Thursday, April 25, 2024

නොමිලයේ ටියුෂන් දී දරුවන් දහස් ගණනකගේ දෑස් පෑදූ විශ්‍රාමික විදුහල්පති ආර්. ඩී. එස්. ජයවර්ධන සමුගනී.

Must read

principle_jayawardena_death

දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පාසල් ගණනාවක ගුරුවරයෙකු සහ විදුහල්පතිවරයෙකු ලෙස සේවය කරමින් සිසු දරු දැරියන් දහස් ගණකගේ නෙත් පෑදීමට දායක වූ කීර්තිමත් විදුහල්පතිවරයෙකු වූ ආර්. ඩී. එස්. ජයවර්ධන මහතා අද දහවල් (10 දා) අභාවප්‍රාප්ත විය.

ජයවර්ධන මහතා පල්ලේයාය මහා විද්‍යාලය, මදුරාගොඩ වීර වළගම්බා මහා විද්‍යාලය සහ රන්තැටිකන්ද මහා විද්‍යාලය ඇතුලු දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පිහිටි පාසල් ගණනාවක විදුහල්පතිවරයෙකු ලෙස කටයුතු කර තිබේ. ඒ මහතාගෙන් ඉගෙනුම ලැබූ සිසු සිසුවියන් දහස් ගණනක් විශ්ව විද්‍යාල වරම් ලබා ඇති අතර ඔවහු මේ වනවිට දෙස් විදෙස් විවිධ ක්ෂේත්‍රයන්හි උසස් නිලතලවල කටයුතු කරමින් සිටිති. භූගෝල විද්‍යාව, සිංහල සහ ගණිතය ඇතුලු විෂයන් ගණනාවක් ඉගැන්වීම සම්බන්ධයෙන් අති දක්ෂ ගුරුවරයෙකු ලෙස ජයවර්ධන මහතා ප්‍රකටව සිටියේය. උත්තම ගුරු භූමිකාවකට පණ පෙවූ ජයවර්ධන මහතා කිසිදු අයකිරීමකින් තොරව සිය නිවසේ උපකාරක පන්ති පවත්වමින් ප්‍රදේශයේ දරු දැරියන් දැනුමෙන් පෝෂණය කිරීමට වසර ගණනාවක් තිස්සේ දිවා රෑ නොතකමින් කටයුතු කළ අතර පන්ති පැවැත්වෙන් වේලාවන්වලදී දරු දැරියන් කුස පුරවාගත්තේ ඒ මහතාගේ නිවසින් බවද ප්‍රකට කරුණකි. පල්ලේයාය විද්‍යාල ඉතිහාසයේ පළමුවරට සිසුන් හත්දෙනෙකු විශ්ව විද්‍යාල වරම් ලබන්නේද ජයවර්ධන මහතා විසින් අපමණ කැපකිරීම් මැද ඔවුන් වෙත ලබාදුන් ගුරුහරුකම් හේතුවෙන් බව ප්‍රදේශවාසීහු අදටත් ගෞරවයෙන් සිහිපත් කරති.

සමාජ සේවයෙකු ලෙසින්ද මහත් ප්‍රසිද්ධියක් දිනා සිටි ජයවර්ධන මහතා විසින් ප්‍රදේශයේ සමිති සමාගම් ගණනාවක නිලතල රාශියක්ද හොබවනු ලැබීය. සිව් දරු පියෙකු වූ ආර්. ඩී. එස්. ජයවර්ධන මහතා මියයන විට 82 වැනි වියෙහි පසුවිය. ජයවර්ධන මහතාගේ දේහය මේ වනවිට උඩකහහේන සෙත්සිරි නිවසෙහි තැන්පත් කර ඇති අතර දේහය පිළිබද අවසන් කටයුතු අනිද්දා (12 දා) උඩහොරොම්බුව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article