Tuesday, April 16, 2024

රටෙත් නැති අතරේ – පෙරේරා ආසනෙන් විසිවේ !

Must read

ayg_2017_11_02 _new

යුඇන්පිය පොල්ගහවෙල දෙකට කඩයි.

එක්සත් ජාතික පක්ෂයට නව ආසන සංවිධායකවරුන් 31 දෙනෙකු පත්කිරීම පසුගිය සදුදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදුකෙරිණි. දිවයින පුරා පිහිටි මැතිවරණ කොට්ඨාශ ගණනාවක් සදහා එජාප නව සංවිධායකවරුන් මෙහිදී පත්වීම් ලබාගත් අතර පොල්ගහවෙල මැතිවරණ කොට්ඨාශය සදහා පෙර සංවිධායකවරු දෙපළම අලුත් මුහුණුවරකින් යුතුව එදින පත්වීම් ලැබූහ. ඒ අනුව පොල්ගහවෙල ආසනය කලාප අංක 1 සහ කලාප අංක 2 වශයෙන් කොටස් දෙකකට වෙන්කරමින් අජිත් රෝහණ සහ එච්. එම්. ජයරත්න වෙත සංවිධායකකම් දෙකක් පිරිනමන්නට සිරිකොත විසින් කටයුතු කර තිබිණි. පසුගිය මැයි මාසයේදී කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සෙසු මැතිවරණ කොට්ඨාශ සියල්ලම සදහා එජාප සංවිධායකයින් පත්කෙරුණු නමුත් පොල්ගහවෙල ආසන සංවිධායකයින් පත්කිරීම පසුගිය සදුදා දක්වා ඇදී ගියේ එහි සම සංවිධායකයින් ලෙස පත්කර සිටි අජිත් රෝහණ සහ ජයරත්න අතර ඇති වී තිබූ සීතල ගැටුම් හේතුවෙනි. එබැවින් අජිත් රෝහණට පොල්ගහවෙල පැත්තත්, ජයරත්නට වීරඹුගෙදර පැත්තත් නිත්‍ය වශයෙන්ම පවරා දී පොල්ගහවෙල සීතල යුද සමය අවසන් කිරීමේ පියවරකට සිරිකොත විසින් මුලපුරා තිබිණි. කෙසේවෙතත් නව ආසන සංවිධායක පත්වීම භාරගැනීම සදහා ජයරත්න සිරිකොත වෙත පැමිණ සිටියත් අජිත් රෝහණ එදින එහි දැකගත නොහැකි වූයේ ඔහු ඒ වන විට පළාත් සභාවේ විපක්ෂ මන්ත‍්‍රි කණ්ඩායම සමග එක්ව විදෙස් සංචාරයක යෙදී සිටි බැවිනි.

පොල්ගහවෙල එජාප ආසන සංවිධායක අර්බුදය එලෙස එළිපිට විසදුණු නමුත් ඒ දක්වා අත්හිටුවා තිබූ දොඩම්ගස්ලන්ද ආසන සංවිධායක අර්බුදය නම් විසදුනේ වෙනත් ආකාරයකටය. දොඩම්ගස්ලන්ද එජාප සංවිධායක ලෙස කටයුතු කළ එම්. එස්. පෙරේරා වෙතද පසුගිය මැයි මාසයේදී නව සංවිධායක පත්වීමක් නිකුත් නොකිරීමට සිරිකොත විසින් කටයුතු කළ අතර දොඩම්ගස්ලන්දට අලුත් සංවිධායකවරයෙක් පත්කෙරෙන බවක් පසුගිය සමයේදී කියැවෙමින් තිබිණි. දොඩම්ගස්ලන්ද එජාප සංවිධායක තනතුර දිනාගැනීම වෙනුවෙන් තරගවදින බව කියන අයවලුන්ගේ නම් ලැයිස්තුවක්ම පසුගිය සමයේදී කියැවුණු අතර මාවතගම ප‍්‍රදේශයේ ප‍්‍රකට ව්‍යාපාරිකයෙකුගේ නම මෙන්ම දොඩම්ගස්ලන්ද ශ‍්‍රීලනිප සංවිධායක නිමල් විජේසිංහගේ නමද ඒ අතර වැඩිපුර කියැවෙනු ඇසිණි. දොඩම්ගස්ලන්ද එජාප සංවිධායක තනතුර සම්බන්ධයෙන් එවැනි කතන්දර තොග ගණන් කියැවෙද්දී මන්ත‍්‍රී එම්. එස්. පෙරේරා කිසිවකුත් සිදුනොවූ ගාණට ආසන සංවිධායක තනතුරේ රාජකාරි කළේය. පෙරේරා විසින් පසුගිය මාසවලදී මුද්‍රණය කළ කටවුට් සහ පෝස්ටර්වල ඔහු දොඩම්ගස්ලන්ද ආසන සංවිධායක ලෙස කැපී පෙනෙන ලෙස සටහන් කර තිබිණි. එපමණක් නොව ශාඛා සමිති පිහිටුවීම්, පළාත් පාලන අපේක්ෂකයින් තේරීම් වැනි පක්ෂ කටයුතුවලටද පසුගිය සතිය දක්වාම පෙරේරා ආසන සංවිධායකවරයා ලෙස නායකත්වය දුන්නේය. එවැනි වැඩකටයුතුවල යෙදී සිටි මන්ත‍්‍රී පෙරේරා පළාත් සභාවේ විපක්ෂ මන්ත‍්‍රි කණ්ඩායම සමග එක්ව පුද්ගලික සංචාරයක් සදහා තායිලන්තය බලා පිටත් වී ගියේ පසුගිය ඉරිදාය. එලෙස දොඩම්ගස්ලන්ද ආසන සංවිධායකවරයා ලෙස පසුගිය ඉරිදා කටුනායකින් ගුවන් ගත වූ පෙරේරා ඊයේ අඵයම යළි දිවයිනට පා තැබුවේ වයඹ පළාත් සභා මන්ත‍්‍රීකම පමණක් හිමි අයෙකු ලෙසය. මක්නිසාද යත් දොඩම්ගස්ලන්ද ආසනයේ නව එජාප සංවිධායකවරයා ලෙස නුවන් උදයංග පසුගිය සදුදා රාත‍්‍රියේදී පක්ෂ සභාපති මලික් සමරවික‍්‍රමගේ අතින් පත්වීම් ලබාගෙන තිබීම හේතුවෙනි. තරුණයෙකු මෙන්ම උපාධිධාරියෙකුද වන උදයංග වෘත්තියෙන් ගුවන් සේවා සමාගමක අලෙවි විධායකවරයෙකු ලෙස සේවය කරමින් සිටින අයෙකි. සදුදා දින සිරිකොත මූලස්ථානයේදී පැවැති සංවිධායක තනතුරු පිරිනැමීමේ අවස්ථාවට උදයංගටද කැදවීම් ලැබී තිබූ නමුත් එහිදී උදයංග වෙත තනතුරු ප‍්‍රදානයක් සිදුනොවීය. උදයංග වෙත දැනුම් සිරිකොතින් දැනුම් දී තිබුණේ අදාල ලිපියේ අවසන් සකස්කිරීම් සදහා තවත් පැය කිහිපයක් ගතවන බවකි. කෙසේවෙතත් පත්වීම් ලිපියේ සැකැසීම් අවසන් වනවිට එදින රාත‍්‍රියද උදා වී තිබූ අතර දොඩම්ගස්ලන්ද සංවිධායකවරයා ලෙස පත්වීම් ලබන්නට අරලියගහ මන්දිරය වෙත යාමට උදයංගට සිදුවිය. ඒ අනුව අරලියගහ මන්දිරයට ගිය උදයංග අගමැති රනිල් ඉදිරියේ සභාපති මලික්ගේ අතින් පත්වීම් ලබාගත්තේ මහ රෑ මැද්දේය. ඒ අනුව මින් පෙර සාලින්ද දිසානායකට සහ සන්ධ්‍ය රාජපක්ෂ වෙත ලැබී තිබූ දුලබ අත්දැකීමක් ඒ අයුරින්ම විදගැනීමේ අවස්ථාව මන්ත‍්‍රී එම්. එස්. පෙරේරා වෙතද ඒ අයුරින්ම ලැබී තිබිණි. ඒ රටෙත් නැති වෙලාවක තනතුරින් පහකිරීමේ අත්දැකීමය. මැයි දින සංවිධාන කටයුතු පිළිබදව සොයාබැලීම සදහා පැමිණි සිරිකොත නිලධාරින් පිරිසක් ඉදිරියේ අගමැතිවරයා වෙත දෝෂාරෝපණය කළේ යැයි කියන සිදුවීමක් පෙරේරා ආසන සංවිධායක තනතුරින් පහකිරීමට ආසන්න හේතුව බවට පත් වී ඇති බව කියැවෙයි. කටවරද්දා ගැනීම හේතුවෙන් පෙරේරාගේ තටු එලෙස කැපී යද්දී දොඩම්ගස්ලන්ද එජාප සංවිධායක තනතුරේ වෙනසක් සිදුවන බවට පසුගිය ජූනි 01 වැනිදා අඵ යට ගිනි පිටුවෙන් කී අනාවැකියක්ද ඒ අයුරින්ම සැබෑවෙයි.

ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති සාමාන්‍ය පන්තියට මාරුවෙයි.

එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි සංවත්සරය වෙනුවෙන් කුවේට් රාජ්‍යයේ වෙසෙන පාක්ෂිකයින් විසින් සංවිධානය කළ සැමැරුම් උත්සවයක් පසුගිය සිකුරාදා පැවැත්වුණේ එරට හවාලි නුවරදීය. එජාපය වෙනුවෙන් මෙම උත්සවය නියෝජනය කිරීම සදහා සිරිකොත මූලස්ථානය විසින් නම් කර තිබුණේ රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක සහ නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහය. ඇමැති වසන්ත, ජනපති මෛත‍්‍රීගේ කටාර් සංචාරයට එක්වීම සදහා ඊට දින කිහිපයකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබිණි. කටාර් සංචාරය අවසන් කළ ජනපති මෛත‍්‍රී ආපසු ලංකාව බලා පිටත්වෙද්දී ඇමැති වසන්ත අතර දෝහා සිට කුවේටයට පැමිණ එජාප සැමැරුම් උත්සවයට එක්විය. උත්සවයේ අනෙක් ආරාධිතයා වූ ඇමැති අශෝක් කුවේටය බලා පිටත් වී ගියේ පසුගිය බ‍්‍රහස්පතින්දාය.ජාතික යොවුන් පෙරමුණේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන ප‍්‍රශාන්ත බණ්ඩාරද අශෝක් සමග මෙම ගමනට එක් වී සිටියේය. ඇමැති අශෝක් විසින් කුවේටය වෙත යාමට ශ‍්‍රී ලංකන් ගුවන් සේවාවට අයත් ඉකොනොමි හෙවත් සාමන්‍ය පන්තියේ අසුනක් වෙන් කරවාගෙන තිබිණි. ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැතිකම මොහොතකට අමතක කර දමා සාමාන්‍ය මගියෙකු බවට පත්වූ අශෝක් සෙසු මගීන් අතර අසුන්ගෙන කුවේටය බලා ගමන් ඇරඹීය. යානය ගමන් අරඹා ස්වල්ප වේලාවකින් එහි කාර්ය මණ්ඩල නිලධාරිනියන් කිහිපදෙනෙකු අශෝක්ගේ අසුන වෙත පැමිණියහ. ‘‘සර්, ඉස්සරහට යමු. බිස්නස් ක්ලාස් එකේ සීට් එකක් ඇරෙන්ජ් කරලා දෙන්න පුලුවන්. ’’ගුවන් යානා කාර්ය මණ්ඩල නිලධාරිනියන් නියෝජ්‍ය ඇමැතිවරයාට ඇරයුම් කළහ. ‘‘කමක් නෑ. මට මෙතැන හොදයි. මම වෙනදටත් යන්නේ ඉකොනොමි ක්ලාස් එකේ තමයි. ’’ව්‍යාපාරික පන්තිය වෙත කෙරුණු ඇරැයුම සුහදව ප‍්‍රතික්ෂේප කරමින් අශෝක් කීවේය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article