Thursday, April 25, 2024

සවුදියේදී මිය ගිය දෙදරු මව ගැන තොරතුරුත් නෑ : මළ සිරුරරත් නෑ ! ( VIDEO )

Must read

sudhi_death_hangawa

ගෘහ සේවිකාවක් ලෙස සවුදි අරාබියේ සේවය කරමින් සිටියදී මිය ගිය බව කියන කුරුණෑගල , හැගව ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ මළ සිරුර පවා අතුරුදන් වී ඇති බැවින් ඒ පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වා අදාල කාන්තාවට සිදුවූයේ කුමක්දැයි සොයාබලන ලෙසට ඇගේ ඥාතීහු රජයෙන් ඉල්ලා සිටිති.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ මොරගොල්ල ජනපදය, හැගව, තෝරයාය ප‍්‍රදේශයේ පදිංචි ආර්. ඩබ්ලිව්. සෝමලතා නැමැති 48 හැවිරිදි දෙදරු මවකි. මෙම කාන්තාව සවුදි අරාබියේ රියාද් නුවර පිහිටි නිවසක ගෘහ සේවිකාවක් වශයෙන් සේවය කිරීම සදහා 2017 මාර්තු මස 22 වැනිදා මෙරටින් පිටත් වී ගොස් තිබේ. කුරුණෑගල පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයක් මගින් ඇයව විදේශ ගතකර ඇති අතර එහි සියලු සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇත්තේ අදාල විදේශ රැකියා ආයතනයේ උප ඒජන්තවරයෙකු ලෙස කටයුතු කරන තවත් ඥාතියෙකු බව ඇගේ ඥාතිහු කියති. එරට සිට වරින් වර තම දරුවන්ට දුරකථනයෙන් අමතා ඇති සෝමලතා මහත්මිය අවසන්වරට ඇගේ පුත‍්‍රයා අමතා ඇත්තේ පසුගිය ජූනි මාසයේ මුල් සතියේදීය. එදින සිට මේ දක්වාම ඇයගේ කටහඩ අසන්නට නොලැබුණු බව ඇගේ ඥාතීහු කියති. පසුගිය ජූලි 13 වැනිදා සෝමලතා මහත්මිය විදේශගත වූ විදේශ රැකියා නියෝජිත ආයතනයෙන් ඇගේ ඥාතීන් වෙත දැනුම් දී ඇත්තේ හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ජූලි 11 වැනිදා එරට රෝහලකදී ඇය මියගිය බවය.

මියගිය කාන්තාවගේ එකම දියණිය වන සංගීතා මිහිදුකුල මහත්මිය මෙසේ පැවසුවාය.

‘‘ අම්මා සවුදියට ගිහින් සතියක් විතර හොදට හිටියා. නමුත් පස්සේ පස්සේ ගෙදර අයගෙන් කරදරයි කියලා අපිට කෝල් කරලා කිව්වා. අපි ඒජන්සියට ගිහින් ඒ බව කිව්වත් එයාලා ඒ ගැන මොනවත් කළේ නැහැ. අම්මා අන්තිම වතාවේ මල්ලිට කතා කරපු වෙලාවේ කියලා තිබුණා එයයි, තවත් කීපදෙනෙකුයි ඒ රටේ ඒජන්සියකට ගෙනියනවා කියලා. මාව මරන්න තමයි ගෙනියන්නේ, අක්කව හොදට බලාගන්න කියලා අඩ අඩා කියලා තිබුණා. එදායින් පස්සේ අම්මා අපිට කතා කළේ නෑ. අම්මා ගැන කිසිම තොරතුරක් ලැබුණෙත් නැහැ. එහෙම එද්දී තමයි ඒජන්සියෙන් අපිට කෝල් කරලා කිව්වේ අම්මා ඒ රටේ ඉස්පිරිතාලෙකදී අම්මා නැති වුණා කියලා. අපි ඒජන්සියටයි, විදේශ සේවා නියුක්ති කාර්යංශටයි ගිහින් මේ ගැන කිව්වා. අම්මා ගැන හොයලා බලලා දැනුම් දෙන්නම් කියලා කීවත් අද වෙනකම් කිසිම තොරතුරක් නැහැ. අම්මත් එක්ක සවුදිවල ඉන්න හිටපු ලංකාවේ ගෑණු කෙනෙකුට කතාකරලා අම්මා ගැන හොයලා බලන්න කියලා අපි කීවා. අම්මා එහේ ඒජන්සියේදී බෙල්ල වැල දාගෙන මැරුණා කියලයි, ඒජන්සියේ අයිතිකාරයා මිනිය වළදැම්මා කියලයි ආරංචියක් තියෙනවා කියලා ඒ ගෑණු කෙනා අපිට කිව්වා. අපි දැන් මාසයක් තිස්සේ නොගිය තැනක් නෑ. නොකරපු දෙයක් නෑ. නමුත් හොදට හිටපු අම්මට වුණේ මොකද කියලාවත් අපි දන්නේ නෑ. ඒජන්සියෙන් කියනවා අම්මා අසනීප වෙලා මැරුණා කියලා. අම්මත් එක්ක හිටපු අය එල්ලිලා මැරුණා කියලා. එහෙම මැරුණා නම් අම්මගේ මිනියට මොකද වුණේ ? සමහරු කියනවා අම්මා ලංකාවට එව්වා කියලා. ඒජන්සියෙන් කියන්නේ ඒ අයට තවත් කරන්න දෙයක් ඉතිරිවෙලා නෑ කියලා. ඒ නිසා මම රජයෙන් ඉල්ලන්නේ මගේ අම්මට මොකද වුණේ කියලා හොයලා බලන්න කියලයි. අම්මා මැරුණා නම් මිනියට මොකද වුණේ කියලාවත් අපිට කියන්න. ’’ යැයි ඕ කීවාය.

සෝමලතාගේ මව සහ දියණිය

sudhi_death_hangawa_1

සෝමලතාගේ දියණිය සංගීතා මිහිදුකුල

sudhi_death_hangawa_2

සෝමලතා මියගිය බව දන්වා විදේශ රැකියා නියෝජිත ආයතනයෙන් එවූ ලිපිය

sudhi_death_hangawa_3

sudhi_death_hangawa_4

සෝමලතා ජීවත් වූ කුඩා නිවස

 sudhi_death_hangawa_5

ටීවී වන් නාලිකාව සිය  රාත්‍රි 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ එක්ස්පෝස් විශේෂාංගයෙන් සෝමලතා පිළිබද කළ  හෙළිදරව්වේ වීඩියෝව පහත දැක්වෙයි. 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article