Thursday, April 25, 2024

නගර සභාවේ මුදල් වැය කිරීමට සහ බදු එකතු කිරීමට කොමසාරිස්ට බලයක් නැතැයි කුරුණෑගල වැසියෙකු උසාවි යයි.

Must read

mck_court_case

මහජන ඡන්දයෙන් විධිමත් ලෙස තෝරාපත් කරගත් මහ නගර සභාවක් නොමැති තත්වයක් තුළ මහ නගර සභාව සතු මුදල් වියදම් කිරීමට හෝ වරිපනම් බදු අයකර ගැනීමට නාගරික කොමසාරිස්වරයාට බලයක් නොමැති බැවින්, මහජන නියෝජිතයින්ගෙන් සැදුම්ලත් මහ නගර සභාවක් පත්කරගන්නා තෙක් එවැනි කටයුතුවලින් නාගරික කොමසාරිස්වරයා වලක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් කුරුණෑගල මහ නගර සභා බල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කුරුණෑගල දිසා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

කුරුණෑගල මහ නගර සභා බල ප‍්‍රදේශයෙහි පදිංචි ව්‍යාපාරිකයෙකු වන එච්. නදීක හෙට්ටිආරච්චි මහතා විසින් ගොනුකර ඇති මෙම පෙත්සමෙන් , මහ නගර සභා ආඥා පනතේ 5 වැනි සහ 8 වැනි වගන්ති යටතේ විධිමත් ලෙස තෝරාපත්කරගත් නගර සභාවක් නොමැති තත්වයක් තුළ මහ නගර සභාවේ කාර්ය සහ බලය ආරූඪ කරගනිමින් ක‍්‍රියාත්මකවීමට නාගරික කොමසාරිස්වරයාට හිමිකමක් නොමැති බවත්, මහ නගර සභා අරමුදලේ සහ සභාවේ ආදායම්වලට ඇතුලත් මුදල් වියදම් කිරීමට හිමිකමක් නොමැති බවට සහ වරිපනම් ආදී බදු අයකර ගැනීමට හැකියාවක් නොමැති බවත් කියා සිටී. එබැවින් මහජන නියෝජිතයින්ගෙන් සැදුම්ලත් සක‍්‍රීය මහ නගර සභාවක් පත්කරගන්නා තෙක් ඉහත දක්වා ඇති කාර්යයන්වලින් නාගරික කොමසාරිස්වරයා වලක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකත් කරන්නැයි පෙත්සම්කාර නදීක හෙට්ටිආරච්චි මහතා අධිකරණයෙන් ඉල්ලා සිටී.

මෙම පෙත්සම සලකා බැලූ කුරුණෑගල අතිරේක දිසා විනිසුරු නදීකා පියරත්න මහත්මිය විසින් පෙත්සම්කරු විසින් ඉල්ලා සිටින අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට හේතු ඇත්නම් ඒවා අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කුරුණෑගල මහ නගර සභාවේ කොමසාරිස්වරයා වෙත පසුගිය 25 වැනිදා නොතීසි නිකුත් කළාය. පෙත්සම පිළිබද වැඩිදුර විභාගය 2017 අගෝස්තු මස 29 වැනිදා දක්වා කල්තැබිණි. මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ අරුණ කීර්ති දසනායක, නීතිඥ උපාලි ජයමාන්න සහ නීතිඥ ජෙනට් ජයවර්ධන යන මහත්ම මහත්මීහු අධිකරණය හමුවේ පෙනීසිටියහ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article