Wednesday, April 24, 2024

රටේ එක බිම් අගලක්වත් වෙනත් රටකට හෝ සමාගමකට අයිතිවෙන්නට දෙන්නේ නැහැ ! මෛත‍්‍රී රටට සහතික වෙයි.

Must read

maithri_ibbagamuwa_full_speech

ෂැංග‍්‍රිලා එකට,පෝට් සිටියට අක්කර සිය ගණන් සින්නක්කර දෙනකොට දේශපේ‍්‍රමීන් කවුරුවත් කෑ ගැහැව්වේ නෑ. ඒ කාලේ ඔය දේශපේ‍්‍රමීන් ඇදවල්යට තමයි ඉදලා තියෙන්නේ.ඒ අයට එළියට එන්න පුලුවන් වුණෙත් මම ජනාධිපති වෙලා රටට දුන්නු නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිසයි.

වැඩවර්ජනය කරන එක වෛද්‍යවරුන්ට අද සෙල්ලමක් වෙලා.

අලූත් ආණ්ඩුවක් විදිහට රට භාරගන්නකොට මීතොටමුල්ල කුණු කන්දට විතරක් නෙවෙයි තවත් කුණු ගණනාවකට කරගහන්න වුණා.

පාර අයිනේ තියෙන ගහක් කපලා දානවා වාගේ මේ ආණ්ඩුව වට්ටන්න පුලූවන් වෙයි කියලා හිතන්න එපා

 

මෙරට භූමියෙන් එක් බිම් අගලක්වත් ලෝකයේ වෙනත් රටකට හෝ කිසිදු සමාගමකට අයිතිවීමට ඉඩක් නොතබන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (26 දා ) ඉබ්බාගමුවේදී අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ ඉබ්බාගමුව, කුඹල්අංග හමීදියා මුස්ලිම් විද්‍යාලයේ ඉදිකළ ප‍්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීම වෙනුවෙන් එම විද්‍යාලයේදී පැවැති ජනහමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

‘‘ අද ලංකාවේ තුනෙන් දෙකක විතර ප‍්‍රමාණයකට විශාල නියගයක් තිබෙනවා. ජලය නැහැ. කුරුණෑගල දිස්ත‍්‍රික්කයත් ඊට අයිතියි. මම දැනට සති දෙකකට පෙර ගල්ගමුවට ගියා. ගල්ගමුව ප‍්‍රදේශයෙත් ඉතාම වියළි කාලගුණික තත්වයෙන් තමයි තිබෙන්නේ. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සමහර ප‍්‍රදේශවල මේ වනවිට කන්න තුනක් කුඹුරු වැඩකරලා නැහැ. සමහර ප‍්‍රදේශවල මේ වනවිට කන්න දෙකක් කුඹුරු වැඩකරලා නැහැ. රට වශයෙන් ගත්විට ලංකාවේ තුනෙන් දෙකක අවුරුද්දක විතර කාලයක් නියගයක් පවතිනවා. මේ නිසා දැඩි දුෂ්කරතා ඇතිවෙනවා. කාලගුණික තත්වයන් වගේම ආර්ථික අමාරුකම්. ඒ වගේම මීට මාස කීපයකට කලින් රත්නපුර, කතර, ගාල්ල, මාතර වගේ දිස්ත‍්‍රික්කවල ඇතිවෙච්ච ගංවතුර තත්වය පිළිබදව ඔබ දන්නවා. මේ සියල්ලන්ගෙන්ම වගාවන් විනාශ වුණා. ආහාර නිෂ්පාදනය විනාශ වුණා. මේ තත්වය තුළ වී නිෂ්පාදනය මේ වසරේදී සියයට පනහකින් පහත බැහැලා තිබෙනවා. සමහර අය කියනවා ලංකාවේ විතරයි මෙහෙම වෙලා තියෙන්නේ, මේක මේ ආණ්ඩුවේ වැරුද්ද කියලා. එහෙම එකක් නෙවෙයි, මේක මේ කලාපයේ තිබෙන රටවල්වල තත්වය. අපිට වඩා ඉන්දියාවේ තත්වේ බරපතලයි. කෝටි ගාණක් බොන්න වතුර නැතිව ඉන්නවා. පකිස්ථානේ වගේ රටක් ගත්විට අපේ රටේ වගේම එක පැත්තක ගංවතුර, අනෙක් පැත්තේ නියගය. මම දැනට සති දෙකකට පෙර බංගලිදේශයට ගියා. බංගලිදේශය ගංවතුර නිසා සම්පූර්ණයෙන්ම විනාශවෙලා තිබෙනවා. ඒ වගේම මේ කලාපය තුළ තවත් රටවල් ගණනාවක් මේ තත්වයට මුහුණදීලා තිබෙනවා. නමුත් අපි විශ්වාස කරනවා මේ අවුරුද්ද අවසානයට එන මෝසම් වැසි සමග අපිට යහපත් කාලගුණයක් ඇතිවේවි කියලා. ඒ අනුව මේ තිබෙන ආර්ථික අමාරුකම් අවම කරගෙන යහපත් ජීවන තත්වයත් ඇතිකරන්න අපි රජය විදිහට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වෙලා ලබන මාසයට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙනවා. ඒ අවුරුදු දෙකක් සම්පූර්ණ වෙන අවස්ථාව නිමිති කරගනිමින් රජය විසින් ජනතාවට දෙන විශේෂ සුබසාධන සහ සහන රාශියක් පිළිබද වැඩපිළිවෙලක් ප‍්‍රකාශයට පත්කරන්න අපි බලාපොරොත්තු වෙනවා. කොතරම් ආර්ථික අමාරුකම් තිබුණත් රජය විදිහට ජනතාවගේ පැත්තෙන් තිබෙන අමාරුකම් වන ජීවන වියදම, බඩු මිල, වියළි කාලගුණය වැනි තත්වයන් තුළ ජනතාවට තිබෙන පීඩාකාරී ස්වභාවය පිළිබදව මට හොද අවබෝධයක් තිබෙනවා. මම සැප විදලා හැදුණු කෙනෙක් නෙවෙයි. බොහෝම දුෂ්කර ජීවිතයක් ආරම්භ කරලා මෙතැනට ආපු කෙනෙක්. ඒ නිසා වියළි කාලගුණයත්, අනෙක් සියල්ලත් මට හොදට හුරු පුරුදුයි. ඒ නිසා අපි රජයක් විදිහට කටයුතු කරන්නේ ඒ ජනතාවගේ තිබෙන ආර්ථික අමාරුකම් වගේම, පාරිසරික වශයෙන් තිබෙන තත්වයන් සදහා ස්වභාව ධර්මයා සමග සටන් කරමින් රජයක් විදිහට ජනතාවගේ සුබ සාධන කටයුතු ශක්තිමත් කිරීමටයි.

මෙවැනි පසුබිමක අපි රජයක් විදිහට කටයුතු කරගෙන යනකොට තමයි නොයෙකුත් බාධාවල් ඇතිවෙන්නේ. අද දවස වන විට තෙල් සංස්ථාවේ සේවකයින්ගේ වැඩවර්ජනය නිසා මේ රටේ ජනතාවට දැඩි පීඩාකාරි තත්වයක් ඇති වී තිබෙනවා. මේ තෙල් සංස්ථාවේ සේවකයින්ගේ මේ වැඩවර්ජනය කුමක් සදහාද ? ඒ වැඩවර්ජනය මෙහෙයවන නායකයින් මාධ්‍ය තුළ කතාකරන දේවල් මම අහගෙන හිටියා. ඇත්තමට මට හරි කණගාටු හිතෙනවා, මොනතරම් තොරතුරු පිළිබදව නොදැනද ඒ අය කතාකරන්නේ කියලා. මොනතරම් අනවබෝධයෙන්ද මේ වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක කරලා ජනතාව පීඩාවට පත්කරලා තියෙන්නේ කියලා මට හිතුණා. මේ වැඩවර්ජනය තුළ රෝහල් කටයුතු අඩාල වෙනවා. ගිලන් රථ සේවා යන්න බැරිව රෝගීන් අසරණ වෙනවා, සමහර විට මියයනවා. ඒ වගේම සෞඛ්‍ය සේවාවට බරපතල තත්වයක් ඇතිවෙනවා මේ වැඩවර්ජනය තුළ. දෛනිකව දරුවන්ට පාසල් යන්න බෑ. ගෙදර දොරට අවශ්‍ය කෑම බීම ටික ගේන්න යන්න වාහනයක් නැතිව යනවා. ඒ වගේම කොළඹින් සහ ඈත පළාත්වලින් ආහාර සහ අනෙකුත් බඩු භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමට නොහැකිවීම තුළ ආහාර හිගයන් පවා ඇතිවෙන තත්වයක් තිබෙනවා. මේ තත්වය සැලකිල්ලට අරගෙන තමයි මම ඊයේ හවස තීරණය කළේ තෙල් බෙදාහැරීමේ කටයුතු අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරන්නත්, තෙල් බෙදාහැරීම සදහා ත‍්‍රිවිධ හමුදාව යොදවන්නත්. දැන් ත‍්‍රිවිධ හමුදාව ඒ කටයුතුවල නියැලී ඉන්නවා. ඒ වගේම වැඩවර්ජනයට සම්බන්ධ වෙලා ඉන්න ඒ සේවකයින්ගෙන් මම ඉල්ලීමක් කරනවා වහාම සේවයට වාර්තා කරන්න කියලා. ඕනෑම කෙනෙකුට පුලූවන් කතාකරලා ඕනෑම ප‍්‍රශ්නයක් විසදගන්න. ඒ නිසා වහාම සේවයට වාර්තා කරන්න. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබෙන බලතල අනුව තෙල් බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවාවක් විදිහට නිවේදනය කරලා ඉවරයි. මෙතැනින් එහාට පොදු ජනතාවගේ යහපත සහ සුබසිද්ධිය උදෙසා ඒ තිබෙන නීති රීති යටතේ ආණ්ඩුවක් විදිහට ගත යුතු සහ ගත හැකි ක‍්‍රියාමාර්ග ගැනීමට අපි රජයක් විදිහට කිසිසේත්ම පසුබට වෙන්නේ නැති බව පැහැදිලිව කියන්න ඕනෑ. රටේ සුලු පිරිසක් විසින් අති බහුතරයක් ජනතාවට පීඩාවක් ඇති කරන්නට ඉඩදෙන්න විදිහක් නැහැ. වෛද්‍යවරු හිටපු ගමන් වැඩවර්ජනය කරනවා. වෛද්‍යවරුන් වැඩවර්ජනය කරන එක අද ඒ අයට ක‍්‍රීඩාවක් වෙලා. සෙල්ලමක් වෙලා. මිනිස්සුන්ගේ ජීවිත පිළිබදව කිසිදු වටිනාකමක් නැතිවයි මේ වැඩවර්ජන කරන්නේ.

තෙල් සංස්ථාවේ සේවකයින්ට වැඩවර්ජනයකට යන්නේ නැතිව ඒගොල්ලන්ට තිබුණා ඒ අයගේ ඉල්ලීම් ඉදිරිපත් කරන්න මාව හමුවෙන්න. නමුත් ඇමැතිවරු මට්ටමින් සාකච්ඡා කරලා වැඩවර්ජනයකට ගිහින් තියෙනවා. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීන සමාගමක් සමග ඇති කරගැනීමට යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් ඒ අයට ඉතාම වැරැදි අවබෝධයක් තමයි තිබෙන්නේ. ශ‍්‍රී ලංකා රජය චීන සමාගමක් සමග ඇති කරගැනීමට නියමිත මුල් සාකච්ඡා ගිවිසුම මට ඉදිරිපත් කළාම මමත් ඒකට විරුද්ධ වුණා. ඒක තමයි ඇත්ත. මම කිව්වා ඒ තියෙන කොන්දේසිවලට මම කැමැති වෙන්නේ නෑ කියලා. ඒ අනුව පහුගිය මාස හතක් අටක් තිස්සේ ඇමැතිවරු, අදාල නිලධාරින්, ඒ චීන ආයෝජන සමාගම් ඒ සෑම කෙනෙක් එක්කම කතාකරලා මුලින් ආපු යෝජනා අපි සම්පූර්ණයෙන්ම වෙනස් කළා. ඒ වෙනස්වීම් තුළ අපි රජයක් විදිහට බොහෝම පැහැදිලි තීන්දු තීරණ අරගෙන තිබෙනවා. මේ රටේ භූමියේ බිම් අගලක්වත් ලෝකයේ කිසිම රටකට හෝ කිසිම සමාගමකට අපි කිසිසේත්ම අයිතියක් දෙන්නේ නැහැ. ඔප්පුවකින් දෙන්නෙත් නැහැ. සින්නක්කර දෙන්නෙත් නැහැ කියන එක බොහොම පැහැදිලිව කියන්න ඕනෑ. මේ භූමිය පිළිබදව, ඔබේත් මගේත් රට පිළිබදව ඔය කෑගහන අයට වැඩිය අපිට ආදරයක් තියෙනවා.

දැන් මීට කලින් තිබුණු ආණ්ඩු කරපු විදිහ බලපුවාම, මට කලින් හිටපු ජනාධිපතිවරයා කොහොමද දීලා තියෙන්නේ. කොළඹ පෝට් සිටියට අක්කර දෙසීයක් සින්නක්කර දීලා තිබුණේ. මම ජනාධිපතිවෙලා, අලුත් ආණ්ඩුව ආවට පස්සේ තමයි සින්නක්කර දීලා තිබුණු එක වෙනස් කරලා බදු ක‍්‍රමයකට හැදුවේ. ඒක තමයි ඇත්ත තත්වය. ජනාධිපති ලේකම් කාර්යාලයත් එක්කම තිබෙන ආරක්ෂක අමාත්‍යංශය තිබුණු භූමියට උඩින් හෙලිකොප්ටර් එකක් යන්නත් කලින් තිබුණු ගිවිසුම අනුව චීනයෙන් අවසර ගන්න ඕනෑ. එහෙම තමයි රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ ඒ ගිවිසුම හදලා තිබුණේ. අපි ඒක වෙනස් කළා. අපි කිව්වා මේ විදිහට දෙන්න පුලූවන්කමක් නෑ මේක වෙනස්වෙන්න ඕනෑ කියලා. අලූත් ආණ්ඩුවක් විදිහට අපි ඒ විදිහේ තීන්දු ගත්තා. කොළඹ ගෝල්ෆේස් එකත් එක්ක තියෙන ෂැංග‍්‍රිලා අලුතෙන් හදන හෝටලයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා සින්නක්කර ඔප්පුවකින් දීලා තියෙනවා. මේ රටේ ඉතිහාසයේ කිසිම නායකයෙක් හෝ කිසිම පාලකයෙක් මේ රටේ භූමිය ලෝකයේ වෙනත් රටකට මේ විදිහට දීලා නෑ මීට කලින්. ඔප්පුවකින් දෙනවා කියන්නේ සම්පූර්ණයෙන්ම ඒ රටට ඒක අයිතිවෙනවා. ඒ විදිහට තමයි දීලා තියෙන්නේ. ඔප්පුවකින් ෂැංග‍්‍රිලා එකට ඒ විදිහට දෙනකොට, පෝට් සිටියට අක්කර දෙසීයක් සින්නක්කර දෙනෙකොට ඒ කාලේ ඔය දේශපේ‍්‍රමීන් කවුරුවත් කෑ ගැහැව්වේ නෑ. ඒ කාලේ ඔය දේශපේ‍්‍රමීන් නෑ. ඒ කාලේ ඔය දේශපේ‍්‍රමීන් ඇදවල්යට තමයි ඉදලා තියෙන්නේ. හැබැයි ඔය දේශපේ‍්‍රමීන්ට එළියට එන්න පුලුවන් වුණේ මම ජනාධිපති වෙලා මේ රටේ ජනතාවට දුන්නු නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් එක්කයි කියන එක මම බොහොම පැහැදිලිව කියනවා. එහෙම නැතුව ඔය උද්ඝොෂණ කෙරුවා නම් ඒ කාලේ ඔය විදිහට නෙවෙයි ඒ අයට උත්තර හම්බවෙන්නේ. ඉන්න තැන් හොයන්නත් නෑ. වෙච්ච දේකුත් නෑ. මිනිස්සුත් නෑ. ඒක නිසා කවුරුවත් පාරට බැස්සේ නෑ. මාධ්‍ය ආයතන ගිනි තිබ්බා, මාධ්‍යවේදීන් පැහැරගත්තා, මාධ්‍යවේදීන් රට හැරදාලා ගියා. මේ රටේ මොනතරම් ඝාතන සිද්ධවුණාද ? මේ දේවල් පිළිබදව සමහර අයට අමතක වෙලා තිබෙනවා. අපි ඒ තත්වය වෙනස් කළා. අපි අලුත් රටක් හැදුවා. ප‍්‍රශ්න තියෙනවා තමයි.

අපි අලුත් ආණ්ඩුවක් විදිහට මේ රට භාරගන්නකොට අපිට කරගහන්න කුණු ගණනාවක් තිබුණා. මීතොටමුල්ල කුණු කන්ද විතරක් නෙවෙයි. මීතොටමුල්ල කුණු කන්දත් අවුරුදු විසි ගාණක් පරණ කුණු කන්දක් තමයි මේ ආණ්ඩුවේ ඇගට කඩාගෙන වැටුණේ. ප‍්‍රධාන වශයෙන්ම මේ රටේ ආර්ථික කුණු කන්ද. මේ රටේ විදේශ ණය වලින් සියයට අසූ දෙකක්ම අපේ ආණ්ඩුවට කලින් ගත්තු ණය තියෙන්නේ. ඒ ණය ගෙවීම සදහා අපිට විශාල කැපකිරීම් කරන්න සිද්ධ වෙලා තිබෙනවා. කලින් ආණ්ඩුවේ තිබ්බ පාලන ක‍්‍රමවේදය නිසා තමයි මානව හිමිකම් කඩකිරීම පිළිබදව ජාත්‍යන්තර කුණු කන්දකුත් මේ රටට තිබුණේ. ඒ මානව හිමිකම් පිළිබද ජාත්‍යන්තර කුණු කන්දට මුහුණදෙන්න බැරිව, ඒ වගේම ආර්ථික අර්බුදයේ කුණු කන්දට මුහුණදෙන්න බැරිව තමයි අවුරුදු දෙකක් බලයේ ඉන්න තිබුණු අය මැතිවරණයකට ගියේ. අපි ආණ්ඩුවක් අරගෙන ඒ ප‍්‍රශ්නවලට අද මුහුණදීලා තිබෙනවා. නමුත් අද කතාකරන දේශපේ‍්‍රමී වීරයෝ එදා කතාකෙරුවෙත් නෑ, කෑගැහැව්වෙත් නෑ, සටන් කෙරුවෙත් නෑ, වැඩ වර්ජනය කෙරුවෙත් නෑ. අද තමයි ඒ සියලූ දේවල් කරන්නේ. ඒ නිසා ඒ ගොල්ලෝ මොන විදිහේ උද්ඝෝෂණය කළත්, වර්ජනය කළත් ඒ සෑම කෙනෙකුටම මේ රටේ තියෙන නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ අපි කියන්නේ මේ උද්ඝෝෂණ, වැඩ වර්ජන නවත්තලා පැහැදිලි ලෙස, සාමකාමී ලෙස ප‍්‍රශ්න විසදගන්න ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරන්න පුලුවන් කියලා. ඒ නිසා ඒ සේවකයින් සියලුදෙනාටම මම ආරාධනා කරනවා රස්සා නැතිකරගන්නේ නැතිව සේවයට වාර්තා කරන්න. දැන් හමුදාව විසින් භාරඅරගෙන තියෙන කටයුතුවලට සහයෝගය දක්වන්න. මේ රටේ අසරණ දුප්පත් මිනිස්සු ගැන හිතන්න. මිනිස්සුන්ගේ බඩගින්න ගැන හිතන්න. මිනිස්සුන්ගේ ජීවිත ගැන හිතන්න. මිනිස්සු ජීවත්වෙන අමාරුව ගැන හිතන්න. මේ රටේ පොඩි මිනිස්සුන්ට තියෙන පීඩාකාරී තත්වයන් මේ විදිහට වර්ජනවලින් වැඩි කරන්න එපා. මේ වර්ජන කරන්නේ කවුද ? ඒත් මේ සාමාන්‍ය පන්තියේ දුප්පත් පවුල්වල දරුවෝ. තරුණයෝ. ඒ අය හිතන්න ඕනෑ තමන්ගේ තත්වය. තමුන්ගේ දෙමව්පියන්ගේ තත්වය. තමන්ගේ සහෝදරයින්ගේ තත්වය.

රටක් විදිහට කුමන අභියෝග ආවත් අපි රජයක් විදිහට කටයුතු කරගෙන යනවා. සමහර අය හිතාගෙන ඉන්නවා මේ ආණ්ඩුව හෙට අනිද්දා පෙරළන්න පුලූවන් වෙයි කියලා. මේ ආණ්ඩුව එහෙම පෙරලන්න පුලූවන්කමක් නෑ. එහෙම පෙරෙලෙන්නෙත් නෑ. පාර අයිනේ තියෙන ගහක් කපලා දානවා වාගේ වට්ටන්න පුලුවන් ආණ්ඩුවක් නෙවෙයි මේක. මේ රටේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් තිබෙනවා. මේ රටේ නීතියක් තිබෙනවා. ඒ අනුව තමයි ආණ්ඩුවක් විදිහට අපි වැඩකරගෙන යන්නේ. සමහර අයට උවමනා වෙලා තිබෙනවා බොහෝම ඉක්මනට බලයට එන්න. රටේ ජනතාව බලයෙන් පහකරලා ගෙදර යවපු අයට උවමනා වෙලා තිබෙනවා බොහෝම ඉක්මනට බලයට එන්න. ඒ නිසා මේක අස්සේ නොයෙකුත් කුමන්ත‍්‍රණ කරනවා. ඒ සෑම දෙයක් පිළිබදවම අපිට අවබෝධයක් තිබෙනවා. අත්දැකීම් තිබෙනවා. දීර්ඝ කාලීන අත්දැකීම් එක්ක ඒ සියලූදේට මුහුණදීමේ හැකියාවක් අපිට තිබෙනවා. ඒ නිසා අපි ඒවාට කලබල වෙන්නේ නෑ. ’’ යැයි පැවැසීය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article