Saturday, April 20, 2024

ටිකිරි බණ්ඩා පුටුවෙන් එළවා නිලන්ත සභාපති කරවීමේ වෑයමක් !

Must read

ayg_2017_8_7

ශ‍්‍රීලනිප දිස්ත‍්‍රික් බලමණ්ඩල රැස්වීමටත් අළු යට ගිනි ඇතුලු වෙයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් බල මණ්ඩල රැස්වීම පසුගිය සෙනසුරාදා පැවැත්වුණේ කුරුණෑගල සමූපකාර උත්සව ශාලාවේදීය. දිස්ත‍්‍රික් නායකයා ලෙස ඇමැති ඇමැති අනුර යාපා විසින් කැදවා තිබූ බල මණ්ඩල රැස්වීමේ මුලසුන හොබවනු ලැබුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ඇමැති මහින්ද අමරවීර විසිනි. මෙම රැස්වීම සදහා ශ‍්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායකද සහභාගිවීමට නියමිතව තිබූ නමුත් අන්තිම මොහොතේදී දුමින්දගේ සහභාගිත්වය වැළැකී ගොස් තිබිණි. ඇමැති දයාසිරි ජයසේකර, නියෝජ්‍ය ඇමැතිවරුන් වන තාරානාත් බස්නායක, ඉන්දික බන්ඩාරනායක, මහ ඇමැති ධර්මසිරි දසනායක, ඇමැති ලක්ෂ්මන් වේඩරුව, ආසන සංවිධායකවරුන් වන ශාන්ත බණ්ඩාර, කමල් ඉන්දික, ආනන්ද ජයලත්, උපුල් පෙරේරා මෙන්ම දිස්ත‍්‍රික් සංවිධායකවරුන් සහ කොට්ඨාශ නියෝජිතයින් පිරිසක්ද බල මණ්ඩල රැස්වීමට එක් වී සිටියහ. ඉදිරියේදී ආණ්ඩුවෙන් ඉවත් වී ඒකාබද්ධ විපක්ෂයට එක්වන බව කියන ඇමැති ටී. බී. ඒකනායකද බල මණ්ඩල රැස්වීමේ අසුන්ගෙන සිටීම විශේෂත්වයක් වූ අතර පොල්ගහවෙල ආසන සංවිධායක ජයරත්න හේරත් රැස්වීමට ආවේ එහි කටයුතු අවසන්වීමට ඔන්න මෙන්න කියා තිබියදීය. පක්ෂයේ අරමුණු සහ ඉදිරි වැඩකටයුතු පිළිබදව මැති ඇමැතිවරුන් විසින් පැහැදිලි කරදීමෙන් පසුව කොට්ඨාශ නියෝජිතයින්ටද අදහස් දක්වන්නට අවස්ථාවක් ලැබිණි. එහිදී දොඩම්ගස්ලන්ද ආසනය නියෝජනය කරමින් පැමිණ සිටි කොට්ඨාශ නියෝජිතයින්ගෙන් එම ආසනයේ ශ‍්‍රීලනිප සංවිධායකවරයා ලෙස කටයුතු කරන නිමල් විජේසිංහට දෝස්මුරයක් වැටිණි. ‘‘අපේ සංවිධායකතුමාත් එක්ක නම් අපිට වැඩ කරන්න බැහැ. එයා කිසිම වැඩක් කරන්නෙත් නෑ. කිසි උනන්දුවකුත් නෑ. එයාගේ තියෙන නොසැලකිල්ල නිසා දොඩම්ගස්ලන්දේ සංවර්ධන කටයුතුවලට රජයෙන් එවලා තිබුණු විශාල මුදලක් ආපහු ගියා කියලත් අපිට ආරංචියි. ඒ නිසා අපිට දැන් ඉන්න සංවිධායකතුමා අයින් කරලා අලුත් සංවිධායක කෙනෙක් දෙන්න.’’ දොඩම්ගස්ලන්දෙන් පැමිණි සංවිධායකයින් එකිනෙකා නැගී සිටිමින් කියන්නට වූහ. ‘‘හරි, හරි, ඔබතුමාලා කලබල වෙන්නේ නැතිව ඉන්න. අපි ඒ ගැන සාකච්ඡා කරලා තීරණයක් ගන්නම්. ’’විරෝධය දැඩිව නැග එද්දී ඇමැති මහින්ද අමරවීර කීවේය. අනතුරුව සාකච්ඡාවේ සභාවට ගැණුනේ වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා සහ නියෝජ්‍ය සභාපති සෝමසිරි ගුණතිලක ඒකාබද්ධ විපක්ෂය සමග එළිපිටම කටයුතු කරමින් සිටින බැවින් ඔවුන් එම තනතුරුවලින් ඉවත් කර ශ‍්‍රීලනිපය නියෝජනය කරන මන්ත‍්‍රී දෙපළක් එම තනතුරු සදහා පත්කළ යුතු බවටටය. ඊටද ප‍්‍රතිචාර දැක් වූ මහින්ද අමරවීර කීවේ එළැඹෙන පළාත් පාලන මැතිවරණයට පෙර ඒ පිළිබදව තීන්දුවක් ගන්නා බවය.

ටිකිරි බණ්ඩාට එරෙහිව දයාසිරි කඩුව අතට ගනී.

දිස්ත‍්‍රික් බල මණ්ඩල රැස්වීම අවසන් කළ ඇමැති මහින්ද අමරවීර එදින කුරුණෑගල නවාතැන් ගත්තේ ඊට පසුදින ඔහුගේ ප‍්‍රධානත්වයෙන් දිස්ත‍්‍රික්කය පුරා වැඩසටහන් කිහිපයක් සංවිධානය වී තිබීම හේතුවෙනි. මහ ඇමැති ධර්මසිරිගේ පඩුවස්නුවර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය විවෘත කිරීමටත්, නියෝජ්‍ය ඇමැති ඉන්දිකගේ නිකවැරටිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය විවෘත කිරීමත් සහභාගි වූ ඇමැති අමරවීර ඉරිදා පස්වරුවේ මාවතගම සාමෝදය ශාලාවේදී පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මන්ත‍්‍රණයක් ඇමැතීමටද එක්විය. ඇමැති අමරවීර සමග නිකවැරටිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය විවෘත කිරීමට එක් වූ ඇමැති දයාසිරි වයඹ දේශපාලනයේ අනාගත පෙරළියක් පිළිබදවත් එහිදී ඉගිකරන්නට වගබලාගත්තේය. ඒ පෙර දින පැවැති දිස්ත‍්‍රික් බල මණ්ඩල රැස්වීමේදී වයඹ සභාපති ටිකිරි බණ්ඩා තනතුරෙන් නෙරපාහැරීම පිළිබදව කළ සාකච්ඡාවේ තොරතුරුවලින් බිදක්ද හෙළිකරමිනි. ටිකිරි බණ්ඩා ගැන කියන්නට පෙර නියෝජ්‍ය ඇමැති ඉන්දික ගැන චරිත සහතිකයක් ලියන්නට දයාසිරි කටයුතු කළේය. ‘‘තමුන්නාන්සේලාට හොද නායකයෙක් ඇවිත් ඉන්නවා. ඉන්දික බණ්ඩාරනායක මැතිතුමා කියන්නේ අහිංසකම මනුස්සයෙක්. ගොවීන්ට ගිහින් කතා කරන්න පුලුවන්, අහිංසකයින්ට එකතුවෙලා වැඩකරන්න පුලුවන් බොහොම නිහතමානි මිනිහෙක්. එතුමාව නිකවැරටිය ආසනයට දානකොට අපි නිලන්ත රාජපක්ෂ මැතිතුමාටත් කතාකරලා තමයි ඒක කළේ. ඒ නිසා අපි නිලන්ත මැතිතුමාටත් සාධාරණය ඉෂ්ට කරන්න ඕනෑ. පළාත් සභාවේ සභාපති තනතුර දරන මනුස්සයා අපේ හාමුදුරුවනේ, හවසට හවසට ගිහින් පොහොට්ටුවේ රැස්වීම් තියෙනවා. පළාත් සභාවේ සභාපතිවෙලා , ආණ්ඩුවේ වාහනෙත් අරගෙන, ආණ්ඩුවෙන් දෙන තෙල් ටිකත් ගහගෙන ගිහින් හවසට පොහොට්ටුවේ රැස්වීම් හදනවා. ඉතිං මම කියන්නේ දැන් ඉන්න සභාපතිව අයින් කරලා ඒ තනතුර නිලන්ත රාජපක්ෂ මහත්තයාට දෙන්න කියලා. අපි සූදානම් ඒකට. එතුමාට සාධාරණය ඉෂ්ට කරන්න ඕනෑ. එහෙම නැතුව මේ විදිහට යන්න දෙන්න බෑ. වැඩි දවසක් යන්නේ නැතිව අපි ඒ තැනට මේක ලෑස්ති කරනවා. ’’දයාසිරි කීවේය.

ජයරත්න හේරත් ආපසු ගමනක.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල ආසනයේ ක‍්‍රියාකාරීන් පසුගිය ඉරිදා සාරගම වැව ආසන්නයේ පිහිටි හෝටලයකට රැස්වුණේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබද සාකච්ඡා කිරීමටය. හිටපු නාගරික මන්ත‍්‍රී තුෂාර සංජීව විසින් කැදවා තිබූ මෙම රැස්වීමේ ප‍්‍රධාන අරමුණ වී තිබුණේ ලබන 27 වැනිදා සිදුකිරීමට නියමිත පොදුජන පෙරමුණේ කුරුණෑගල බල මණ්ඩලය පිහිටුවීම පිළිබදව සාකච්ඡා කිරීමය. අස්වැද්දුම අභිනවාරාමාධිපති එළවිටිගම සෝමානන්ද හිමි, වයඹ පළාත් සභා මන්ත‍්‍රී අසංක නවරත්න, හිටපු නගරාධිපති ගාමිණී පෙරමුණගේ, හිටපු නාගරික මන්ත‍්‍රී අබ්දුල් සත්තාර් ඇතුලු පිරිසක් සහභාගි වී සිටි මෙම රැස්වීමට තවත් සුවිශේෂි අමුත්තෙක් සහභාගි වී සිටියේය. ඒ පොල්ගහවෙල ශ‍්‍රීලනිප සංවිධායක ජයරත්න හේරත්ය. ජයරත්න හේරත් සහභාගි වී සිටියේ තනිව නොව වයඹ පළාත් සභා මන්ත‍්‍රී පියුමාල් හේරත්ද සමගිනි. පෙරදින පැවැති ශ‍්‍රීලනිප බල මණ්ඩල රැස්වීමට මෙන් නොව නියමිත වේලාවටම මෙම සාකච්ඡාවට සහභාගිවන්නට ජයරත්න හේරත් විසින් වගබලාගෙන තිබිණි. කෙසේවෙතත් සාකච්ඡාව අතරතුරදී සෝමානන්ද හිමියන්ගේ, හිටපු මන්ත‍්‍රීවරුන් වන විතානගේ රෝහණ, සිසිර කුමාර ඇතුලු කිහිපදෙනෙකු විසින් දැක්වූ කර්කශ විවේචන ඉවසා සිටීමට ජයරත්න හේරත්ට සිදුවිය. ජයරත්න හේරත්ට එරෙහිව දිගින් දිගටම අවි එසවෙද්දී මන්ත‍්‍රී පියුමාල් නැගී සිට ජයරත්න හේරත් වෙනුවන් කරුණු දැක්වීම නිසා තත්වය තරමක් දුරට සමනය වී ගියේය. අවසානයේදී පිරිස ඇමැතූ ජයරත්න හේරත්ද තමා අතීතයේ කළ කී දෑ මෙන්ම, තමන් විවේචනය කළ මන්ත‍්‍රීවරුන් වෙනුවෙනුත් කළ කී දෑ පිළිබදව සිහිපත්කරමින් කතා කරන්නටවීම නිසා සභාව තවත් වරක් නොසන්සුන් වූ නමුත් කිසිවෙකු ජයරත්න හේරත්ට බාධා නොකිරීම හේතුවෙන් ගැටුමකින් තොරව කතාව අවසන් විය. කතාව අවසානයේදී ජයරත්න හේරත් කීවේ තමන් පොදුජන පෙරමුණ සමග එක්ව කටයුතු කරන නමුත් දැන්ම ඊට ප‍්‍රසිද්ධියේ එකතුවීමට අදහස් නොකරන බවය. ඉදිරියේදී ආණ්ඩුවේ සිටින මැති ඇමැතිවරුන් පිරිසක් පොදුජන පෙරමුණට එක්වීමට නියමිත බැවින් ඔවුන් සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පොදුජන පෙරමුණට එක්වීමට අදහස් කරගෙන සිටින බවද ඔහු කීවේය. ජයරත්න හේරත් එසේ කී නමුත් මන්ත‍්‍රී අසංක සහ තුෂාර විසින් ජයරත්න සහ පියුමාල් දෙපළ පොදුජන පෙරමුණු සාකච්ඡාවේ අසුන්ගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් ඒ වනවිටත් ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම් වෙත මුදා හැරීමට කටයුතු කර තිබිණි. පොදුජන පෙරමුණු සාමාජිකයින්ගේ සාකච්ඡාව මධ්‍යම රාත‍්‍රිය ආසන්න වනතෙක්ම ඇදී ගිය අතර තුෂාර සහ අංසක විසින් ෆේස්බුක් ගිණුම්වලට එක්කළ ඡායාරූපවලට ගල්, මුල් මෙන්ම මල්ද පිරිනැමෙන අන්දමේ ප‍්‍රතිචාර පළවෙමින් තිබිණි.

කැටවලගෙදර යටකරගෙන හුවක් එයි.

පොදුජන පෙරමුණේ කුලියාපිටිය ආසන බල මණ්ඩලය පිහිටුවීම සහ සාමාජිකත්ව ප‍්‍රවර්ධන වැඩසටහන පැවැත්වුණේ පසුගිය සදුදාට යෙදුණු නිකිණි පොහෝ දිනයේදීය. වයඹ පළාත් සභා මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් විසින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට පාර්ලිමේන්තූ මන්ත‍්‍රීවරුන් වන ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, සනත් නිශාන්ත සහ ඉන්දික අනුරුද්ධත් සහභාගි වී සිටියහ. උත්සවයේ සාර්ථකත්වය ගැන මන්ත‍්‍රී සමන්ප‍්‍රිය සතුටින් සිටි බවක් පෙණුනු නමුත්, කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් කැටවලගෙදරට නම් එම උත්සවය අමිහිරි මතකයක් වනවාට කිසිදු සැකයක් නැත. මක්නිසාද එම රැස්වීම අතරතුරදී කැටවලගෙදරට ලැබුණු හූව හේතුවෙනි. සභාව ඇමැතූ මන්ත‍්‍රී ජොන්ස්ටන් සිය කතාව අතරතුරදී කීවේ ‘‘අපේ කැටවලගෙදර සභාපතිතුමා එහාට ගිහින් ඉක්මනටම ආපහු මෙහාටම ආවා.’’කියාය. ජොන්ස්ටන්ගේ එම කතාවත් සමග මුලු සභාවම සිනාහඩින් පිරී ගිය අතර සිනහව අතරින්ම මහ හූ හඩක්ද නැග ආවේය. තමන්ගේ කතාවෙන් කැටවලගෙදරට අත් වූ කණගාටුදායක ඉරණම වටහාගත් ජොන්ස්ටන් හූ නොකියන ලෙස අතින් සංඥා කරද්දී, මන්ත‍්‍රී සමන්ප‍්‍රියද සභාව සන්සුන් කිරීමට උත්සහ කරනු පෙණිනි. අනතුරුව ජොන්ස්ටන් කතාකළේ කැටවලගෙදර සාධාරණීකරණය කිරීමටය. ‘‘ඒකේ වරදක් නැහැ. අපි අවුරුදු එක හමාරකට පස්සේ ගත්තු තීන්දුව මෙතුමා මාස ගාණකින් ගත්තා. ප‍්‍රශ්න තිබුණු නිසයි එතුමා ගියේ. අතුල විජේසිංහ මහත්තයා කැපුවානේ තියාගෙන. නේද ? ඒ නිසා හූ කියන්න නෙවෙයි අපි එතුමාව ආදරයෙන් පිළිගන්නයි ඕනේ.’’යැයි කී ජොන්ස්ටන් වැඩේ ගොඩින් ෂේප් කළේය.

උපුටාගැනීම – ජනයුගය පුවත්පත, 2017 අගෝස්තු 03 වැනිදා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article