Thursday, April 25, 2024

නාමල් ටී.බී.ගේ ගැට ලිහයි !

Must read

ayg_2017_8_24

නිමල් බණ්ඩාර පළාත් සභාවට එයි.

වයඹ පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය, අභාවප‍්‍රාප්ත ආර්. එම්. ආර්. නිමල් බණ්ඩාරගේ දේහය පසුගිය බ‍්‍රහස්පතින්දා පස්වරුවේ පළාත් සභාවට ගෙන එනු ලැබීය. වයඹ පළාත් සභා ඉතිහාසය තුළ මහජන නියෝජිතයෙකුගේ දේහයක් පළාත් සභාව තැන්පත් කර අවසන් ගෞරව දැක්වුණු පළමු අවස්ථාව එය වීම විශේෂත්වයත් විය. හිටපු ඇමැති නෙරංජන් වික‍්‍රමසිංහගේ හදිසි අභාවයේදී ඔහුගේ දේහයත් පළාත් සභාව වෙත ගෙනඒමට මුලදී යෝජනා වූ නමුත් හේතු ගණනාවක් මත එය ක‍්‍රියාත්මක නොවීය. වයඹ පළාත් සභාව යනු මන්ත‍්‍රීවරුන් 52 දෙදෙනෙකුගෙන් සැදුම්ලත් ආයතනයක් වන නමුත් නිමල් බණ්ඩාරගේ මිනියට කරගහන්නට පැමිණ සිටි මන්ත‍්‍රී සංඛ්‍යාව අතේ ඇගිලි ගණනටත් අඩුවීම කැපී පෙණිනි. ‘‘හිටපු ප‍්‍රධාන අමාත්‍ය’’වීම නිසාදෝ නිමල් බණ්ඩාරගේ අභාවය වෙනුවෙන් සෑම පාර්ශ්වයකින්ම පාහේ ලැබී තිබුණේ අඩු බරක් බව පැහැදිලිවම දැකගත හැකිවිය. ධර්මසිරි දසනායක, සන්ධ්‍ය රාජපක්ෂ, සුමල් තිසේරා, ඩී. බී. හේරත්, ලක්ෂ්මන් වේඩරුව, මොහාන් පෙරේරා, අශෝක වඩිගමංගාව, ශමල් සෙනරත් මෙන්ම ඇමැති දයාසිරි ජයසේකර සහ ටී. බී. ඒකනායක ඇතුලු මැති ඇමැතිවරුන්ගේ දෑත් මතින් ලිච්ඡවී ශාලාවට ගෙනා නිමල් බණ්ඩාරගේ මෘත දේහය එහි තැන්පත් කෙරිණි. ආණ්ඩුකාර අමරා පියසීලි ඇතුලු පළාත් සභාවේ දේශපාලන සහ රාජ්‍ය නියෝජිතයින් විසින් මල් වඩම් තැන්පත් කර නිමල් බණ්ඩාරයන් වෙත අවසන් බුහුමන් දැක්වූයේ ඉන් අනතුරුවය. බලය ඇති කලෙක ලැබෙන සැලකුම් වලට සාපේක්ෂව බලය නැති කලෙක ලැබෙන සැලකුම් ඊට වඩා බොහෝ අඩු බව පසක් කරවමින් නිමල් බණ්ඩාර පළාත් සභාවෙන් නික්ම ගියේය.

මහින්දට කොකා පෙන් වූ රාජ්‍ය ඇමැති.

රිදීබැදිඇල්ල ප‍්‍රදේශයේ පිහිටි ඉහළ වාණිජ වටිනාකමක් සහිත රජයේ ඉඩමක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කිසිදු අනුදැනුමකින් තොරව ඇමැති ටී. බී. ඒකනායක විසින් සිය හිතවතුන්ට බෙදාදෙමින් සිටින බවට ප‍්‍රදේශය පුරා නොසන්සුන්තාවයක් ඇති වී තිබෙන්නේ මාස කිහිපයක සිටය. ප‍්‍රදේශවාසීන් කියන ආකාරයට හාමුගේ වත්ත නැමැති මෙම ඉඩම පෝයෙන් පෝයට එළිවන ඉඩමකි. මෙම ඉඩම හෙළිපෙහෙළි කෙරෙන්නෙත්, පුද්ගලික මිනින්දෝරුවෙකු ලවා එහි මැනුම් කටයුතු කරවන්නේත් රාජ්‍ය ආයතන වසා තැබෙන පසළොස්වක පෝය දිනවලදී බව ප‍්‍රදේශවාසීහු කියති. මෙම මාසය මුලදී යෙදුණු නිකිණි පුන් පොහෝ දිනයේදීත් අදාල ඉඩම ආශ‍්‍රිතව දියත් කරන්නට සූදානම් වූ තවත් ‘‘පෝය ක‍්‍රියාන්විතයක්’’වැළැකී ගියේ වයඹ පළාත් සභා මන්ත‍්‍රී නාමල් කරුණාරත්න ඇතුලු පිරිසක් එම ඉඩමට කඩාවැදී දැක් වූ විරෝධය හේතුවෙනි. අදාල ඉඩමෙන් බිම් කොටස් ලබාගත් පිරිස්, තමන්ට ලැබුණු ඉඩම් වටා කම්බි ගැසීමට එදින පැමිණ සිටි නමුත් නාමල් ඇතුලු පිරිසගේ විරෝධය හමුවේ තමන් ගෙනා වැට කණුද පටවාගෙන ආපසු යන්නට එම පිරිස්වලට සිදුවිය. එලෙස තාවකාලිකව නැවතුණු ටී. බී.ගේ ඉඩම් බෙදිල්ලට එරෙහි අරගලයට නාමල් යළි පණදුන්නේ පසුගිය සිකුරාදාය. ඒ අදාල ඉඩමේ නිවාස සදහා මුල්ගල් තැබීමක් එදින සිදුවන බවට ලැබී තිබූ තොරතුරක් හේතුවෙනි. ප‍්‍රදේශවාසින් පිරිසක්ද සමග එම ඉඩම ඉදිරිපිටට පැමිණි නාමල් එහිදී විරෝධතාවයක් ආරම්භ කළේය. ‘‘මේක පාර අයිනේ තියෙන වටිනාම ඉඩමක්. මේක තමුන්ගේ දේශපාලන හිතවතුන්ට ඕන ඕන විදිහට බෙදන්න දෙන්න බැහැ. මිහිදු හාමුදුරුවොත් දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ට දේශණා කෙරුවේ මහරජ, ඔබ මේ ලක් පොළොවේ භාරකරු මිස අයිතිකරු නෙවෙයි කියලා. ඒ නිසා ඒකනායක ඇමැතිතුමෝ ඔයා ඉඩම් රාජ්‍ය ඇමැති මිස රජයේ ඉඩම්වල අයිතිකාරයා නෙවෙයි. ඉඩම් ඇමැති වුණා කියලා තමන්ට ඕනෑ ඕනෑ විදිහට ඉඩම් බෙදන්න බැහැ. එදා කිව්වා විදිහට ගන්ධබ්බ ඇමැතිවරුන්ගේ ලැයිස්තුවේ අද මුලින්ම ඉන්නේ ඔබතුමා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කර උඩින් ඇවිල්ලා, ඊට පස්සේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා, අන්තිමට මහින්ද මහත්තයාටත් කොකා පෙන්නලා දැන් ඉන්නවා මෛත‍්‍රීපාල මහත්තයා ළග. හැබැයි එක කකුලක් මහින්ද ළග, අනිත් කකුල මෛත‍්‍රී ළග. දැන් මාන බලනවා කොයි පැත්තටද හේත්තු වෙන්නේ කියලා. අන්න ඒ හේත්තු වෙන වෙලාවට මිනිස්සු ටිකක් අල්ලගන්න මොනවා හරි ගැටයක් ගහන්න ඕනෑ. අන්න එහෙම ගහන ගැටවලින් එකක් තමයි මේ ඉඩම තමුන්ගේ හිතවතුන්ට බෙදාදෙන එක.’’ඇමැති ටී. බී. දැඩි ලෙස විවේචනය වන අයුරින් මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් ලබාදෙමින් නාමල් කීවේය. විරෝධතාවය හේතුවෙන්දෝ මුල්ගල් තියන්නට එහි එන බව කී කිසිවෙකුත් එදින එම ස්ථානයට නම් ආවේ නැත. නාමල් ඇතුලු පිරිස විසින් පැය කිහිපයක් තිස්සේ පවත්වාගෙන ගිය විරෝධය අවසන් කෙරුණේ එම ස්ථානයට පැමිණි මහව ප‍්‍රාදේශීය ලේකම්වරයා විසින් අදාල ඉඩම් බෙදීම අත්හිටුවන බවට ලබාදුන් පොරොන්දුවත් සමගය.

ධර්මසිරි එළවන්න සෝමසිරි ලෑස්තිවෙයි.

බිංගිරිය ආසනයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු බල මණ්ඩලය පිහිටුවීම සිදුකෙරුණේ පසුගිය ඉරිදාය. තල්ගහපිටිය ප‍්‍රදේශයේ පිහිටි හෝටලයකදී පැවැති මෙම රැස්වීම සංවිධානය කර තිබුණේ වයඹ පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සෝමසිරි ගුණතිලක විසිනි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ, ඉන්දික අනුරුද්ධ, සාලින්ද දිසානායක ඇතුලු පිරිසක් ආරාධිතයින් ලෙස සෝමසිරිගේ රැස්වීමට සහභාගි වී සිටියහ. සැලකිය යුතු ජන සහභාගිත්වයක් ලැබී තිබීමෙන් උද්දාමයට පත්වීම නිසාදෝ සිය පිළිගැනීමේ කතාව අතරතුරදී බිංගිරිය ශ‍්‍රීලනිප සංවිධායක, මහ ඇමැති ධර්මසිරි දසනායකට හින්ට් එකක් ගසන්නටත් සෝමසිරි වගබලා ගත්තේය. ‘‘ධර්මසිරි දසනායක මහ ඇමැති කෙරෙව්වේ මමයි කියලා අපේ මන්ත‍්‍රී කණ්ඩායමෙන් මට ලොකු චෝදනාවක් තියෙනවා. මොකද මම තමයි පුත්තලමේ ඉන්න මන්ත‍්‍රීවරුන්ගේ පවා ගෙවල් ගාණේ බඩගාලා, අත්සන් එකතු කරගෙන ඇවිත් ඒ වැඩේට මුල් වුණේ. අන්තිමට අපි පත්කරපු ඒ මහ ඇමැතිම සංවිධායකකම් කරන්න බිංගිරියටම ආවා. නමුත් දයාසිරි බිංගිරියෙන් එළවපු අපිට ධර්මසිරි කියන්නේ කජ්ජක් නෙවෙයි. අපේ මන්ත‍්‍රී කණ්ඩායම ඇතුලු සියලුදෙනාම එකට හිටපු නිසා තමයි අපිට දයාසිරිවත් එළවන්න පුලුවන් වුණේ. අපි කවදාවත් සද්දේ දාගෙන හිටපු මිනිස්සු නෙවෙයි. නිසල දිය ගැඹුරුයි කියලා කතාවක් තියෙනවා. එහෙම තමයි සෝමසිරිලාගේ හැටි. ඒ නිසා ධර්මසිරි එළවනවා කියන එකත් අපිට මහ ලොකු දෙයක් නෙවෙයි. දැන් සමහරු කියනවා අපි මහින්ද එක්ක ඉන්න නිසා අපේ තනතුරු ගලවනවා කියලා. නියෝජ්‍ය සභාපතිකම නෙවෙයි, මොන තනතුර නැතිවුණත් අපි මහින්ද එක්ක ඉන්නවා. ’’සෝමසිරි කීවේය.

දඹදෙණියේ පොහොට්ටුවට සුමිත් – පද්මා සටනක.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ දඹදෙණි නායකත්වය වෙනුවෙන් වයඹ පළාත් සභා මන්ත‍්‍රී සුමිත් රාජපක්ෂ සහ රණවිරු සේවා අධිකාරියේ හිටපු සභාපතිනි පද්මා වෑත්තෑව අතර හටගෙන තිබූ සීතල යුද්ධය මේ වනවිට එළිපිට ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ. පොදුජන පෙරමුණේ දඹදෙණිය සංවිධායක තනතුර වෙනුවෙන් මන්ත‍්‍රී සුමිත් කාලයක් තිස්සේ ඇසගසාගෙන සිටියදී මන්ත‍්‍රී සාලින්ද දිසානායකගේ සහය ඇතිව පද්මා වෑත්තෑවද ඒ වෙනුවෙන් සටනට බැසීම මෙම ආරෝවට මුල් වී තිබිණි. පොදුජන පෙරමුණු බල මණ්ඩලය පිහිටුවීම වෙනුවෙන් සුමිත් විසින් පසුගිය දිනෙක දඹදෙණියේදී රැස්වීමක් කැදවා තිබූ නමුත් මන්ත‍්‍රී සාලින්ද දිසානායක ඊට විරෝධය පළකර තිබුණේ අදාල රැස්වීම සුමිත්ගේ තනි මතයට මිස පක්ෂයේ අනුදැනුම ඇතිව සංවිධානය කෙරෙන කටයුත්තක් නොවන බව කියමිනි. එබැවින් ඊට තමන් ඇතුලු පක්ෂයේ කිසිවෙකුත් සහභාගි නොවන බවද සාලින්ද විසින් ප‍්‍රකාශ කර තිබිණි. සාලින්දගේ විරෝධය නොතැකූ සුමිත් සැලසුම් කළ පරිදිම අදාල රැස්වීම පවත්වන්නට කටයුතු කර තිබූ අතර ඊට සැලකිය යුතු තරමේ ජනකායක් සහභාගි කරවාගන්නටත් ඔහු සමත් වී තිබිණි. එම රැස්වීමට පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයෙන් නියෝජිතයින් පිරිසක්ද සහභාගි වූ අතර පක්ෂයේ නිල ලිපි ලේඛණ ආදියත් එම රැස්වීමේදී බෙදා හැර තිබිණි. මෙම තත්වය හමුවේ මන්ත‍්‍රී සාලින්ද පොදුජන පෙරමුණේ කණ්ඩායම් රැස්වීමකදී පක්ෂ නියෝජිතයින් වෙත දෝස්මුරයක් දමා තිබුණේ මන්ත‍්‍රීවරුන් සහභාගිවීම ප‍්‍රතික්ෂේප කරන රැස්වීම්වලට පක්ෂයෙන් පිරිස් සහභාගි කරවන බව කියමිනි. දිනෙන් දින ඔඩුදුවන දඹදෙණියේ ගැටුම් සමථයකට පත්කරවීම පිණිස බැසිල් රාජපක්ෂ විසින් සුමිත් සහ පද්මා දෙපාර්ශ්වයම නෙඵම් පොකුණ මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයට පසුගිය දිනෙක කැදවා තිබූ නමුත් සුමිත් එම සාකච්ඡාව මගහැර ගොස් තිබීම හේතුවෙන් එම උත්සාහයද අසාර්ථක විය. ඒ සදහා තවත් උත්සාහයක් දරමින් මන්ත‍්‍රී කුමාර වෙල්ගම විසින් පසුගිය 16 වැනිදා දඹදෙණියේ පාර්ශ්ව දෙකම කොළඹට කැදවා තිබිණි. එම සාකච්ඡාවට නම් සුමිත් සහ පද්මා දෙපාර්ශ්වයම සහභාගි වී සිටි අතර මත ගැටුම් මැද බොහෝ වේලාවක් ඇදී ගිය සාකච්ඡාව අවසන් කෙරුණේ මන්ත‍්‍රී සුමිත් දඹදෙණිය ආසනයේ කැදවුම්කරු ලෙස පත්කරගැනීමේ එකගත්වයකට එළැඹෙමිනි. සාකච්ඡාවට සහභාගි වී සිටි වැඩිදෙනෙකු සුමිත්ගේ නව පත්කිරීමට එකගත්වය පළකිරීම හේතුවෙන් මන්ත‍්‍රී වෙල්ගම සාකච්ඡාව අවසන් කරන්නට සූදානම් වෙද්දී යළි නැගී සිටි මන්ත‍්‍රී සාලින්ද කීවේ පද්මා වෑත්තෑවත් සම කැදවුම්කරු ලෙස නම් කළ යුතු බවටය. මන්ත‍්‍රී සාලින්දගේ යෝජනාව සුමිත්ට යකා නග්ගවන්නට සමත් වී තිබිණි. ‘‘ශාන්ත බණ්ඩාරලත් එක්ක හැප්පි හැප්පි ඇගේ හයියට තමයි මම දඹදෙණියේ දේශපාලනය කරන්නේ. අතේ තියෙන තුට්ටු දෙකත් වියදම් කරගෙන සියලු දේවල් තනියම කරන මට උදව්වක් කරන්න කිසිම කෙනෙක් එන්නේ නෑ. එහෙම තියාගෙන මෙතැනට ආපුවාමත් මට තැනක් දෙන්නේ නැත්නම් මම මොකටද මේ දේවල් කරන්නේ ? ’’සුමිත් දැඩි වාග් ප‍්‍රහාරයක් මුදාහරිමින් කීවේය. මන්ත‍්‍රී වෙල්ගම මැදිහත් වී සුමිත් අස්වසන්නට කටයුතු කළ අතර යළි සාකච්ඡා කර, සුමිත්ගේ කැදවුම්කාර තනතුර ස්ථිර කරගැනීමෙන් පසු සාකච්ඡාව අවසන් කෙරිණි.

උපුටාගැනීම – ජනයුගය පුවත්පත, 2017 අගෝස්තු 24 වැනිදා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article