Friday, April 19, 2024

විස්ස ගැන අදහස් දෙන්න වයඹ පළාත් සභාව හෙට රැස්වෙයි.

Must read

nwp_special_meeting_2017_8_29

දිවයිනේ සියලු පළාත් සභා මැතිවරණ එකම දිනයකදී පැවැත්වීම සදහා වන විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව වයඹ පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ අදහස් ලබාගැනීම පිණිස අදාල සංශෝධනය හෙට ( 29 දා ) පළාත් සභා රැස්වීම වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ වෙනුවෙන් පැවැත්වෙන විශේෂ පළාත් සභා රැස්වීමක් වයඹ පළාත් සභා සංකීර්ණයේ පිහිටි සශ‍්‍රී ශාලාවේදී හෙට පෙරවරු 9.30 ආරම්භවීමට නියමිත අතර ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විසින් ඒ පිළිබද යෝජනාව සභා රැස්වීම වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් ඒ පිළිබදව සිය අදහස් දැක්වීමට නියමිතය. මීට පෙර උතුරුමැද පළාත් සභාව වෙත ඉදිරිපත් කෙරුණු විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත කෙරුණු අතර ඌව පළාත් සභාවේදී එම යෝජනාව පරාජයට පත්විය.

මතය විමසීම සදහා පළාත් සභාව වෙත ඉදිරිපත් කෙරෙන විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව ගන්නා පියවර කුමක්දැයි වයඹ ටුඩේ කළ විමසීමකට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පිළිතුරු දුන් විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක චිත‍්‍රාල් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශකළේ, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සියලු මන්ත‍්‍රීවරුන් අදාල යෝජනාව සම්මත කිරීම වෙනුවෙන් පෙනී සිටින බවය. මහින්ද රාජපක්ෂ පාලන සමයේදී දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් කොටස් වශයෙන් පවත්වා අවුල් ජාලාවක් බවට පත්කර ඇති පළාත් සභා මැතිවරණ ක‍්‍රමය යළි නිවැරැදි කිරීම මෙම සංශෝධනය හරහා අපේක්ෂා කරන බවද හෙතෙම පැවැසීය.

වයඹ පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් වයඹ ටුඩේ කළ විමසීමකට පිළිතුරු දුන් පළාත් සභා මන්ත‍්‍රී ඩී. බී. හේරත් මහතා ප‍්‍රකාශ කළේ 13 වැනි සංශෝධනය යටතේ පළාත් සභාව වෙත ලබා දී ඇති බලතල උදුරාගැනීම පිණිස ඉදිරිපත් කෙරෙන මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිවීමට ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත‍්‍රීවරු විරුද්ධ එකගත්වයකට පැමිණ සිටින බවය. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ උවමනාව මත ඉදිරිපත් කෙරෙන අදාල සංශෝධනයට ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත‍්‍රීවරුන් එරෙහි විය යුතු බවට වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විසින් ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් අදහස් කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

මේ පිළිබදව කළ විමසීමකට පිළිතුරු දුන් වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා, අදාල සංශෝධනය පිළිබදව ආණ්ඩු පක්ෂය ලෙස අවසන් තීන්දුවක් ගෙන නැති බවත්, අදාල යෝජනාව පිළිබදව අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත්තේ හෙට දිනයේදී බවත් පැවසීය. අදාල සංශෝධනයෙන් යෝජනා කර ඇති පළාත් සභා මැතිවරණය පවත්වන දිනය නිශ්චිතව ප‍්‍රකාශයට පත්කරන ලෙසට තමන් විසින් සංශෝධනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවැසීය. එමෙන්ම පළාත් සභා විසුරුවා හැරීමේ බලය පාර්ලිමේන්තුව වෙත ලබාගැනීමට ඉදිරිපත් වී ඇති යෝජනාව පළමු වතාවට පමණක් සීමාවිය යුතුය බවත්, ඉන් අනතුරුව සිදුකරන පළාත් සභා විසුරුවාහැරීම්වලදී ප‍්‍රධාන අමාත්‍යවරයාගේ ඉල්ලීම මත පළාත් ආණ්ඩුකාරවරයා විසින් සිදුකල යුතු බවටද තවත් සංශෝධනයක් ඉදිරිපත්කරන බවද හෙතෙම පැවැසීය. පළාත් සභා මැතිවරණය එකම දිනයකදී පැවැත්වීම හොද දෙයක් බවත්, තමන් ඊට එකග බවත් ප‍්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article