ක ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන පොඩි ඉන්ටර්විව් එකක් කරමුද ? හැබැයි ඉන්ටර්විව් එක කරන්නේ මම. උත්තර දෙන්නේ ඔබතුමා. ’’රන්ජන්ගේ ඉල්ලීමෙන් අන්දමන්ද වූ අශෝක් උඩබිම බලන්නට වූ අතර රන්ජන් තම සිතේ තිබූ අදහස අශෝක්ට පැහැදිලි කර දුන්නේය. තමන්ද ආණ්ඩුවේ සාමාජිකයෙකු වන නමුත් මෙම සම්මුඛ සාකච්ඡාව තුළදී ජනතාවගේ පැත්තේ සිට ඔවුන් ආණ්ඩුවෙන් අසන ප‍්‍රශ්න අසන බවත්, අශෝක් විසින් ආණ්ඩුව පැත්තෙන් ඊට පිළිතුර බැදිය යුතු බවත් රන්ජන් විසින් අශෝක්ට පැහැදිලි කරදීමෙන් පසුව අශෝක් ඊට එකගත්වය පළකලේය. ‘‘මේ රටේ එක්කෝටි විසි ලක්ෂයක් වෙන ජනතාව වෙනුවෙන් තමයි මම මේ ප‍්‍රශන් අහන්න යන්නේ ’’යැයි කියමින් රන්ජන් සංවාදය ආරම්භ කළේය. ‘‘අපේ රටේ ජනගහනය දෙකෝටි එකොලොස් ලක්ෂයයි. ’’අශෝක්, රන්ජන් නිවැරදි කළේය.‘‘ඔය කිව්වේ තිතටම. මේ තමයි සංඛ්‍යාලේඛණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඉන්න උපරිම සුදුසුකම් තියෙන මනුස්සයා. මම ඒක බය නැතිව කියනවා.’’රන්ජන් සංවාදය ආරම්භයේදීම අශෝක්ගේ ගිණුමට ලකුණු කිහිපයක් බැර කරමින් කීවේය. සංවර්ධනය, ඒකාබද්ධ විපක්ෂය, ආර්ථිකය ඇතුලු රන්ජන් විසින් මතුකළ ප‍්‍රශ්න වැලකටම පැය භාගයකට වැඩි කාලයක් තිස්සේ අශෝක් පිළිතුරු දුන්නේය. පසුගිය අගහරුවාදා රන්ජන්ගේ මුහුණු පොතට එක් වී තිබුණේ නියෝජ්‍ය ඇමැති රන්ජන්ගේ මාධ්‍ය ඒකකය විසින් පටිගත කරනු ලැබූ එම සංවාදයයි.

උපුටාගැනීම – ජනයුගය පුවත්පත, 2017 ජූලි 06 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article