Wednesday, April 24, 2024

හය හතර නොදන්නා කිරි දරුවන් ඉදිරිපිට ටිකිරි බණ්ඩා කුණුහරුප කියයි !

Must read

ayg_2017_10_12

ජයන්තයි – දයාසිරියි, ආයෙත් මුණගැහෙයි.

මෙරට ක‍්‍රීඩා අමාත්‍යාංශයේ 17 වැනි ලේකම්වරයා ලෙස ජයන්ත විජේරත්න සිය තනතුරේ රාජකාරි ආරම්භ කළේ පසුගිය බදාදාය. දශකයකට ආසන්න කාලයක් වයඹ පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම් තනතුර හෙබ වූ ජයන්ත විජේරත්න අමාත්‍යංශ ලේකම්වරයෙකු ලෙසට උසස්වීම් ලැබ පළාත් සභාවෙන් සමුගත්තේ පසුගිය ජනවාරි මාසයේදීය. නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් පෙබරවාරි 11 වැනිදා ජනපති මෛත‍්‍රීගේ අතින් පත්වීම් ලැබූ ජයන්තට එම අමාත්‍යංශයේ රාජකාරි කළ හැකිවූයේ සිව් මසක් පමණි. පසුගිය ජූනි මාසයේදී වාරිමාර්ග සහ ජල සම්පත් කළමණාකරන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස නව පත්වීමක් ලැබූ ජයන්ත අලුත් පුටුවකට මාරුවිය. වෘත්තිය අරගලයක් මුල්කර ගනිමින් වාරිමාර්ග නිලධාරින් සහ අමාත්‍යශ ලේකම් ජයන්ත අතර ගැටුමක් නිර්මාණය වී තිබූ බව කියැවුණු අතර වාරිමාර්ග නිලධාරිහු පසුගිය දිනෙක පැවැති කුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගිවීම පවා වර්ජනය කර තිබුණේ එම ආරවුලේ තරම එළිපිට පෙන්වමිනි. එම ආරවුල හේතුවෙන්දෝ ජයන්ත විජේරත්නගේ වාරිමාර්ග සහ ජල සම්පත් කළමණාකරන අමාත්‍යංශ සේවා කාලයත් තෙමසකට සීමාකරමින් ක‍්‍රීඩා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පසුගිය සතියේදීය ඔහුට තවත් පත්වීම ලැබී තිබිණි. ජයන්ත වැඩ භාරගන්නා අවස්ථාවට ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරද සහභාගි වී සිටියේය. වැඩ භාරගැනීමෙන් පසු පැවැති කෙටි උත්සව සභාව අමතමින් ජයන්ත වයඹ පළාත් සභාව සහ ඇමැති දයාසිරි සමග බැදුණු තම අතීත මතකයන්ද සිහිකළේය. ‘‘ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා හැටියට පත්වෙනවා කියලා ඇත්ත වශයෙන්ම මම දැනගත්තේ පෙරේදා හැන්දෑවේ. නමුත් දයාසිරි ජයසේකර ඇමැතිතුමා නම් මේ ගැන කලින්ම දැනගෙන ඉදලා තියෙනවා. මම පෙරේදා වෙන රැස්වීමකට ගියපු ගමන් තමයි මට කතාකරලා පත්වීම් ලිපිය ලබාදුන්නේ. ඒ කොහොම වෙතත් මම සතුටුවෙනවා මේ අමාත්‍යංශයට සම්බන්ධවෙලා කටයුතු කරන්න ලැබීම ගැන. ඒකට එක හේතුවක් තමයි, ක‍්‍රීඩා විෂය සම්බන්ධයෙන් මම ප‍්‍රවීණයෙක් නොවුනත් මේ විෂය පිළිබදව මගේ ලොකු කැමැත්තක් තිබෙනවා. ඒ වගේම අපේ ගරු ඇමැතිතුමා සමග මම මීට පෙර වයඹ පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම්වරයා හැටියට වැඩ කරලා තිබෙනවා. ඒ හරහා එතුමා සමග යම්කිසි බැදීමක්, මිත‍්‍රත්වයක් තිබුණා. ඒ සියලු කාරණා එක්ක බලනකොට ඉතාමත් හොදින්, සතුටින් වැඩකරන්න පුලුවන් පරිසරයක් සහ අවස්ථාවක් ක‍්‍රීඩා අමාත්‍යංශය තුළ තිබෙනවා කියලා මම හිතනවා. ’’ජයන්ත සභාව අමතමින් කීවේය. අනතුරුව සභාව ඇමැතූ දයාසිරි ජයන්ත වෙත චරිත සහතිකයක් නිකුත් කරමින් කතාකළේය. ‘‘අපේ අමාත්‍යංශයේ නව ලේකම්වරයා විදිහට වැඩ භාරගත්ත ජයන්ත විජේරත්න මහත්මයාව ඉතාමත් සතුටින් පිළිගන්නවා. ජයන්ත විජේරත්න මහත්මයා කියන්නේ ප‍්‍රාදේශීය ලේකම්වරයෙක් විදිහටත්, වයඹ පළාත් පාලන කොමසාරිස්වරයා විදිහටත්, ඊළගට වයඹ පළාත් අමාත්‍යංශ ලේකම්වරයෙක් විදිහට සහ වයඹ ප‍්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයා විදිහට පත්වෙලා අවසානයේදී මේ රටේ දෙවැනි විශාලතම පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම්වරයා විදිහට වැඩකරපු කෙනෙක්. මාත් එක්ක අවුරුදු දෙකක කාලයක් එතුමා වැඩකළා. ඒ කාලය තුළ අපිට විශාල වැඩ කොටසක් කරන්න පුලූවන් වුණා. ’’දයාසිරි කීවේය.

ගිනි කෙළි සහ ගිනි අවි පිරි – පොල්ගහවෙල ටිකිරි කෙළි !

පොල්ගහවෙල නව බස් නැවැතුම්පොළ විවෘත කිරීමේ උත්සවය පසුගිය සිකුරාදා පැවැත්වුණේ මහ ඇමැති ධර්මසිරි දසනායකගේ ප‍්‍රධානත්වයෙනි. පොල්ගහවෙල ශ‍්‍රීලනිප සංවිධායක අනුරාධ හේවගේත් සමග එම උත්සවයට පැමිණි ධර්මසිරි බස් නැවැතුම්පොල විවෘත කිරීමෙන් පසුව පොල්ගහවෙල නගර ශාලාවේ සංවිධානය කර තිබූ තවත් උත්සවයක් වෙත යාමට සැරසෙද්දී පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා එතැනට ආවේය. ‘‘මටත් මහ ඇමැතිතුමා එක්ක යන්න පුලුවන්ද ? ’’ටිකිරි බණ්ඩා ඇසීය. ‘‘ඇයි ඔයාගේ වාහනේ නැද්ද? ’’ධර්මසිරි ඊට වැඩි අනුකූලතාවයක් නොදක්වමින් ඇසීය. ‘‘තියෙනවා. ඔබතුමත් එක්ක අතනට යන්න කියලා බැලුවේ. ’’ටිකිරි බණ්ඩා කීවේය. ‘‘හා, යමු එහෙනම්. අනුරාධ ඔයත් නගින්න. ’’යැයි කියමින් වාහනයට නැගුණු ධර්මසිරි අසුන මත තිබූ ලිපිගොනු මිටිය සිය උකුල මතට ගත්තේ අනෙක් දෙදෙනාට ඉඩක් ලබාදෙන්නටය. මහ ඇමැතිගේ ආරාධනාවට අනුව මහ ඇමැති රථයේ අසුන්ගත් අනුරාධ හේවගේ දුටු ටිකිරි බණ්ඩා මාරාවේශ විය. ‘‘බැහැපං, බැහැපං. උඹ කොහොමද මේකට නගින්නේ. මම පළාත් සභාවේ සභාපති. උඹ මොකෙක්ද ?’’ටිකිරි බණ්ඩා අනුරාධ වෙත ගුගුරන්නට විය. ඒ සමගම එතැන සිටි ටිකිරි බණ්ඩාගේ අනුගාමිකයින් දෙතුන් දෙනෙකුද අනුරාධට වාහනයෙන් බසින ලෙස කෑකෝ ගසමින් කලබල කරන්නට වූහ. එහි සිටි අනුරාධගේ සොහොයුරා ඊට මැදිහත්වීම නිසා දෙපිරිස අතර ආරවුලක් ඇතිවන ලකුණුද පහළ විය. ‘‘මොනවද මේ ඔයා කරන්නේ, මමයි අනුරාධව එක්කරගෙන ආවේ. ඒ නිසා එයා මාත් එක්කම යන්න ඕනෑ. ඔයාට ඕනෑ විදිහට නටන්න මම ලෑස්ති නෑ. මමයි මෙතැන මහ ඇමැති. ’’ටිකිරි බණ්ඩා සහ ඔහුගේ සහචරයින්ගේ අශීලාචාර හැසිරීම් විලාසයෙන් කෝපයට පත් ධර්මසිරි ඊට අප‍්‍රසාදය පළකරමින් කීවේය. ටිකිරි බණ්ඩාගේ අනුගාමිකයින් පිරිස අනුරාධ වාහනයෙන් එළියට ඇද දමන්නට තැත් කරද්දී වාහනය පණ ගැන් වූ ධර්මසිරිගේ රියදුරු එතැනින් නික්මුණේය. බස් නැවැතුම්පොළේ සිට නගර ශාලාව දක්වා යන තෙක්ම බැණ වදිමින්, ශාප කරමින් ගිය ටිකිරි බණ්ඩාගේ අශීලාචාර හැසිරීම ඉවසා සිටීමට අනුරාධට මෙන්ම මහ ඇමැතිටද සිදුවිය. වාහනයෙන් බැසගත් පිරිස පොල්ගහවෙල නගර ශාලාවට ඇතුලු වූහ. එම උත්සවය සංවිධානය වී තිබුණේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ දරු දැරියන් පිරිසක් ඇගැයීම වෙනුවෙනි. මුලු නගර ශාලාවම පිරීගොස් තිබුණේ කටේ කිරි සුවද තවමත් පහ නොගිය කුඩා ළමුන්ගෙනි. ඔවුන්ට අමතරව රැස්වීමේ අසුන්ගෙන සිටියේ භික්ෂූන් වහන්සේ, රාජ්‍ය නිලධාරීන්, ගුරුවරුන් සහ මව්පියන් පමණි. කිරි දරුවන් පිරිසක් ඉදිරියේ පවා සිය දේශපාලන කෝන්තර ඇදගැනීමට මැලි නොවූ ටිකිරි බණ්ඩා යළිත් වරක් සිය බංකොලොත් බව ලෝකය හමුවේ අපූරුවට ප‍්‍රදර්ශණය කළේය. සුදෝ සුදු පාසල් නිල ඇදුමින් සැරැසී සිටි සිගිති දූ පුතුන් කටවල් අයාගෙන බලා සිටියදී වෛරී සහගත අවලාද වැලක් මුදාහල ටිකිරි බණ්ඩා ඉන් අනතුරුව එම නොදරුවන් හමුවේ කුණුහරුප කියන්නට පවා පසුබට නොවීය. ‘‘දැන් මේ පොල්ගහවෙලට එක එක විදියේ උන් ඇවිත් ඉන්නවා. උන් හදන්නේ මගේ රෙදි ගලවන්න. හැබැයි මගේ රෙදි ගලවන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි. ඊට කලින් මම උන්ගේ රෙදි ගලවනවා. ඊට පස්සේ උන්ටම දෙකට නැවිලා බලාගන්න වෙයි මොනවද ඉතුරුවෙලා තියෙන්නේ කියලා.’’ටිකිරි බණ්ඩා වේදිකාව මතට වී එලෙස රෙදි ගලවාගනිද්දී සභාවේ සිටි මව්පියන් සහ ගුරුවරුන් කිසිත් කරකියාගත නොහැකිව අසරණ වී සිටිනු පෙණිනි. කිරි දරුවන් සමග අහවල් දේශපාලනයක්දැයි සිහි බුද්ධිය ඇති ඕනෑම අයෙකුට සිතිය හැකි වුවත් තැනට සහ තනතුරට නොගැලපෙන විකල් හැසිරීම් සම්බන්ධයෙන් ටිකිරි බණ්ඩා විසින් පිහිටුවා ඇති පැරැණි වාර්තා දෙස බලද්දී නම් ඒ පිළිබදව එක් අතකින් පුදුම විය යුතුද නොවේ. වයඹ පළාත් සභා ඉතිහාසයේ මුල්වරට සභාපති අසුනත් එහි ගරුත්වයත් අමු අමුවේ කෙලෙසමින් මාධ්‍යවේදීන් සභා රැස්වීමෙන් දොට්ට දැමීමේ නියෝගයක් නිකුත් කළ ටිකිරි බණ්ඩා ඒ අවස්ථාවේදීත් මුලසුනේ සිට පාව්ච්චි කළේ පළාත් සභාවේ සභාපතිවරයාගෙන් තබා සනීපාරක්ෂක කම්කරුවෙකුගෙන්වත් බලාපොරොත්තු විය නොහැකි තරමේ තුට්ටු දෙකේ පහත් වදන් වැළකි. ඉන් අනතුරුව සාප්පුවත්ත ප‍්‍රදේශයේ බුදු මැදුරක් වෙනුවෙන් මුල්ගල් තැබීමකට සහභාගි වූ ටිකිරි බණ්ඩා හිස් වැසුම් සහ පාවහන් පිටින් බුදුන් පුදා තවත් වාර්තාවක්ද තැබීය. විකල් හැසිරීම් සම්බන්ධයෙන් එවැනි කීර්තිමත් සහ නම් දැරූ ඉතිහාසයක් හිමි ටිකිරි බණ්ඩා පසුගිය සිකුරාදා පොල්ගහවෙල නගර ශාලාවේදී නැටූ නාඩගම ගැන පුදුම නොවිය යුත්තේ එබැවිනි. ටිකිරි බණ්ඩා වේදිකාව මත ඒ අයුරින් පරල වී සිටියදී ඔහුගේ සහචරයින් පිරිසක්ද නගර ශාලාවේ ප‍්‍රධාන දොරටුව අසල පරල වී සිටියහ. රැස්වීමට සහභාගි වී සිටි අනුරාධගේ ආධාරකරුවෙකු අල්ලාගත් ටිකිරි බණ්ඩාගේ රියදුරු සහ තවත් ගෝලයෙකු ඔහුගේ හිසට පිස්තෝලයක් තබා චිකාගෝ ජවනිකාවක් රගදක්වා තිබිණි. එතැනට පැමිණි පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු පිරිසකගේ මැදිහත්වීම නිසා ඊට වඩා චණ්ඩිකමක් පෙන්වන්නට ටිකිරි බණ්ඩාගේ ගෝලබාලයෝ අසමත් වූහ. තර්ජනයට ලක් වූ අනුරාධගේ ආධාරකරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් ටිකිරි බණ්ඩාගේ ආධාරකරුවන් දෙදෙනෙකු මේ වනවිට සිටින්නේ රක්ෂිත බන්ධනාගාර ගතවය. තර්ජනය කිරීමට යොදාගත් බව කියන ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් ටිකිරි බණ්ඩාගේ නම කියැවීම නිසා පොලිසිය විසින් පසුගිය දින කිහිපය පුරාම ටිකිරි බණ්ඩා පිළිබද සෙවිල්ලෙන් පසු වූ නමුත් හාවක් හූවක් නැතිවම ටිකිරි බණ්ඩා අතුරුදන්ව සිටියේය. පසුගිය සදුදා පොල්ගහවෙල අධිකරණය හමුවේ කරුණු දැක් වූ ටිකිරි බණ්ඩාගේ නීතිඥයින් හෙට (12 දා) ටිකිරි බණ්ඩා අධිකරණයට ඉදිරිපත්කරන බවට සහතික වූහ.

දෙහිගම ඈත් කරයි. ධර්මසිරි ළගට ගනියි.

සම්පත් දේශාන් වර්ණපුර පසුගිය සතියේදී යළි කරළියට පැමිණියේය. වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයා වන සම්පත්, ඇමැති දෙහිගමගෙන් එල්ල වන බලපෑම් හමුවේ එම තනතුරේ කටයුතු කළ නොහැකි බව පවසමින් එම අධිකාරියෙන් එළියට බැස්සේ පසුගිය පෙබරවාරි මාසයේදීය. මාස කිහිපයක් තිස්සේ හාවක් හූවක් නොවූ සම්පත් මීට දෙසතියකට පමණ පෙර වයඹ යන්ත්‍රෝපකරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහ ඇමැති ධර්මසිරිගේ අතින් අලුත් පත්වීමක් ලබාගත්තේය. පසුගිය 02 වැනිදා උදෑසන යන්ත්‍රෝපකරණ අධිකාරිය වෙත පැමිණි සම්පත් සිය නව තනතුරේ රාජකාරි කටයුතුද ආරම්භ කළේය. මගී ප‍්‍රවාහන අධිකාරියෙන් සම්පත්ගේ ඉල්ලා අස්වීමත් සමග එම දිනවලදී කසුකුසු ගණනාවක් පැතිරී තිබිණි. සම්පත් ඉල්ලා අස් වූ බව එක් පැත්තකින් කියැවෙද්දී ඇමැති දෙහිගම විසින් සම්පත් ධූරයෙන් පහකළ බවත් කියැවිණි. ඇමැති දෙහිගම විසින් ධූරයෙන් පහකළ බැවින් පළාත් සභා නීතිරීතිවලට අනුව සම්පත්ට යළි කිසි දිනෙක පළාත් සභාව සතු ආයතනයක තනතුරක් දැරිය නොහැකි බවද එම දිනවලදී පැතිර ගිය ජනප‍්‍රිය කතාවක් විය. අවසානයේදී ඒ සියලු කතන්දර හුදු අතේ රෝල් බවට පත්කරවමින් සම්පත් වර්ණපුර කිසිදු උපද්‍රවයකින් තොරව යන්ත්‍රෝපකරණ අධිකාරියේ මුල් පුටුවේ වාඩි වී තිබිණි. මීට මාස කිහිපයකට ඉහතදී තමන් විසින් ඈත් කළ සම්පත්, මහ ඇමැති ධර්මසිරි විසින් ඔහුගේ සමීපයට ගනු දකින්නට තරම් ඇමැති දෙහිගම අවාසනාවන්ත වී තිබිණි. කෙසේවෙතත් මෙම සටහන කියවන අද දිනයද සම්පත් වර්ණපුර සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක දිනයක්වීමට නියමිතව තිබූ අතර ඒ පිළිබදව වැඩිදුර තොරතුරු ලිවීම ලබන සතියේ අලු යට ගිනි තෙක් කල්තැබෙයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article