Thursday, April 25, 2024

කුරුණෑගල හෙල්ලූ ගෙවල් බිදින්නා අල්ලයි !

Must read

kurwnegala_house_braker

පසුගිය මාස දහයක කාලය තුළ කුරුණෑගල සහ ඒ අවට ප‍්‍රදේශයන්හි ගෙවල් බිදුම් දහයක් සිදුකළ බවට සැකපිට විදුලි කාර්මිකයෙකු සහ ඔහු විසින් සොරකම් කළ බව කියන පවුම් පහළොවකට වැඩි ස්වර්ණාභරණ තොගයක් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශ නිලධාරින් විසින් පසුගිය 30 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ මාවතගම ප‍්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි. මල්ලවපිටිය, මල්කඩුවාව, යන්තම්පලාව, රත්කරව්ව, මැහිඇල්ල සහ උයන්දන ප‍්‍රදේශවල පසුගිය සමයේදී සිදු වූ නිවාස බිද රන් භාණ්ඩ සොරාගැනීමේ අපරාධ දහයක් මෙම පුද්ගලයා විසින් සිදුකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මොහු විසින් ගෙවල් බිදුම් සිදුකර ඇත්තේ නිවැසියන් නිවෙස්වල රැදී නොසිටි දිවා කාලයේදී වීම විශේෂත්වයකි.සැකකරු විසින් සොරාගත් රන් භාණ්ඩ ගලගෙදර, කෑගල්ල, නිට්ටඹුව, රත්නපුර සහ හෙට්ටිවීදිය ප‍්‍රදේශවල පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැල්වලට විකුණා තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබීය. පවුම් පහළොවකට වැඩි බරකින් යුත් ස්වර්ණාභරණ ඒ අතර වන බවත්, ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 7 ඉක්මවන බවද පොලිසිය කියයි. මත්කුඩුවලට තදින් ඇබ්බැහි වී සිටින සැකකරු, රන් භාණ්ඩ විකුණා ලබාගන්නා සියලු මුදල් වැයකර ඇත්තේ මත්කුඩු මිලදීගැනීම වෙනුවෙන් බවද පොලිසිය කියයි. ගෙවල් බිදුම් අපරාධ සම්බන්ධයෙන් අධිකරණයෙන් දඩුවම් ලබා රක්ෂිත බන්ධනාගාර ගත වී සිටි මෙම පුද්ගලයා බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණ ඇත්තේ 2016 දෙසැම්බර් මාසයේදී බවද පොලිසිය කියයි. එලෙස නිදහස ලබා පැමිණි සැකකරු පසුගිය ජනවාරි මාසයේ සිට සුපුරුදු ලෙසම ගෙවල් බිද සොරකම් කිරීම යළි ආරම්භ කර ඇති බවද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

පොලිස් බුද්ධි අංශ විසින් ලබා දුන් තොරතුරකට අනුව කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති එම්. ඊ. ඒ. මහේන්ද්‍රන් මහතාගේ උපදෙස් මත, කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් රත්නායක මහතාගේ අධීක්ෂණයෙන්, කුරුණෑගල මූලස්ථාන පොලිස් පරික්ෂක මංගල වික‍්‍රමනායක මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. එම්. සී. දිසානායක මහතා සහ උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ, පොලිස් සැරයන් සේනානායක (27361), සුසන්ත (39498), පොලිස් කොස්තාපල් අශෝක (26938) , කරුණාධිපති (39539) සහ අධිකාරි (46604) යන නිලධාරිහු සැකකරු අත්අඩංගුවට ගත්හ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article