Saturday, April 20, 2024

කුරුණෑගල නීතිඥයන්ට රනිල්ගෙන් සහතිකයක්.

Must read

ayg_2017_09_07

ධර්මසිරි, සෝමසිරි පට්ට ගහයි !

දයාසිරි බිංගිරියෙන් එළවූ තමන්ට ධර්මසිරි එළවීමත් කජ්ජක් නොවන බවට වයඹ පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සෝමසිරි ගුණතිලක විසින් කළ ප‍්‍රකාශයක් පසුගිය අගෝස්තු 24 වැනිදා අඵ යට ගිනි පිටුවේ පළවිය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු වේදිකාවක සිට සෝමසිරි විසින් තමන්ට දැමූ කින්ඩියට පෙරළා පිළිතුරු දෙන්නට මහ ඇමැති ධර්මසිරිද කටයුතු කළේ පසුගිය 27 වැනිදාය. ඒ පඩුවස්නුවර කූරටිහේන, අසනාකොටුව මාර්ගයේ සංවර්ධන වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් පැවැති උත්සවයකදීය. ඇමැති දයාසිරි ජයසේකර සහ පළාත් සභා මන්ත‍්‍රී චන්දන යාපා ද සහභාගි වී සිටි මෙම උත්සවයේදී සෝමසිරි වෙත තදබල ප‍්‍රතිප‍්‍රහාරයක් එල්ල කිරීමට ධර්මසිරි වගබලා ගත්තේය. ‘‘දයාසිරි ඇමැතිතුමා, අනුර යාපා ඇමැතිතුමා ඇතුලු අපි සියලුදෙනා එකතුවෙලා අද මේ වගේ සංවර්ධන වැඩකරනවා. හැබැයි වැඩක් කරගන්න බැරි සමහරු නරියෝ උඩ බලාගෙන විරිත්තනවා වගේ එක එක ඒවා කියනවා. සත පහක වැඩක් කරගන්න බැරුව වැඩ කරන අයටත් විරිත්ත විරිත්ත ඉන්නවා. වෙන කවුරුවත් නෙවෙයි, සෝමසිරි ගුණතිලක උප සභාපතිතුමා කියලා තියෙනවා මම දැක්කා දයාසිරි බිංගිරියෙන් එළවපු එයාට ධර්මසිරි එළවන එක කජ්ජක් නෙවෙයි කියලා. සෝමසිරි ගැන කතා කරනවා නම් මට පැය ගාණක් වුනත් කතා කරන්න පුලුවන්. සෝමසිරිට ඉස්සරවෙලාම එළවන්න ඕනෑ වෙලා තිබුණේ අපි දෙන්නා නෙවෙයි, එයාගේ අයියා, සුදු මහත්තයාව. (අභාවප‍්‍රාප්ත මුනිදාස පේ‍්‍රමචන්ද්‍ර මහතා) තමන්ගෙම අයියා තමයි එයා ඉස්සරවෙලාම එළෙව්වේ. සුදු මහත්තයාගේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අයියට වැඩ නොකරපු සෝමසිරි හම්බන්තොට ගිහින් වැඩ කළා. නිකම් නෙවෙයි ඇමැතිකමක් බලාපොරොත්තුවෙන්. අයියා ඡන්ද 67 කින් පැරදුණා. එයා ඒ හම්බන්තොට ගිහින් වැඩ කරපු මාසය අපිත් එක්ක එකතුවෙලා අයියට වැඩ කළා නම් ඡන්ද 67 ට ඡුන්ද 6700 ක් හොයාගන්න තිබුණා. ඒ නිසා සෝමසිරි කියන්නේ අයියාටත් ද්‍රෝහී වෙච්ච මිනිහෙක්. අයියව ගෙදර යවන්න වැඩකරපු මිනිහෙක්. මම මෙච්චරකල් මේවා කිව්වේ නෑ. දැන් එයා කට ඇරපු හින්දා මමත් කට අරිනවා. ගහන්න ගහන්න දුවන එකත් මෝඩයෙක් කියනවානේ. ඒ නිසා මෙතෙක් කල් වහගෙන හිටපු කට මමත් දැන් අරිනවා. ඊට පස්සේ බැරිම තැන සුදු මහත්තයා ප‍්‍රාදේශීය සභාවට ආවා. සෝමසිරි ඒකටවත් උදව් කළාද ? සෝමසිරි එතකොට පළාත් සභා මන්ත‍්‍රී. සෝමසිරි ආසනේ වටේ ගිහින් සුදු මහත්තයාට ඡන්ද හෙව්වා නම් සුදු මහත්තයා අංක එකට එනවා. සෝමසිරි වැඩ කළේ අනිත් අයට. එහෙම කරලා තමන්ගේ ගෝල බාලයෝ ටික හදාගත්තා. ඇයි අයියට වැඩ කළා නම් අනිත් අය තරහා වෙනවනේ. ඒ නිසා අනිත් උන්ට කිව්වා උඹලා වැඩකරගනිල්ලා මම එන්නේ නෑ කියලා ගෙදර ගිහින් බුදියාගත්තා. ඔන්න ආදරණීය අයියගේ මල්ලි වැඩ කරපු හැටි. මතක තියාගන්න 1993 දී සුදු මහත්තයා සෝමසිරිව ජීප් එකේ තියාගෙන ආසනේ වටේම එක්කරගෙන ගිහින් තමයි පළාත් සභාවට එව්වේ. ඒත් ලැයිස්තුවේ අන්තිමයා. ඡන්ද 12212 යි ගත්තේ. එහෙම උදව් කරපු මල්ලි තමයි අන්තිමට අයියාව එළවන්න කටයුතු කළේ. අයියාව එළෙව්වට අපිව එහෙම ලේසියෙන් එළවන්න බැහැ. දයාසිරි මහත්තයා පඩුවස්නුවරට ආවේ එයා එලවලා නෙවෙයි. ඒක අපි කතාබහ කරලා ගත්තු තීරණයක්. එහෙම නැතුව සෝමසිරිගේ කජ්ජක් නෙවෙයි එතැන වුණේ. මෙතැන කාන්තාවෝ හිටියේ නැත්නම් මම සෝමසිරිගේ කජ්ජ ගැන හරියටම කියනවා. ඔය යකාගේ මූණේ හිනාවක් තියෙනවා කවුරු හරි දැකලා තියෙනවාද ? අඩු ගාණේ කිචි කැව්වත් හිනා වෙන්නේ නැති මිනිහෙක්. එහෙම එකෙකුට පුලුවන්ද දේශපාලනය කරන්න. සුදු මහත්තයා කොච්චර පැහැපත් මිනිහෙක්ද ? එහෙම අයියගේ මල්ලිගෙන් පුලුවන් නම් හිනාවක් ගන්නකෝ. එහෙව් මිනිහෙක් කොහොමද දයාසිරි මහත්තයා වගේ කෙනෙක් එළවන්නේ. දයාසිරි මහත්තයාත් පස්සේ ඔය ගැන කියයි. අපි දෙන්නා කියනවා නෙවෙයි පට්ට ගහනවා. අපි කට ඇරියට පස්සේ නිකම් ඉදියි කියලා හිතන්න එපා. අපි දෙන්නා එකතුවෙලා මුලු බිංගිරිය ආසනය පුරාම සෝමසිරිව පට්ට ගහනවා. ඔය යකා මට බිංගිරියට එන්න කිව්වේ අනුර යාපා ඇමැතිතුමාගේ ගෙදරදී. එහෙම කියලා මම බිංගිරියට ආවට පස්සේ මේ යකා මොනවද මේ කියන්නේ ? මට එන්න කියලා දැන් මගේ කකුලෙන් අදිනවා. ’’ධර්මසිරි වේගවත් ලෙස කීවේය.

මෛත‍්‍රී – රනිල් දෙපැත්තෙන් අස්සන් කළ අලවතුවල දියණියගේ විවාහය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. සී. අලවතුවලගේ බාල දියණිය වන දිනූෂි අලවතුවලගේ විවාහ මංගල උත්සවය පසුගිය සිකුරාදා පැවැත්වුණේ කොළඹ හිල්ටන් හෝටලයේදීය. දිනූෂිගේ අත ගනු ලැබුවේ දැව සංස්ථාවේ වත්මන් සභාපති පී. දිසානායකගේ පුත් ශෂිමල් දිසානායක විසිනි. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු ගණනාවකගේ සහභාගිත්වයෙන් පැවැති විවාහ මංගල්‍යයේදී මනාලයාගේ පාර්ශ්වය වෙනුවෙන් ජනපති මෛත‍්‍රී අස්සන් තැබූ අතර මනාලියගේ පාර්ශ්වය වෙනුවෙන් අස්සන් කළේ අගමැති රනිල් වික‍්‍රමසිංහය. හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, කථානායක කරු ජයසූරිය, ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, තලතා අතුකෝරාල, ගාමිණී ජයවික‍්‍රම, සුසිල් පේ‍්‍රමජයන්ත් පමණක් නොව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සහ ප‍්‍රසන්න රණතුංග ඇතුලු මැති ඇමැතිවරුන් ගණනාවක්ම දේශපාලන පොරපිටියේ වාද විවාද මොහොතකට අමතක කර දමා සුහද අල්ලාප සල්ලාපයන්හි යෙදී සිටිනු එහිදී දැකගත හැකිවිය. විවාහයට අස්සන් තැබීමෙන් පසු තවත් සුවිශේෂි කටයුත්තකට සම්බන්ධවීමට ඇති බව පවසමින් අගමැති රනිල් විවාහ උත්සවයෙන් කල්වේලා ඇතිව නික්ම ගිය නමුත් පැය කිහිපයක් උත්සවයේ රැදී සිටි ජනාධිපතිවරයා ආපසු ගියේ එහිදී දිවා ආහාරයද ගැනීමෙන් පසුවය.

රනිල් අතීතය සිහිකරයි.

සිකුරාදා දිනයේදී අලවතුවල දියණියගේ විවාහයට සහභාගි වූ අගමැති රනිල් ඊට පසුදින කුරුණෑගලට ආවේ පසුගිය මැතිවරණයේදී කුරුණෑගල ජනතාවට දුන් පොරොන්දුවක් ඉටුකිරීමටය. ඒ මල්කඩුවාව, මගුරුඔයවත්ත ප‍්‍රදේශයේ ඉදිකෙරෙන නව ජාතික පාසලට මුල්ගල් තැබීමටය. ඊට පෙර කුරුණෑගල අධිකරණ සංකීර්ණය වෙත පැමිණි අගමැති රනිල් එහි අලුතින් ඉදි වූ බැංකු ශාඛාවක් සහ තැපැල් කාර්යාලයක්ද විවෘත කළේය. අධිකරණ සංකීර්ණයේ පිහිටි නීති පුස්තකාලයේදී පැවැති කෙටි උත්සවයේදී නීතිඥවරුන් ඇමැතූ අගමැතිවරයා, වික‍්‍රමසිංහ පරපුරට කුරුණෑගල උසාවිය සමග ඇති සම්බන්ධය පැහැදිලි කළේය. නීතිඥ පරම්පරා හතකින් යුත් සිය පවුලේ පරම්පරා හතරකට අයත් නීතිඥයින් කටයුතු කළේ කුරුණෑගල උසාවියේ බව කී රනිල් 1850 ගණන්වල මෙම ප‍්‍රදේශයේ ආරම්භ වූ පතල් කර්මාන්තය සහ පොල් වගාවත් සමග ඔප්පු ලිවීම එකල නීතිඥයින්ට ලාභදායී කටයුත්තක් වූ බව සිහිපත් කළේය. ඉන් අනතුරුව කුරුණෑගල වත්මන් නීතිඥයින් වෙතද සහතිකයක් ලබාදෙමින් අගමැතිවරයා කීවේ කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළ මේ වනවිට සිදුවෙමින් ඇති සීඝ‍්‍ර දියුණුවත් සමග ඔප්පු ලිවීම ඊටත් වඩා ලාභදායී කටයුත්තක් වනු ඇති බවටය. කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළ ක‍්‍රියාත්මක කෙරෙන අධිවේගී මාර්ග, සංචාරක පුරවර සහ කර්මාන්ත කලාප නම් ගම් සහිතව කී අගමැතිවරයා ඊට සාපේක්ෂව ඉඩම් මිල ඉහළයාමත් සමග ඔප්පු ලිවීමද වාසිදායක වනු ඇති බව කීවේය. උත්සවය අවසානයේදී ඊට ලබාදුන් සහයෝගය වෙනුවෙන් ස්තූති කරද්දී මන්ත‍්‍රී පියුමාල් හේරත් වෙතද ස්තූතියක් පිරිනැමිණි. රනිල්ගේ උත්සවය සදහා යොදාගෙන තිබූ නීති පුස්තකාලය, පළාත් ආයෝජන මුදල් යොදවා ඊට පෙර දිනය වන විට වායු සමනය කරදෙන්නට පියුමාල් විසින් කටයුතු කළ බවද එහිදී කියැවිණි. ‘‘කොතලාවල අගමැතිතුමාගෙන් පස්සේ කුරුණෑගල උසාවියට අගමැතිවරයෙක් ආවේ පළමු වතාවට. ඒ අවස්ථාව සලකලා ලයිබි‍්‍ර එක ඒ සී කරලා දුන්නා මිසක් මගේ දේශපාලනයේ වෙනසක් වුණේ නැහැ. ’’ තේ මේසයේදී මාධ්‍යවේදීන් වෙත සුලමුල පැහැදිලි කරමින් පියුමාල් කීය. අනතුරුව මල්කඩුවාවට ගිය අගමැතිවරයා එහිදී ඇතුගල්පුර ජාතික පාසල වෙනුවෙන් මුල්ගල තැබුවේය. උත්සව සභාව ඇමැතූ රනිල් ඇමැති අශෝක් විසින් වී තිබූ බාරයක් ගැනද හෙළි කළේය. ‘‘මේක සංවිධානය කරපු අශෝක් අබේසිංහ ඇමැතිතුමා මා එක්ක කතා කරද්දී කිව්වා මේ උත්සවය ඉවර වෙනකම් වහින්න එපා කියලා එතුමා භාරයකුත් වුණා කියලා. එයා එහෙම භාර වුණාට නමුත් මේ දවස්වල රටේ අනිත් හැම කෙනාම භාරහාර වෙන්නේ වැස්ස වහින්න කියලයි. ’’අගමැති රනිල් කියද්දී උත්සව සභාව සිනා සයුරක ගිලී ගියේය.

උපුටාගැනීම – ජනයුගය පුවත්පත, 2017 සැප්තැම්බර් 07 වැනිදා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article