Friday, March 29, 2024

වයඹ පළාත් පාලන ආයතනවලට මින් ඉදිරියට ෆික්ස්ඩ් ඩිපොසිට් තහනම් !

Must read

nwp+fd

මහජන සුබ සාධනය වෙනුවෙන් යෙදවීමට ඇති මුදල් ස්ථිර තැන්පතු ලෙස බැංකුවල තැන්පත් කිරීමට පළාත් පාලන ආයතන ප‍්‍රධානින් විසින් කටයුතු කරමින් සිටින බැවින් මින් ඉදිරියට වයඹ පළාත් පාලන ආයතනවලට ස්ථිර තැන්පතු ලෙස මුදල් තැන්පත් කිරීම තහනම් කළ බව වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ පසුගිය 02 වැනිදා පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී විවාදයට ගත් කුරුණෑගල, වැව්ගලේ පදිංචි වී සිටින පවුල් පහළොවකට අයත් ජනතාව වෙනත් සුදුසු ස්ථානයකින් නිවාස තනා පදිංචි කළ යුතු බවට වූ යෝජනාවක් පිළිබදව අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ප‍්‍රධාන අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

‘‘ උවමනාවක් තියෙනවා නම් මේ මිනිස්සුන්ට ගෙවල් ටිකක් හදලා දෙන්න කුරුණෑගල මහ නගර සභාවට පුලුවන්. මොකද අපේ වයඹ පළාතේ වැඩිම මුදලක් තියෙන්නේ කුරුණෑගල නගර සභාවට. මේ නගර සභාවලින් සහ ප‍්‍රාදේශීය සභාවලින් දාලා තියෙන ෆික්ස්ඩ් ඩිපොසිට් දැක්කොත් තමුන්නාන්සේලා සමහර විට පුදුම වෙයි. සභාවේ තියෙන සල්ලිවලින් මිනිස්සුන්ට සේවය කරන්නේ නැහැ. ලේකම්වරු සභාපතිවරු එකතුවෙලා ෆික්ස්ඩ් ඩිපොසිට් දානවා. සභාවලින් සල්ලි එකතු කරන්නේ මිනිස්සුන්ට ආපහු සේවයක් කරන්නනේ. පාරක් කපන්න, බොක්කුව හදන්න, මොන්ටිසෝරිය හදන්න, ගෙවල් ටිකක් හදලා දෙන්න, ඒවා තමයි සල්ලිවලින් කරන්න තියෙන වැඩ. නමුත් සභාවට ලැබෙන කීය කීය හරි එකතුකරගෙන ගිහින් ෆික්ස්ඩ් ඩිපොසිට් දාන එක දැන් හැම සභාවකම ස්ටයිල් එකක් වෙලා තියෙනවා.’’

‘‘ ඒ නිසා දැනට දාලා තියෙන ෆික්ස්ඩ් ඩිපොසිට් ගැන මම මොනවත් කියන්න යන්නේ නැහැ. නමුත් මින් ඉදිරියට ෆික්ස්ඩ් ඩිපොසිට් සත පහක් හරි වැඩිවෙලා තිබුණොත් ඒ සභාවේ ලේකම් වගකියන්න ඕනෑ. මින් පස්සේ එක සත පහක්වත් ෆික්ස්ඞ් ඩිපොසිට් විදිහට දාන්න මම ඉඩදෙන්නේ නැහැ. මොකක් හරි හදිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් සුලු මුදලක් තියාගත්තට කමක් නැහැ. නමුත් මහා බරපතල විදිහට මුදල් තැන්පත් කරන්න ඕනෑ නැහැ. ඒ නිසා සභාවල තියෙන මුදල් යොදවලා පාරවල් හදන්න, නගරයේ පහසුකම් දියුණු කරන්න, කුණු කසල ටික අයින් කරන්න, කුණු අයින් කරන්න ට‍්‍රැක්ටර් නැත්නම් ට‍්‍රැක්ටර් ගන්න. ඒ වගේ කටයුතු කිරීම මිස ෆික්ස්ඩ් ඩිපොසිට් දැමීම තහනම්.’’

‘‘ කුරුණෑගල මහ නගර සභාවට වෙලා තියෙන්නෙත් මේකයි. මිනිස්සු ගල් උඩ පදිංචි වෙලා අපා දුක් විදිනවා. හැබැයි නගර සභාවේ බැංකු ශේෂය දවසින් දවස ඉහළ යනවා. කුරුණෑගල නගර සභාවේ වැඩකරන සේවකයෝ විල්ගොඩ ලැයිමේ පදිංචි වෙලා අපා දුක් විදිනවා. ගෙවල් ටිකක් හදලා දෙනවා නම් නගර සභාවට අයිති අක්කර හතර හමාරක විතර ඉඩම් ඒ කිට්ටුවම තියෙනවා. නමුත් එහෙම කරන්නේ නෑ. තමුන්ගේ සේවකයෝ අපාදුක් විදිනවා. ෆික්ස්ඩ් ඩිපොසිට් එක බැංකුවේ රජ කරනවා. ඒ නිසා මින් ඉදිරියට එහෙම කරන්න දෙන්න බැහැ කියලා අපි දැන් තීරණයක් අරගෙන තියෙනවා. ඒ සල්ලි මිනිස්සුන්ගේ සුබසාධන කටයුතුවලට යොදවන්න ඕනෑ. ’’ යැයි පැවැසීය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article