Thursday, April 25, 2024

බිරිදට අතින් පයින් වැඩ පෙන්වා රෝහල්ගත කළ සෙබළ සැමියෙකුට මුදල් සහ ශරීර ඇප.

Must read

army_solider

රෝහල් ගතවීමට සිදුවන අයුරින් තම බිරිදට දරුණු ලෙස පහර දී වද හිංසා කළ බව කියන හමුදා සෙබළකු රුපියල් පන්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙසට නියෝග කළ කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා මින් ඉදිරියටත් බිරිදට එවැනි පහරදීම් කළහොත් ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගතකරන බවට විත්තිකරුට තරයේ අවවාද කළේය.

මෙලෙස ඇප මත මුදාහැරුණේ කුරුණෑගල, වදුරාගල ප‍්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි එක්දරු පියෙකි. යුද හමුදා තූර්ය වාදක කණ්ඩායමක සාමාජිකයෙකු වන තම සැමියාගෙන් තමන්ට නිරන්තරයෙන් වද හිංසා සහ පහරදීම් සිදුවන බව පවසමින් ඔහුගේ බිරිද විසින් කුරුණෑගල මූලස්ථාන පොලිසියට පැමිණිලි ගණනාවක් සිදුකර තිබේ. එම පැමිණිලි විභාග කිරීමේදී බිරිද සමග සාමදානයෙන් ජීවත්වන ලෙසට අදාල පුද්ගලයා වෙත අවවාද කරමින් පැමිණිලි සමථයකට පත්කිරීමට පොලිසිය විසින් කටයුතු කර ඇති නමුත් එම අවවාද නොතැකූ මෙම පුද්ගලයා ඔහුගේ බිරිදට දිගින් දිගටම පහරදීම් කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ පැවැසීය. පසුගිය දිනෙක ඔහු විසින් කල පහරදීමකින් තුවාල ලැබූ අදාල කාන්තාව කුරුණෑගල ශික්ෂණ රෝහලේ දින හතරක් පුරා නේවාසිකව ප‍්‍රතිකාර ලැබූ බවද පොලිසිය පැවසීය. මින් පෙර ලැබී තිබූ පැමිණිලිද සලකා බලමින් අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන බිරිදට පහර දී වද හිංසා කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට වෙත ඉදිරිපත් කළ බවද පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවැසීය. විත්තිකාර සෙබළ සැමියා වෙත තරයේ අවවාද කරමින් ඇප නියම කළ මහේස්ත‍්‍රාත්වරයා ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය චෝදනාව යටතේ ඔහුට විරුද්ධව නඩු පවරන ලෙසටද පොලිසියට වැඩිදුරටත් නියෝග කළේය.

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මංගල වික‍්‍රමනායක මහතාගේ උපදෙස් මත, එහි ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි, කාන්තා පොලිස් පරීක්ෂක ජයකොඩි මහත්මියගේ මෙහෙයවීමෙන් , කාන්තා පොලිස් කොස්තාපල් ගයානි (5820 ) මහත්මිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළාය.

(ප්‍රවෘත්තිය සදහා යොදාගෙන ඇති  ඉහත ඡායාරූපය මෙම සිදුවීමට අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල නිරූපනයක් පමණක් බව කරුණාවෙන් සලකන්න )

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article