Saturday, April 20, 2024

අකිලගේ බෙදිල්ල ගැන වයඹ පළාත් සභාවෙන් මැසිවිලි !

Must read

weerambuwa_building

අවශ්‍යතාවය නැති තැන්වලට සම්පත් ලබාදීමෙන් මහජන මුදල් නාස්තියක් සිදුවන බවත්, මිනිහෙකුට කෑමට හැකි තරම මිස ඊට වඩා ලොකු ප‍්‍රමාණයක් බෙදා දුන් විට අපතේ යාම වැළැක්විය නොහැකි බවත් වයඹ අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය රාජපක්ෂ මහතා වයඹ පළාත් සභා රැස්වීමේදී පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ, මධ්‍යම රජය විසින් සිදුකරනු ලබන සම්පත් බෙදාදීමේදී වයඹ පළාතේ ඇතැම් පාසල්වලට අසාධාරණයක් සිදුවන බවට වයඹ පළාත් සභා මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් මහතා විසින් පසුගියදා පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී කළ ප‍්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනි.

මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික කරුණු දැක්වීම් යටතේ අදහස් දැක් වූ සමන්ප‍්‍රිය හේරත් මහතා, ළමුන් 262 ක් ඉගෙනුම ලබමින් සිටින කුලියාපිටිය, වීරඹුව විද්‍යාලය සදහා නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට රුපියල් 1150 ක මුදලක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් වෙන් කර දී ඇති බව පැවසීය. අඩු ළමුන් සංඛ්‍යාවක් ඉගෙනුම ලබමින් සිටින වීරඹුව විද්‍යාලය සදහා එවැනි ගොඩනැගිල්ලක අවශ්‍යතාවයක් නැති බවත්, එම මුදල ප‍්‍රදේශයේ අනෙක් පාසල් සදහා ලබාදුන්නේ නම් වඩාත් ප‍්‍රයෝජනවත් වන බවද පැවැසීය. වීරඹුව විද්‍යාලයේ නව ගොඩනැගිල්ලක් සදහා කෝටි ගණනක මුදලක් වෙන්කර ඇති නමුත් ඒ ආසන්නයේම පිහිටි මායිම්පිටිය ප‍්‍රාථමික විද්‍යාලයේ දරුවන්ට ඇති එකම ගොඩනැගිල්ලද කඩාවැටීමේ අවදානමක් මතු වී ඇති බවද හෙතෙම පැවසීය. එමෙන්ම නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ නේවාසිකාගාරයේ සිටින ළමුන් පස් දෙනෙක් වෙනුවෙන් අරක්කැමියන් පස් දෙනෙකු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කර ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

මන්ත‍්‍රීවරයා වෙත පිළිතුරු දෙමින් අදහස් දැක් වූ වයඹ අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය රාජපක්ෂ මහතා අධ්‍යාපන අමාත්‍යංශය විසින් පසුගිය වසරේදී කුලියාපිටිය ආසනයට පමණක් කෝටි 45 කට වැඩි මුදලක් ගොඩනැගිලි සදහා ලබා දී ඇති බව පැවැසීය. වීරඹුව විද්‍යාලය සදහා ලබා දී ඇති ආකාරයේ පාසල් ගොඩනැගිල්ලක් මින් පෙර වයඹ පළාතේ ඉදි වී නොමැති බවත්, පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ගොඩනැගිල්ලක් සදහා උපරිම වැය කරන්නේ රුපියල් කෝටි එක හමාරක් පමණක් බවද පැවැසීය. වීරඹුව විද්‍යාලයේ ඉදිකිරීමට නියමිත ගොඩනැගිල්ලේ ඇති සුවිසල් බව හේතුවෙන් එහි ඇස්තමේන්තුව නිර්මාණය කරගැනීමට පවා ඉංජිනේරුවන්ට සෑහෙන කාලයක් ගත වූ බවද පැවසීය. අදාල ගොඩනැගිල්ල කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය, සාරනාත් විද්‍යාලයට, අස්වැද්දුම විද්‍යාලයට හෝ විශාඛා විද්‍යාලයට ලබාදුන්නේ නම් ඊට වඩා ප‍්‍රයෝජනවත් විය හැකි බවද හෙතෙම පැවැසීය. නාරම්මල මධ්‍ය මහා විද්‍යාලයටද විශාල සුඵ සේවක පිරිසක් පත්කර එවීමට අධ්‍යාපන අමාත්‍යංශය විසින් කටයුතු කර ඇති බවත්, එම විද්‍යාලය තුළ මේ වන විට ගුරුවරුන් 156 ක් සහ සුඵ සේවකයින් 54 ක් සේවයේ යෙදී සිටින බවද අමාත්‍යවරයා කීය. අමාත්‍යංශය සතු මුදල් ඕනෑම අයෙකුට මෙලෙස බෙදාදිය හැකි වුවත් ඒවා තමන්ගේ සාක්කුවෙන් නොව මහජනතාවගේ මුදල් බව කල්පනා කළ යුතු බව කී අමාත්‍යවරයා මධ්‍යම රජයෙන් පාසල් සදහා වෙන්කරන එවන මුදල් ප‍්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් තමන්ට නැතැයි පැවැසීය. අවශ්‍යතාවය නැති තැන්වලට සම්පත් ලබාදීම මහජන මුදල් කාබාසිනියා කිරීමක් වන බවත්, මිනිහෙකුට කන්න පුලුවන් තරමට පමණක් බෙදා දිය යුතු බවත් ඊට වඩා ලොකු ප‍්‍රමාණයක් බෙදා දුන් විට අපතේයාම වැළැක්විය නොහැකි බවත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවැසීය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article