Friday, March 29, 2024

පොලිසියෙන් යැවිය යුතු හෝ හිරේ යැවිය යුතු නිලධාරින් හතරක් ගැන පොලිස්පති කියයි.

Must read

igp_mallawapitiya

කතා කිරීමට නොදන්නා, ජනතාවගේ දුක නොතේරෙන, අනුන්ට උදව් කිරීමට නොහැකි සහ ද්වේශ සහගත වැඩවල යෙදෙන පොලිස් නිලධාරින් පොලිසියෙන් ඉවත් විය යුතු බවත්, එසේ නොමැති නම් රිමාන්ඩ් එකට යැවිය යුතු බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (11 දා) කුරුණෑගලදී පැවැසීය.

පොලිස්පතිවරයා මේ බව පැවැසුවේ ශ‍්‍රී ලංකා පොලිසියේ බෞද්ධ සහ ආගමික කටයුතු සංගමය විසින් කුරුණෑගල, මල්ලවපිටිය වැඩිහිටි නිවාසය වෙත ලබාදුන් උපකරණ තොගයක් ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ පොලිස්පතිවරයා මෙසේද පැවැසීය.

‘‘ඉතාම පහසු තත්වයක් දැන් රටේ තියෙන්නේ. කිසිම කෙනෙකුට කිසිම බලපෑමක් නැහැ. ඕනෑ කෙනෙකුට ඕනෑ එකක් කෑ ගහලා කියන්න පුලුවන්. ඕනෑ කෙනෙකුට ඕනෑ තරම් බනින්න පුලුවන්. අතිගරු ජනාධිපතිතුමාට තමයි දැන් වැඩියෙන්ම බණින්නේ. අන්න නිදහස. එහෙම ඉස්සර තිබුණාද කියලා දැන් ඉන්න කීයෙන් කී දෙනාද දන්නේ ? ආයෙත් මෙහෙම කාලයක් එන්නේ නැහැ. ඒ උත්තරීතර, ගමේ සුවද තියෙන, අහිංසක මනුස්සයා අද ජනාධිපති. ඒ ගුණවත්කම, ශ්‍රේෂ්ඨ ගතිගුණ තියෙන ගමේ පුද්ගලයයි අද රටේ ජනපති. ඔහුටම ගැලපෙන, කෘතහස්ත, ජාත්‍යන්තර අවබෝධයක් තියෙන ශක්තිමත්ම මනුස්සයයි අද රටේ අගමැති. මේ සංයෝගය ඉතාම ශක්තිමත්. කවුරු මොනවා කිව්වත්, කවුරු දැගලුවත් මේක කඩන්න බැහැ. ඒකයි වර්තමාන පරිපාලනයේ, රාජ්‍ය පාලනයේ අර්ථය. යහපාලනය.

වැරැදිවලට එක එක්කෙනා හරුප කියන්න පුලුවන්. කුට්ටි ගණන් කොමිස් කාගත්ත, රටේ මුදල් බිලියන ගණන් ගහපු, හොරා කාපු, පරම්පරා ගණනකට හම්බුකරගෙන විදේශිය බැංකු පෝෂණය කරපු, හෝටල් මාළිගා සහ ව්‍යාපාර කතන්දර රටෙන් පිට හොරට පටවපු සුදනුන්ට තමයි ජනාධිපතිතුමා හොද නැත්තේ. අගමැතිතුමා හොද නැත්තේ. වටෙත් ඉන්නවා සමහර ඒවට කරගහපු අය. ඒ අයටයි ජනාධිපතිතුමා හොද නැත්තේ. එන්ජී ඕ කාක්කන්ට තමයි ජනාධිපතිතුමා හොද නැත්තේ. එක එක අර්බුදවලින්, එහෙම නැත්තම් කෑ ගහලා, උද්ඝෝෂණ කරලා, පොටෝ එකක් ගහලා, බෙරිහන් දීලා, ආණ්ඩුව විවේචනය කරලා, බොරු බේගල් දාලා වීඩියෝ එක, හඩ පටය, ෆොටෝ එක යවපුවාම සල්ලි කුට්ටි පිටින් රට රටවල්වලින් එනවා. ඒවා තමයි මේ ගොල්ලන්ගේ පැවැත්ම. එක එක රාජ්‍ය නොවන සංවිධාන, එක එක සමහර පුද්ගලයෝ යැපෙන්නේ ඒකෙන්. කතාව හරියට බෝධි සත්වයෝ වගේ. ඕකට සිංහලෙන් හොද කතාවක් කියනවා හක්කේ බුදු රැස්, බොක්කේ දඩ මස් කියලා. ඔන්න ඕකයි ඇත්ත යථාර්තය.

අතිගරු ජනාධිපතිතුමාගේ, ගරු අගමැතිතුමාගේ සහ විෂය භාර අමාත්‍යතුමාගේ පූර්ණ මැදිහත්වීම මත ශ‍්‍රී ලංකා පොලිසිය විශාල පර්වර්තනයක් කරා ගමන්කරමින් සිටිනවා. අපේ ඉලක්කය ලබන දෙසැම්බර් 31 වැනිදා වන විට සියලූම අපරාධ සියයට හැත්තෑපහක් දක්වා අඩු කිරීමයි. නිලධාරින් හොදයි නම් වර්ණනා කරනවා. නමුත් හොද නැති හැම කෙනෙකුටම ඉවත්වෙන්න වෙනවා. සෙල්ලම් කර කර, විහිලු කර කර, මහජන ජීවිතත් එක්ක වැඩ කරන්න බැහැ. රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ට නිදහසේ ගෙදර ඉන්න පුලුවන් පසුබිම අපි හදලා දෙන්න ඕනෑ. බලන්න මෑතකදී අනුරාධපුරයේ වෙච්ච සිදුවීම. අහිංසක අක්කයි නංගියි දෙන්නා විශ්ව විද්‍යාලයට යවන්න ඒ අම්මයි තාත්තයි දෙන්නා කුලී වැඩ කර කර කොයිතරම් වද වේදනා විදින්න ඇතිද ? අද උගත්කමත් නෑ, උපාධියත් නැහැ, දරුවෝ දෙන්නත් නැහැ. කවුද කෙරුවේ ? පොලිසිය. මං බොහෝම බරපතල විදිහට ඒක ගත්තා. මට අවශ්‍ය නැහැ පොලිස් කාරයෝ. අනියම් විදිහට මිනී මරන පොලිස්කාරයෝ මට අවශ්‍ය නැහැ. ඒවට නෙවෙයි මහජනයා අපිට පඩි ගෙවන්නේ. එවැනි ද්වේශ සහගත වැඩ කරන, කතා කරන්න දන්නේ නැති, මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නැති, අනුන්ට උදව් කරන්න බැරි පොලිස් නිලධාරින් අතර ඉන්න ඉතාම සුලු පිරිස අයින් වෙන්න ඕනෑ. පොලිසියෙන්ම අයින් වෙන්න ඕනෑ. එක්කෝ රිමාන්ඩ් එකට යන්න ඕනෑ. ඒකයි මගේ ස්ථාවරය. ’’ යැයි පැවැසීය.

igp_mallawapitiya_2 igp_mallawapitiya_1 igp_mallawapitiya_3

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article