Saturday, April 20, 2024

වයඹ ප්‍රවාහන ඇමැති ප‍්‍රවාහන අධිකාරියේ හිටපු ලොක්කන්ගේ රෙදි ගලවයි !

Must read

dehigama_2

වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ කම්කරුවාගේ සිට සාමාන්‍යාධිකාරිවරයා දක්වා වන සියලු සේවකයින් විසින්, එම අධිකාරියෙන් සේවා ලබාගැනීමට පැමිණෙන බස් හිමියන්ගෙන් මුදල් ලබාගැනීමට පසුගිය සමයේදී කටයුතු කර ඇතැයි වයඹ ප‍්‍රවාහන අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා වයඹ පළාත් සභාවේදී පැවැසීය.

වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය සතු ධාවන බලපත‍්‍ර හතරක් අස්ථානගතවීම සම්බන්ධයෙන් වයඹ පළාත් සභා මන්ත‍්‍රී රංජිත් ගුණසේකර මහතා විසින් පසුගියදා පැවැති පළාත් සභා රැස්වීමේදී කළ ප‍්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය. අදාල ධාවන බලපත‍්‍ර අස්ථානගතවීම සම්බන්ධයෙන් නිලධාරින් අට දෙනෙකුගේ වැඩ තහනම් කර ඒ පිළිබදව පරීක්ෂණයක් සිදුකෙරෙමින් ඇති බව කී අමාත්‍යවරයා පසුගිය සමයේදී එම අධිකාරියේ සිදු වී ඇතැයි කියන තවත් අක‍්‍රමිකතා ගණනාවක් පිළිබදව මෙලෙස හෙළි කළේය.

‘‘මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය සම්බන්ධයෙන් පහුගිය කාලේ පත්තර බලන්න බැරි තරමට මට විරුද්ධව ලියලා තිබුණා. සල්ලි ගත්තයි, ඒවයි මේවයි රටේ නැති ඒවා. ඒවා මහ ලැජ්ජා නැති කතා. මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය තරම් නරකම, දූෂිතම තැනක් තවත් නැහැ. සාමාන්‍යයෙන් බස් හිමියෙක් යමක් කරගන්න ආපුවාම, රූට් පර්මිට් එකක් ගන්න හරි, අලුත් කරගන්න හරි, ටයිම් එකක් ගන්න හරි ඒ මොන හේතුවකට ආවත් ගේට්ටුව ළග ඉන්න කම්කරුවාගේ ඉදලා ඉහළම තැන වෙනකම් පෝලිමට ඉන්න අය අර එන මනුස්සයාගෙන් සල්ලි ගන්නවා. ඇතුලේ ඉන්න නෝනලා මහත්තුරු කියලා ගාණක් නෑ. ඒ අයත් ඒකට පුරුදු වෙලා අර විනාඩි පහෙන් කරගන්න තියෙන දේට රෑ වෙනකම් රස්තියාදු කරලා, මිනිස්සු පසුතැවිල්ලට පත්කරලා, කීයක් හරි අරගෙන තමයි අර වැඩේ කරලා දෙන්නේ. ජී එම් ළගට වෙනකම් සියලුදෙනාම එහෙමයි.

පසුගිය මහ මැතිවරණය වෙලාවේදී මේකේ සභාපතිවරයා ඉල්ලා අස්වෙලා ගියා. මහ මැතිවරණ කටයුතුවලට මම මාස දෙකක් තුනක් සම්බන්ධ වෙලා හිටිය නිසා සභාපතිවරයෙක් පත්කරන්න බැරි වුණා. ඒ කාල සීමාව තුළ හිටපු සාමානාධිකාරිවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩල වාර්තා පොතේ, අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධ වුණා කියලා වාර්තා තුනක් ලියලා තියෙනවා. වාර්තා ලියලා ඒවා ක‍්‍රියාත්මක කරලත් තියෙනවා. නමුත් ඇත්තටම ඒ රැස්වීම්වලට අධ්‍යක්ෂ මණ්ඩලය සහභාගි වෙලා නැහැ. අස්සන් කරලා තියෙන්නේ එයා විතරයි. වෙන කිසිම කෙනෙක් අස්සන් කරලා නෑ. අපට ඒක අහුවුණාම ඒ පොත අත්අඩංගුවට අරගෙන අමාත්‍යංශ ලේකම්තුමාගේ ප‍්‍රධානත්වයෙන් පරීක්ෂණයක් පවත්වලා සාමාන්‍යාධිකාරිවරයාගේ වැඩ තහනම් කළා. ඊට පස්සේ එයා මහාධිකරණයට ගිහින් රීට් ආඥාවක් අරගෙන උසාවි නියෝගයක් මත මාස හත අටක් හිටියා. ඊට පස්සේ අපි ඒ නඩුවට කොළඹින් නීතිඥයෙක් ගෙනැල්ලා එයාව ගිය සතියේ ගෙදරම ඇරියා. ඒ එක්කම තමයි අර අටදෙනත් ගියේ. මහජනයාට සහ බස් හිමියන්ට පීඩා කරපු එකම කණ්ඩායමක් තමයි ඔය සේරම. ඒ අයට ජනතාවට, බස් හිමියන්ට කරපු අපරාධ ආපහු පඩිසන් දුන්නා කියලා තමයි මම විශ්වාස කරන්නේ. මම මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය භාරගත්ත දවසේ ඉදලාම ලොකු කරදරයක් තිබුණා. මට කොච්චර මඩ ගැහැව්වත්, අපහාස කරත් හරි ගියේ නෑ. ආපහු ඒ අයටම පඩිසන්දීලා ගෙවල්වලට යන්න වුණා. අද වෙනකොට මාර්ගස්ථ අධිකාරිය ඉතාම හොද තත්වයක පවතිනවා. විනාඩි පහක් යන්න කලින් හැම දෙයක්ම කරගන්න පුලුවන්. කිසි කෙනෙකුගෙන් ශත පහක් ගන්නේ නෑ.’’යැයි හෙතෙම පැවැසීය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article