Thursday, March 28, 2024

කුරුණෑගල වැවිලි සමාගම් සේවකයින්ගේ පඩිය වැඩිවෙයි.

Must read

kpl_press_1

අගෝස්තු මස පළමුවැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි කුරුණෑගල වැවිලි සමාගමේ සියලු සේවකයින්ගේ වැටුප රුපියල් 7800 ක් දක්වා වූ මුදලකින් වැඩිකිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇතැයි කුරුණෑගල වැවිලි සමාගමේ සභාපති පියසෝම උපාලි මහතා පැවැසීය.

ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ පසුගියදා (25 දා) එම සමාගමේදී පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පියසෝම උපාලි මහතා, සමාගමේ ලාභය ඉහළ නැංවීමට වෙහෙස මහන්සි වූ සේවකයින් වෙතද එහි ප‍්‍රතිලාභ ලැබෙන අයුරින් අදාල වැටුප් වැඩිකිරීම සිදුකරන බව පැවැසීය. බොහෝ රාජ්‍ය ආයතන පවත්වාගෙන යාමට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දිය යුතු කාලයක කුරුණෑගල වැවිලි සමාගම විසින් මේ වනවිට රුපියල් මිලියන 315 ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ලබාදී ඇති බව සභාපතිවරයා කීය. කුරුණෑගල වැවිලි සමාගමේ ලාභාංශ ලෙස 2016 වර්ෂයේදී රුපියල් මිලියන 35 ක්ද, 2015 වර්ෂයේදී රුපියල් මිලියන 50 ක්ද මහා භාණ්ඩාගාරය වෙත ගෙවා ඇති බවත්, 2017 වර්ෂය අවසානයේදී තවත් රුපියල් මිලියන 30 ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ලබාදීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවද හෙතෙම පැවැසීය. 2015 දී නව රජය බලයට පත්වීමෙන් පසුව සමාගම භාරගත් නව කළමනාකාරිත්වය යටතේ, කුරුණෑගල වැවිලි සමාගමේ බදු ගෙවීමට පෙර ලාභය ලෙස රුපියල් මිලියන 165 ක්ද, 2016 වර්ෂයේදී රුපියල් මිලියන 144 ක්ද උපයාගෙන ඇති බව කී සභාපතිවරයා අතර 2017 වර්ෂයේදී රුපියල් මිලියන 170 ක ලාභයක් ලැබීමට අපේක්ෂා කරන බවද පැවැසීය. පවතින නියං තත්වය සහ පොල් මිල පහත වැටීම ඇතුලු බාධාවන් ඇති නොවූයේ නම් 2017 සහ 2016 වර්ෂවල ලාභය මීට වඩා ඉහළ යා හැකිව තිබූ බවද හෙතෙම පැවසීය. සමාගමේ සේවකයින් වෙත ලබාදෙන වැටුප් වර්ධකයට අමතරව දැනට ඔවුන් වෙත ලබාදෙන වරප‍්‍රසාද, දිරි දීමනා සහ ප‍්‍රසාද දීමනා මෙන්ම රජය විසින් සිදුකරනු ලබන පඩිවැඩි කිරීම්ද ඒ අයුරින්ම ලබාදෙන බවත් පියසෝම උපාලි මහතා පැවැසීය. ඒ අනුව සේවක නිවාස ඉදිකිරීම වෙනුවෙන් සමාගම විසින් වෙන්කර ඇති රුපියල් මිලියන 40 ක මුදලින් වතු පාලක, මුරකරු සහ කම්කරු නිවාස 19 ක් ඉදිකිරීමට නියමිත බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

2015 වර්ෂයේදී සමාගමේ කළමණාකාරීත්වය භාරගත් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමාගම තුළ සිදුවන වංචා සහ දූෂණ පිළිබදව දැඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බැවින් එවැනි බරපතල සිදුවීම් පසුගිය වසරවලදී වාර්තා වී නැති බවද සභාපතිවරයා කීය. මේ දක්වා පුද්ගලික ආයතන විසින් විගණනයට ලක්කළ කුරුණෑගල වැවිලි සමාගම 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමෙන් අනතුරුව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් විගණනය කරනු ලබන බවත්, ඒ පිළිබදව තමන් සතුටට පත්වන බවද හෙතෙම පැවැසීය. සභාපතිවරයා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය හෝ සමාගමේ නිලධාරින් කිසිවෙකුත් කිසිදු සුවිශේෂි වරප‍්‍රසාදයක් හෝ දීමනාවක් ලබාගන්නේ නැති බවත්, සමාගම වෙත අලුත් වාහන මිලදීගැනීම වැනි කටයුතු වෙනුවෙන් මුදල් වැයකිරීමට වඩා කෘෂිකාර්මික යන්ත‍්‍ර සූත‍්‍ර සහ වාහන මිලදීගැනීමට සමාගම සතු මුදල් ආයෝජනය කිරීමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය. කුරුණෑගල වැවිලි සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ඩී. එම්. බණ්ඩාරනායක, ප්‍රධාන විධායක නිලධාරි එස්. එම්. එම්. සමරකෝන් යන මහත්වරුන් ඇතුලු පිරිසක්ද මෙම අවස්ථාවට එක් වී සිටියහ.

kpl_press_3

kpl_press_2

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article