Saturday, April 20, 2024

ලෝයර්ට එරෙහිව ලෝයර් උසාවි යයි.

Must read

lawyer_vs_lawyer

නිකවැරටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ සේවයේ නියුතු නීතිඥවරයෙකු තමන්ට බැණවැදී තර්ජනය කළ බව පවසමින් එම අධිකරණයේම සේවයේ නියුතු තවත් නීතිඥවරයෙකු විසින් නිකවැරටිය මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවකින් විත්තිකාර නීතිඥවරයා නිදොස් කොට නිදහස් කරන ලෙසට කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා පසුගියදා නියෝග කළේය.

2013 නොවැම්බර් මස 20 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී නිකවැරටිය අධිකරණය ඉදිරිපිට පිහිටි සිය කාර්යාලය අසලදී නීතිඥ සාලිය තෙන්නකෝන් මහතා සහ ඔහුගේ කාර්යාල සහායකයා විසින් තමන්ට බැණවැදී තර්ජනය කළ බව පවසමින් නිතිඥ ශිරාල් වන්නිආරච්චි මහතා විසින් මෙම නඩුව පවරා තිබිණි. නීතිඥ ශිරාල් වන්නිආරච්චි මහතා විසින් නිකවැරටිය පොලිසිය වෙත කර තිබූ පැමිණිල්ලකට අනුව, ශ‍්‍රී ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 486 වැනි වගන්තිය යටතේ පැමිණිලිකාර නීතිඥවරයා සාපරාධී බියගැන්වීමට ලක්කර ඇති බව දක්වමින් නිකවැරටිය පොලිසිය විසින් මෙම නඩුවට අදාලව විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කොට තිබිණි.

මෙම නඩුවේ විත්තිය සහ පැමිණිල්ල යන දෙපාර්ශ්වයම නිකවැරටිය අධිකරණයේ සේවයේ නියුතු නීතිඥ මණ්ඩල සාමාජිකයින් වන බැවින් අදාල නඩු විභාගයෙන් ඉවත්වීමට නිකවැරටිය මහේස්ත‍්‍රාත් මහත්මිය කාංචනා එන් සිල්වා මහත්මිය විසින් තීරණය කර තිබිණි. ඒ අනුව විශේෂ නඩු විභාගයක් ලෙස සලකා මෙම නඩුව කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඉදිරියේ නිකවැරටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේදීම විභාග කිරීමට අධිකරණ සේවා කොමිසමේ නියම කර තිබිණි. මෙම නඩු විභාගය අතරතුරදී එහි පැමිණිලි සහ විත්ති පාර්ශ්වයන් නියෝජනය කළ නීතිඥවරුන් ඔවුන් සේවයේ නියුතු අධිකරණයේම පිහිටි පැමිණිලි සහ විත්ති කූඩුවලට නැග සාක්ෂි ලබාදීම විශේෂ සිදුවීමක් විය. නඩුවේදී දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා, විත්තිකරුවන් වෙත එල්ල කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත්වීම හේතුවෙන් විත්තිකරුවන් දෙදෙනා සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරන ලෙසට නියම කළේය.

විත්තිය වෙනුවෙන් නීතිඥ සෙනරත් බණ්ඩාර සහ නීතිඥ සංජීව විජේපාල යන මහත්වරුන් පෙනී සිටි අතර පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article