Tuesday, April 16, 2024

ජනපතිගේ උත්සවයෙන් අකිල මගහරී !

Must read

ayg_2017_07_28_1

රාජිතට ජනපති පැටලෙයි.

කලක් තිස්සේ උදා වී තිබූ බාලගිරි දෝෂය අවසන් කරමින්, නවීකරණය කෙරුණු ගල්ගමුව රෝහල ජනපති මෛත‍්‍රීගේ අතින් විවෘත කෙරුණේ පසුගිය බ‍්‍රහස්පතින්දාය. මීට පෙර අවස්ථා තුනකදීම විවෘත කිරීම සදහා දින නියම කෙරුණු නමුත් යම් යම් හේතූන් මත එම උත්සව අවලංගු කිරීමට සිදුවීම නිසා ගල්ගමුව රෝහල විවෘත කිරීම දවසින් දවස කල්යමින් ඇති අයුරු ජූලි මස 13 වැනිදා අඵ යට ගිනි පිටුවෙන් හෙළිකෙරිණි. බ‍්‍රහස්පතින්දා පැවැති විවෘත කිරීමේ උත්සවයේදී සභාව ඇමැතූ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නට, ජනපති මෛත‍්‍රීගේ නම වෙනුවට හිටපු ජනපති මහින්දගේ නම කියැවෙන්නට යාමෙන් සිදු වූ පැටලවිල්ලක් සභාව පුරා සිනා හඩක් නංවන්නටද සමත් විය. සිය කතාව සදහා ජනපතිගෙන් අවසර පැතූ රාජිත ‘‘අතිගරු ජනාධිපති මහින්….. ’’යැයි කීය. මහින්දගේ සම්පූර්ණ නම කටින් පනින්නට ඉඩක් නොතැබූ රාජිත ‘‘අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් අවසරයි ’’යනුවෙන් කියමින් සිදුවෙන්නට ගිය වරද වහා නිවැරදි කරගත්තේය. මීට දෙසතියකට පමණ පෙර ජනපති මෛත‍්‍රීගේම ප‍්‍රධානත්වයෙන් පැවැති ගල්ගමුව වාරිමාර්ග අභ්‍යාස ආයතනය විවෘත කිරීමේ උත්සවයේදී තමන්ට මදිපුංචිකම් වූ බව කියමින් ගල්ගමුව එජාප සංවිධායක, පළාත් සභා මන්ත‍්‍රී මොහාන් පෙරේරා ගල්ගමුව රෝහල විවෘත කිරීමේ උත්සවයට සහභාගි නොවීමේ තීරණයක් ගෙන තිබිණි. මොහාන් විසින් ඒ බව වයඹ සෞඛ්‍ය ඇමැති ලක්ෂ්මන් වේඩරුවටත්, ආණ්ඩුකාර අමරා පියසීලි වෙතත් දැනුම්දෙන්නට කටයුතු කර තිබූ අතර මොහාන් ගල්ගමුව රෝහල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වී සිටියේ එම දෙපළගේ ඉල්ලීම සහ සහතිකය මතය. රෝහල විවෘත කිරීමේ උත්සවයේ කථික ලැයිස්තුවටත් මොහාන්ගේ නම ඇතුලත් වී නැති බව දුටු ඇමැති වේඩරුව ඒ බව මෙන්ම වාරිමාර්ග උත්සවයේදී මොහාන්ට ලැබී තිබූ කුඩම්මාගේ සැලකිලි පිළිබදවත් ජනපතිට කීවේය. ජනපති මෛත‍්‍රී උත්සව සංවිධායකයින්ට එසැණින් නියම කළේ මොහාන්ටද කතාවක් ලබාදෙන ලෙසටය. ජනපති නියෝගයත් සමග කථික ලැයිස්තුවේ ධූරාවලි අනුපිළිවෙල පවා වෙනස් කරමින් නියෝජ්‍ය ඇමැති තාරානාත් බස්නායකට පසුව සහ ඇමැති රාජිතට පෙර උත්සව සභාව අමතන්නට මොහාන්ටත් අවස්ථාවක් ලැබී තිබිණි.

පාසල් උත්සවයට ආ ජනපති පිළිගන්න හිරියාල නිලෙන් සැරසෙයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ගොඩනැගූ සම්මුතිවාදී ආණ්ඩුවේ පදනම ඉරිතලා යන ආකාරයේ ප‍්‍රකාශ දෙපැත්තේම මැති ඇමැතිවරුන්ගේ කටවල්වලින් දැන් දැන් එළියට පනිමින් තිබේ. සම්මුතිවාදී ආණ්ඩුව තුළ ශ‍්‍රීලනිප – එජාප ආරවුල් පටන්ගත්තේ අද ඊයේ වුවත් හිරියාල ජනතාව නම් එම අත්දැකීම විදිමින් ඉන්නේ දැනට සෑහෙන කලකට පෙර සිටමය. යා දෙක නොරත රත කීවා සේ හිරියාල එජාප සංවිධායක ජගත් යාපා සහ ශ‍්‍රීලනිප සංවිධායක කමල් ඉන්දික අතර පවතින ගැටුම අවස්ථා කිහිපයකදීම එළිපිට ගැටුමක් බවටද පත්විය. එකිනෙකාගේ මුහුණ නොබලන තත්වයක් දක්වා වැඩී ඇති මෙම ගැටුම, අද වන විට කෙතරම් ඔඩුදුවා ඇතිදැයි කිවහොත් ඉබ්බාගමුව සහ ගනේවත්ත ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු දෙකෙහි සම සභාපතිවරුන්වන මෙම දෙපළ එම රැස්වීම්වලදීවත් එකට අසුන් නොගන්නා තත්වයක් පවා නිර්මාණය වී තිබේ. හිරියාල ශ‍්‍රීලනිප සංවිධායක කමල් ඉන්දික විසින් කළ බව කියන ඇරැයුමක් මත ජනපති මෛත‍්‍රී ඊයේ පස්වරුවේ හිරියාලේ පැවැති උත්සවයකට සහභාගිවන්නේ එවැනි පසුබිමකය. ඉබ්බාගමුව, කුඹල්අංග හමීදියා මුස්ලිම් විද්‍යාලයේ ඉදිකළ ප‍්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීම වෙනුවෙන් එම උත්සවය පැවැත්විණි. කමල් ඉන්දික විසින් ජනපති මෛත‍්‍රීගේ ප‍්‍රධානත්වයෙන් මෙම උත්සවයට අමතරව තවත් උත්සව ගණනාවක් සූදානම් කරගෙන තිබූ නමුත් කුඹල්අංග උත්සවය හැර අනෙක් උත්සව සියල්ල අවලංගු කරන්නට මෛත‍්‍රී විසින් කටයුතු කර තිබිණි. හිරිපිටිය කණිෂ්ඨ විද්‍යාලය සහ වේගොල්ල ශිල්පාලෝක විද්‍යාලය යන විදුහල්වල නව ගොඩනැගිලි ජනපති අතින් විවෘත කරවීමෙන් පසුව ගනේවත්ත සුමංගලාරාම විහාරස්ථානයේදී මෛත‍්‍රීට සෙත්පතා ආශිර්වාද බෝධි පූජාවක් පවත්වන්නටත් කමල් ඉන්දික විසින් සැලසුම් කරගෙන තිබිණි. සැලසුම් කරගෙන සිටියා පමණක් නොව ජනපතිගේ ප‍්‍රධානත්වයෙන් එම වැඩසටහන් පැවැත්වෙන බව කියමින් හිරියාල ආසනයේ අස්සක් මුල්ලක් නෑර පෝස්ටර් අලවන්නටත් කමල් ඉන්දික විසින් කටයුතු කර තිබිණි. කමල් විසින් තබාගෙන සිටි බලාපොරොත්තු අඩකින් සුන්කරවමින් අවසානයේදී ජනපති මෛත‍්‍රීගේ සහභාගිත්වය තිත්තවැල්ල විද්‍යාලය, මීගහඇළ ප‍්‍රාථමික විද්‍යාලයට සහ හමිදීයා විද්‍යාලයට පමණක් සීමාවිය. හමිදීයා විදුහලේ උත්සවය සංවිධානය වී තිබුණේ ශ‍්‍රීලනිප කුරුණෑගල දිස්ත‍්‍රික් සංවිධායකවරයෙකු වන එම්. එස්. එම්. ෆාහිම්ගේ උපන්ගම වන කුඹල්අංග ගම්මානයේ වීම නිසාදෝ පාසලක පැවැත්වෙන උත්සවයක මුහුණුවරට වඩා එම උත්සවයට දේශපාලනික මුහුණුවරක් ලැබී තිබූ බවක් පෙනෙන්නට තිබිණි. කුඹල්අංග ගම්මානය මෙන්ම හමිදීයා විදුහල අවට ප‍්‍රදේශය පවා සැරසී තිබුණේ නිල් පැහැති සැරසිලිවලින් සහ ජනපති, කමල් ඉන්දික සහ ෆාහිම්ගේ රුව රැගත් කටවුට්වලිනි. ඒ නිසාම පාසල් උත්සවයක පැවැතිය යුතු චාම් බව පරයමින් දේශපාලන උත්සවයක මුහුණුවරක් කුඹල්අංග විදුහලේ උත්සවයට ස්වයංක‍්‍රීයවම ආදේශ වී තිබිණි. කමල් සහ ෆාහිම් එක්ව හිරියාල නිලෙන් බබලවා ජනපති පිළිගැනීමට වෙද්දී හිරියාල එජාප සංවිධායක ජගත් යාපා හරහා එම ආරංචිය අධ්‍යාපන ඇමැති අකිල විරාජ්ගේ කණටද ගොස් තිබිණි. ඒ වනවිට ඇමැති අකිල විරාජ් ද හමිදීයා විද්‍යාලයේ පැවැත්වෙන උත්සවයට ඇරැයුම් ලබා සිටියේය. ‘‘ඉස්කෝලවලට දේශපාලනය ගාව ගන්නවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරැදියි. කොයි දේශපාලන පක්ෂයෙන් කළත්, කොයි පුද්ගලයා කළත් ඒවා නොවිය යුතු දේවල්. පාසලක තියෙන උත්සවයකදීත් නිල් පාට කොඩි දාගෙන දේශපාලනය කරන්න හදනවා මම ඒ වගේ උත්සවවලට යන්නේ නැහැ. ඒ නිසා කුඹල්අංග ඉස්කෝලේ වැඩේටත් නොයා ඉන්න තමයි මට කරන්න වෙන්නේ. “ ජගත්ගෙන් තොරතුරු දැනගත් අකිල කීවේය. අකිල කී අයුරින්ම ඊයේ පස්වරුවේ හමිදීයා විද්‍යාලයේදී පැවැති උත්සවයට සහභාගිවීම වර්ජනය කර තිබිණි. නව ගොඩනැගිල්ල විවෘතකිරීම වෙනුවෙන් ජනපති අතින් විවෘත කෙරුණු සිහිවටන ඵලකයේ ඇමැති අකිලගේ නමද සදහන් වී තිබූ නමුත් අකිල තබා ඔහුගේ නියෝජතයෙකුවත් එම උත්සවයට සහභාගි වී සිටි බවක් දැක ගත නොහැකි විය.

වයඹ මගී ප‍්‍රවාහන අධිකාරිය හොරු අල්ලපු හැටි.

වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය විසින් පුද්ගලික බස්රථ සදහා නිකුත් කරන මගී ප‍්‍රවාහන ධාවන බලපත‍්‍ර ( රූට් පර්මිට් ) හතරක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් වයඹ පළාත් විගණන දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ජනයුගය මුල්වරට හෙළිකළේ පසුගිය ජූනි 30 වැනිදාය. ඉන් අනතුරුව තවත් මාධ්‍ය ගණනාවක් විසින් ඒ පිළිබදව වාර්තා කළ අතර එම හෙළිදරව්ව සම්බන්ධයෙන් ප‍්‍රතිචාර ලැබෙන්නට දැන් පටන්ගෙන තිබේ. කණගාටුවට කරුණ වන්නේ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ නිල බලධාරින් විසින් ඊට ප‍්‍රතිචාර දක්වන්නට පටන්ගෙන ඇත්තේ ඔලුවෙන් හිටගෙන වීමය. අදාල ධාවන බලපත‍්‍ර අස්ථානගතවීමට සම්බන්ධ බව කියමින් අධිකාරියේ ධාවන අංශයේ සේවය කළ ලිපිකාරිනියන් දෙදෙනෙකු කුරුණෑගල බස් නැවතුම්පොල කාර්යාලයට ස්ථාන මාරුකර යැවීමට පසුගිය සතියේදී මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ ලොකු ලොක්කන් විසින් කටයුතු කර තිබිණි. ධාවන බලපත‍්‍ර සම්බන්ධයෙන් සුවිසල් වගකීමක් පැවැරී නැති සේවිකාවන් දෙදෙනෙකු එලෙස දඩුවම් මාරුවීම්වලට ලක්කෙරෙද්දී ඒ සම්බන්ධයෙන් ප‍්‍රමුඛ වගකීම පැවැරී ඇති ධාවන කළමනාකාරවරයා ඇතුලු වගකිවයුත්තන් අධිකාරිය තුළ නිරුපද්‍රිතව පසුවන බව අඵ යට ගිනි වෙත වාර්තා වෙයි. ධාවන බලපත‍්‍ර අස්ථානගතවීමේ සිදුවීමට සම්බන්ධයැයි කියමින් අදාල සේවිකාවන් දෙදෙනා මාරු කර යවා ඇති නමුත් ඊට සැබෑ හේතුව වන්නේ, ධාවන බලපත් අස්ථානගතවීම සම්බන්ධ තොරතුරු වෙනත් පාර්ශ්වයන්ට ලබාදී ඇත්තේ ඔවුන් විසින් බවට අධිකාරියේ නිල බලධාරින් විසින් ඇති කරගෙන සිටින සැකය බවද අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් කියැවෙයි. ගිණුම් සහ ධාවන අංශයන්හි නිරවුල්ව රාජකාරි කිරීමේ මනා පළපුරුද්දක් සහිත බව කියන මෙම සේවිකාවන් දෙදෙනා බස් නැවතුම්පොළ කාර්යාලයට සිර කර තැබීම හරහා අධිකාරියේ අනාගතය පිළිබදවත් බරපතල සැක සංකා මතුවෙමින් ඇති එහි සෙසු සේවක සේවිකාවෝ දැන් කියති.

වැසිකිළියට වැටුණු සෙංකෝලය ගැන වයඹ මහ ඇමැති දුක්වෙයි.

පළාත් සභාවේ සභාපතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවක් මුල්කරගනිමින් උතුරුමැද පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් අතර ඇති වූ ගුටි කෙළිය ඉකුත් සතියේදී රටම කතාකළ මාතෘකාවක් බවට පත්විය. වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායක එම සිදුවීම පිළිබදව කණගාටුව පළකළේ පසුගිය සදුදා වයඹ ප‍්‍රධාන අමාත්‍යංශ කමිටු රැස්වීම් ශාලාවේදි පැවැති මාධ්‍ය හමුවකදීය. වයඹ පළාත් සභාවේ සිටින පරිණතම සභාපතිවරයා වන ධර්මසිරි, පළාත් සභාවක සභාපතිවරයා ඉවත්කිරීමේ ක‍්‍රමවේදය පිළිබද විග‍්‍රහ කළේ වසර පහළොවක් පමණ වන සිය සභාපති ධූරකාලයේ අත්දැකීම්ද ඇසුරිනි. එම විග‍්‍රහය අවසානයේදී උතුරුමැද මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීම ගැන මෙන්ම උතුරුමැද සෙංකෝලයට සිදු වූ විපත පිළිබදවත් ධර්මසිරි සංවේදී ලෙස අදහස් දැක්වීය. ‘උතුරුමැද සිද්ධිය ගැන නම් මම හරියට කණගාටු වෙනවා. හරිම අශෝභනයි. ඉතාම සුඵ දෙයක් වෙනුවෙන් දෙගොල්ලෝ කෑ කෝ ගහලා, ගහ බැණගත්තා. මන්ත‍්‍රීවරු බිම වැටුණා. අර වයසක මනුස්සයෙකුත් තල්ලු කරනවා මම දැක්කා. සෙංකෝලෙත් අරගෙන ඒකත් කැඩුවා. අන්තිමට සෙංකෝලේ තිබුණේ ටොයිලට් එකේ. වැසිකිළියේ සෙංකෝලේ හංගන එක කොච්චර අවනම්බුවක්ද ? මොනතරම් කැත වැඩක්ද සෙංකෝලෙට කළේ. සෙංකෝලේ කියන්නේ සභාවේ උත්තරීතර සංඛේතය. අපි සෙංකෝලේ සභාවට ගේද්දීත් නැගිටිනවා. ආපහු ගෙනියද්දිත් නැගිටිනවා. සභාව වෙනස් වෙද්දිත් නැගිටිනවා. සභාවේ ඉන්න අපි සියලුදෙනාම ඔලුව නවලා ගරු කරන්නේ සභාපතිතුමාට නෙවෙයි සෙංකෝලයටයි. එහෙව් උත්තරීතර සංඛේතයක් වැසිකිළියකට දැම්මා කියන්නේ ඉතාම ශෝචනීය තත්වයක්.’’ධර්මසිරි වේදනාත්මක ස්වරයකින් පැවසීය.

උපුටාගැනීම – ජනයුගය පුවත්පත, 2017 ජූලි 27 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article