Friday, March 29, 2024

මහ මැද්දේ රෑ මැද්දේ , වැව රවුමේ ශ‍්‍රීලනිප යුද්දේ !

Must read

ayg_2017_11_09

සනත් පද්මසිරි හඩා වැටෙයි.

කුරුණෑගල ශ‍්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් පසුගිය ඉරිදා රාත‍්‍රියේ පැවැත්වුණේ කුරුණෑගල, වැව රවුමේ පිහිටි මහ ගෙදර නිවාඩු නිකේතනයේදීය. ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැවැති මෙම සාකච්ඡාව සදහා ආසන සහ දිස්ත‍්‍රික් සංවිධායකවරු ලෙස පත්වීම් ලබාසිටින සියලු ශ‍්‍රීලනිප සංවිධායකවරුන් කැදවා තිබිණි. ඊට අමතරව ශ‍්‍රීලනිප පක්ෂ මූලස්ථාන නියෝජිතයින් සහ ජනපති නියෝජිතයින් කිහිපදෙනෙකුද සාකච්ඡාවට එක් වී සිටියහ. සාකච්ඡාව අතරතුරදී එකිනෙකාගෙන් එල්ල වූ චෝදනා, විවේචන සහ දුක්ගැනැවිලි හේතුවෙන් සාකච්ඡාව උණුසුම් මුහුණුවරකට පෙරළිණි. දිස්ත‍්‍රික් සංවිධායකවරයෙකු ලෙස පත්කර සිටින පළාත් සභා මන්ත‍්‍රී නිලන්ත රාජපක්ෂ, නිකවැරටිය ශ‍්‍රීලනිප සංවිධායක නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක වෙත දැඩි ප‍්‍රහාරයක් එල්ල කළේය. ‘‘ආසනයේ හතර මායිමවත් දන්නේ නැති ආසන සංවිධායකලා ගෙනත් නිකවැරටිය දානවා. නිකවැරටියට හැමදාම වුණේ ඒකයි. ඒකෙන් වුණේ නිකවැරටියේ මිනිස්සුන්ට ලැබෙන්න තිබුණු අවස්ථාව නැති වුණ එකයි. මහින්ද මහත්තයාගේ කාලේ කුරුණෑගල හිටපු ජොනීව ගෙනත් නිකවැරටියට දැම්මා. ජොනීලා පක්ෂය ඇතෑරලා පොහොට්ටුව හදනකොට මම අවුරුදු එක හමාරක් විතර තනියම වැඩ ටික කරගෙන හිටියා. එහෙම ඉන්නකොට තමයි පඩුවස්නුවර හිටපු ඉන්දික ඇමැතිතුමාව ගෙනත් නිකවැරටිය දැම්මේ. ඒකෙනුත් නිකවැරටියේ මිනිස්සුන්ට ආයෙත් අසාධාරණයක් වුණා. ඇයි නිකවැරටියට විතරක් මෙහෙම කරන්නේ ? නිකවැරටියේ ඉපදුණු මිනිස්සුන්ට ඒකේ අයිතියක් නැද්ද ? පක්ෂයත් එක්ක හැමදාම හිටපු අපිට කැපිල්ලම තමයි. ගිය වතාවේ පළාත් සභාවේ ඇමැතිකම් සංශෝධනය කරනකොට මටත් ඇමැතිකමක් ලබෙන්න තිබුණා. නමුත් අපේ දිස්ත‍්‍රික්කයේ ඉහළම නායකයෙක් මට ඒ ඇමැතිකම දෙන්න එපා කියලා හතර වටේටම බලපෑම් කරපු නිසා මට ඒක ලැබුනෙත් නෑ ’’නිලන්ත කීවේය. ‘‘ කවුද එයා ? එයාගේ නම කියන්න. ’’නිලන්තට හරස් කපමින් ඇමැති අනුර යාපා කීවේය. ‘‘මට මේ වෙලාවේ එයාගේ නම කියන්න බෑ. නමුත් මම ඉතාම හොදින් දන්නවා එතුමා තමයි මට ඇමැතිකමක් දෙන්න එපා කියලා බලපෑම් කළේ.’’නිලන්ත කීවේය. ‘‘ඔයා හිතන් ඉන්න විදිහ සම්පූර්ණයෙන්ම වැරදියි නිලන්ත. අපි කවුරුවත් ඔයාව කැපුවේ නෑ. ඒවා පක්ෂයෙන් ගන්න තීන්දු තීරණ. ඒ නිසා ඔයා එක එක චෝදනා ගෙනැල්ලා මෙතැන නැති ප‍්‍රශ්න ඇති කරන්න එපා. ඔයාට ඇමැතිකමක් ලැබුනේ නෑ කියලා ඔයා දොස් කියනවා. පක්ෂයේ මහ ලේකම්වෙලා හිටපු මාව අයින් කරනකම් මම දන්නෙත් නෑ. මටත් ඒ ගැන ලොකු හිත් වේදනාවක් තියෙනවා. නමුත් මම පක්ෂය වෙනුවෙන් ඒ සියල්ල ඉවසාගෙන ඉන්නවා. ’’අනුර යාපා කීවේය. දිස්ත‍්‍රික් සංවිධායකවරයෙකු වන සනත් පද්මසිරිත් දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළේය. ‘‘පොල්ගහවෙලට ආසන සංවිධායක පත්කරපු විදිහ ගැන මට ගැටලුවක් තියෙනවා. ආසන සංවිධායකවරයෙක් පත්කරනකොට එක්කෝ එයාට අසීමිතව සල්ලි තියෙන්න ඕනෑ. නැත්නම් දේශපාලන ඉතිහාසයක් හරි පවුල් පසුබිමක් හරි තියෙන්න ඕනෑ. ඒ කිසිම දෙයක් නැති කෙනෙක් තමයි දැන් පොල්ගහවෙලට දාලා ඉන්නේ. ඒ නිසා පක්ෂය ගැනත්, මේකේ නායකයෝ ගැනත් විශාල කලකිරීමකින් තමයි මම ඉන්නේ. මට මෙතැනදී විශාල අසාධාරණයක් වුනා.’’යැයි කියද්දී සනත්ගේ දෙනෙත් කදුලින් පිරී ගිය අතර හඩද හැඩුම්බර විය. ඇමැති දයාසිරි සනත් අස්වසන්නට උත්සාහ කළේය. ‘‘මල්ලි, අපිට තේරෙනවා ඔයාට අසාධාරණයක් වෙලා තියෙනවා කියලා. මේ සංවිධායකකම් හෝ තනතුරු සදාකාලික නෑ.ඒ නිසා ඔයාට දැන් පක්ෂයෙන් දීලා තියෙන වැඩ ටික හරියට කරන්න. ඒ වැඩ ටික හරියට සිද්ද වුනොත් ඔයාට ඉදිරියේදී සාධාරණයක් වෙයි. ’’දයාසිරි සනත්ගේ හිත හදන්නට උත්සහ කළ නමුත් සනත් විසින් ඔහුගේ දුක්ගැනවිල්ල නැවත නැවත ඉදිරිපත් කරමින් චෝදනා කරන්නට වීම නිසා ඔහුව සන්සුන් කිරීමට දයාසිරිට සහ අනුර යාපාට සෑහෙන මහන්සියක් දරන්නට සිදුවිය. අනතුරුව නැගී සිටියේ කුලියාපිටිය ශ‍්‍රීලනිප සංවිධායක අතුල විජේසිංහය. අතුලත් තමන්ට සිදුවන අසාධාරණයක් ගැන තදින් කතා කළේය. ‘‘දිස්ත‍්‍රික් සංවිධායකවරු කියලා දවස ගාණේ කුලියාපිටියට සංවිධායකවරු එවනවා. මේ වෙනකොට වැඩිම දිස්ත‍්‍රික් සංවිධායකවරු දාලා තියෙන්නේ කුලියාපිටියට. කුලියාපිටිය කියන්නේ අනෙක් ආසනවලට වඩා විශේෂ ආසනයක්. මොකද අගමැතිතුමාගේ මල්ලිත් එක්ක තමයි මට තරග කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා කරුණාකරලා මට මේ වැඩ ටික කරගෙන යන්න ඉඩදෙන්න. මට කරදර කරන්න එපා. ’’අතුල ඉල්ලීමක් කළේය.

සන්ධ්‍ය – මිල්රෝයි ලුණුවිලදී එළිපිට ගැටෙති.

ලුණුවිල ප‍්‍රදේශයේ ඉදිකෙරුණු වෙන්නප්පුව කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල ගොඩනැගිල්ල විවෘත කෙරුණේ පසුගිය සදුදාය. සන්ධ්‍ය රාජපක්ෂ වයඹ අධ්‍යාපන ඇමැතිව සිටියදී වෙන්කළ ප‍්‍රතිපාදනවලින් මෙම ගොඩනැගිල්ල ඉදි කර තිබිණි. මහ ඇමැති ධර්මසිරි දසනායකගේ ප‍්‍රධානත්වයෙන් පැවැති විවෘත කිරීමේ උත්සවයට සන්ධ්‍ය රාජපක්ෂ, අරුන්දික ප‍්‍රනාන්දු, මිල්රෝයි පෙරේරා, චිත‍්‍රාල් ප‍්‍රනාන්දු සහ ට්‍රෙවින් ප‍්‍රනාන්දු ඇතුලු මැති ඇමැතිවරුන් පිරිසක් එක් වී සිටියහ. උත්සවය ඇමැතූ මිල්රෝයි, පුත්තලමට හිමි වූ අධ්‍යාපන ඇමැතිකම අකාලයේ නැතිකරගත් බවට සන්ධ්‍ය වෙත චෝදනා කළේ සන්ධ්‍යත් එම වේදිකාවේ අසුන්ගෙන සිටියදීය. ‘‘තමුන්නාන්සේට අධ්‍යාපන ඇමැතිකම නැතිවෙච්ච එක ගැන අපිත් කණගාටු වෙනවා. ඒක තමයි අපේ දිස්ත‍්‍රික්කයට තිබුණු හොදම ඇමැතිකම. වැලන්ස් මෙන්ඩිස් රදගුරු උන්නාන්සේ දැන් කිව්වා දෙදහක් විතර තිබුණු ගුරු පුරප්පාඩු දෙදහට බැහැලා කියලා. කවුද මේවට සල්ලි දුන්නේ ? ගුරුවරු නිකම් බදවාගන්න බැහැනේ. මෛත‍්‍රීපාල සිරිසේන තමයි ඒ සල්ලි දුන්නේ. මේ වගේ ගොඩනැගිලි හදන්න සල්ලි දුන්නේ කවුද ? ඉස්සර වෙලා මේ වගේ එව්වා හැදුනද ? නැහැ. පළාත් සභාවට සල්ලි දුන්නෙත් නැහැ. දැන් සල්ලි ලැබෙනවා. මේ අවුරුදු දෙකක කාල සීමාවේදී අපේ හිටපු අධ්‍යාපන ඇමැතිතුමා බිල්ඩින් කීයක් හැදුවද ? තමුන්නාන්සේ කී දෙනෙකුට රස්සා දුන්නද ? ඒ සියලු දේට මුදල් ලබාදුන් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙනුවෙන් තමයි මම අද මෙතැන පෙනීඉන්නේ. ඒ නිසා අධ්‍යාපන ඇමැති ධූරය අපිට නැතිවුනේ ඔබතුමාගේ වරදින් මිස අපේ වරකින් නෙවෙයි.’’යැයි කී මිල්රෝයි කතාව අවසන් කළේය. අනතුරුව සභාව ඇමැතූ සන්ධ්‍ය මිල්රෝයිට උත්තර දෙන්නට අමතක කළේ නැත. තමන් අධ්‍යාපන උත්සවවලදී දේශපාලනය කතා නොකරන නමුත් යම් පැහැදිලි කිරීමක් කළ යුතු බව කී සන්ධ්‍ය තමන්ට අධ්‍යාපන ඇමැතිකම ලැබුණු හැටි මෙන්ම ඇමැතිකමෙන් කළ කී දෑ ගැනත් දීර්ඝ විස්තරයක් කළේය. ‘‘මම අපේ වත්මන් ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා මට අධ්‍යාපන ඇමැතිකම ලබාදීම සම්බන්ධයෙන්. ඒ වගේම මම එතුමාට ස්තූතිවන්ත වෙනවා මාව ඒ ඇමැතිකමෙන් ඉවත්කිරීම සම්බන්ධයෙනුත්. මොකද ඒ දෙකෙන්ම මට විශාල ජනප‍්‍රසාදයක් ලැබුණා. ආයේ මට ඡන්දයක් ඉල්ලන්න පෝස්ටර් ගහගෙන මහන්සි වෙන්න ඕනෑ නැහැ. හැබැයි මම හිතුවේ නෑ මට එදා අධ්‍යාපන ඇමැතිකම දුන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන්න කියලා. එහෙම දැනගෙන හිටියා නම් මම ඇමැතිකම භාරගන්නෙත් නැහැ. මොකද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් වැටිලා තියෙන තැනින් ගොඩගන්න මට නෙවෙයි කාටවත් බැහැ. මිල්රෝයි ඇමැතිතුමා කිව්වා වගේගුරු පත්වීම් දෙන්න අපිට කවුරුවත් සල්ලි දුන්නේ නෑ. මේවා අපි ඉතුරු කරගත්ත මුදල්. විශ‍්‍රාම ගිහිල්ලා, වැටුප් වර්ධක ගෙවන්නේ නැති සල්ලි තමයි අපි ගුරු පත්වීම් දෙන්න යොදාගත්තේ. අපි ඒවා කළමණාකරණය කරගත්තා. මගේ ඇමැතිකම නැතිවුණා කියලා එදා මම දැනගත්ත ගමන් ඇහැව්වේ කාටද අධ්‍යාපන ඇමැතිකම ගියේ කියලා. එතකොට කිව්වා ධර්මසිරි දසනායකට තමයි දුන්නේ කියලා. ඒ නිසා මට ඇමැතිකම නැතිවීම ගැන දුක් වුණා වගේම ඔබතුමාට ඒක ලැබීම ගැන මම හුගක් සතුටු වුණා. ඒක ගන්න හුගක් අය උත්සහ කළා. නමුත් බැරිවුණා. මේක දෙන්න සුදුසු මිනිහෙක් පුත්තලම දිස්ත‍්‍රික්කයේ හිටියේ නැහැ. ඒ නිසා අනිත් සිල්ලර ඇමැතිකම් ටික දීලා අධ්‍යාපන ඇමැතිකම මහ ඇමැතිතුමාට දුන්නා. ’’සන්ධ්‍ය කීවේය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article