Friday, April 19, 2024

මහ ඇමැතිගේ අපලේ : පළාත් සභා ගේට්ටුවේ !

Must read

ayg_2017_07_20_1

බායි කියා හිරේ ගිය හිටපු සභාපති.

ගෙවුණු සතියේදී වයඹ දේශපාලනය රත්කළ සිදුවීම බවට පත්වූයේ කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප‍්‍රැටික් කරුණාසිංහට අධිකරණයෙන් හිමි වූ දස වසරක සිර දඩුවමය. 1999 දෙසැම්බර් මස 15 වැනිදා මතව, කොහිලේගෙදර ප‍්‍රදේශයේදී පැවැති ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැළියකට සිදුකළ වෙඩි තබා, එජාප ආධාරකරුවන් තිදෙනෙකුට තුවාල සිදුකළ බවට චෝදනා කරමින් හිටපු සභාපති පැටි‍්‍රක් කරුණාසිංහට සහ ඔහුගේ සොහොයුරාට එරෙහිව මිනීමැරීමට තැත්කිරීම ඇතුලු චෝදනා හයක් යටතේ නීතිපතිවරයා විසින් කුරුණෑගල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි. වසර 17 ක් තිස්සේ පැවැති දීර්ඝ නඩු විභාගයක සාක්ෂි විභාගය ඉකුත් ජූනි මස 13 වැනිදා අවසන් කළ කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඊට අදාල තීන්දුව ප‍්‍රකාශය පත්කිරීම සදහා පසුගිය සදුදාට දින නියම කර තිබිණි. තීන්දුව ප‍්‍රකාශයට පත්කෙරෙන තෙක් විත්තිකාර කරුණාසිංහ සොයුරන් රක්ෂිත බන්ධනාගාර කරන ලෙසට මහාධිකරණ විනිසුරුවරිය ජූනි 13 වැනිදා වැඩිදුරටත් නියෝග කිරීම නිසා එම දෙපළ මාසයකට වැඩි කාලයක් තිස්සේ පසුවූයේ රක්ෂිත බන්ධනාගාරගතවය. බන්ධනාගාර නිලධාරින් විසින් කරුණාසිංහ දෙසොහොයුරන් සදුදා උදෑසන කුරුණෑගල මහාධිකරණය වෙත රැගෙන ආවේ බන්ධනාගාර බස් රථයකිනි. බන්ධනාගාර බස් රථයේ රියදුරු අසුනට පසුපසින් ඇති අසුනක හිටපු සභාපති ප‍්‍රැටික් අසුන්ගෙන සිටියේය. උසාවි ගේට්ටුව අසල සිට තමන් ඡායාරූප ගතකරන මාධ්‍යවේදීන් දුටු ප‍්‍රැටික් කලබල විය. හෙතෙම තම අසුනෙන් නැගිට බසය තුළ සිටගත්තේ මාධ්‍යවේදීන්ට ඔහුගේ මුහුණ නොපෙනෙන අයුරිනි. මාධ්‍යවේදීන්ද බන්ධනාගාර බස් රථයේ කොටු දැල් අතරින් ප‍්‍රැටික්ගේ මුහුණ කැමරාවලට හසුකරගැනීම පිණිස දැඩි උත්සාහයක නිරත වී සිටියදී බස් රථය තුළ සිටි සුදු පැහැති ඇදුමක් හැද සිටි අයෙකු ‘‘එපා, එපා’’යැයි කියමින් දෑත් වනන්නට විය. බන්ධනාගාර බස් රථය තුළදීත් ප‍්‍රැටික් වෙනුවෙන් පෙනී සිටි මේ අරුම පුද්ගලයා කවුරුන්දැයි මාධ්‍යවේදීන් උඩ බිම බලද්දී බසය අධිකරණ සංකීර්ණයට ඇතුලු විය. නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය, විත්තිකරුවන්ට එරෙහිව නගා ඇති සියලු චෝදනාවන්ට ඔවුන් වැරැදිකරුවන් බව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව ප‍්‍රකාශ කරමින් ඔවුන් වෙත දස වසරක සිර දඩුවමට අමතරව රුපියල් හැට දහසක දඩයක්ද නියම කළාය. දඩුවම් නියම කිරීමෙන් අනතුරුව හිටපු සභාපතිවරයා බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයෙන් ඉවතට රැගෙන ආ අතර එදින උදෑසන මාධ්‍යයට දැක් වූ ප‍්‍රතිචාරයට හාත්පසින්ම වෙනස් ප‍්‍රතිචාරයක් පළකරමින් උසාවි ගේට්ටුව අසල රැස්ව සිටි මාධ්‍යවේදීන් වෙත දුර සිටම අත වනා අචාර කළ පැටි‍්‍රක් සිනා මුහුණින් යුතුව බස් රථයට ගොඩවිය. කුරුණෑගල රිමාන්ඩ් සිර මැදිරිය වෙත රැගෙන එනු ලැබූ පැටි‍්‍රක් එදින ඇදිරි වැටෙන තෙක්ම එහි රදවා තැබුණු අතර බන්ධනාගාරයට ගෙන යාම සදහා බන්ධනාගාර නිලධාරින් ඔහුව යළි බස් රථයට නංවා ගත්තේ පස්වරු 6.30 ට පමණය. ඒ වනවිට පැටි‍්‍රක්ගේ ආධාරකරුවන් පිරිසක්ද කුරුණෑගල රිමාන්ඩ් සිර මැදිරිය අසලට රැස් වී සිටි අතර ඔවුන්ගේ සෝ සුසුම් මැද ප‍්‍රැටික් රැගත් බස් රථය බන්ධනාගාරය බලා ගමන් ඇරඹීය.

පැටි‍්‍රක්ට නියම වූ දස වසරක සිර දඩුවමත් සමග කුරුණෑගල දේශපාලනයේ පැටි‍්‍රක් කරුණාසිංහ යුගයද අවසන් වනු ඇතැයි බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ. හිරේ විලංගුවේ වැටුණු නමුත් එය පැටි‍්‍රක්ගේ ඉදිරි දේශපාලන කටයුතුවලට බාධාවක් නොවන බව අඵ යට ගිනි කළ විමසීමකදී නීති විශාරදයින් කිහිපදනෙකුම පැවැසූහ. මක්නිසාදයත් පැටි‍්‍රක්ට මහාධිකරණයෙන් නියම කෙරුණු සිර දඩුවමට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කිරීමට ඔහුගේ හිතවතුන් මේ වනවිට සැලැසුම් කරමින් සිටින බැවිනි. අභියාචනාවක් විභාගවෙමින් තිබියදී සිර දඩුවම් විදින අයෙකුගේ ප‍්‍රජා අයිතිය අහෝසි නොවීමත්, එවැනි අභියාචනා ක‍්‍රියාවලියක් ඔස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාම ගමන් කළ හැකිවීමත්, මෙවැනි අභියාචනා ක‍්‍රියාවලියට දීර්ඝ කාලයක් ගතවීමත් යන කරුණු මත ඉදිරියේදී එළැඹෙන ඕනෑම මැතිවරණයක් සදහා ප‍්‍රැටික්ට හිරගෙදර සිට වුවද තරග කළ හැකි බව නීති විශාරදයින් කියති. එබැවින් කුරුණෑගල මහාධිකරණයේ තීන්දුවත් සමග පැටි‍්‍රක්ගේ දේශපාලන ජීවිතය අවසන් වූවා යැයි බොහෝදෙනෙකු මත පළකරමින් සිටින නමුත් අඵ යට ගිනි පිටුවේ ස්වාධීන මතය වන්නේ එම අධිකරණ තීන්දුව ප‍්‍රැටික්ගේ දේශපාලන ගමන පමණක් නොව වයඹ දේශපාලනයද අලුතින් ලියවන්නට වැඩි ඉඩකඩක් ඇති බවකි.

කිරිඇල්ලට යන සල්ලි ගැන ධර්මසිරි හිතේ අමාරුවෙන්.

කුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුව පසුගිය සදුදා රැස්වුණේ කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ශ‍්‍රවණාගාරයේදීය. එදින සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙහි දැකගත හැකි වූ විශේෂත්වය වූයේ එදින රැස්වීමට මැති ඇමැතිවරුන්ගෙන් මෙන්ම නිලධාරින්ගෙන්ද ලැබී තිබූ අඩු සහභාගිත්වයයි. මැති ඇමැතිවරුන් නියෝජනය කරමින් ඊට සහභාගි වී සිටියේ සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. සී අලවතුවල, මහ ඇමැති ධර්මසිරි දසනායක සහ ඇමැති එස්. බී. නාවින්න පමණි. සිය නැන්දණියගේ අභාවය හේතුවෙන් සම සභාපති, ඇමැති අනුර යාපා සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහහාගි නොවන බව කියැවුණු නමුත් සෙසු මැති ඇමැතිවරුන්ගේ අතුරුදන්වීම් පිළිබද නම් හාවක් හූවක් නොවීය. සැලකිය යුතු නිලධාරින් පිරිසක්ද කමිටු රැස්වීමට සහභාගි නොවීමෙන් එදින සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ හිස් පුටු විශාල ප‍්‍රමාණයක්ද දැකගත හැකිවිය. දිස්ත‍්‍රික් ආපදා කළමණාකරන අධ්‍යක්ෂවරයා විසින් කුරුණෑගල දිස්ත‍්‍රික්කයට බල පා ඇති නියං තත්වය සහ ඊට ලබා දී ඇති පිළියම් පිළිබදව විස්තර කරද්දී වයඹ පළාත් සභා මන්ත‍්‍රී මොහාන් පෙරේරා නැගී සිටියේය. ‘‘ඇහැටුවැව ප‍්‍රාදේශීය ලේකම්තුමාට මම කතා කළාම එතුමා කිව්වා එහාට වතුර ටැංකි ලැබිලා නැහැ කියලා. ඊට අමතරව ගල්ගමුවට ලැබිලා තියෙන බවුසර් ප‍්‍රමාණයත් හොදටම මදි. ’’මොහාන් චෝදනාත්මක ස්වරයෙන් කීවේය. මොහාන්ගේ චෝදනාව මුලසුන් මේසයේ අසුන්ගෙන සිටි දිස්ත‍්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න කෝපගැන්වීමට සමත් වූ බව පෙනිණි. දිස්ත‍්‍රික් ලේකම්වරයා මොහාන්ට පිළිතුරු දුන්නේ තරමක් උස් හඩිනි. ‘‘මන්ත‍්‍රීතුමා, අපිට ලැබෙන ටික තමයි අපි බෙදලා දෙන්නේ. අපිට ලැබෙන්නෙත් ඉතාම සීමිත ප‍්‍රමාණයක්. ඔබතුමා ඔහොම කතා කළා කියලා අපිට ලැබෙන ඔක්කොම ටික ගල්ගමුවටම දෙන්න බැහැනේ. ගල්ගමුවට වතුර දෙන්න අපි සෑහෙන මහන්සියක් ගන්නවා. අපට මේ වෙනකොට ලැබිලා තියෙන බවුසර් තිහෙන් තුනක්ම දීලා තියෙන්නේ ගල්ගමුවට. ඔබතුමාට විතරයි එහෙම දීලා තියෙන්නේ. අනෙක් තැන්වලට එහෙම දෙක තුන දීලා නෑ. ඒක මතක තියාගන්න. ’’දිසාපතිවරයා කීවේය.

ඉන් ටික වේලාවකට පසුව කමිටු රැස්වීම යළිත් උණුසුම් වූයේ පළාත් සභාවට අයත් මාර්ගවල සංවර්ධන කටයුතු, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කිරීම පිළිබදව මහ ඇමැති ධර්මසිරි විරෝධය පළකිරීමත් සමගය. මාර්ග සංවර්ධන අධිකාරියේ වයඹ පළාත් අධ්‍යක්ෂිකා මංගලා මාරසිංහ වෙත ධර්මසිරි දිගින් දිගටම කීවේ එවැනි මාර්ග ව්‍යාපෘති සිදුකිරීම පළාත් සභාවේ කටයුතුවලට බලපෑමක් වන බැවින් එවැනි ව්‍යාපෘති භාරගැනීම ප‍්‍රතික්ෂේප කරන ලෙසටය. මහ ඇමැතිවරයාගේ නියෝගය හමුවේ පළාත් අධ්‍යක්ෂවරිය අසරණ වී ගිය බව පෙණිනි. මහ ඇමැති ධර්මසිරිට රජය පැත්තෙන් කරුණු පැහැදිලි කරදෙන්නට සම සභාපති අලවතුවල මෙන්ම ඇමැති නාවින්නද උත්සාහ කළ නමුත් ඒ පිළිබදව නොතැකූ ධර්මසිරි දිගින් දිගටම පළාත් අධ්‍යක්ෂවරිය වෙත නියෝග පනවමින් කතාකිරීම නිසා රැස්වීම කාලගෝට්ටියක ස්වභාවයට පෙරළිණි. ධර්මසිරිගේ වාග් ප‍්‍රහාරය මැද්දේ අමාරුවෙන් අවස්ථාවක් හදාගත් ඇමැති නාවින්න කතාකළේය. ‘‘මේ මුදල් ලබාදෙනකොට දෙන නිකුත්කරන යම් ප‍්‍රමාණයක් තියෙනවා. ඒ ප‍්‍රමාණයෙන් ඉහළට වැඩි වුණාම, ඒ මුදල් එක එක අමාත්‍යංශවලට යනවා. දැන් මෙතුමියගේ වැඩවලට එන සල්ලි යන්නේ කිරිඇල්ල ඇමැතිතුමාට.’’නාවින්න කීවේය. නාවින්නගේ පැහැදිලි කිරීමට බාධාකරමින් ධර්මසිරි යළි මැදට පැන්නේය. ‘‘කිරිඇල්ල ඇමැතිතුමා මොකටද ඔක්කොම සල්ලි ගන්නේ ? එයා ගන්න ඕනේ එයාට අයිති කොටස විතරයි. එහෙම ගන්නවා නම් ඒක වැරැදියි. මේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියලා එකක් තියෙනවා, දහතුන්වැනි සශෝධනය කියලා එකක් තියෙනවා. නාවින්න ඇමැතිතුමා, ඔබතුමා අද පළාත් සභාවේ මහ ඇමැතිවෙලා හිටියා නම් ඔබතුමාත් ඔය කතා කියන්නේ නෑ. එහෙනම් ඔබතුමාත් මම මේ කියන කතාව තමයි කියන්නේ. ධර්මසිරි නාවින්න වෙතද ඇගිල්ල දිගු කරමින් කියද්දී කමිටු රැස්වීම සිනාසයුරේ ගිලී ගියේය. සිනා හඩ මැද්දේම ධර්මසිරි දිගටම කතාළේය. ‘‘ඔබතුමා වයඹ මහ ඇමැති කාලේ තමයි ආණ්ඩුවත් එක්ක නඩු කිව්වේ. හා, නඩු කිව්වේ නැද්ද ? ’’ධර්මසිරි නාවින්නගෙන් ඇසීය. ‘‘මම නඩු කිව්වේ වැරැදි දේට විතරයි. ’’නාවින්න කීවේය. ‘‘ඉතිං මේකත් වැරැදියි තමයි. ඔබතුමා අධ්‍යාපන අධ්‍යක්ෂ කෙනෙක් පත්කරලා ඒකටත් නඩු කිව්වා. ’’ධර්මසිරි කීවේය. ‘‘දැන් ඉන්න අයගේ කොන්ද පණ නැතිවුණාට මට කරන්න දෙයක් නෑ මහ ඇමැතිතුමා . ’’වදින තැනක වැදියන් න්‍යායෙන්දෝ ඇමැති නාවින්න එවර කීවේය.

පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂවරියගෙන් මහ ඇමැතිට සාස්තරයක්.

උණුසුම් වාද විවාද වැද ඉදිරියට ඇදුණු දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ රැස්වීම අවසානයේදී විවෘත අදහස් දැක්වීමේ වාරයක්ද ලැබුණු අතර එහිදී නැගී සිටි වයඹ පළාත් වාර්මාර්ග අධ්‍යක්ෂිකා මල්කාන්ති තල්ගොඩපිටිය වැව් හෑරීමේ ඉංජිනේරු ක‍්‍රමවේදය පිළිබදව පැහැදිලි කරන්නට වූවාය. මුලසුන් මේසයේ සිටි දිස්ත‍්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න ඊට හරස් කැපීම නිසා දෙදෙනා අතර වචන හුවමාරුවක්ද සිදුවිය. ‘‘ඔය ඉංජිනේරු ක‍්‍රමවේදය තියෙන්න පුලුවන් පොත්පත්වල. නමුත් ප‍්‍රායෝගිකව නෑ. ’’වාර්මාර්ග අධ්‍යක්ෂිකා තල්ගොඩපිටියට හරස් කපමින් දිස්ත‍්‍රික් ලේකම්වරයා කීවේය. ‘‘එහෙම නම් ඉංජිනේරුවෝ හදන කැම්පස් වහලා දාන්න ඕනෑ දිසාපතිතුමා. අපි වැඩ කරන්නේ අපි ඉගෙනගෙන තියෙන විදිහට. වැවක් කපද්දී අපි ගෙවීම් කරන්නේ කටින් ලෙවල්ස්වලට. ඔබතුමා කියනවා නම් උදේ ඉදන් රෑ වෙනකම් එතැන ඉදගෙන ලොරි ලෝඩ් ගණන් කරන්න කියලා එහෙම නිලධාරින් අපිට නෑ ’’තල්ගොඩපිටිය අධ්‍යක්ෂවරියද තරමක සැර පිළිතුරක් පෙරළා සපයමින් කීවාය. අනතුරුව වාරිමාර්ග අධ්‍යක්ෂවරිය කතාකලේ එතෙක් සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡාවට හෝ නොගත් වෙනත් කරුණක් සම්බන්ධයෙනි. ‘‘පළාත් සභාවේ ගේට්ටුව ගැන අපි අවුරුදු ගාණක ඉදන් කතාකරනවා. ඔබතුමාට ඒක හොද නෑ. ඒ නිසා ඒක අයින් කරලා දැනට කෘෂිකර්ම අමාත්‍යංශයේ දාලා තියෙන අපේ පරණ ගේට්ටුව එතැනට හයි කරන්න. එහෙම නැත්නම් ඉංජිනේරුවෝ විදිහට අපේ මේ ඉංජිනේරු ශාස්ත‍්‍රයෙනුත් වැඩක් නැහැ. මේක දැන් එක එක්කෙනා ධන නිධානයක් බවට පත්කරගෙන ඉන්නවා. මම තවත් කාරණාවක් කියන්නම්. මේ ගේට්ටුවෙන් ඔබතුමාට අපලයි. නක්ෂත‍්‍රය හොදට දන්න කෙනෙක් විදිහටයි මම මේ කියන්නේ. මේ අපලෙන් මිදෙන්න නම් ඔය ගේට්ටුව ගලවලා අශ්ව ගාලකට ගිහින් දාන්න. ’’වාරිමාර්ග අධ්‍යක්ෂවරිය මහ ඇමැති ධර්මසිරිගේ මූණ බලාගෙන කියද්දී මුලු සම්බන්ධීකරණ කමිටු රැස්වීමම සිනාසයුරේ ගිලීගියේය.

උපුටාගැනීම – ජනයුගය පුවත්පත, 2017 ජූලි 20 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article