Thursday, April 25, 2024

ඒකාබද්ධයෙන් හැමදාම කියවන – කවුද මේ වයඹට ගේන පූජිත ?

Must read

ayg_2017_08_3_1

කැබිනට් ඇමැතිටත් උඩින් ගිය – ගොවිජන දෙපාර්තමේන්තුවේ ලොකු තැන.

ජනපති නිල මෙහෙවර ජාතික වැඩසටහනේ කුලියාපිටිය බටහිර ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අදාල ජංගම සේවය පසුගිය සෙනසුරාදා පැවැත්වුණේ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේදීය. මෙම ජංගම සේවය සදහා ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන, අධ්‍යාපන ඇමැති අකිල විරාජ්, වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායක ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ. උත්සවය ආරම්භවීමෙන් පසුව මැති ඇමැති පිරිස එක් එක් කුටියට යමින් ජංගම සේවයේ කටයුතු සිදුවන අයුරු විමසා බැලූහ. නීත්‍යානුකූලව විවාහ වී නොසිටි වියපත් යුවළ කිහිපයකගේ විවාහය ලියාපදිංචි කිරීමද ජංගම සේවයේ එක් කුටියකදී සිදුකෙරුණු අතර එම විවාහයන්හි මනාල සහ මනාලි පාර්ශ්ව නියෝජනය කරන සාක්ෂිකරුවන් ලෙස අස්සන් තැබුවේ අකිල සහ ධර්මසිරි විසිනි. ජංගම සේවයේ වෛද්‍ය සේවා කුටියකට ගිය අකිල සහ ධර්මසිරි රුධිර පීඩනය පරීක්ෂා කරවාගන්නටද කටයුතු කළහ. අකිල සහ ධර්මසිරි පරීක්ෂාවට ලක් කළ වෛද්‍යවරුන් කීවේ දෙදෙනාගේම බ්ලඩ් පෙෂර්වල වරදක් නැති බවය. මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තු කුටියට ගිය ඇමැති අකිල කලක් තිස්සේ තමන්ට අතපසුවෙමින් තිබූ පුද්ගලික කටයුත්තක් එහිදී ඉටුකරවා ගත්තේය. කල්ඉකුත් වී තිබූ සිය රියැදුරු බලපත‍්‍රය අලුත් කරගැනීම වෙනුවෙන් එම කුටියේදී අක්ෂි පරීක්ෂාවකට සහ වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටි අකිලට අවසානයේදී ඡායාරූප ලබාගැනීම වෙනුවෙන්ද පෙනී සිටීමට සිදුවිය. රියදුරු බලපත‍්‍රය අලුත් කිරීමට අදාල කටයුතු අවසන් කළ අකිල අනෙකුත් ආරාධිතයින් සමග එක්ව ජංගම සේවාවේ නිරීක්ෂණ කටයුතු යළි ආරම්භ කරමින් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කුටියටද ගොඩවැදිණි. කොළඹින් පැමිණි බව කියන නිලධාරියෙකු එම කුටිය භාරව සිටියේය. කුලියාපිටිය ප‍්‍රදේශයේ සිදුවෙමින් පවතින කුඹුරු ඉඩමක් ගොඩකිරීමක් පිළිබදව ඇමැති අකිල එම නිලධාරියාගෙන් විමසා සිටියේය. ‘‘ඒක පහළම තැන ඉදලා අපි ළගට ආපු එකක් ඇමැතිතුමා. ඒ නිසා අපි ඒකට අවසර දීලයි තියෙන්නේ. ’’අදාල නිලධාරියා සැහැල්ලු ප‍්‍රතිචාරයක් දක්වමින් කීවේය. නිලධාරියාගේ වගකීම් විරහිත ප‍්‍රතිචාරය අකිලට එතරම් ඇල්ලුවේ නැත. ‘‘ඔයාලා කොහොමද කොළඹ ඉදගෙන මෙහේ ඉඩම් ගොඩ කරන්න අවසර දෙන්නේ. මේක මගේ ගම. මගේ ආසනේ. ඔයාලා ගොඩකරන්න අවසර දෙන ඉඩම් ගැන අපි දන්නෙවත් නෑ.’’අකිල තරමක උස් ස්වරයෙන් කීවේය. ‘‘ඇමැතිතුමා, අහවල් කෙනා තමයි මේකට අවසර දීලා තියෙන්නේ. ’’එවර අදාල නිලධාරියා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ හිටපු උසස් නිලධාරියෙකුගේ නමක් කීවේය. ‘‘එයා කොහොමද මේකට අවසර දෙන්නේ. එයාට තිබුණු ඔය වගේ චෝදනා නිසාම අපි කැබිනට් තීන්දුවක් අරගෙන එයාව අයින් කළානේ. ’’අකිල කීවේය. ‘‘ඒක නම් මම දන්නේ නෑ ඇමැතිතුමා, ඔබතුමාට කරන්න පුලුවන් දෙයක් කරන්න. නමුත් අපි අපේ වැඩේ කරනවා. ’’අකිලගේ විරෝධය මායිම් නොකළ නිලධාරියා යළි කීවේය. අකිලට එවර නම් අසූ හාරදාහට නැග්ගේය. රතු කරගත් මුහුණින් සහ දිගු කරගත් ඇගිල්ලෙන් යුතුව අකිල උස් හඩින් කතාකරන්නට විය. ‘‘ඔහේ දන්නවද ? මමත් ලෝයර් කෙනෙක්. මේ ආණ්ඩුවේ කැබිනට් ඇමැති කෙනෙක්. නීතිය ගැන මමත් හොදට දන්නවා. යමක් කතාකරද්දි ආවාට ගියාට කතාකරන්නේ නැතිව වගකීමෙන් කතාකරන්න. රටේ හැමතැනම තියෙන කුඹුරු හිතෙන හිතෙන හැටියට ගොඩකරන්න දෙන්න මොකක්ද ඔයාලට තියෙන බලය ? ඔහොම ගියොත් ඔයා ගැනත් තීරණයක් ගන්න අපිට සිද්ධවෙයි. ’’අකිල වේගවත් හඩින් කීය. ‘‘ආ, ඒකට කමක් නෑ ඇමැතිතුමා, රාජ්‍ය සේවකයින් හැටියට රටේ ඕනෑම තැනක වැඩකරන්න අපි බැදිලා ඉන්නවා. ’’අකිල සමග එකට එක කියමින් අදාල නිලධාරියා කීය. තවදුරටත් එතැන රැදී සිටීම නුසුදුසු බව වටහාගත් ඇමැති වජිර සහ මහ ඇමැති ධර්මසිරි අකිල එතැනින් ඉවතට රැගෙන ගියහ.

වරායේ විරෝධයට ආපු – නාපු මෙන්න !

හම්බන්තොට වරාය ගිවිසුමට විරෝධය පළකරමින් වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු පිරිසක් සභාව තුළ විරෝධතාවයක යෙදීම නිසා පෙරේදා පැවැති වයඹ පළාත් සභා රැස්වීම එකම කාලගෝට්ටියක් බවට පත් වූ අයුරු එදින අප වෙබ් අඩවිය වාර්තා කළේය. එදින සභාගැබට පැමිණි ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් බොහෝ දෙනෙකුගේ අත්වල කළුපටියක් ගැටගසා තිබූ අතර ඇතැමෙකු සභා ගැබට පැමිණ සහෝදර මන්ත‍්‍රීවරයෙකු ලවා කඵ පටි බන්දවාගන්නා අයුරුද දැකගත හැකිවිය. මන්ත‍්‍රීවරුන්ගේ කඵ පටිය හරහා සභාව තුළ යම් සිදුවීමක් සිදුවීමට නියමිත බවට පූර්ව ඉගියක් ලැබීමත් සමග සභාව වාර්තාකරමින් මාධ්‍යවේදීන් සිය කැමරා සූදානම් කරගනිද්දී මහජන ගැලරියේ අසුන්ගෙන සිටි බුද්ධි අංශ නිලධාරිහුද සිය සටහන් පොත් පෙරළාගෙන ඒ සදහා ලකලෑස්ති වූහ. මන්ත‍්‍රී පියුමාල් හේරත් සහ අසංක නවරත්න සභා ගැබට ඇතුලු වූයේ සභාව ආරම්භ වී විනාඩි විස්සකට පමණ පසුවය. ආණ්ඩු පක්ෂයේ දොරටුවෙන් ඇතුලු වූ පියුමාල් කඩිසර ගමනින් යුතුව එක එල්ලේම සිය අසුන වෙත පැමිණි අතර සිය ලිපිගොනුව සහ උඩු කබාය අතර සගවාගෙන ආ යමක් එළියට ගත්තේය. පියුමාල් විසින් එළියට ඇදගත්තේ බිස්ටි‍්‍රල් බෝඞ් මිටියකි. ප්ලැටිග්නම් ආධාරයෙන් එම කාඞ්බෝඞ් කැබැලි මත යම් යම් වැකිද ලියැවී තිබෙනු පෙණිනි. අනතුරුව පියුමාල් විසින් එම පුවරු ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් වෙත බෙදාහැරීම ආරම්භ කළේය. ආණ්ඩු පක්ෂය පැත්තේ මේසයෙන් මේසයට ගිය පියුමාල් එම මේසවල අසුන්ගෙන සිටි මන්ත‍්‍රීවරුන් අතරේ අදාල පුවරු බෙදාහරින අයුරුත්, මන්ත‍්‍රීවරුන් විසින් ඒවා සිය මේස අස්සට ඔබාගන්නා අයුරුත් දැකගත හැකිවිය. පියුමාල්ගේ බෙදාහැරීම අවසන් වනවත් සමගම පුද්ගලික කරුණු දැක්වීම් යටතේ අදහස් දැක්වීමේ අවස්ථාව මන්ත‍්‍රී ඩී. බී. හේරත් වෙත ලැබිණි. හම්බන්තොට වරාය ගිවිසුම සහ වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියාකාරීත්වය දැඩි ලෙස විවේචනය කරමින් අදහස් දැක් වූ ඩී. බී. සිය අදහස් දැක්වීම අවසානයේදී ඔහුගේ මේසය යට සගවා තිබූ විරෝධතා පුවරුවක් එළියට ඇද සභාවට ප‍්‍රදර්ශණය කරන්නට විය. ඩී. බී. ගේ එම සංඥාවත් සමග සිය අසුන්වලින් නැගී සිටි ආණ්ඩු පක්ෂයේ සෙසු මන්ත‍්‍රීවරුන්ද, පියුමාල් විසින් ඔවුන් අතට පත්කර තිබූ විරෝධතා පුවරු ප‍්‍රදර්ශණය කරමින් විරෝධය පළකරන්නට වූහ. ඊට එරෙහිව විපක්ෂය පැත්තෙන් නැගුණු විරෝධයත් සමග සභා රැස්වීම ජංජාලයක් බවට පත්විය. ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් බෝඞ් අල්ලාගෙන ගෑ ගසද්දී මහ ඇමැති ධර්මසිරි මෙන්ම ඇමැති මණ්ඩලයේ සෙසු සාමාජිකයින් වන දෙහිගම, සන්ධ්‍ය සහ සුමල් මුනිවත රකිමින් එදෙස බලාසිටිනු පෙණිනි. එමෙන්ම සභානායක බණ්ඩාර රාජපක්ෂ, නියෝජ්‍ය සභාපති සෝමසිරි ගුණතිලක මෙන්ම මන්ත‍්‍රීවරුන් වන ඒ. පී. කීර්තිරත්න, කුමාරකීර්ති චන්ද්‍රසිරි සහ මන්ත‍්‍රීනි ඉන්ද්‍රාණි දසනායකත් ඔවුන්ගේ අසුන්වලම වාඩි වී සිටියේ ඔවුන් එම විරෝධයට එක්නොවන බවක් පෙන්වමිනි. ආණ්ඩු පක්ෂයේ විරෝධයෙන් අනතුරුව පුද්ගලික ප‍්‍රකාශ සදහා නැගී සිටි ජවිපෙ මන්ත‍්‍රී නාමල් කරුණාරත්න කීවේ තමන් කඵ පටියක් බැදගත්තේ වගා සහන වන්දි නොලැබීමෙන් පීඩාවට පත්ව සිටින ගොවීන් වෙනුවෙන් බවය. ඉන් අනතුරුව නැගී සිටි සභානායක චින්තක මායාදුන්නත් කීවේ තමන් කඵ පටිය බැන්දේ වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිසමට විරෝධය පළකරන්නට බවය.

විපක්ෂයේ බාධාකිරීම් ගැන ආණ්ඩුව කණස්සල්ලෙන්.

දැනට මාස දෙක තුනකට පමණ පෙර සිට වයඹ පළාත් සභා රැස්වීම්වලින් වයඹ සභාවට ආගන්තුක නමක් ඇසෙන්නට පටන්ගෙන තිබේ. ඒකාබද්ධ විපක්ෂ පිල නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් විසින් සුලබව භාවිතා කරමින් ඇති ‘‘පූජිත ’’යන මෙම ආගන්තුක නම ඔවුන් විසින් යොදාගන්නේ විපක්ෂය වෙත ඔච්චම් කිරීමටය. පෙරේදා පැවැති පළාත් සභා රැස්වීමේදීත් මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් විසින් පූජිතගේ නාමය ඈදාගනිමින් විපක්ෂනායක ශමල් වෙත ඔලොක්කුවක් දැම්මේය. එදින පළාත් සභා රැස්වීමේදී ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් ගණනාවක්ම පුද්ගලික කරුණු දැක්වීම් යටතේ අදහස් දැක්වූහ. එම අදහස් දැක්වීම්වලින් ආණ්ඩුව හෝ අගමැතිවරයා විවේචනය වෙද්දී විපක්ෂනායක ශමල් සෙනරත් සහ විපක්ෂ සංවිධායක චිත‍්‍රාල් ප‍්‍රනාන්දු සභා රීති සංග‍්‍රහය උපුටාදක්වමින් එම අදහස් දැක්වීම්වලට බාධා කළහ. ශමල්ගෙන් සහ චිත‍්‍රාල්ගෙන් දිගින් දිගටම සිදුවන බාධාකිරීම් ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ට මහත් හිසරදයක් වී තිබූ බව පෙණිනි. ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී ආනන්ද චන්ද්‍රලාල් සිය කතාව ඇරඹීමට පෙර කීවේ ‘‘දැන් විපක්ෂ සංවිධායකතුමා කියන විදිහට මට මෙතැන කතාකරන්න පුලුවන් වෙන්නේ මමයි, මගේ නෝනයි, මගේ ළමයා ගැනයි විතරයි. ’’කියාය. මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් අදහස් දක්වමින් සිටියදී විපක්ෂ නායක ශමල් ඊට බාධාකිරීම නිසා සමන්ප‍්‍රියට යකා නැග්ගේය. ‘‘මේ වැඩේ හරියන්නේ නෑ. දැන් නම් පූජිතව ගේන්නම වෙනවා. තමුන්නාන්සේ බොරුවට කෑ ගහන්නේ නැතිව පුටුව බේරගන්න බලන්න. අඩුම ගාණේ විපක්ෂ සංවිධායකකම හරි ඉතිරි කරගන්න පුලුවන් වෙයි. ’’යැයි සමන්ප‍්‍රිය කියද්දී සභාව සිනාහඩින් පිරී ගියේය.

අධ්‍යක්ෂ මණ්ඩල තීරණයට එරෙහිව සතිඅන්ත මෙහෙයුමක්.

වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය විසින් පුද්ගලික බස්රථ සදහා නිකුත් කරන මගී ප‍්‍රවාහන ධාවන බලපත‍්‍ර හෙවත් රූට් පර්මිට් හතරක් අස්ථාන ගතවීමේ සිදුවීම සම්බන්ධයෙන්, තෝරු මෝරු මගහැර හාල්මැස්සන් කොටුකිරීමේ වැඩපිළිවෙලක් දියත් වී ඇති බවට පසුගිය බ‍්‍රහස්පතින්දා අඵ යට ගිනි පිටුවෙන් කළ හෙළිදරව්ව ඊට පසුදින වනවිට මල්ඵල දරා තිබිණි. ඒ අනුව පසුගිය සිකුරාදා රැස් වූ වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් විසින් අදාල සිදුවීමට සම්බන්ධ සේවක සේවිකාවන් අට දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ඒකමතිකව තීන්දු කළහ. එම තීන්දුව සක‍්‍රිය කරවමින් වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකාරවරයා, සහකාර ධාවන කළමනාකාරවරයා, විෂය ලිපිකාරිනියක් සිව්දෙනෙකු, විෂය ලිපිකරුවෙකු සහ කාර්යාල කාර්ය සහායකවරයෙකුගේ වැඩ තහනම් කිරීමේ නියෝග ලිපිවලට අමාත්‍යංශ ලේකම් ඒ. ඩී. අමරසිරි විසින් පසුගිය සදුදා අස්සන් තබනු ලැබීය. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් වැඩ තහනම් කිරීමේ තීරණයට එළැඹි පසුගිය සිකුරාදා පස්වරුවේ සිට අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඊට අත්සන් තැබූ පසුගිය සදුදා දහවල් වනතෙක් තිරය පිටුපස සිදු වූ සිදුවීම් ගණනාවක් පිළිබදව අඵ යට ගිනි වෙත තොරතුරු ලැබී තිබේ. අධ්‍යක්ෂ මණ්ඩලයේ අදාල තීරණය, වෛද්‍ය උපදෙස් මත නිවසට වී විවේක සුවයෙන් පසු වූ විෂයභාර ඇමැති ගුණදාස දෙහිගමගේ විවේකය පවා අහිමි කිරීමට හේතු වූ බව කියැවෙයි. අධ්‍යක්ෂ මණ්ඩල තීරණය සංශෝධනය කරන ලෙස ඉල්ලමින් දෙහිගමගේ දුරකථනයට වැල නොකැඩී ඇමැතුම් ගලා එද්දී ඇතැමෙකු දෙහිගමගේ නිවසට ගොස් ඇමැතිවරයා වෙත දුක කියන්නටත් කටයුතු කර තිබූ බවද කියැවෙයි. අධ්‍යක්ෂ මණ්ඩල තීරණය වෙනස්කරවා ගැනීම වෙනුවෙන් ක‍්‍රියාත්මක වූ එවැනි උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වී ගොස් තිබුණේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් මෙන්ම අමාත්‍යංශ ලේකම්වරයාද ධාවන බලපත් අස්ථානගතවීම සම්බන්ධයෙන් දැඩි මතයක පිහිටා සිටීම හේතුවෙන් බව කියැවෙයි. හතරවටින් ගලා ආ අනේකවිද බලපෑම් දරා ගනිමින්, ධාවන බලපත් අස්ථානගතවීම සම්බන්ධයෙන් වගකිවයුතු පිරිසගේ වැඩ තහනම් කිරීමේ ලිපිවලට අමාත්‍යංශ ලේකම් ඒ. ඩී. අමරසිරි විසින් සදුදා දහවල් සිය අත්සන යෙදුවේය.

පුටාගැනීම – ජනයුගය පුවත්පත, 2017 අගෝස්තු 03 වැනිදා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article