Thursday, March 28, 2024

මෘතදේහ ආදාහනය කිරීමට නිසල නිම්නයට ගෙනා ගෑස් කාන්දු වූයේ කොතැනටද ?

Must read

Nisala_Nimnaya_1

සරත් මනුල වික්‍රම

මල්වතු ඔය නැගෙනහිර අඩවියේ රජ -සිටු -මැති -දුගී -මගී -යාචක කාටත් හිමි පොදු උද්‍යානයකි. මේ සුවහසක් දෙනාගේ සෝසුසුම් රාවය දැවටුණු ඒ උයන නිසල නිම්නයයි. මෙරට ඉතිහාසයේ  නරපතීන්ගේ මිහිදන් උයන් ඇත්තේ ඒ මල්වතු ඔය නිම්නයේම බටහිරින් පිහිටි අනුරාධපුර පූජා නගරයේයි.

මෙගලිතික යුගයේ පටන් අද දක්වාත් ලොව පුරාත් මානවයාගේ මිහිදන් කිරීම් සම්බන්ධයෙන් ඇත්තේ උසස් සංකල්පයන් ය. ආදාහනය කර වූ පසු අවශේෂ තැන්පත් කිරීම සොහොන් ගොඩනැගීම, ස්මාරක තැනීම හා මිහිදන් වලවල් නිර්මාණය ගැන යුග යුග ගණනේ වූ සටහන් රාශියක් සෑම සමාජයකම ලියැවී ඇත.ඒ අතර මිසරයේ පිරමිඩ මෙන්ම ආසියාවේ ටජ්මහල මානව සංහතියේ මෘත දේහයන් සම්බන්ධයෙන් ඇති විශිෂ්ඨතම සටහන් ය.එහෙත් දූෂණ වලින් පිරුණු සමාජයකට මේ මානව සංහතියේ හර පද්ධතින් දුහුවිල්ලකට ද නොවන බව පෙනේ.

ආදාහනාගාර සංකල්පය නූතනයට එක් වුවත් අවසානයේ යළි පුරාණ චාරිත්‍රයට අනුව සොහොන් කොත් තැනීම අදත් පුරුද්ද ය. මල්වතු ඔය නිම්නයේ වර්තමාන මානවයා අවසන් සුසුම හෙළූ පසු තැන්පත් වීමට මේ නිසල නිම්නය උද්‍යානය අද අලංකෘතව තිබේ.ඒ අනුරාධපුර මහනගර සභාවේ භාරකාරත්වයෙනි. ඒ උද්‍යානයේ දී දැවීමට භාරදෙන දේහයන් නිසිලෙස නුපුළුස්සා අභිරහස් මිණී වලකට පුරවන බවට පැතිරුණු පුවතකින් අනුරාධපුර නගරය පසුගිය දිනක කැළඹී ගියේ ය.

නිසල නිම්නය නමින් වර්තමානයේ සුන්දර හැඩයක් ඇතත් දිගු කලක් තිස්සේ විජයපුර කනත්ත භූත කතා හොල්මන් අවතාර ආදියෙන් ද පටබැදුණු තැනකි.රෝහලෙන් ගෙන යන දේහයන්, යුද්ධයේ දී මිය ගිය නිසි නම්ගම් නැති අය,විවිධ ආගම් ජාතිවල ජනයා,නගරයේ සිටි ප්‍රභූන් මෙන්ම අපරාධ කාරයින් ද අවසන් ගමන් ගිය මේ ස්ථානය තුළ වර්තමානයේ දි සිදුවන බව කියන රහස් සිද්ධියකි.එනම් කනත්ත තුල අභිරහස් මිනී වළක් පවතින බව ය.ඒ වලේ නිසි ලෙස යට නොවූ මිනී කොටස් බල්ලන් කන බවට ද රූපවාහිනි නාලිකාවක ප්‍රවෘත්ති විකාශය විය. මිලක් ගෙවා පුළුස්සන්නට භාර දෙන දේහයක්, අඩක් දැවීමෙන් ලබන වාසිය කුමක්ද? අවසන් ගමන් ගිය මිනිසාගෙනුත් යමක් කඩා වඩා ගන්නට තරම් අපේ සමාජය දූෂණයෙන් වංචාවෙන් කොතරම් ඉහවහා  ගොස් ද?

මෙරට ඇති සුවිශාලතම සුසාන භුමියක් වන නිසල නිම්නය හෙවත් විජයපුර කනත්තට 1991 ආදාහනාගාරයක් එකතුවීමෙන් පසු ඒතුළ ඉකුත් අගෝස්තු 14වැනිදා වන විට දේහයන් 3138ක් පුළුස්සා තිබිණි. දිනකට දළ වශයෙන් දේහයන් තුනක් ආදාහනාගාරයේ දැවීමට හැකි බව එහි කාරයාලයේ තිබූ වාර්තා පොත පරීක්ෂාවෙන් අපට දැනගත හැකි විය. පස්වරු 1.30,3.00 හා 6.00 යන වේලාවන් හිදී දේහයන් දහනයටයොදවයි. මීට අමතරව නගර සභාවේ විශේෂ අවසරය මත සවස 7 ටද දේහයන් දහනය කරනු කර ඇති බව එම ලේඛණ වල දැක්වේ. ඒ අනුව අද වන විට දේහයන් තුන්දාස් හාරසීයකට ආසන්න සංඛ්‍යාවක් මෙහි අළු කර තිබේ. මේ සියල්ල ඇත්තටම අළු වුණේ ද?

Nisala_Nimnaya_4 Nisala_Nimnaya_2

එසේ අළු නොවුන බවට අනුරාධපුර මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට හදිසි දුරකථන තරුණයෙකුගෙන් පණිවුඩයක් ආවේ ඉකුත් සැප්තැම්බර් 13 වැනිදා ය.එය  කිසිසේත් සිදුනොවන බවට ඔහු කියා සිටියත් මෙකී තරුණයා දැඩි ලෙස කී මෙම කතාව පරීක්ෂා කරගත යුතු බවට මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා තීරණය කළේ ය.පැමිණිලිකරු හා නිලධාරීන්  ඉදිරියේ මේ තරුණයා පෙන්වා සිටි වළ හෑරූ පිරිසට මිනිස් සිරුරක කොටසක් හමුවිය.වහාම පරීක්ෂණයක් ඇරඹීය යුතු බවට තීරණය කළ නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතා අංශ කීපයකින් විමර්ශන දියත් කළේ ය. එකක් උද්‍යානය හා දහන යන්ත්‍රය භාරව කටයුතු කරන සේවකයා හා කනත්තේ ආරක්ෂකයින්ගේන් ප්‍රශ්න කිරීම ය. පොලීසිය මගින් ද පරීක්ෂණයක් කිරීමට  කොමසාරිස්වරයා පැමිණිලි කළේ ය. සාමාන්‍යයෙන් මිනියක් සවස් කාලයේ භාරදුන් පසු, පසුදින උදෑසන ඥාතීන් ගොස් භෂ්මාවශේෂ භාර ගනී. දිනකට දවන ලද මිනී තුනෙන් අළු තට්ටු තුන  වෙන්කර තැබීම යන්ත්‍ර ක්‍රියාකරුවන් අතින් සිදුවේ.මේ ක්‍රමවේදය නිසි ලෙස සිදු නොවනු ඇතැයි මේ සිද්ධියත් සමග ඉව ඇල්ලූ අප පසු දින නිසල නිම්නයේ රහස් නිරීක්ෂණයට යන විට නාගරික කොමසාරිස් ඇතුළු කණ්ඩායමක් හිටි හැටියේ පැමිණ හදිසි පරීක්ෂාවක් කරමින් සිටියහ.කොමසාරීස් වරයා මහනගර සභාවේ මාණ්ඩලික නිළධාරීන් හත් දෙනෙක්ගෙන් යුතු විමර්ශනකමිටුවක් වහාම පිහිටුවාගෙන එසේ ආදාහනාගරයට කඩා පැන සිටියේ ය. ඒ වන විට සපුරා දහනය නොවූ දේහයක කොටසක් යන්ත්‍රය තුළ ඉතිරිවී තිබුණි. පිරිස මවිත වූහ. නිලධාරීහු , යන්ත්‍ර ක්‍රියාකරු අජිත් බන්දුල පෙරේරා මහතාගෙන් ඒ ගැන විමසූහ. ඇතැම් විට සමහර ශරීර දහනය නොවී කොටස් ඉතුරු වන බවට ඔහු ප්‍රකාශ කර සිටියේ ය.

Nisala_Nimnaya_7

එය එසේනම් එදින පුළුස්සන දේහයන් දැවෙන ආකාරය තමාම නිරීක්ෂණය කරන බව කී කොමසාරිස් වරයා දේහයක් අවසානයේ සිදුවන දේ බලා සිටියේ ය.විනාඩි පනස් පහත් අනූවත් අතර බවට යන්ත්‍රය සැපයු සමාගම දුන් නිර්දේශය සනාථ විය. මේ කාල පරාසය තුළ පළමුව බලා සිටි දේහය දැවී අවසන් විය.එහි ඇට කටු හෝ ලොකු කොටස් ඉතිරිවී ඇත්දැයි බලන විට තිබුණේ  අළු පමණි. දෙවන දේහය ද දැවුණේ එසේ ය. අනෙක් සියල්ල ද එසේ විය.ඕනෑම දේහයක් දැවීමට ගතවන්නේ විනාඩි 55-90 ක කාලයකි.එයට කුමන ආකාරයේ පුද්ගලයෙක් ද යන්න එතරම් බලපාන්නේ නැති බවට ද මේ කණ්ඩායම වටහා ගත්තේ ය.

මෘත දේහයන් දහනයට අවශ්‍ය ගෑස් ප්‍රමාණයන් කෙසේ වේ දැයි නගර සභාවේ විගණන අංශ වහා පරීක්ෂාවක් ඇරඹී ය. කිලෝග්‍රෑම් 14 ගෑස් සිලින්ඩරයකින් දේහයන් හතරක් දහනය කළ හැකි  බව ඔවුන් එහි දී සනාථ කරගෙන තිබුණි. ඒ සඳහා නගර සභාව අනුගමනය කරන ක්‍රමවේදය වන්නේ ගෑස් සිලින්ඩර් 12ක් භාවිතා කිරීමය.හතරක් යන්ත්‍රයට සවිකර තැබේ. තව හතරක්  සුදානමින්ද ඉතිරි හතර නැවත පිරිවීම සඳහාද යෙදවීමෙන් ඒ ක්‍රියාවලිය සිදුවන බව දැක්වේ.මේ ගෑස් භාවිතය ද මිනී හතරකට දාහතරක් වශයෙන් සමපාතවී තිබේ.මිනී ගණනත් ගෑස් ප්‍රමාණයත් සමානුපාත නම් දහනය නොවුනේ මන්දැයි යන කුතුහලය ඔස්සේ පරීක්ෂාවන් ඇරඹීමට නිළධරයෝ කටයුතු කළහ.

ඒ අනුව ගබඩාවෙන් කනත්තට යවන සිලින්ඩර් ඒ තුළ දීම ක්ෂය වන්නේ නම් ගැටලුවක් නැති නමුත් ඒවා පිටට යන්නේ දැයි තවත් පරීක්ෂණයක් ඇරඹුණේ ය.එහි දී වැදගත් තොරතුරු රාශියක්  කොමසාරිස් වරයා අතට පත්විය. එම ගෑස් හොර පාරේ ගිය තැන අදටත් අපට රහසකි. ඉදිරි පරීක්ෂාවන් සඳහා ඒවා ඉතා රහසිගතව උතුරුමැද පළාත් පාලන කොමසාරිස් මගින් සිදුවන  විමර්ශනයකට දැන් යොමු කර තිබේ.මේ සියලුම ගෑස් ආදාහනාගාරයේ දැවී නැති බවට කළ උපකල්පනයට අනුව මෙම පරීක්ෂාවන් පටන්ගෙන තිබේ. බන්දුල ඔහුගේ සහායකයා තවත්  කම්කරුවන් 6 දෙනෙකුගේ සේවයන් අත්හිටුවා ලඝු පරීක්ෂණයක් ඇරඹීමට නගර සභාව කටයුතු කර තිබුණේ ඉකුත් සැප්තැම්බර් 14 වන දායි.

ඒ අනුව පිටස්තර කෙනෙකු දුන් තොරතුරක් මත සිය ආයතනයේ සේවකයින්ට එරෙහිව විමර්ශනයක් කිරීමටතරම් නිමිත්තක් ඇත්දැයි කොමසාරිස් වරයාගෙන් විමසීමි. ‘‘ මට ප්‍රමාණවත් කරුණු තිබෙනවා.යමක් නොසැලකිළිමත්ව සිදූ වූ බව ඉතා පැහැදිලියි.ඒ මත පිහිටා පලාත් පාලන කොමසාරිස් මූලික විමර්ශනයක් ඇරඹුවා.‘‘දැන් නොසැලකිලිමත්කම් නැතිකරන්න ගත් පියවර කුමක්දැයි ඇසූ විට ඒ මහතා ප්‍රකාශ කළේ ගෑස් සිලින්ඩර් ලේඛනගත කර සලකුණු යොදා විධිමත් පටිපාටියකට නිකුත් කිරීම,ඒවා හදිසි පරීක්ෂාවන්ට ලක්කිරීම,දේහයක් දැවී අවසන් වන තුරුභාරකරුවන් හා නිළධාරීන් ළඟ සිටීම,භාර ගන්නේ නම් මුට්ටි වලට දා අළු භාර දීම ආදී විධිමත් ක්‍රමවේදයක් සැකසීමට දැන් පියවරගෙන ඇති බවයි. නගරසභාවේ ආරක්ෂක කටයුතුවලට අමතරව සිවිල් ආරක්ෂක බලකායේ ආරක්ෂාවද නිසල නිම්නය වටා තහවුරු කර තිබෙන බවත් ය. මේ වසර ඇතුළත සී සී ටී වී කැමරා පද්ධතියක් නිසල නිම්නයට සවිකිරීමටත් එහි දර්ශන දුර සිට නිරීක්ෂණය කිරීමේ පහසුව ලබාගන්නටත් නාගරික කොමසාරිස් තීරණය කර තිබේ. නිසල නිමිනය පසුගියදා නිරීක්ෂණය කරන විට අපට එහි රැකවල් සම්බන්ධයෙන් ඇති අලුත් වෙනස දක්නට ලැබිණි.

අනෙක් පසින් බලන කල සුසාන භූමිය ඇතුළට ගත් දේහයක් සම්බන්ධයෙන් ඇති සරල නීති හා දේහයක් දහනය හරිහැටි නිර්වචනය කර නොතිබෙන තත්ත්වයකදී මෙසේ සේවකයින්ගේ සේවය අතිහිටුවීම කොතරම් නිවැරදිද? සුසාන භූමි ආඥා පනතේ හා අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ ද ඒ ගැන නීති ඇත.අවමංගල උත්සවයකට,දේහයකට හා ආගමික කටයුතුවලට අගෞරව කිරීම ආදී අවස්ථාවන් ගණනාවක දී මෘත දේහයකට අගෞරවයක් වුවහොත් මුදලින් දඩයක් හා සිරදඬුවම් නියම වන වන බව අපරාධ විධිවිධාන සංග්‍රහයේ දැක්වේ.

ඒ අනුව වැඩ තහනමට ලක්වූ බන්දුල මහතා සොයා යන විට ඔහු සිටියේ කඳුළු සළමිනි. ‘‘මම මේ උද්‍යානය ඉතාම අලංකාරව පිරිසිදු කරලා, මල් වවලා, මලවුන්ගේ වාර්ෂික සිහිකිරීම් සංවිධානය කරලා මහා කැපකිරීමක් කරනවා. මේක මට ඊර්ෂ්‍යාවට කරපු කුමන්ත්‍රණයක්. මේ කනත්තේ කොහේවත් බල්ලන් වලවල් වලින් මිනී ඇදලා කන දර්ශනයක් කවුරුත් දැකලා නෑ. රූපවාහිනි නාලිකාවක එසේ පෙන්වුවාට මම පිළිගන්නේ නෑ.මටවත් නගර සභාටවත් කළින් එසේ පැමිණිල්ලක් ලැබිලා නෑ.මගේ දුව විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා . අද මමත් ඒ දරුවාත් හැමෝම අසරණයි.නගරසභාව හරියට පරීක්ෂණය කරලා ඉක්මනට මාව සේවයට ගන්නකල් මං බලාගෙන ඉන්නවා‘‘ යි බන්දුල කීවේ ය.

Nisala_Nimnaya_6

නගර සභාව මෙම අයගේ සේවය අත්හිටුවා ඇත්තේ මේ දේහයන් ට අදාළ අයගෙන් හා නගරවැසියන්ගෙන් එල්ලවිය හැකි බලපෑම් හමුවේ ඇතිවිය හැකි නොසන්සුන්තාවයන් ගැන සැලකිළිමත්වීමෙන් බව ද කොමසාරිස් වරයා කියයි. අප ගොඩනගන තර්කය නම් දහනය නොවුණ මිනී කොටස් ඇත්නම් පසුදාට තුන්දෙනෙකු වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් ලබා දෙන මිනී අළු මුට්ටි නිවැරදි විය නොහැකි බවයි.

මින් පසු භෂ්මාවශේෂ ලබා දෙන්නේ සාවද්‍ය ලෙස නම් එය ද, නිසල නිම්නයේ මිනී කන බල්ලන් සිටී නම් ඔවුන්ද,අද්භුත ලෙස මිනී වලවල් ඇත්තනම් ඒවාද, පෙර කල මෙන් භුත අවතාර ඇත්නම් ඒවාද කැමරා පද්ධතියේ සටහන් වේ. ඒත් මෙතෙක් දැවූ දේහයන් 3400කට ආසන්න සංඛ්‍යා වේ ඥාතීන්ට දැනෙන දේ ගණන්කළ හැකි ද? එසේම ලෝක චාරිත්‍රයක් වූ ගෞරවාන්විත ලෙස මෘත දේහයන් ආදාහනය හා භූමදානය කරන සංකල්පයට වූ සෝදා පාළුව නිවැරදි කරන්නේ කෙසේ ද? එසේම නගරසභාවෙන් යෙදවූ ගෑස් හොර පාරේ ගියේ නම් මේ වංචනිකයින්ට දෙන දඬුවම කුමක්ද? ඒ සඳහා පරීක්ෂණ අවසන් වන්නේ කවදාද ?

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article