Tuesday, April 16, 2024

දැන් මහ ඇමැතියි, හිටපු මහ ඇමැතියි කුලියාපිටිය වෙනුවෙන් මහ වලියක !

Must read

ayg_2017_10_19

ආණ්ඩුවේ උත්සවයට පොහොට්ටුවේ ශ‍්‍රියානන්දත් එයි.

කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක පසුගිය සදුදා කුරුණෑගල ආවේ ඔහුගේ ප‍්‍රධානත්වයෙන් සංවිධානය වී තිබූ උත්සව කිහිපයකට සහභාගිවන්නටය. පඩුවස්නුවර, ගල්ගමුව සහ රස්නායකපුර ඇතුලු ස්ථාන කිහිපයකම දුමින්දගේ ප‍්‍රධානත්වයෙන් වැව් සංවර්ධනය කිරීමේ උත්සව සංවිධානය වී තිබිණි. රස්නායකපුර, ගල්වැව, පිංවැවේදී සංවිධානය කර තිබූ උත්සවය පෙරවරු එකොළහට ආරම්භවන බවට එහි සංවිධායකයින් විසින් ප‍්‍රචාරය කර තිබීම නිසා ජනතාව මෙන්ම රාජ්‍ය නිලධාරින්ද පෙරවරු දහයටත් පෙර උත්සව භූමියට පැමිණ සිටියහ. එකොළහට එන බව කී ඇමැති දුමින්ද එනතෙක් දෙතුන් පැයක් තිස්සේ මගබලාගෙන සිටි ජනතාව සංවිධායකයින්ට දොස්පරොස් තබමින් හිස් අතින්ම ආපසු යන්නට වූහ. කාලය එසේ ගෙවෙද්දී ඇමැති දුමින්ද රස්නායකපුරට ආවේ සවස තුන පසු වී විනාඩි ගණනකුත් ඉක්මගිය පසුවය. ඇමැතිවරයා උත්සව භූමියට ළගාවනවිට එහි පැමිණ සිටි ජනතාවගෙන් සහ රාජ්‍ය නිලධාරින්ගෙන් සැලකිය යුතු පිරිසක් ආපසු හැරී ගොස් තිබිණි. දුමින්දගේ පැමිණීමත් සමග උත්සවය ආරම්භ විය. නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක, පළාත් සභා මන්ත‍්‍රී නිලන්ත රාජපක්ෂ සහ එජාප සංවිධායක එච්. බී. තෙන්නකෝන්ද උත්සවයට සහභාගි වී සිටි අතර නිකවැරටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මෙන්ම මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දුගේ ආධාරකරුවෙකු වන එස්. ඒ. ශ‍්‍රියානන්දත් රජය නියෝජනය කරන මැති ඇමැතිවරුන් සමග අසුන්ගෙන සිටීම වැඩි දෙනෙකුගේ අවධානය දිනාගෙන තිබිණි. ‘‘මොකද මේ ? පැත්තවත් මාරු කළාද ? ’’ ශ‍්‍රියානන්දගේ සහභාගිත්වය ගැන එහි පැමිණ සිටි මාධ්‍යවේදි අශෝක චන්ද්‍රෙස්කර ඔහුගෙන් ප‍්‍රශ්න කළේය. ‘‘ නෑ, නෑ. රස්සාව හින්දයි මෙතැනට ආවේ. පැත්ත තවමත් අර පැත්තම තමයි. ’’යැයි කී ශ‍්‍රියානන්ද වෘත්තියෙන් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයෙකු වන තමන්ට උත්සවයට එන්නට සිදු වූ නිමිත්ත අශෝකට පැහැදිලි කළේය. කෘෂිකර්මය සහ එහි අනාගත වැඩපිළිවෙල පිළිබදව විස්තර කරමින් විනාඩි හතලිහකට ආසන්න කාලයක් රැස්වීම ඇමැතූ නමුත් දේශපාලනය පිළිබදව එක වචනයක් හෝ එහිදී කතා නොකරන්නට ඇමැති දුමින්ද වගබලාගත්තේය. රැස්වීම අවසන් කළ සැණින් අනෙක් උත්සවය සදහා පඩුවස්නුවරට යාමට ඇති බව කියමින් දුමින්ද එතැනින් කඩිනමින් නික්ම යන්නට සැරසිණි. ප‍්‍රබලතම ඇමැතිවරයෙකු මෙන්ම ශ‍්‍රීලනිප මහ ලේකම්වරයාද වන දුමින්දට ලෙහෙසියෙන් එතැනින් ගැලවී යන්නට ඉඩ නොතබමින් මාධ්‍ය ආවරණය සදහා පැමිණ සිටි මාධ්‍යවේදීහු දුමින්ද වටකර ගත්හ. පඩුවස්නුවර උත්සවයට පමාවන බව කියමින් දුමින්ද මාධ්‍ය මගහැරයාමට උත්සාහ දැරූ නමුත් පසුපස හඹා ආ මාධ්‍යවේදීන්ගෙන් ඔහුට ගැලවිල්ලක් නොවීය. ‘‘ගුරුවරියක් දණ ගස්වපු කෙනෙකුට ආසන සංවිධායකකමක් දෙන්න තරම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බංකොලොත්වෙලාද ?’’දුමින්දගේ මග හරස් කරගනිමින් මාධ්‍යවේදීහු ඇසූහ. එම ප‍්‍රශ්නයෙන් දුමින්දගේ මුහුණට සිනහවක් නැගුණු නමුත් ඔහු නිහඩව ඉදිරියට ගමන් කරන්නට විය. ප‍්‍රශ්නයට පිළිතුරක් බලාපොරොත්තු වූ මාධ්‍යවේදීන්ද මයික්‍රොෆෝන අත දරාගෙන තමන් හඹා එනු දුටු දුමින්ද බැරිම තැන කට ඇරියේය. ‘‘මම අද ඇවිල්ලා ඉන්නේ වගා සංග‍්‍රාමය යටතේ වැව් හදන උත්සවවලට. ඒ නිසා ඒ ගැන මොනවා හරි තියෙනවා නම් විතරක් අහන්න. එහෙම නැතුව මම මෙතැන දේශපාලනය ගැන කතා කළොත් වැවක් ගැන ප‍්‍රවෘත්තියක් මාධ්‍යවල යන්නෙ නෑ. ඒ නිසා අපට ඒ ප‍්‍රවෘත්තිය දාල දෙන්න. ඔයාලගේ අනිත් ප‍්‍රශ්නවලට ඉස්සරහට තියෙන ප්‍රෙස් වලදී උත්තර දෙන්නම්. ’’යැයි කී දුමින්ද සිය වාහනයට නැංගේය.

සභාපති පුටුවෙන් කවි ඇහෙයි.

පොල්ගහවෙල පිස්තෝල සෙල්ලම සම්බන්ධයෙන් අධිකරණයෙන් කැදවීම් ලබා සිටින වයඹ සභාපති ටිකිරි බණ්ඩා පෙරේදා පැවැති වයඹ පළාත් සභා රැස්වීමටවත් ආවේ නැත. පසුගිය 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග ලබා දී තිබූ නමුත් ටිකිරි බණ්ඩා එදින උසාවිය පැත්ත පළාතකවත් ආවේ නැත. පිස්තෝල සෙල්ලමෙන් පසුව ප‍්‍රදේශයෙන් අතුරුදන් වී සිටින ටිකිරි බණ්ඩා පළාත් සභා රැස්වීමත් මගහැරගොස් තිබුණේ අත්අඩංගුවට ගැනීමකට ලක්වේයැයි බියෙන් බවද කියැවිණි. කෙසේවෙතත් ටිකිරි බණ්ඩා නොපැමිණීම හේතුවෙන් පෙරේදා පැවැති පළාත් සභා රැස්වීමේ මුලසුන ගත්තේ නියෝජ්‍ය සභාපති සෝමසිරි ගුණතිලකය. සෝමසිරිගේ අසුන්ගැනීමත් සමග වයඹ පළාත් සභාවේ මූලාසනය කලකට පසු කලඑළි වී තිබූ බවක් දැකගත හැකිවිය. සිනහමුසු මුහුණින් සහ ප‍්‍රියමනාප පෙනුමෙන් යුත් සෝමසිරි සභාපති අසුනේ වාඩිවීමත් සමග එම තනතුරට හිමි ගෞරවනීය බව මෙන්ම තේජස ද යළි ආරෝපණය වී තිබූ බවද පෙණිනි. වෙනදාට මුලසුන පැත්තෙන් දිස්වන අප‍්‍රසාදජනක හැගීම වෙනුවට පහන් සිතින් යුතුව සභාව වාර්තා කිරීමේ අවස්ථාවද කලකට පසුව මාධ්‍යවේදීන් වෙතද ලැබී තිබිණි. පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයෙකු ලෙස ලැබූ දිගු කාලීන අත්දැකීම් සහිත සෝමසිරි මනා පෞර්ෂයකින් සහ සැබෑ මහත්මයෙකු ලෙස සභාව මෙහෙයවන්නට විය. සභාව මෙහෙය වූ සෝමසිරි මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික කරුණු දැක්වීමේ අවස්ථාව නිවේදනය කරමින් එහි පළමු අවස්ථාව විපක්ෂ නායක ශමල්ට ලබාදුන්නේය. ‘‘විපක්ෂ නායකවරයෙකු ලෙස දිගුකාලීන අත්දැකීම් තියෙන, පරිණත නායකයෙක් විදිහට ඔබතුමාට ලබා දී තිබෙන විනාඩි දහයක කාලය පමණක් යොදාගෙන කතාකරයි කියලා මම හිතනවා. අනෙක් අයටත් ආදර්ශයක් ලැබෙන විදිහට.’’ සෝමසිරි ශමල්ට කීවේය. සිනාමුසු මුහුණින් යුතුව ‘‘එහෙමයි නියෝජ්‍ය සභාපතිතුමනි’’යැයි කී ශමල් සිය කතාව ආරම්භ කිරීමට සැරසෙනවාත් සමග ආණ්ඩු පක්ෂය පැත්තේ සිටි මන්ත‍්‍රී සන්ධ්‍ය රාජපක්ෂ ශමල්ට හින්ට් එකක් පාස් කළේය. ‘‘ඔය, ඔය, කට හින්දාමයි ඔය දේ කරගත්තේ. ඒත් තවමත් ලෙඩේ හොද වෙලා නෑ. ’’සන්ධ්‍ය වෙත ප‍්‍රතිචාර දක්වමින් ශමල්ද කීවේය. ‘‘ඔය වගේ නිවටයෙක් වෙලා ඉන්නවාට වඩා මෙහෙම ඉන්න එක මට හොදයි. ’’ශමල්ට දැඩි ප‍්‍රහාරයක් එල්ල කරමින් සන්ධ්‍ය කීවේය. සන්ධ්‍යගේ කට අවුස්සාගැනීම එතරම් හොද නැති බව වටහාගත් නිසාදෝ ශමල් ආරවුල එතැනින් එහාට නොයවා සිය අදහස් දැක්වීම ආරම්භ කළේය.

තේ විවේකය සදහා කල්තැබුණු සභා රැස්වීම යළි ආරම්භ කරමින් සෝමසිරි දෙවැනි වතාවටත් මූලාසනාරූඪ වූ නමුත් ඒ වනවිට සභාගැබෙහි මන්ත‍්‍රීවරුන් සිටියේ දෑතේ ඇගිලිවලටත් අඩු ගණනකි. මන්ත‍්‍රීවරුන් කැදවීමේ සීනුව යළිත් නාදකළ නමුත් මන්ත‍්‍රීවරුන් සභාවට පැමිණියේ නැත. මූලාසනයේ සිටි සෝමසිරි මෙම අවස්ථාවේදි කවියක් කියන්නට විය.

‘‘ වේවැල් කෝටු නාරං සියඹලා අතු
කිතුල් පොල් ඉරටු වැල් කහඹිලියා අතු
මෙහැම ඉපල් මගේ දෑතට නොපෑ යුතු
පමා නොවී එමි අකුරට මෙයින් මතු  ’’

සෝමසිරි මුලසුනේ සිට කීවේය. ‘‘අකුරට පමා නොවී යනවා වගේ මෙතැනටත් පමා නොවී එන්න මන්ත‍්‍රීවරුන් සියලුදෙනාම දැනගන්න ඕනෑ.’’යැයි කී සෝමසිරි ඒ වනවිට සභාවේ අසුන්ගෙන සිටි අඩු මන්ත‍්‍රී සංඛ්‍යාව පිලිබදව නොතකමින් සභාවේ කටයුතු ආරම්භ කළේය. ඉන් අනතුරුව විවාදයට ගත්තේ කැළි කසල යොදාගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කළ යුතු බවට වූ යෝජනාවකි. විවාදය වෙනුවෙන් අදහස් දැක්වීම සදහා සෝමසිරි ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ නම් නිවේදනය කළේය. ‘‘නිමල් කරුණාතිලක මන්ත‍්‍රීතුමා ?’’මන්ත‍්‍රී නිමල් ඒ වන විට සභාවේ නොසිටියේය. ‘‘මල්රාජ් පීරිස් මන්ත‍්‍රීතුමා’’? අභාග්‍යයකි. මල්රාජ්ද සභාවේ නැත. ‘‘ආණ්ඩු පක්ෂයේ කවුරුත්ම නැද්ද ? සමන්ප‍්‍රිය හේරත් මන්ත‍්‍රීතුමාවත් ඉන්නවාද ? ’’සෝමසිරි අසද්දී මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් අසුනෙන් නැගිට්ටේය. ‘‘ගරු සභාපතිතුමනි, මම මේ යෝජනාව පිළිබදව කිසිම සූදානමක් වෙලා ඇවිත් නෑ. ඇත්තටම අපේ ආණ්ඩු පක්ෂ සංවිධායකතුමා මේ දැන් තමයි මට මේ ගැන කතා කරන්න කියලා කිව්වේ. ඒ නිසා නිසි සූදානමක් නැතිව මේ ගැන කතා කරන්න මටත් බැහැ. ’’සමන්ප‍්‍රිය කියද්දී සභාව සිනහවක ගිලී ගියේය. අනතුරුව නැගී සිටියේ මහ ඇමැති ධර්මසිරිය. ‘‘සභාපතිතුමනි, අපි දැනටමත් අපේ පළාත් පාලන ආයතන ගණනාවක කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කරනවා. ඒක නිසා මේ ගැන දීර්ඝ විවාදයක් අවශ්‍ය වෙන්නේ නැහැ. විපක්ෂනායකතුමයි, මමයි මේ ගැන අදහස් දක්වපුවාම ඇති. ’’ධර්මසිරි කීය. ඒ අනුව ධර්මසිරි සහ ශමල් ඒ පිළිබදව අදහස් දැක්වීමෙන් පසුව යෝජනාව ඒකමතිකව සම්මත කෙරිණි.

සංවිධායක හමුවෙන් මහ ඇමැති නිල නිවස රත්වෙයි.

කුරුණෑගල ශ‍්‍රීලනිප ක‍්‍රියාකාරීන්ගේ හමුවක් පසුගිය ඉරිදා පැවැත්වුණේ කුරුණෑගල වැව රවුමේ පිහිටි හෝටලයකදීය. ශ‍්‍රීලනිපය නියෝජනය කරන කුරුණෑගල මැති ඇමැතිවරුන් සියලුදෙනාගේ සහභාගිත්වයෙන් පැවති මෙම හමුවේ ආරාධිතයින් ලෙස සරත් අමුණුගම, ලසන්ත අලගියවන්න සහ සරත් ඒකනායක සහභාගි වී සිටියහ. එම හමුව අවසන්වීමෙන් පසුව කුරුණෑගල ශ‍්‍රීලනිප සංවිධායකවරුන් සියලූදෙනා වැවරවුමේ පිහිටි වයඹ ප‍්‍රධාන අමාත්‍ය නිල නිවසට එකතුවූයේ තවත් සාකච්ඡාවක් සදහාය. යෝජනා, චෝදනා සහ විවේචනවලින් එම සාකච්ඡාව පිරී ගියේය. හිටපු මහ ඇමැති අතුල විජේසිංහ විසින් කළ චෝදනාවක් දුරදිගයාමෙන් වත්මන් මහ ඇමැතිවරයා සහ හිටපු මහ ඇමැතිවරයා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවිය. දූෂණ සහ වංචා චෝදනා එල්ල වී ඇති කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාවේ වැඩ අධිකාරිවරයාට ස්ථාන මාරුවක් දියයුතු බව අතුල එහිදී කීවේය. එමෙන්ම මහ ඇමැති ධර්මසිරි තමන්ට නොදන්වා කුලියාපිටිය ආසනයේ විවෘත කිරීම්වලට පැමිණෙන බවටත් අතුල චෝදනා කළේය. මාවතගම ශ‍්‍රීලනිප සංවිධායක උපුල් පෙරේරාත් කීවේ මාවතගම ප‍්‍රාදේශීය සභාවේ ලේකම්වරයා එජාපය සමග දේශපාලන කටයුතුවල යෙදෙමින් සිටින බැවින් ඔහුටද ස්ථාන මාරුවක් ලබාදිය යුතු බවය. අතුලගෙන් සහ උපුල්ගෙන් එල්ල වූ චෝදනා පිළිබදව මහ ඇමැති ධර්මසිරි කතාකළේ තරමක කෝපයෙනි. ‘‘එහෙම කවුරුවත් කිව්ව පලියට නිලධාරින් මාරු කරන්න මම ලෑස්ති නෑ. සභාපතිවරු, මන්ත‍්‍රීවරු කවුරුත් නැති වෙලාවේ නිලධාරින් එක්ක එකතුවෙලා තමයි මම වැඩ ටික කරගන්නේ. ඒ නිසා නිලධාරින් එහාට මෙහාට මාරු කරන්න ගිහිල්ලා එයාලව තරහ කරගන්න මට බැහැ. හිටපු මහ ඇමැතිතුමා මට චෝදනා කලා මම කුලියාපිටියේ ඇවිත් පාරවල් විවෘත කරනවා කියලා. කුලියාපිටියේ නෙවෙයි කොහේ වුනත් මම හැදුවා නම් මම ඇවිත් විවෘත කරනවා. ඔබතුමාගේ කාලේ වැඩ කරපු හැටිත් අපි දන්නවනේ.’’ධර්මසිරි කීවේය. ධර්මසිරිගේ එම ප‍්‍රකාශය අතුලගේ කෝපය අවුලවන්නට සමත්විය. ‘‘ඔබතුමා දැන් කියනවා නිලධාරින් ආරක්ෂා කරනවා කියලා. එහෙනම් මොකටද අර කුලියාපිටිය නගර සභාවේ ලේකම් මාරුකරන්න හදන්නේ. ඒ මනුස්සයා හොදට වැඩ කරන නිලධාරියෙක්නේ. ’’අතුල ඇසීය. ‘‘එයාට මිනිස්සු කැමැති නෑ. පැමිණිලි බර ගාණක් ඇවිත් තියෙනවා. මම එයාව තුන් පාරක් ගෙන්නලා කිව්වා මධ්‍යස්ථව වැඩ කරන්න කියලා. නමුත් එයා අපි කියන එක අහන්නේ නෑ. ’’ධර්මසිරි කීවේය. ‘‘ඒකනේ. නගර සභාවේ ලේකම්ට එක නීතියක්. ප‍්‍රාදේශීය සභාවේ වැඩ අධිකාරිට තව නීතියක්. ඔබතුමා නගර සභාවේ ලේකම් මාරු කරන්න යන්නේ අකිලගේ උවමනාවට. ඒක තමයි ඇත්ත කතාව.’’අතුල කීමත් සමග ධර්මසිරිද ඊට උත්තර බදින්නටවීමෙන් දෙදෙනා අතර සංවාදය උණුසුම් වචන හුවමාරුවක් දක්වා දුරදිග ගියේය. අදාල සාකච්ඡාවට සියලු ආසන සංවිධායකවරුන් සහභාගි වී සිටි නමුත් දොඩම්ගස්ලන්ද ශ‍්‍රීලනිප සංවිධායක නිල්වලා විජේසිංහ පමණක් ඊට සහභාගි වී නොසිටියේය. ආසන සංවිධායකවරයෙකු ලෙස නිල්වලා විසින් දක්වන නොසැලකිල්ල හේතුවෙන් ඔහු පිළිබදව නුදුරේදීම තීරණයක් ගැනිමේ එකගත්වයෙන් යුතුව සාකච්ඡාව අවසන් විය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article