Saturday, April 20, 2024

ධර්මසිරි සෙංකෝලය බේරාගනී !

Must read

ayg_2017_8_31

විස්සට ඉස්සර ආණ්ඩු පක්ෂය හදිසියේ රැස්වෙයි.

අගෝස්තු මාසයට නියමිත වයඹ පළාත් සභා රැස්වීම් දෙක පවත්වා අවසන් වී තිබූ නමුත් තවත් අමතර පළාත් සභා රැස්වීමක් වෙනුවෙන් පෙරේදා දිනයේදී කටයුතු සංවිධානය වී තිබිණි. ඒ සියලු පළාත් සභා මැතිවරණ එකම දිනයකදී පැවැත්වීම සදහා වන විසි වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබද වයඹ පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ අදහස් ලබාගැනීම වෙනුවෙනි. උතුරුමැද පළාත් සභාවේදී අදාල කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වී තිබීමත්, ඌවේදී පරාජයට පත්වීමත්, බස්නාහිරදී සෙංකෝලය පවා කඩා දැමූ මහා කෝලාහලයකටත් හේතු වී තිබීමත් හේතුවෙන් දේශපාලනය ගැන උනන්දුවක් දක්වන සෑම කෙනෙකුගේම ඇස් කන් පෙරේදා දිනයේදී වයඹ පළාත් සභාව වෙත යොමු වී තිබූ බව නොරහසකි. අදාල සංශෝධනය පරාජය කිරීම සදහා ඒකාබද්ධ විපක්ෂ මන්ත‍්‍රීවරුන් දත කට මැදගෙන පළාත් සභාවට පැමිණ සිටියදී, මහඇමැති ධර්මසිරි විසින් ආණ්ඩු පක්ෂයේ හදිසි කණ්ඩායම් රැස්වීමක් කැදවන්නේ සභා රැස්වීම ආරම්භවීමට ඔන්න මෙන්න කියා තිබියදීය. ඒකාබද්ධ විපක්ෂ මන්ත‍්‍රීවරුන් සූදානම් කරගෙනැවිත් තිබූ අවි බිම තබන තැන දක්වා පත්කරවමින් ධර්මසිරි එහිදී ඉදිරිපත් කළේ මන්ත‍්‍රීවරුන් කිසිවෙකුත් අපේක්ෂා නොකළ දෙයකි. අදාල ව්‍යවස්ථා සංශෝධනයට තමන් විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන සංශෝධන පහක් සහිත ලියැවිල්ලක් මහ ඇමැති ධර්මසිරි විසින් ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් අතට පත්කළේය. පළාත් සභා මැතිවරණය පවත්වන දිනය නිශ්චිතව ප‍්‍රකාශයට පත්කිරීම, එම දිනය තීරණය කිරීමේ බලය මැතිවරණ කොමිසම සතුවීම, පළාත් සභා සම්බන්ධයෙන් සුවිශේෂි බලතල පාර්ලිමේන්තුව සතු නොවීම ඇතුලු සංශෝධන පහක් ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබිණි. මන්ත‍්‍රීවරයෙකු, ඇමැතිවරයෙකු සහ සභාපතිවරයෙකු වශයෙන් දශකයකට වැඩි කාලයක් තිස්සේ පළාත් සභාව තුළ තෙම්පරාදුවීමෙන් ලබාගත් අත්දැකීම් සහිත ධර්මසිරි රැවුලත්, කැදත් බේරාගැනීමේ පිළිවෙතක් අනුගමනය කර තිබිණි. ධර්මසිරි ඉදිරිපත් කර තිබූ සංශෝධන පිළිගැනීම හැර වෙනත් විකල්පයක් ඊට එරෙහි වන්නට බලා සිටි මන්ත‍්‍රීවරුන්ට ඉතිරි වී නොතිබිණි. මක්නිසාද යත් ඒකාබද්ධය විසින් බැටදෙනු පිණිස සූදානම් කරගෙන තිබූ සටන් පාඨ සදහා පිළිගත හැකි විසදුමක් ධර්මසිරිගේ සංශෝධන හරහා ලැබී තිබූ බැවිනි. සභාවට ඉදිරිපත් කෙරෙන කෙටුම්පත පිළිබද අදහස් දැක්වීමෙන් අනතුරුව වැඩිදුර සාකච්ඡවක් සදහා පළාත් සභාවේ නීති උපදේශක කාරක සභාවට යොමුකිරීමත්, කුමන හේතුවක් මත හෝ ඡන්ද විමසීමකට නොයෑමේ එකගත්වයකටත් එළැඹෙමින් ආණ්ඩු පක්ෂයේ හදිසි කණ්ඩායම් රැස්වීම අවසන් කෙරිණි. ආණ්ඩු පක්ෂයේ හදිසි රැස්වීම හේතුවෙන් අඩ පැයකින් පමා වූ සභා රැස්වීම ආරම්භ කෙරුණේ හරියටම පෙරවරු 10 ටය. වයඹ සභාගැබ තුළ කලාතුරකින් පමණක් දැකගත හැකි දසුනක් මවමින් පසුව වයඹ පළාත් සභාව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් සියලුදෙනාම එදින රැස්වීමට පැමිණ සිටිනු පෙණිනි. රැස්වීම ආරම්භයේදී නොපැමිණීමේ අවසරය ඉල්ලා ඇති මන්ත‍්‍රීවරුන්ගේ නම් සභාවට ඉදිරිපත් කරමින් සභානායක චින්තක මායාදුන්නේ කීවේ ‘‘ගුණදාස දෙහිගම අමාත්‍යතුමා පමණයි. ’’යනුවෙනි. ඒ අනුව එදින සභාවට නොපැමිණි එකම මන්ත‍්‍රීවරයා ඇමැති ගුණදාස දෙහිගම පමණක් වූ අතර දැඩි අසනීප තත්වය හේතුවෙන් පසුගිය දිනවල රෝහල්ගත වී සිටි මන්ත‍්‍රී කුමාර කීර්ති චන්ද්‍රසිරි පවා සභාවට ගෙන්වන්නට විස්ස සමත් වී තිබූ බවක් පෙණිනි. සභා කටයුතු ආරම්භවීමෙන් පසුව විසි වැනි සංශෝධනය පිළිබද කෙටුම්පත සභාවට ඉදිරිපත් කරන ලෙස දන්වමින් සභාපති ටිකිරි බණ්ඩා මහ ඇමැති ධර්මසිරිගේ නම නිවේදනය කළ නමුත් ධර්මසිරි ඒ වනවිට අසුනේ නොවීය. ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු කිහිපදෙනෙක් ජංගම දුරකථනය ඔස්සේ ධර්මසිරි සම්බන්ධ කරගන්නට වෙහෙසෙද්දී තවත් මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු ‘‘අතුරුදන්’’මහ ඇමැතිවරයා සොයා සභාගැබෙන් නික්ම යන අයුරුද පෙණනි. ‘‘මහ ඇමැති නැත්තම් ඇක්ටින්වත් (වැඩබලන ) නැද්ද ?’’විපක්ෂනායක ශමල් සෙනරත් තමා ඉදිරිපස අසුන්ගෙන සිටි ඇමැති සන්ධ්‍ය රාජපක්ෂගෙන් ඇසුවේ ඒ අතරවාරයේදීය. ඇමැති සන්ධ්‍ය හිස්ව තිබූ ඇමැති දෙහිගමගේ අසුන දෙස බලමින් හස්ත සංඥාවෙන් නැතැයි කීවේය. ‘‘ඇක්ටින් නැත්තම් ඩබල් ඇක්ටින් හරි ඕක ඉදිරිපත් කරන්න. ’’ශමල් සභාව සිනාවේ ගිල්වමින් පැවැසීය. මහ ඇමැති දනි පනි ගා සභා ගැබට පිවිසුණේ ශමල් සහ සන්ධ්‍යගේ ඩබල් ඇක්ටින් කතාව අතරතුරේදීය. තම මේසය මත වූ විසි වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද කෙටුම්පත අතට ගත් ධර්මසිරි එය සභාවට ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව තමන් විසින් ඒ සදහා යෝජනා කරන සංශෝධනද ඉදිරිපත් කළේය.

තරගයේ වීරයා ධර්මසිරිද ?

ඉන් අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් ගණනාවක් විසි වැනි සංශෝධනය පිළිබදව සිය අදහස් දැක් වූ අතර ඒ හේතුවෙන් සභා රැස්වීම පස්වරු තුන පසුවනතුරුම ඇදී ගියේය. පසුගිය නොවැම්බර් මාසයේදී පැවැති අයවැය විවාදයෙන් පසුව එවැනි දීර්ඝ කාලයක් වැය වූ විවාදයක් වයඹ පළාත් සභාවේදී දැකගත හැකි නොවූ අතර සභානායක චින්තක මායාදුන්නේට පෙරේදා පළාත් සභා රැස්වීම වෙනුවෙන් අමතර කාලය ලබාගැනීමේ යෝජනාවක් පවා ඉදිරිපත් කරන්නට සිදුවිය. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් ඇතුලු මැති ඇමැතිවරුන් ගණනාවක් විසින් ප‍්‍රධාන අමාත්‍යවරයා ඉදිරිපත් කළ සංශෝධන අනුමත කරමින් මෙන්ම අගය කරමින් අදහස් දැක්වීම විශේෂත්වයක් විය. එයින් නොනැවතුණු ඇතැම් මන්ත‍්‍රීවරු ධර්මසිරිගේ පරිණත බව සහ නායකත්වය පිළිබදව පවා අගය කරමින් කතා කළහ. වෙනකක් තබා මහ ඇමැති ධර්මසිරි සමග නිරන්තරයෙන් ගැටුම් ඇතිකර ගන්නා මන්ත‍්‍රී ඩී. බී. හේරත් පවා කීවේ, පළාත් සභාව පිළිබද දීර්ඝ කාලීන අත්දැකීම් සහිත පළපුරුදු නායකයෙකු වශයෙන් ධර්මසිරි විසින් ඉදිරිපත් කළ සංශෝධන අගය කරන බවය. ධර්මසිරි විසින් අදාල සංශෝධන ඉදිරිපත් නොකරන්නට තමාගේ කතාව පවා මීට වඩා වෙනස් වන්නට තිබූ බවත් සිය කතාව අවසන් කරමින් ඩී. බී. කීවේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ මන්ත‍්‍රී රංජිත් ගුණසේකරගේ අදහස් දැක්වීම අතරතුර සභා ගර්භය රස සාගරයක් බවට පත්වූයේ ආණ්ඩු පක්ෂය විසින් ගුණසේකර මන්ත‍්‍රීවරයා බයිට් එකට ගනිමින් කළ උසුඵ විසුඵ හේතුවෙනි. ‘‘තමුන්නාන්සේලා මේකට අත් උස්සන්නම ඕනෑ. ’’යැයි මන්ත‍්‍රී ගුණසේකර සිය අදහස් දැක්වීම අවසන් කරමින් කීවේය. ‘‘මෙන්න මෙයා ප‍්‍රින්සිපල් වෙලා. අපිට අත් උස්සන්නලු.’’ඇමැති සුමල්ගේ මුවින් පැන්න එම ප‍්‍රතිචාරයත් සමග සභාගැබ යළිත් සිනහවේ ගිලී ගියේය. පැය පහක් තිස්සේ පැවැති අදහස් දැක්වීම් අවසන් කරමින් යෝජනාව ඉදිරිපත් කළ මන්ත‍්‍රීවරයා ලෙස ධර්මසිරිට පිළිතුරු කතාව සදහා අවස්ථාව ලැබුණේ පස්වරු තුනට විනාඩි කිහිපයක් ඉතිරි වී තිබියදීය. ප‍්‍රබෝධමත් සහ සැහැල්ලු ස්වභාවයකින් ධර්මසිරි සිය කතාව ආරම්භ කළේය. ‘‘බොහෝම සතුටු දවසක්.’’ධර්මසිරි කියද්දී ඊට අසුන් කිහිපයකට එපිටින් සිටි ඇමැති සුමල් තිසේරා ඊට හූ මිටි තබමින් සිහින් හඩින් කීවේ ‘‘එළියේ වහිනවා. ’’ කියාය. සුමල් එම වැකිය ඉවර කරන්නටත් පෙර ධර්මසිරිත් ඒ සමගම කීවේ ‘‘ එළියේ වහිනවා. සභාවත් සෞම්‍යයි. ’’යනුවෙනි. සුමල්ගේ මුවින් පිටවුණු වැකිය, ධර්මසිරිගේ මුවින්ද පිටවෙනු ඇසීමත් සමගම සභාව සිනාහඩින් පිරී ගිය අතර ‘‘දෙන්නා කතාවෙලා කිව්වා වගේ. ’’ වැනි වැකිද සිනාහඩ අතරින් ඇසිණි. ‘‘සභාවේ කිසිම කලබලයක් නැහැ. බරපතල යෝජනාවක් ගැන ඉතාම ගැඹුරින් සාකච්ඡාකරලා හොද තීරණයකට ආපු අවස්ථාවක්. මම මේ සංශෝධන ගෙනාවේ බොහෝම සද්භාවයෙන්. මේ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන මම ජනාධිපතිතුමාගෙන් අහපුවාම එතුමා කීවේ ඔබතුමාලාට ඕන විදිහට සංශෝධන ගෙනල්ලා සම්මත කරගන්න, නැත්තම් සම්මත කර නොගෙන ඉන්න කියලයි. ඒ අනුව තමයි මම අපේ නිලධාරින් එක්ක සාකච්ඡා කරලා ඒ සංශෝධන ටික හැදුවේ. ඒ සංශෝධන ටික අද උදේ අපේ මන්ත‍්‍රීවරුන් අතට දුන්නාම ඒ අයත් ඒවාට එකග වුණා. ඒ නිසා මම ඒවා සභාවට ඉදිරිපත් කළා. පක්ෂ විපක්ෂ අපි සියලු දෙනාම මේ ගැන සභාවේදී අදහස් දැක්වුවා. මට කරන්න කියලා තියෙන්නෙත් ඒක තමයි. ආණ්ඩුකාරතුමිය මට එවලා තියෙන ලියුමේ තියෙන්නෙත් සභාවේ අදහස් එතුමිය වෙත දන්වන්න කියලා. දැන් අපි ඒක කළා. හැන්සාඩ් එකක් පිරෙන්නම අදහස් දීලා තියෙනවා. ආයේ මොකටද ඡන්දයක්. මට කියලා නෑනේ ඡන්දයක් තියන්න කියලා. මම ඡන්දයක් එහෙම තියන්න ගියා නම් මෙතැන මළකෙලියක් වෙනවා. ඒ නිසා මම කියපු දේ කරන මිනිහෙක් මිසක් නොකියපු දේ කරන මිනිහෙක් නෙවෙයි. මම එච්චර මෝඩයෙක් නෙවෙයි. ’’ධර්මසිරි කියද්දී සභාව සිනා සයුරක ගිලී ගිය අතර සිනාහඩ මැද්දේම ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රිවරු අත්පොළසන් දෙන්නට වූහ. ඒ මොහොතේදී පැවැත්වෙමින් තිබූ දකුණු පළාත් සභා රැස්වීමේදී මන්ත‍්‍රීවරුන්ගේ ගුටිබැට හුවමාරු මැද සභාවේ සෙංකෝලයත් තුනට කැඩී යද්දී, ඊට හාත්පසින්ම වෙනස් මුහුණුවරක් අනුගමනය කරමින් වයඹ පළාත් සභාවේ සෙංකෝලයත් රැකගෙන, බහුතරයකගේ සිත්ද සතුටුවෙන අයුරින් විස්ස ගොඩදාගැනීමට සමත් වූ මහ ඇමැති ධර්මසිරි තරගයේ වීරයා බවට පත් වී තිබිණි.

හේරත් යයි – හේවගේ එයි.

කුරුණෑගල නගර ශාලාවේදී පැවැති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමකදී පොල්ගහවෙල ශ‍්‍රීලනිප සංවිධායක ජයරත්න හේරත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීම ගෙවුණු සතියේදී සිදු වූ සුවිශේෂි සිදුවීමක් විය. මාස කිහිපයක් තිස්සේ පොදුජන පෙරමුණ සමග නොනිල ගණුදෙණුවක යෙදී සිටි ජයරත්න හේරත් දිගින් දිගටම කීවේ තමන් පොදුජන පෙරමුණට සහය දෙන නමුත් දැන්ම ඊට ප‍්‍රසිද්ධියේ එකතුවීමට අදහස් නොකරන බවය. ඉදිරියේදී පොදුජන පෙරමුණට එකතු වන බව කියන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක්ද සමග එම පෙරමුණට එක්වීමට අදහස් කරගෙන සිටි බව කියමින් සිටි ජයරත්න හේරත් පසුගිය සෙනසුරාදා කුරුණෑගලදී තනිවම වේදිකාවට නැග්ගේය. ජයරත්නගේ පිල් මාරුවත් සමග කරල පැහුණේ කුරුණෑගල දිස්ත‍්‍රික් සංවිධායක ලෙස කටයුතු කරමින් සිටි අනුරාධ හේවගේටය. පොල්ගහවෙලට ආසන සංවිධායකමට කලක් තිස්සේ ඇස ගසාගෙන සිටි අනුරාධ, ඔහුට ලැබී තිබූ දිස්ත‍්‍රික් සංවිධායකකම පිළිබදව පසුවූයේ එතරම් සතුටකින් නොවේ. ඒ නිසාම ජයරත්න පොහොට්ටුවට මාරු වූ දිනට පසුදිනම පොල්ගහවෙල නව සංවිධායක ලෙස අනුරාධ හේවගේ පත්කරමින් ඔහුට ප‍්‍රමෝෂන් එකක් දෙන්නට ඩාලි පාරේ පිහිටි ශ‍්‍රීලනිප මූලස්ථානය විසින් වගබලාගෙන තිබිණි.

උපුටාගැනීම – ජනයුගය පුවත්පත, 2017 අගෝස්තු 31 වැනිදා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article