Tuesday, April 23, 2024

අත්අඩංගුවට ගත් මුරකාර යුවළ කුලියාපිටිය වතු පාලක ඝාතනයේ රහස් වමාරති.

Must read

kuliyapitiya _murder

කුලියාපිටිය, අලලුව ප‍්‍රදේශයේ වතු පාලකවරයෙකුට උදලු මිටකින් පහර දී ඝාතනය කර, ඔහු සතු මුදල් පැහැරගෙන පලාගිය බවට චෝදනා එල්ල වී තිබූ අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගැනීමත් සමග එම අපරාධයේ සුලමුල හෙළිකර ගැනීමට කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරිහු ඊයේ (07 දා) සමත්වූහ.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ මියගිය වතුපාලකවරයා යටතේ මුරකරුවෙකු ලෙස සේවය කළ ද්‍රවිඩ ජාතිකයෙකු සහ ඔහුගේ බිරිදය.

පොතුහැර, කුරිපොත්ත ප‍්‍රදේශයේ පදිංචි සුභසිංහ ආරච්චිලාගේ අශෝක කුමාර සුභසිංහ නැමති 61 හැවිරිදි වතු පාලකවරයෙකු එම වත්ත තුළදී ඝාතනය කර තිබියදී ජූලි මස 23 වැනිදා පොලිසිය විසින් සොයාගනු ලැබීය. එම වත්තේ සේවය කරමින් සිටි මුරකාර යුවලක් ඝාතනයෙන් පසු අතුරුදන්වීම පිළිබදව සැකකල පොලිසිය ඒ ඔස්සේ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබිණි. සැකකරුවන් පදිංචි බවට සැකකෙරුණු මීගමුව, රත්නපුරය ඇතුලු ප‍්‍රදේශ ගණනාවක් පිළිබදව පොලිසිය සෝදිසියෙන් පසු වී ඇති අතර එම මෙහෙයුම්වල ප‍්‍රතිඵලයක් ලෙස බැලුම්මහර ප‍්‍රදේශයේ පිහිටි කුකුලු ගොවිපොලක සේවය කරමින් සිටි මෙම යුවල ඊයේ අලුයම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් කාන්තාව සත්මස් ගැබිණියක් බව පොලිසිය කියයි.

ඝාතනය සිදු වූ දින උදෑසන සැකකාර මුරකරු විසින් වතු පාලකවරයාගෙන් මුදල් ඉල්ලා ඇති අතර, එහිදී මුරකරුගේ නොසැලකිල්ල මත යන්ත‍්‍රයක් කැඩීයාම පිළිබදව වතුපාලකවරයා විසින් දොස් පවරා තිබේ. බහින්බස්වීමක් දක්වා දුරදිග ගිය මෙම සිදුවීම අවසානයේදී සැකකරු විසින් අසල තිබූ උදලු මිටකින් වතු පාලකවරයාගේ හිසට පහර දී තිබේ. බිම ඇද වැටුණු වතු පාලකවරයාට සැකකාර කාන්තාව විසින්ද උදලු මිටි පහර කිහිපයක් එල්ල කිරීමෙන් පසුව බාල්දියට යොදා තිබූ කඹයෙන් වතුපාලකවරයා බැද දැමීමද ඇය විසින් කර තිබේ. පසුව සැකකරුවන් විසින් වතු පාලකවරයාට අයත් යතුරු පැදියේ ඉන්ධන බට කපා දමා, අල්මාරියේ තිබූ මුදල් සහ වතු පාලකවරයාගේ ජංගම දුරකථනයද රැගෙන ත‍්‍රිරෝද රථයක නැගී කුලියාපිටිය නගරයට පැමිණ කොළඹට පලාගොස් තිබේ.

අත්අඩංගුවට ගත් සැකරුවන්ගේ ප‍්‍රකාශ අනුව අදාල ළදු කැලෑවකට විසිකර තිබූ පහරදීමට යොදාගත් බව කියන උදලු මිටද පොලිසිය විසින් සොයාගෙන තිබේ. සැකකරුවන් පැහැරගෙන ගිය මුදලින් මිලදීගෙන තිබූ ටැබ් පරිඝනකයක්ද පොලිස් භාරයට ගැණිනි.

කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂක අජිත් ප‍්‍රියන්ත මහතාගේ උපදෙස් මත කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ වැඩබලන ස්ථානාධිපති, උප පොලිස් පරීෂක වික‍්‍රමනායක, අපරාධ ස්ථාන පරීක්‍ෂණාගාරයේ උප පොලිස් පරීක්‍ෂක සිරිසෝම, පොලිස් සැරයන් පියරත්න (20626), ජයකොඩි (52609) , සෙනවිරත්න (33604), කාන්තා පොලිස් සැරයන් කස්තුරි (4233), පොලිස් කොස්තාපල් කරුණාරත්න (32647) , ආනන්ද (49077), රොහාන් (57893), චමිල (37525), සුමේධ (36232),ප‍්‍රියදර්ශන (53311), ප‍්‍රියශාන්ත (20230) වීරසේකර (35826) කාන්තා පොලිස් කොස්තාපල් ශ‍්‍රීමතී (3086)  සහ පොලිස් කොස්තාපල් රියදුරු අනුර (2007) යන නිලධාරීහු සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article