Thursday, April 18, 2024

හිටපු ඇමැතියි – දැන් ඇමැතියි මාතරදී එකට තෑගි බෙදයි.

Must read

ayg_2017_09_28

පියසිරි වැඩට බහී.

වයඹ පළාත් සමූපකාර සංවර්ධන, සංස්කෘතික සහ කලා කටයුතු , ක‍්‍රීඩා හා යෞවන කටයුතු, විදුලිබල, ඉඩම්, තොරතුරු තාක්ෂණය පිළිබද නව අමාත්‍යවරයා ලෙස පත්වීම් ලැබූ පියසිරි රාමනායක පසුගිය බ‍්‍රහස්පතින්දා උදෑසන එම අමාත්‍යංශයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය. එම අවස්ථාවේ විශේෂත්වය වූයේ පක්ෂ විපක්ෂ හෝ මහින්ද – මෛත‍්‍රී පිල් භේදයකින් තොරව සියලු දේශපාලන පිල් නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් ඊට සහභාගිවී සිටීමය. පුත්තලම් දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක ප‍්‍රියන්ත, ආණ්ඩුකාර අමරා පියසීලි, වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වේඩරුව, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දයාශ‍්‍රිත තිසේරා සහ මිල්රෝයි පෙරේරා ඇතුලු පිරිසක් ඊට සහභාගි වී සිටියහ. මහින්ද පිල නියෝජනය කරන බව කියන වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩාද පියසිරිට සුබ පතන්නට එතැනට පැමිණ සිටීම විශේෂත්වයක් වූ අතර එහි පැමිණ සිටි මන්ත‍්‍රී පාලිත රෝහණ පහන් දැල්වීමෙන් පසුව උත්සවයෙන් නික්ම ගොස් තිබිණි. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායානා මධ්‍යයේ උදෑසන 10.25 ට යෙදුණු සුබ මොහොතින් ලිපියකට අස්සන් තැබූ පියසිරි එම ලිපි ගොනුව අමාත්‍යංශ ලේකම් කුමාරි වීරසේකර අතට පත්කළේය. අනතුරුව පියසිරි සභාව කෙටියෙන් අමතා තමන්ට උදව් උපකාර කළ සියලු දෙනාට ස්තූති කළ අතර හිටපු ඇමැති මිල්රෝයි පෙරේරාද විනාඩි කිහිපයක කතාවක් පැවැත්වීය. මිල්රෝයිගේ කතාවෙන් හිටපු ඇමැති සන්ධ්‍ය වෙත දොස්පරොස් එල්ලවීම හේතුවෙන් මිල්රෝයිගේ කතාවට වැඩිදෙනෙකුගේ අවධානය යොමු වී තිබිණි. ‘‘මුල්කාලේදී වයඹ පළාත් සභාවේ ඇමැතිකම් බෙදනකොට පුත්තලමට හැමදාම ලැබුණේ ධීවර අමාත්‍යංශය තමයි. ඊට පස්සේ තමයි සෞඛ්‍ය ඇමැතිධූරය වගේ ඇමැතිකම් ලැබෙන්න පටන්ගත්තේ. ඒ නිසා මොන ප‍්‍රශ්න තිබුණත් එදා සන්ධ්‍ය රාජපක්ෂට අධ්‍යාපන ඇමැති ධූරය ලැබෙනකොට අපි බොහොම සතුටු වුණා. ජනාධිපතිතුමාගේ අතින් සන්ධ්‍යට මේ පත්වීම දුන්නේ එතුමාගේ පක්ෂය වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගෙනියන්නයි. නමුත් සන්ධ්‍ය තමයි දින සීය කාලය තුළම මහින්ද රාජපක්ෂව දුම්මලදෙණිය පන්සලට ගේන්න මූලික වුණේ. එතුමාගේ නිවසේ තමයි පළමුවැනි රැස්වීම තිබුණේ. මගෙනුත් ඇහැව්වා එහෙම රැස්වීමක් කළාට කමක් නැද්ද කියලා. මම කිව්වා කිසිම ප‍්‍රශ්නයක් නැහැ, ඒක කරගත්තට කමක් නැහැ කියලා. එහෙම තියෙද්දිත් තමයි අධ්‍යාපන අමාත්‍ය ධූරයේ කටයුතු කරගන්න අපේ සම්පූර්ණ සහයෝගය එතුමාට ලබාදුන්නේ. නමුත් අපි බලාගෙන හිටියේ එතුමා එකතැනක ඉදියි කියලා. විශේෂයෙන්ම ඩබල් ගේම් ගහනවාට මම විරුද්ධයි. ඉන්නවා නම් එකතැනක ඉන්න ඕනෑ. එක්කෝ මහින්ද එක්ක ඉන්නවා මහින්ද එක්ක නම් ඉන්න ඕනෑ. එහෙම නැත්නම් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් එක්ක ඉන්නවා නම් එතැන ඉන්න ඕනෑ. එහෙම නැතුව ඩබල්ගේම් ගහන්න ගිහිල්ලා මේ රටේ ප‍්‍රශ්න අපිට විසදගන්න බැරිව යනවා. ඒ නිසා එයාගේ වැඩපිළිවෙල ගැන අපේ යුතුකමක් විදිහට අපේ නායකතුමාලට දැනුම්දුන්නා. අපි අවුරුදු දෙකක් තිස්සේ මේවා ඉවසගෙන හිටියා. එයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න කටයුතු කරයි කියලා හිතුවා. නමුත් අවාසනාවකට ඒ කටයුත්ත සිද්දවුණේ නැති නිසා අන්තිමට මේ වගේ තත්වයක් උදාවුණා. ’’මිල්රෝයි කීවේය. මිල්රෝයි ඩබල් ගේම් ගැන කියද්දී දෛවයේ සරදමකට මෙන් ඔහු ළගම සිටගෙන සිටීමට සිදු වී තිබුණේ වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩාටය. මෛත‍්‍රී පිලත් – මහින්ද පිලත් දෙපැත්තම කමින් දෙන ඩබල්ගේම් ගැන මිල්රෝයි ගැන කියද්දී ඊට යාබදව සිටි ටිකිරි බණ්ඩා උඩබිම බලමින් සිටින අයුරු දැකගත හැකිවිය.

අධිවේගී විරෝධයේ නොකියැවුණු කතා.

නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ විසින් මේ වනවිට ගෙවා දමමින් සිටින්නේ කරදර කම්කටොඵ සහිත කාලවකවානුවක් බවට නිසැකය. දෙසතියකට පෙර සිදු වූ සිය බෑණනුවන්ගේ අකල් වියෝව හරහා ලැබූ කටුක අත්දැකීම තුනීවන්නටත් පෙර තම දේශපාලන ජීවිතයේද තවත් අමිහිරි අත්දැකීමක් විදගන්නට අශෝක්ට පසුගිය සදුදා සිදුවිය. මධ්‍යම අධීවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කුරුණෑගල, නයිලිය විහාරස්ථානයේදී එදින පැවැති රැස්වීමක් අතරතුරදී ඇති වූ උණුසුම හේතුවෙන් අශෝක්ට පොලිස් ආරක්ෂාව මැද එම ස්ථානයෙන් ඉවත්වීමට සිදුවිය. සති දෙකකට වැඩි කාලයක් තිස්සේ වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පිහිටි සිය බෑණනුවන්ගේ නිවසේ රැදී සිටිමින් ඔහුගේ අවමගුල වෙනුවෙන් වෙහෙසුණු අශෝක් ඉරිදාට යෙදුණු සත් දින දානමය පින්කම අවසන් වූ සැණින් කුරුණෑගලට පැමිණ තිබුණේ සදුදා පැවැත්වෙන නයිලියේ සාකච්ඡාවට සහභාගිවීමට තිබූ බැවිනි. අදාල රැස්වීම ආරම්භයට පෙරම ගම්වාසීන් හා නිලධාරින් අතර ගැටුමක් ඇති වී තිබූ අතර සාකච්ඡාව මෙහෙයවීම සදහා දෙපිරිස අතර තරගයක් ඇති වී තිබිණි. ඒ බව මනාව ප‍්‍රදර්ශණය කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් විදුලි ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයක් හෙවත් ප්‍රොජෙක්ටර් යන්ත‍්‍රයක් වේදිකාවේ සවිකර තිබූ අතර ගම්වාසීන් විසින් ඊට යාබදව තවත් ප්‍රොජෙක්ටර් යන්ත‍්‍රයක් සවිකර තිබිණි. රැස්වීමේ ප්‍රොජෙක්ටර් දෙකක්ම සවි වී තිබූ නමුත් අන්තිමට ඒ එකකින්වත් වැඩක් ගත නොහැකිවිය. වේදිකාවට ගොඩනොවුණු අශෝක් සභාවේ ඉදිරිපස අසුනක වාඩිවීමත් සමග රැස්වීම ආරම්භ විය. මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි විසින් අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කළ නමුත් ප‍්‍රදේශවාසීන් විසින් විවිධ ප‍්‍රශ්න නගමින් ඊට බාධාකරන්නට වීම නිසා සාකච්ඡාව උණුසුම් මුහුණුවරකට පෙරළිණි. පැයකට ආසන්න කාලයක් තිස්සේ ඇදී ගිය වාද විවාදවල නිමක් නොවීම හේතුවෙන් අශෝක් මයික්‍රෝෆෝනය ගෙන පිරිස අමතන්නට විය. ‘‘හරි, අපි මේ ගැන සාකච්ඡා කරලා ඔබතුමන්ලාගේ ප‍්‍රශ්න විසදනකම් මේ අධිවේගී මාර්ගයේ වැඩ නවත්වනවා. මම මේ ගැන කිරිඇල්ල ඇමැතිතුමා එක්ක කතාකරන්න ඔබතුමාලට අවස්ථාවක් අරගෙන දෙන්නම්. ’’ අශෝක් කීවේය. කුරුණෑගල ප‍්‍රාදේශිය සභාවේ හිටපු ජවිපෙ මන්ත‍්‍රී ධර්මප‍්‍රිය දිසානායක ඊළගට කතාකළේය. ‘‘මෙතැන රැස්වෙලා ඉන්න කිසිම කෙනෙකුට මේ අධිවේගී මාර්ගය නවත්වන්න උවමනාවක් නැහැ. කරන වැඩේ හරියට කරන්න කියලයි අපි මේ කියන්නේ. කිරිඇල්ල ඇමැතිතුමා එක්ක සාකච්ඡා කරලා නම් මේ ප‍්‍රශ්නය විසදන්න හදන්නේ, අපි නම් හිතන්නේ නෑ ඒකට සාධාරණ උත්තරයක් ලැබෙයි කියලා. මොකද එතුමා තමයි ඔය කණු උඩ යන්න තිබුණු පාර බිමින් ගෙනියන්න කියලා වෙනස් කළේ. ඒ නිසා ඔබතුමා සම්බන්ධයෙන් කුරුණෑගල මිනිස්සුන්ගේ තියෙන ගෞරවය ඒ විදිහටම තියාගෙන ඔබතුමා මැදිහත් වෙලා මේකට සාධාරණ විසදුමක් දෙන්න.’’ධර්මප‍්‍රිය අශෝක්ට කීවේය. සභාවේ කලකෝලාහල දිගින් දිගටම වර්ධනය වී එද්දී අශෝක් යළි සභාව ඇමැතුවේය. ‘‘මේ තියෙන වාතාවරණයත් එක්ක මෙතැන කතාකරලා ප‍්‍රශ්න විසදන්න බැහැ. දැන් ඔබතුමාලා කියන්නේ මේ මාර්ගය කණු උඩ යන්න ඕනෑ කියලා. නමුත් ඒ ගැන මෙතැනදී තීන්දුවක් ගන්න බැහැනේ. ඒ නිසා මම පොරොන්දුවක් දෙනවා මේ ගැන සතියක් තුළ සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නකම් මේ මාර්ගයේ වැඩ නවත්තනවා කියලා.’’අශෝක් කීවේය. අශෝක්ගේ පොරොන්දුව එම අවස්ථාවේදීම ලිඛිතව ලබාදෙන්නැයි ප‍්‍රදේශවාසීහු එවර කෑගසන්නට වූහ. ඒ අනුව අශෝක්ගේ සම්බන්ධීකරණ ලේකම් චමින්ද සෝමරත්න ලිපිය සකස්කරන්නට වූ අතර එතැනට පැමිණ ප‍්‍රදේශවාසිහු චමින්දගේ ලිපියට අඩු වැඩි ඇතුලත් කරන්නට යාමෙන් දෙපිරිස අතර යළිත් උණුසුම් තත්වයක් ඇතිවිය. අන්තිමේදී අදාල ලිපිය ලිවීම ප‍්‍රදේශවාසින් විසින්ම භාරගත්හ. ගංවතුරෙන් බලපෑමක් ඇති නොවන ලෙසට අධිවේගී මාර්ගය කණු මත ඉදිකරන ලෙසත්, නිසි පරිදි වන්දි මුදල් ගෙවන ලෙසට සහ සහ වන්දි ගෙවීමේ ක‍්‍රමවේදය හෙළිකරන ලෙසටත් සදහන් කරමින් ප‍්‍රදේශවාසීහු විසින් සකස්කළ ලිපිය සභාවට ඇසෙන සේ කියවීමෙන් අනතුරුව ඊට අත්සන් තබන්නැයි අශෝක්ගෙන් ඉල්ලා සිටි නමුත් අශෝක් ඊට විරෝධය පළකළේය. ‘‘විධිමත් අධ්‍යනයක් කරන්නේ නැතුව පාර කණු උඩ ගෙනියනවා කියලා මට සහතික දෙන්න බැහැ. ’’යැයි අශෝක් කීමත් සමග සභාව යළි ඇවිස්සී ගියේය. එතෙක් වේලා සභාවේ අසුන්ගෙන සිට ප‍්‍රදේශවාසින්ගේ අසුන්වලින් නැගිට වේදිකාව ආක‍්‍රමණය කරන්නට සැරසීමත් සමග වහා ක‍්‍රියාත්මක වූ පොලිසිය සහ ඇමැති ආරක්ෂක අංශ නිලධාරිහු අශෝක් වාහනයට නංවා එතැනින් පිටත්කර හැරීමට කටයුතු කළහ. අශෝක්ගේ රථය පසුපස ලුහුබැද ගිය ප‍්‍රදේශවාසිහු සිය කේන්තිය පිටකරගත්තේ මහ හඩින් හූ හඩ දෙමිනි.

සන්ධ්‍යත් මාතර යයි.

දින තුනක් තිස්සේ මාතර, කොටවිල ක‍්‍රීඩාංගණයේදී පැවැති ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය පැවැත්වුණේ පසුගිය ඉරිදාය. වයඹ ක‍්‍රීඩා අමාත්‍යංශ ලේකම් කුමාරි වීරසේකර මෙවර ජාතික මහා ක‍්‍රීඩා උළෙලෙහි වැඩි අවධානයක් දිනාගත් චරිතයක් බවට පත්ව තිබූ අතර ඕ ක‍්‍රීඩා උළෙලේ දින තුන පුරාවටම ක‍්‍රීඩාංගණයේ රැදී සිටිමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ අවශ්‍යතාවයන් පිළිබදව සොයාබලමින් ඔවුන් දිරිමත් කළ බව කියැවිණි. ක‍්‍රීඩා ඇදුමකින් සැරසුණු වීරසේකර ලේකම්වරිය පේ‍්‍රක්ෂකාගාරයේ සිට වයඹ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙනුවෙන් ජයඝෝෂා නංවන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක්ද මුහුණුපොතටත් එක් වී තිබිණි. වයඹ ක‍්‍රීඩා ඇමැති ලෙස ගිය සතියේදී පත්වීම් ලැබූ පියසිරි රාමනායක මෙන්ම වයඹ ක‍්‍රීඩා ඇමැතිකමින් පසුගිය සතියේදී ඉවත් කෙරුණු ඇමැති සන්ධ්‍ය රාජපක්ෂත් ක‍්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය සදහා සහභාගි වී සිටීම විශේෂත්වයක් විය. පියසිරි සහ සන්ධ්‍ය එක්ව ජයග‍්‍රහණ ලැබූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙත කුසලාන පිරිනැමීමේ අවස්ථාවකටද එක් වූ නමුත් දෙදෙනා අතර වැඩි කතාබහක් ඇති වූ බවක් දැකගත නොහැකි විය. පියසිරිත්, සන්ධ්‍යත් දෙදෙනාම ක‍්‍රීඩා උළෙලට ගෙන්වීම ක‍්‍රීඩා ඇමැති දයාසිරිගේ තීරණයකට අනුව සිදුවූවක් බවත්, දෙදෙනා අතර හොද හිත වර්ධනය කිරීමේ අදහසින් දයාසිරි විසින් සැලසුම් කළ කපුකමක් බවත් සමාප්ති උත්සවයෙන් පසුව පැවැති තේ මේසයේ කතාබහේදී අනාවරණය විය.

උපුටාගැනීම – ජනයුගය පුවත්පත, 2017 සැප්තැම්බර් 28 වැනිදා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article