Wednesday, April 24, 2024

බැටරි කේජ් වෙනුවෙන් සභා රීති බ්‍රේක් වෙයි !

Must read

ayg_2017_8_16

පළාත් සභාව ශෝක වෙයි.

මාසයේ දෙවැනි වයඹ පළාත් සභා රැස්වීම පැවැත්වුණේ පෙරේදාය. එදින උදෑසනම පළාත් සභාව වෙත කණගාටුදායක පුවතක් ලැබී තිබිණි. ඒ වයඹ පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයෙකු වූ ආර්. එම්. ආර්. නිමල් බණ්ඩාරගේ අභාවය පිළිබද පුවතයි. පඩුවස්නුවර රත්නායක දේශපාලන පවුලේ එක් පුරුකක් වන නිමල් බණ්ඩාර 1989 දී පැවැති පළමු පළාත් සභා මැතිවරණය ජයගෙන ආරම්භක වයඹ පළාත් සභාව නියෝජනය කිරීමේ වරම් ලැබූවෙකු වෙයි. මන්ත‍්‍රීවරයෙකු සහ පළාත් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් 1994 දී මහ ඇමැති පුටුවේ අසුන්ගැනීමට තරම් හෙතෙම වාසනාවන්ත විය. 1998 න් පසුව පළාත් සභාවෙනුත්, දේශපාලනයෙනුත් සමුගත් නිමල් බණ්ඩාර ඉන් පසුව ප‍්‍රසිද්ධියේ දැකගත නොහැකි වූයේ වසර 16 කට වැඩි කාලයක්ම තිස්සේ රෝගී තත්වයෙන් පසුවීම හේතුවෙනි. පෙරේදා පැවැති සභා රැස්වීම ආරම්භයේදී සභාපති ටිකිරි බණ්ඩා විසින් නිමල් බණ්ඩාරගේ අභාවය පිළිබදව සම්ප‍්‍රදයානුකූලව සභාවට නිවේදනය කළේය. අනතුරුව අමාත්‍යවරුන්ගේ ප‍්‍රකාශ සදහා මහ ඇමැති ධර්මසිරිට අවස්ථාව ලැබුණු අතර සිය ප‍්‍රකාශයට පෙර සභාව ඇමැතූ ධර්මසිරි කීවේ හිටපු මහ ඇමැතිවරයාගේ අභාවය පිළිබදව පළාත් සභාවේ ශෝකය පළකල යුතු බවය. ඒ අනුව සිය අසුන්වලින් නැගී සිටි පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් විනාඩියක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරමින් හිටපු මහ ඇමැතිවරයා වෙත සිය ගෞරවය පුදකළහ.

විපක්ෂය එකට එක කරයි.

සුපුරුදු පරිදිම මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික කරුණු දැක්වීම් අවස්ථාව පෙරේදා පැවැති පළාත් සභා රැස්වීමත් රත් කරන්නට සමත්විය. පුද්ගලික කරුණු දැක්වීම් යටතේ පළමු අවස්ථාව ලැබුණේ විපක්ෂ සංවිධායක චිත‍්‍රාල් ප‍්‍රනාන්දුටය. චිත‍්‍රාල් විසින් එම අවස්ථාව ඉල්ලාගෙන තිබුණේ පසුගිය 01 වැනිදා පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් සිදුකළ බව කියන සභා රීති උල්ලංඝණයක කිරීමක් සම්බන්ධයෙන් ‘‘රිටර්න් එක දීමට’’බව පෙනිණි. චිත‍්‍රාල් විසින් පෙර සභා රැස්වීමේ හැන්සාඞ් වාර්තාවද අතේ තබාගෙන කතාව පටන්ගත්තේය. ‘‘ එදා ඩී. බී. හේරත් මන්ත‍්‍රීතුමා කරපු පෞද්ගලික කරුණු දැක්වීමේදී එතුමා මුලින්ම එනවා හම්බන්තොට වරායට, ඊට පස්සේ සයිටම් ප‍්‍රශ්නේ, ඊළගට උතුරේ ආවා කල්ලිය, අන්තිමට රණවිරු දඩයමට ගිහිල්ලා, තෙල් සංස්ථාවේ වැඩ වර්ජනයටත් ගිහිල්ලා, අගමැතිතුමාටත් බැණලා ඉවර කළා. ඔන්න එතුමා පෞද්ගලික කරුණු දැක්වීම කරපු හැටි. ඊළගට ට්‍රෙවින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීතුමා තව පෞද්ගලික කරුණු දැක්වීමක් කරනවා. එතුමා පටන්ගන්නේ පළාත් රාජ්‍ය සේවා කොමිසමෙන්. විනාඩියක්වත් යන්නේ නෑ ඊළගට යනවා පළාත් සභා මැතිවරණ කල්දැමීම ගැන කියන්න. ඊළගට යනවා රවී කරුණානායක ඇමැතිතුමා පැත්තට, ඊළගට අගමැතිතුමා පැත්තට. ඊළගට බොන්ඞ් ඉෂූ එක පැත්තට. ඒ ඔක්කොම ගැන කියලා මෙතැන ගාලගෝට්ටියකුත් ඇතිකරගෙන, හැන්සාඩ් එකෙන් අයින් කරන්න වෙන වචන වගයකුත් කිව්වා. මම අහන්නේ මන්ත‍්‍රීවරයෙකුට පෞද්ගලික කරුණු දැක්වීම් යටතේ මේ වගේ දේවල් කියන්න පුලුවන්ද ? පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ගැන කතා කිරීම අපේ පනතෙනුත්, රීති සංග‍්‍රහයෙනුත් තහනම් කරලා තියෙනවා. යෝජනා ගෙනල්ලා කතා කළ යුතු දේවල් පෞද්ගලික කරුණු දැක්වීම් යටතේ කතා කරන්න ගියාම මේ වගේ කලබල ඇතිවෙනවා සභාපතිතුමනි. ඒ නිසා ආණ්ඩු පක්ෂයට දැනෙන්නත් එකක් මමත් අද ඒ වගේ මෙතැන කතා කරනවා. ’’යැයි කී චිත‍්‍රාල් රාජපක්ෂ පාලන සමයේදී සිදු වූ බව කියන දූෂණ සහ වංචාවන් එකින් එක විස්තර කරන්නට විය. ප‍්‍රාථමික බැදුම්කර ගණුදෙනු හරහා මහ බැංකු සේවකයින්ගේ විශ‍්‍රාම වැටුපෙන් උපයාගත් මුදලින් කාල්ටන් සෙවන්ස් රග්බි තරගාවලියට ක‍්‍රීඩකයින් මිලදීගැනීමට යෙදවූ හැටි චිත‍්‍රාල් පළමුව කීවේය. ග‍්‍රීක් බොන්ඞ් ගණුදෙනුව හරහා රුපියල් කෝටි 230 ක් අහිමිවීමේදීවත්, හෙජින් ගිවිසුම හරහා රුපියල් කෝටි 13245 ක් නැතිකරගැනීමේදීවත් එවකට සිටි මුදල් ඇමැතිවරයා ඉල්ලා අස්නොවූ බවද චිත‍්‍රාල් කීවේය. චිත‍්‍රාල් පෞද්ගලික කරුණු දැක්වීමේ සීමාවන් උල්ලංඝණය කරමින් කතාකරද්දී සභාපති ටිකිරි බණ්ඩා ඊට බාධා කළේය. ‘‘අරගොල්ලෝ එදා කරපු නිසාද ඔබතුමාත් අද මෙහෙම කරන්නේ ? ’’ ටිකිරි බණ්ඩා ඇසීය. ‘‘අනිවාර්යෙන්ම, ඔබතුමාට මම කියන ඕනෑ එකක් හැන්සාඩ් එකෙන් කපලා දාන්න පුලුවන්, කලින් වතාවේ කපලා තියෙනවා වගේ. ’’යැයි කී චිත‍්‍රාල් ආණ්ඩු පක්ෂයට බැට දීම යළි ආරම්භ කළේය. ‘‘බැසිල් රාජපක්ෂ මහත්තයාගේ දිවි නැගුම වංචාව කෝටි 226 එළිවුණාම එතුමා ඉල්ලා අස්වුණාද ? පුෂ්පා රාජපක්ෂ මහත්මිය වරායේ අධිකාරියේ සල්ලි තමන්ගේ පුද්ගලික ගිණුමට දාගත්තා. විමල් වීරවංශ මහත්තයා ….. ’’ චිත‍්‍රාල්ට එතැනින් එහාට කතාකරන්නට ඉඩ නොතබමින් ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු අවි අමෝරන්නට වූහ. චින්තක මායාදුන්නේ, සන්ධ්‍ය රාජපක්ෂ, පියුමාල් හේරත්, පාලිත රෝහණ ඇතුලූ මන්ත‍්‍රීවරු චිත‍්‍රාල්ට එරෙහිව කෑකෝ ගසන්නටවීම නිසා සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය. කෝලාහලය මැද්දෙන් ‘‘පට්ට හොරු, ෆුට් නෝට් යාලූවෝ, ගොඩ පෙරකදෝරුවා, වාඩිවෙනවා ’’වැනි වචන ආණ්ඩු පක්ෂය පැත්තෙන් පිටවෙනු ඇසිණි. ‘‘ඔබතුමාගේ කාලය අවසානයි, වාඩිවෙන්න, වාඩිවෙන්න,’’යැයි සභාපති ටිකිරි බණ්ඩා කෑ ගසද්දීත් තවත් අමතර විනාඩි කිහිපයක් කතාකළ චිත‍්‍රාල් පුද්ගලික කරුණු දැක්වීම අවසන් කළේය. අනතුරුව නැගී සිටි ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී ඩී. බී. හේරත් චිත‍්‍රාල්ගේ චෝදනාවලට පිළිතුරු බදින්නට වූ නමුත් ඊට විපක්ෂය පැත්තෙන් සැලකිය යුතු තරමේ විරෝධයක් එල්ල නොවීම නිසා තවත් ගාලගෝට්ටියකින් තොරව ඩී. බී. ගේ පෞද්ගලික කරුණු දැක්වීම අවසන් විය.

එජාප මන්ත‍්‍රී එම්. එස්. පෙරේරා පැවැති වයඹ පළාත් සභා රැස්වීමට සහභාගි වී සිටියේ කලකට පසුවය. අසනීප තත්වයෙන් මෙන්ම දේශපාලනය ගැන කලකිරීමෙන්ද සිටින බව කියන පෙරේරා පසුගිය සභා රැස්වීම් කිහිපයටම සහභාගි නොවීය. එලෙස සති කිහිපයක් තිස්සේ හාවක් හූවක් නොවූ මන්ත‍්‍රී පෙරේරා පෙරේදා පැවැති සභා රැස්වීම ආරම්භයේදී ප‍්‍රබෝධමත් මුහුණකින් යුතුව සභා ගැබට ඇතුලු වෙනු පෙණිනි. තම අසුන වෙත යමින් සිටි මන්ත‍්‍රී පෙරේරා ඊට යාබද අසුනේ සිටි මන්ත‍්‍රී අජිත් දබරේරාගේ ඉලයට ඇගිල්ලකින් ඇණීම නිසා ඒ වනවිට ජංගම දුරකථනයට එබීගෙන සිටි දබරේරා පුටුවෙන් උඩ විසිවෙනු අයුරුද පෙණනි. කලකට පසුව සභාවට පැමිණ සිටි පෙරේරාගේ රූපකායෙහි සැලකිය යුතු වෙනස්කම් කිහිපයක්ම සිදු වී තිබීම හේතුවෙන් පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ වැඩි අවධානයක් පෙරේරා වෙත යොමු වී තිබිණි. පෙරේරා විසින් මුහුණ පුරා වාවාගෙන තිබූ රැවුල දුටු ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු හස්ත සංඥා මාර්ගයෙන් පෙරේරාගේ වෙනස පිළිබදව විමසන ආකාරයද පෙණිනි. ‘‘රාජසිංහ රජ්ජුරුවෝ වගේ ’’ඇමැති සන්ධ්‍ය සිය අසුනේ සිටම මන්ත‍්‍රී පෙරේරාට එලෙස ප‍්‍රතිචාර දක්වනු ඇසිණි.

කැපිලි, කෙටිලි මැද බැටරි කේජ් එයි.

සතුන් හිංසාවට ලක්කෙරෙන බිත්තර නිෂ්පාදන ක‍්‍රමවේදයක් බව කියන බැටරි කේජ් ක‍්‍රමය තහනම් කළ යුතු බවට කෘෂිකර්ම අමාත්‍ය සුමල් තිසේරා විසින් හදිසි සහ අත්‍යාවශ්‍ය යෝජනා යටතේ පළමුවරට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ පසුගිය 01 වැනිදා පැවැති වයඹ පළාත් සභා රැස්වීමටය. අදාල යෝජනාව එදින සභා රැස්වීමේ න්‍යාය පත‍්‍රයටද ඇතුලත් වී තිබූ නමුත් එම යෝජනාව එදින විවාදයට නොගත්තේ ඒ පිළිබදව බිත්තර නිෂ්පාදකයින් සමග තවදුරටත් සාකච්ඡා කළ බවට ඇමැති සුමල් විසින්ම ගත් තීරණයක් හේතුවෙනි. එලෙස කල්ගිය බැටරි කේජ් යෝජනාව පෙරේදා පැවැති සභා රැස්වීමේ න්‍යාය පත‍්‍රයට යළි ඇතුලත් වී තිබිණි. නමුත් රැස්වීම ආරම්භයේදී සිදුකෙරුණු සභාපතිවරයාගේ නිවේදනවලදී එම යෝජනාවත් න්‍යාය පත‍්‍රයෙන් ඉවත් වී වෙනත් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවට මන්ත‍්‍රීවරුන් වෙත නිවේදනය කෙරිණි. බැටරි කේජ් යෝජනාව විවාද කෙරෙන අයුරු දැකබලා ගැනීම සදහා වයඹ පළාතේ බිත්තර නිෂ්පාදකයින් පිරිසක්ද එදින උදෑසන සිට මහජන ගැලරියේ අසුන්ගෙන සිටි නමුත් අදාල යෝජනාව විවාද කිරීම ආරම්භ කෙරුණේ තේ පානයෙන් පසුවය. සංශෝධනය කළ නව යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් ඇමැති සුමල් කීවේ බැටරි කේජ් ක‍්‍රමය පිළිබදව පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ අදහස් ලබාගැනීම සදහා මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කළ බවය. සුමල්ගෙන් අනතුරුව නැගී සිටි මන්ත‍්‍රී පියුමාල් හේරත් සභා රීති පිළිබද සිහිපත් කරමින් අදහස් දක්වන්නට විය. ‘‘සභාපතිතුමනි, මේ යෝජනාව සම්බන්ධයෙන් පැහැදිලි මතයක් නැහැ. එක්කෝ මේ බැටරි කේජ් ක‍්‍රමය තහනම් කළ යුතුයි, නැත්නම් තහනම් නොකළ යුතුයි. එහෙම යම් ස්ථාවරයක් නැතිව මේ පිළිබදව මන්ත‍්‍රීවරුන් අදහස් දක්වනවා කියන එක මම හිතන්නේ රීති සංග‍්‍රහය උල්ලංඝණය කිරීමක්. ඒ නිසා මේ යෝජනාව උපදේශක කාරක සභාවට යොමුවිය යුතු එකක් කියලා මම විශ්වාස කරනවා.’’ පියුමාල් කියද්දී මහ ඇමැති ධර්මසිරි ඊට එරෙහිව නැගී සිටියේය. ‘‘නැහැ, නැහැ මේ ගැන සභාවේ සාකච්ඡා කරන්න පුලුවන්. මේ ගැන හොයලා බලන්න අපි කමිටුවක් පත්කරනවා. ඒ කමිටුවට සභාවේ මන්ත‍්‍රීවරුන් අදහස් දක්වපු හැන්සාඩ් වාර්තාවත් ඉදිරිපත් කරනවා. ඒ නිසා මන්ත‍්‍රීවරුන්ට අදහස් දක්වන්න බාධාවක් නැහැ. ’’ධර්මසිරි කියද්දී ඇමැති සුමල්ද එය අනුමත කළේය. ‘‘යම් යෝජනාවක් අවසානයේදී අපි අත් ඔසවලා ඡන්ද විමසීමක් කළ යුතු වෙනවා. නමුත් මේ යෝජනාවේදී එහෙම ඡන්ද විමසීමක් වෙන්නේ නැහැ. නිකම් අදහස් දැක්වීමක් පමණයි සිදුවෙන්නේ. ඒ නිසා මම නම් කියන්නේ මෙය වැරැදි පූර්වාදර්ශයක්.’’පියුමාල් කියද්දී විපක්ෂ නායක ශමල් සෙනරත්, විපක්ෂ සංවිධායක චිත‍්‍රාල් ඇතුලු පිරිසක්ද එය අනුමත කළහ. කෙසේවෙතත් මහ ඇමැති ධර්මසිරි මෙන්ම ඇමැති සුමල්ද අදාල යෝජනාව පිළිබදව මන්ත‍්‍රීවරුන්ගේ අදහස් විමසිය යුතුමය යන ස්ථාවරයේ දැඩිව රැදී සිටීම හේතුවෙන් පියුමාල් ඇතුලු පිරිසගේ විරෝධය පුස්සක් බවට පත්කරවමින් විවාදය ආරම්භ කරන ලෙසට සභාපති ටිකිරි බණ්ඩා නිවේදනය කළේය. ඇමැති සන්ධ්‍ය විවාදයේ පළමු කතාව ආරම්භ කරද්දී මන්ත‍්‍රී පියුමාල්, විපක්ෂ නායක ශමල් ඇතුලු පිරිසක් සභාගැබෙන් ඉවත් වී ගියහ. ‘‘එලොවටත් නෑ, මෙලොවටත් නෑ.’’සභාගැබින් ඉවත් වී විපක්ෂ නායක කාර්යාලය වෙත යමින් සිටි ශමල් කීවේය.

උපුටාගැනීම – ජනයුගය පුවත්පත, 2017 අගෝස්තු 17 වැනිදා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article