Friday, March 29, 2024

සෞදියේදී මියගිය සෝමලතාගේ මළ සිරුර යළි ගොඩ ගනී.

Must read

somalatha_body

ගෘහ සේවිකාවක් ලෙස සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී ගෙළවැලලාගෙන මිය ගිය බව කියන කුරුණෑගල, හැගව ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ මරණය සැක සහිත බවට ඇගේ ඥාතීහු විසින් කළ පැමිණිල්ලක් මත යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සදහා ඇගේ මෘත දේහය ඊයේ (23 දා) දහවල් යළි ගොඩට ගනු ලැබීය.

මෙලෙස ගොඩට ගනු ලැබුවේ මොරගොල්ල ජනපදය, හැගව, තෝරයාය ප‍්‍රදේශයේ පදිංචි වී සිටි ආර්. ඩබ්ලිව්. සෝමලතා නැමැති 48 හැවිරිදි දෙදරු මවකගේ මළ සිරුරකි. මෙම කාන්තාව සවුදි අරාබියේ රියාද් නුවර පිහිටි නිවසක ගෘහ සේවිකාවක් වශයෙන් සේවය කිරීම සදහා 2017 මාර්තු මස 22 වැනිදා මෙරටින් පිටත් වී ගොස් තිබේ. ඉකුත් ජූනි මාසයේ සිට ඇය පිළිබදව තොරතුරක් නොමැතිවීමෙන් ඇගේ ඥාතීහු දැඩි ලෙස අසරණව සිටින බව පසුගිය අගෝස්තු මස 09 වැනිදා වයඹ ටුඩේ වෙබ් අඩවියෙන් මුල්වරට හෙළිකෙරිණි. ඉන් අනතුරුව, එරටදී ගෙලවැළලාගෙන සිය දිවි හානිකරගත් බව කියන සෝමලතා මහත්මියගේ දේහය අගෝස්තු මස 11 වැනිදා මෙරටට එවීමට සෞදි අරාබියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කටයුතු කර තිබිණි. මීගමුව රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව ඥාතීන් වෙත භාරදෙනු ලැබූ සෝමලතා මහත්මියගේ දේහය පසුගිය අගෝස්තු මස 12 වැනිදා ඇගේ නිවසට ගෙනඒමෙන් අනතුරුව අගෝස්තු මස 14 වැනිදා අඩෝරගොල්ලවත්ත පොදු සුසාන භූමියෙහි මිහිදන් කර තිබිණි.

සෝමලතා මහත්මියගේ දේහය සමග මෙරටට එවා තිබූ ලියැකියවිලිවල පැවැති පරස්පරතාවය සහ මෘත දේහයේ තිබූ බව කියන තුවාල සහ සීරිම් ලකුණු හේතුවෙන් තම මවගේ මරණය සැක සහිත බවට මියගිය අයගේ දියණිය වන සංගීතා මිහිදුකුල මහත්මිය විසින් කුරුණෑගල මහේස්ත‍්‍රාත්වරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. අදාල පැමිණිල්ල සමග ඉදිරිපත් කර තිබූ සාක්ෂි සලකා බැලූ කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් සෝමලතා මහත්මියගේ දේහය ගොඩගෙන නැවත ඒ පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට කුරුණෑගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත පසුගිය 16 වැනිදා නියෝග කර තිබිණි. ඒ අනුව ඊයේ උදෑසන අඩෝරගොල්ලවත්ත පොදු සුසාන භූමියට පැමිණි කුරුණෑගල අතිරේක මහෙස්ත‍්‍රාත් චාමර වික‍්‍රමනායක මහතා ඉදිරිපිටදී කුරුණෑගල අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින් කණ්ඩායමක් විසින් සෝමලතා මහත්මියගේ මෘත දේහය ගොඩට ගනු ලැබීය. සෝමලතා මහත්මියගේ මෘත දේහය ගොඩට ගැනීම අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින් විසින් පමණක් සිදුකළ අතර වළෙහි පස් ඉවත්කිරීමේ සිට මෘත දේහය ගොඩට ගැනීම දක්වා සියලූ කාර්යයන් විශේෂිත ඇදුමකින් සැරසුණු අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින්ගේ අතින් සිදුවීම විශේෂත්වයකි. නිල ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරින්ට හෝ මෘත දේහය ගොඩගත් ස්ථානයට පැමිණීම තහනම් කර තිබූ අතර ජාත්‍යන්තර නියමයන්ට අනුගමනය කරමින් ශ‍්‍රී ලංකා පොලිසිය විසින් මෘත දේහයක් ගොඩට ගැණුනු පළමු අවස්ථාව මෙය වන බව කුරුණෑගල අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කසුන් විජේසේකර මහතා වයඹ ටුඩේ වෙබ් අඩවියට  පැවැසීය. ගොඩගැණනු සෝමලතා මහත්මියගේ දේහය ඇගේ එකම දියණිය වන සංගීතා මිහිදුකුල මහත්මිය විසින් හදුනාගනු ලැබූ අතර එම අවස්ථාවේදී ශෝකය දරාගත නොහැකි වූ සෝමලතා මහත්මියගේ වැඩිමහල් සොහොයුරෙකු සිහිසුන්ව සුසාන භූමියේ ඇදවැටුණු අයුරු දැකගත හැකිවිය.

ගොඩට ගැණුනු මෘත දේහය පිළිබද යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සදහා කුරුණෑගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යවනු ලැබීය. අදාල පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරි මණ්ඩලයක් විසින් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

somalatha_body_1 somalatha_body_2 somalatha_body_3 somalatha_body_4 somalatha_body_13 somalatha_body_5 somalatha_body_6 somalatha_body_7 somalatha_body_8 somalatha_body_9 somalatha_body_10 somalatha_body_11 somalatha_body_12

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article