Wednesday, April 24, 2024

මහ ඇමැතියි, වේඩරුවයි කණ්ඩායම් රැස්වීමේදී ඇරගනියි !

Must read

ayg_2017_10_05

ශමල් ගැන සන්ධ්‍ය අනාවැකි කියයි.

පෙරේදා පැවැති වයඹ පළාත් සභා රැස්වීම ආරවුලකින් තොරව අවසන් වූ නමුත් එදින පළාත් සභා රැස්වීම පුරාවට අපහාස, උපහාස මෙන්ම රසවත් සිදුවීම්වලින් නම් අඩුවක් නොවීය. අමාත්‍ය ධූරයෙන් ඉවත්කෙරුණු සන්ධ්‍ය රාජපක්ෂ එම ඉවත්කිරීමෙන් පසුව පළමුවරට පළාත් සභා රැස්වීමකට සහභාගි වූයේ පෙරේදාය. සන්ධ්‍ය ධූරයෙන් ඉවත්කිරීමෙන් දින කිහිපයකට පසුව එළැඹි සැප්තැම්බර් 19 වැනිදාත් පළාත් සභා රැස්වීමක් පැවැත්වුණු නමුත් ඒ වනවිටත් ස්විට්සර්ලන්තයේ සිටි සන්ධ්‍ය ඊට සහභාගි නොවීය. සිය අලුත් නවාතැන වූ ආණ්ඩු පක්ෂයේ දෙවෙනි පෙළෙහි පළමු අසුනේ සිට මන්ත‍්‍රීවරුන්ගේ පෞද්ගලික කරුණු දැක්වීමේ අවස්ථාවේදී අදහස් දැක් වූ සන්ධ්‍ය තමන් දේශපාලනයට අවතීර්ණ වූ හැටිත්, වයඹ මහ ඇමැතිකම වෙනුවෙන් තරග වැද වයඹ අධ්‍යාපන ඇමැතිකම දිනාගත් හැටි මෙන්ම අධ්‍යාපන ඇමැතිකම හරහා කළ කී දෑ පිළිබදවත් දීර්ඝ විස්තරයක් කළේය. සෞම්‍ය ලෙස ගලා ගිය සන්ධ්‍යගේ කතාව අතරමැදදී එක්වරම කර්කශ ස්වභාවයකට පෙරලී ගිය අතර වත්මන් රජයේ වැඩපිළිවෙල සහ රජයේ ඇමැතිවරුන් ගණනාවක් විවේචනය කරමින් සන්ධ්‍ය අදහස් දක්වන්නට විය. ‘‘මම එදා විසිවැනි සංශෝධනයට විරුද්ධව මේ සභාවේදී කතා කළා. එදා මම එතැන ඉදන් ඒ කරපු කතාව නිසා තමයි අද මම මෙතැනට වෙලා කතාකරන්නේ. ’’සන්ධ්‍ය තමන් පෙර සිටි ඇමැති පුටුව සහ දැන් ලැබී ඇති පුටුව පෙන්වමින් කීවේය. සන්ධ්‍ය ආණ්ඩුව විවේචනය කිරීම පිළිබදව උරණ වී සිටි විපක්ෂ නායක ශමල් සිය අසුනේ සිට කීවේ ‘‘තමුන්නාන්සේගේ කට හින්දා තමයි තමුන්නාන්සේ නැති වුණේ. ’’කියාය. ශමල්ගේ ඒ කතාවට සන්ධ්‍යට ඌරු ජුවල් ගිය බව පෙණිනි. ‘‘නිකං හිකනලෙක් වගේ කෑ ගහන්නේ නැතිව ඉදගන්න විපක්ෂනායකතුමා. මට කොහෙත් එකයි. මම අතන ඉදන් මෙතැනට ආවා. එතැන ඉදන් මෙතැනට ආවා. ඒකේ කිසි ප‍්‍රශ්නයක් නෑ. හැබැයි මම එකක් කියන්නම්. තමුන්නාන්සේ හැමදාම ඔතැන තමයි. තමුන්නාන්සෙට ඔතැනින් මෙහාට එන්න හම්බවෙන්නේ නෑ කවදාවත්.’’සන්ධ්‍ය උස් හඩින් කියද්දී ආණ්ඩු පක්ෂයෙන් අත්පොලසන් වැදිණි. ශමල්ද සටන අතහැරියේ නැත. ‘‘ඩබල් ගේම් ගහන්න ගිහින් කෙළවගත්තා මදිද ? ’’ශමල් ඇසීය. ශමල්ගේ එම ප‍්‍රකාශය සන්ධ්‍යගේ කටේ මෙන්ම වචනවල සැරත් වැඩි කරවීමට සමත්විය.‘‘ඩබල් ගේමක් නෙවෙයි මම නියම ගේමක් ගැහැව්වේ. අපි ඩබල් ගේම් ගැහැව්වේ නෑ. අපි මේ පක්ෂයේ ඉදන් අනිත් පක්ෂයට වැඩ කෙරුවේ නැහැ. අපි හැමදාම හිටියේ අපිට ඡන්දය දුන්නු ජනතාවගේ පැත්තේ.’’සන්ධ්‍ය කියාගෙන යද්දී විපක්ෂ මන්ත‍්‍රීවරු කෑකෝ ගසන්නටවීම නිසා සභාව එකම කාලගෝට්ටියක් බවට පත්විය. ඝෝෂාව මැද්දේම සන්ධ්‍ය දිගටම කතාකළේය. ‘‘මේ තනතුරු රැකගන්න ඕනෑ වුණා නම් මටත් තිබුණා නිවට නියාලු වෙලා ඔහේ බලාගෙන ඉන්න. එහෙම නැත්නම් පඩුරු පාක්කුඩම් අරගෙන හැමදාම ගිහින් ඔහේ කේලම් කිය කියා ඉන්න. නමුත් අපි එහෙම කළේ නැහැ. එදාට වැඩිය ශක්තියක් සහ පන්නරයක් මම දැන් ලබාගෙන තියෙනවා. එදා මාත් එක්ක කතා නොකරපු මිනිස්සු අද මාත් එක්ක කතා කරනවා. එදා මම දකිද්දී අහක බලාගෙන ගියපු අය අද දැකපු තැන කතාකරනවා. දිස්ත‍්‍රික්කයේ හැම තැනකින්ම දුක සැප අහලා ටෙලිෆෝන් කෝල් එනවා. මේකයි සැබෑ තත්වය. ඒ නිසා තනතුරු, තාන්න මාන්න ඒ කිසිදෙයක් අපිට අවශ්‍ය නැහැ. විපක්ෂයේ කට්ටිය ඔය දැන් කෑ ගැහැව්වට, පස්සේ මට කතාකරලා කියනවා එහෙම කෑ ගැහැව්වේ නැත්නම් අපිට පක්ෂයෙන් බණිනවා කියලා.’’යැයි කියූ සන්ධ්‍ය විපක්ෂය වෙත තවත් සැර කම්මුල් පහරක් එල්ල කළේය. ‘‘අපොයි නැහැ’’ කියමින් විපක්ෂ මන්ත‍්‍රීවරු අසුන්වලින් නැගී සිටිද්දී ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු ‘‘ජය වේවා , ලැජ්ජයි අප්පා, ඇද්ද අහගත්තා ’’වැනි සරදම් එල්ල කරමින් සිනාසෙන්නට වූහ. අතීතය සිහිකරමින් සහ ආණ්ඩුව විවේචනය කරමින් විනාඩි 30ක පමණ කාලයක් සභාව ඇමැතූ සන්ධ්‍ය සිය අන්තිම වචන කිහිපය පාව්චිචි කළේ තමන්ගේ කතාවට දිගින් දිගටම බාධාකළ විපක්ෂ නායක ශමල් සෙනරත් වෙත මුෂ්ටි ප‍්‍රහාරයක් එල්ල කරන්නටය. ශමල් දෙස අත දිගු කර පෙන්වමින් සන්ධ්‍ය මෙසේ පැවැසීය. ‘‘ මම විශේෂයෙන් මෙතුමාට ස්තූතිවන්ත වෙනවා. ඇත්තෙන්ම මේ වගේ විපක්ෂ නායකයෙක් මේ පළාත් සභාවේ සිටිය යුතුමයි. මොකද එතුමා ඉන්නකම් යූඇන්පිය සදාකාලික විපක්ෂයේ තමයි. ’’කී සන්ධ්‍ය ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ අත්පොළසන් මැද අසුන් ගත්තේය. ‘‘ඕක ඔය මිනිහගේ කරුමේ. කැත විදිහට පිරිභව කරන්න එපා. ’’සන්ධ්‍යගේ ප‍්‍රාර්ථනාවෙන් කෝපයට පත් ශමල් බැණ වදින්නට වූ නමුත් ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් නම් ශමල්ව අත්හැරියේ නැත. ශබ්දවාහිනී රහිතව වුවත් පළාත් සභාවටම ඇසෙන සේ කතාකිරීමේ හැකියාවක් සහිත ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී මල්රාජ් පීරිස්ද සිය අසුනෙන් ඉදිරියට නැවී ශමල් වෙත තවත් ඔලොක්කුවක් දැම්මේය. ‘‘ඔක්කොමත් හරි, සන්ධ්‍ය ඇමැතිතුමා අර අන්තිමට කියපු කතාව තමයි නියම කතාව.’’මල්රාජ් උස්හඩින් කළ එම ප‍්‍රකාශයත් සමග සභාව යළිත් සිනා සයුරක ගිලී ගියේය. ‘‘තව අවුරුද්දයි ඔහොම කෑ ගහන්න ලැබෙන්නේ. පූජිත් ආවාම ඒකත් ඉවරයි. ’’මල්රාජ්ගේ ප‍්‍රකාශයෙන් නැගුණු සිනාව මැකී යන්නට ඉඩ නොතබමින් මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත්ද කීවේය.

එදින සභා රැස්වීමේදී විවාදයට ගත්තේ මන්ත‍්‍රී රංජිත් ගුණසේකර විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවකි. කුරුණෑගල, වැව්ගලේ පදිංචි වී සිටින පවුල් පහළොවකට අයත් ජනතාව වෙනත් සුදුසු ස්ථානයකින් නිවාස තනා පදිංචි කළ යුතු බවට එම යෝජනාවෙන් කියැවිණි. අදාල යෝජනාව පිළිබදව පැවැති විවාදයෙන් පසුව ඒ පිළිබදව ඡන්ද විමසීමේ අවස්ථාව උදාවිය. සභාපති ටිකිරි බණ්ඩා යෝජනාවට පක්ෂ මන්ත‍්‍රීවරුන් අත ඔසවන ලෙසට නිවේදනය කළේය. ඒ වනවිට සභාගැබේ සිටි සියලු පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරු යෝජනාවට පක්ෂව අත් එසවූහ. අත් පහත දමන ලෙස කී ටිකිරි බණ්ඩා යෝජනාවට විරුද්ධ වන මන්ත‍්‍රීවරුන් සිටී නම් අත් ඔසවන ලෙස නිවේදනය කළේය. සභාවේ සියලු අත් පහත වැටී තිබූ නමුත් එක් අතක් පමණක් ඉහළට එස වී තිබිණි. එදින තමන්ට නරක දිනයක් බව පසක් කරවමින් එලෙස ඉහලට එසවී තිබුණේ විපක්ෂ නායක ශමල්ගේ සෙනරත්ගේ අතය. සිය ටැබ් යන්ත‍්‍රයට එබීගෙන එහි තිබූ යමක් දෙස බලමින් සිටි ශමල් වෙතින් සභාවේ සිදුවෙමින් පැවැති කටයුත්ත පිළිබදව අවධානය ගිලිහී ගොස් තිබූ බව පෙණිනි. තැලෙන යකඩේ හමු වූ විට උඩ පැන පැන තැලීමේ න්‍යාය අනුගමනය කරගනිමින් එවර කට ඇරියේ ආණ්ඩු පක්ෂයේ තවත් කට සැර මන්ත‍්‍රීවරයෙකු වන‍ ට්‍රෙවින් ප‍්‍රනාන්දුය. ‘‘මොකෝ විපක්ෂ නායකතුමා. මේ හොද වැඩේටත් විරුද්ධද ? ’’සභාව හෙල්ලුම් කවමින් ට්‍රෙවින් ඇසීය. ට්‍රෙවින්ගේ උපහාසය හමුවේ විදුලිය වැදුණු කලෙක මෙන් ශමල් අත පහත හෙලීය. එම සිදුවීමත් සමෙග ආණ්ඩු පක්ෂය පැත්තෙන් ගලා ආ තවත් උසුලු විසිලු රැල්ලක ගොදුරක්වීමට යළිත් වතාවක් ශමල්ට සිදුවිය.

ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු කණ්ඩායම් රැස්වීම් වර්ජන තීන්දුවක.

පසුගිය බ‍්‍රහස්පතින්දා පස්වරුවේ පැවැති ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමට ඇමැති මණ්ඩලයෙන් ‘‘පොල්ලක් ’’වැටීම නිසා එම රැස්වීම අවසන් වූයේ තවත් අවුලක ආරම්භය සනිටුහන් කරමිනි. කණ්ඩායම් රැස්වීමට සහභාගිවීම සදහා ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් පහලොවකට වැඩි පිරිසක් පැමිණ සිටි නමුත් ඇමැතිවරුන් පස්දෙනාගෙන් කිසිවෙකුත් ඊට සහභාගි වී නොසිටියහ. මහ ඇමැති ධර්මසිරි පමණක් තමන්ට කණ්ඩායම් රැස්වීමට සහභාගි විය නොහැකි බව දන්වා තිබූ නමුත් සෙසු ඇමැතිවරුන් ගැන කිසිදු හාවක් හූවක් නොවීය. ඇමැතිවරුන් එනතෙක් පැයකට වැඩි කාලයක් තිස්සේ කාලය කා දමමින් බලා සිටි ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුවන්ගේ රතු කට්ට පැන්නේය. කැරළිකාර මල්රාජ් පීරිස් සෙසු මන්ත‍්‍රීවරුන් ආමන්ත‍්‍රණය කළේය. ‘‘ඇමැතිවරුන්ට මේ විදිහට කරන්න දෙන්න බැහැ. ගෘෘප් මීටින් එකට අපි පුත්තලමේ ඉදලා එන්න ඕනෑ. ඒ ආපුවාමත් මෙතැන ඇමැතිවරු නැහැ. එයාලා එන්නේ නැත්නම්, එන්නේ නැහැ කියලාවත් කියන්න ඕනෑ. මන්ත‍්‍රීවරුන්ට තියෙන ප‍්‍රශ්න ගැන කතාකරලා විසදගන්න තියෙන්නේ මෙතැන විතරයි. එතැනටත් ඇමැතිවරු එන්නේ නෑ. අපි නිකම් එයාලට ඕනෑ වෙලාවට අත් උස්සගන්න ඉන්න බෝනික්කෝ වගේ වෙලා. ඒ නිසා මම යෝජනා කරනවා මේ අවුරුද්ද ඉවරවෙනකම් තියෙන කිසිම කණ්ඩායම් රැස්වීමකට අපි සහභාගි නොවී ඉදිමු කියලා. ’’මල්රාජ් ආවේගයෙන් කීවේය. ‘‘ඒක ඇත්ත. අයවැය කිට්ටු වෙද්දී ඇමැතිවරු අපිට හැමදාම ටොෆි ටිකක් දෙනවා. අපිත් ඒ ටික කාලා ඒ අයගේ වැඩ ටික සම්මත කරලා දෙනවා. මේකේ අවසානයක් තියෙන්න ඕනෑ. ඒ නිසා මල්රාජ් මන්ත‍්‍රීතුමාගේ යෝජනාව ක‍්‍රියාත්මක කළ යුතුයි කියලා මමත් කියනවා. ’’මල්රාජ්ගේ යෝජනාව ස්ථිර කරමින් මන්ත‍්‍රී අසංක නවරත්න කීවේය. කණ්ඩායම් රැස්වීමේ සිටි සියලුදෙනාම යෝජනාවට එකගත්වය පළකිරීමත් සමග රැස්වීම අවසන් කළ පිරිස විසිරී ගියහ. වර්ජන තීන්දුව ගැන කතාබහ යළි අලුත් වුණේ පසුගිය අගහරුවාදාය. පළාත් සභා රැස්වීමේ තේ විවේකය අතරතුරදී ආණ්ඩු පක්ෂයේ හදිසි කණ්ඩායම් රැස්වීමක් කැදවා තිබුණේ වයඹ ගුරු විභාගය පිළිබද සාකච්ඡාවකටය. අදාල මාතෘකාව සාකච්ඡා කර අවසන්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂ සංවිධායක බණ්ඩාර රාජපක්ෂ විසින් මන්ත‍්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීම් වර්ජන තීන්දුව පිළිබදව මහ ඇමැති ධර්මසිට දැනුම් දුන්නේය. මන්ත‍්‍රීවරුන් විසින් ගෙන තිබූ තීන්දුව පිළිබදව දැනගත් ධර්මසිරිට යකා නැග්ගේය. ‘‘මට එදා ගාල්ලේ යන්න තිබුණු නිසා මට ගෘෘප් මීටින් එකට එන්න බැහැ කියලා මම කල්ඇතිවම කිව්වා. නමුත් අනිත් ඇමැතිවරු ගෘෘප් එකට ආවේ නැති එක වැරදියි. ’’ධර්මසිරි ඇමැතිවරුන්ට දොස් පවරන්නට විය. ඇමැති සුමල් කීවේ තමන් විදේශ ගතවී සිටි බැවින් කණ්ඩායම් රැස්වීමට සහභාගි වන්නට නොහැකි වූ බවය. තමන්ට යාබද අසුනේ සිටි ඇමැති ලක්ෂ්මන් වේඩරුව දෙස වැඩිපුර බලමින් ධර්මසිරි දිගින් දිගටම ඇමැතිවරුන්ට දෝෂාරෝපණය කිරීම නිසා මන්ත‍්‍රීවරුන් වැඩි දෙනෙකුගේ අවධානය වේඩරුව දෙසට යොමු වී තිබිණි. ධර්මසිරිගේ දොස් පරොස් ඉවසා සිටීමට බැරිම තැන වේඩරුව සිය අසුනෙන් නැගිට්ටේය. ‘‘මට විතරක් දොස් කියන්නේ ඇයි ? එදා මටත් එන්න බැරිකමක් තිබුණා. මගේ පවුලේ මගුල් ගෙයක් තිබුණු නිසා මම ඒකට ගියා. මම සභාපතිතුමාට කතාකරලා කිව්වා මට ග්රූප් එකට එන්න වෙන්නේ නෑ කියලා. ’’යැයි කී වේඩරුව එතැනින් ඉවත්ව යාමට සැරසුණේය. ‘‘කොහේද යන්නේ ? වාඩිවෙනවා. මේක තවම ඉවර නැහැ.’’ධර්මසිරි එවර කෑ ගැසීය. ධර්මසිරිගේ නියෝගය ඇසුණු වේඩරුව වෙව්ලා ගියේය. ‘‘මට වාඩිවෙන්න කියන්න ඔයා කවුද ? ’’ඇමැති වේඩරුව ධර්මසිරි වෙත ළංවෙමින් ඇසුවේය. එනපොට හොද නැති බව වටහාගත් මන්ත‍්‍රීවරු ගැටුම සමථයකට පත්කිරීමට මැදිහත් වූහ. ‘‘මම ඔයාට විතරක් දොස් කිව්වා නෙවෙයි. ඇමැතිවරු කියපුවාම අනිත් සියලුදෙනාම ඒකට අයිතියි. ඔයා කෑල්ලක් අල්ලගෙන මෙතැන දගලන්න එපා.’’ධර්මසිරි සන්සුන්වෙමින් කීවේය. ‘‘ ඔච්චර කේන්ති ගන්න එපා ලොක්කා. ඒක ඔය වයසට හොද නෑ.’’මන්ත‍්‍රී අතුල විජේසිංහ ධර්මසිරි අස්වසන්නට මෙන් කීවේය. ‘‘මොනවද ඔයා මේ කියන්නේ ? මට එහෙම කේන්ති යන්නේ නෑ. ’’කී ධර්මසිරි එවර අතුලගේ ඇගට ගොඩවිය.

උපුටාගැනීම – ජනයුගය පුවත්පත, 2017 ඔක්තෝම්බර් 05 වැනිදා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article