Wednesday, April 24, 2024

ආසනේ දිනා පෙන්වන්නැයි සන්ධ්‍යගෙන් ශමල්ට අභියෝගයක් !

Must read

ayg_2017_11_16_1

අම්බරුවෝ – බූරුවෝ පළාත් සභාවේ රැව් දෙයි.

ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී සන්ධ්‍ය රාජපක්ෂ සහ විපක්ෂ නායක ශමල් සෙනරත් අතර කලක් තිස්සේ දලුලමින් තිබෙන ආරවුලට පසුගිය 07 වැනිදා පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදීත් යළිත් වතාවක් තෙල් පොහොර වැටුණේය. එදින මන්ත‍්‍රීවරුන්ගේ පෞද්ගලික කරුණු දැක්වීමේ අවස්ථාවේදී නැගී සිටි සන්ධ්‍ය, කොට්ඨාශ ක‍්‍රමයට ඉදිරි මැතිවරණ පැවැත්වීම නිසා ඇති විය හැකි ගැටලු ගැන අදහස් දක්වන්නට විය. සන්ධ්‍යගේ අදහස් දැක්වීම ආරම්භ වී විනාඩියක් ගෙවෙන්නටත් පෙර විපක්ෂය ඔහුගේ කට අවුස්සාගත් බව පෙණිනි. විපක්ෂය පැත්තේ සිටි මන්ත‍්‍රී රංජිත් ගුණසේකර තම අදහස් දැක්වීමට බාධා කරනු දුටු සන්ධ්‍යට යකා නැග්ගේය. ‘‘තමුන්නාන්සේට පක්ෂයක් නැහැනේ. හිගන පක්ෂයකනේ තමුන්නාන්සේ ඉන්නේ. ඒ නිසා කට වහගෙන ඉන්න. ’’සන්ධ්‍ය රංජිත්ට කීවේය. මන්ත‍්‍රී රංජිත් බේරාගැනීම සදහා විපක්ෂ නායක ශමල් කට ඇරියේ මේ වෙලාවේදීය. ‘‘හිගන පක්ෂයක් නෙවෙයි. ඒක වැදගත් පක්ෂයක් ’’ශමල් කීය. ‘‘ මොන වැදගත්කමක්ද ? පන්දමනේ. කෝ දැන් පන්දම තියෙනවාද? පන්දම දැන් මිනිස්සුන්ගෙන් හිගා කනවා. ඔයා නිකං කෑ නොගහ ඉන්න විපක්ෂනායකතුමා. ඔයා දන්න ඉටි ගෙඩියක් නැහැ. දන්න කෙංගෙඩියකුත් නැතුව හැම එකටම රිංගනවා අර මොකාද වගේ.’’සන්ධ්‍ය ශමල් වෙත අත දිගුකරමින් කියද්දී ආණ්ඩු පක්ෂයෙන් හීන් අත්පුඩියක්ද වැදිණි. සන්ධ්‍ය සිය අදහස් දැක්වීම යළි ආරම්භ කළ නමුත් ඔහුට තවත් වචන කිහිපයකට වඩා කතාකරන්නට ඉඩක් ලැබුනේ නැත. ‘‘බය වෙලාද ඉන්නේ ?’’ ශමල් සන්ධ්‍යගෙන් ඇසීය. ශමල්ගේ එම ප‍්‍රකාශයට සන්ධ්‍යට ඌරු ජුවල් ගිය බව පෙණිනි. ‘‘නෑ. මම නම් බයවෙලා නැහැ. ඔයා පැහෙන්නේ නැතුව ඉන්නකෝ චුට්ටක්. මේ මොකෙක්ද අප්පා ? විපක්ෂ නායකයෙක් හැසිරෙන්නේ මෙහෙමද ? ’’ සන්ධ්‍ය ශමල්ගේ මූණටම කියද්දී ආණ්ඩු පක්ෂයෙන් සිනා හඩක් නැගිණි. සන්ධ්‍යගේ කටින් පිට වූ අමුතු වචනයත් සමග ශමල් ඊ ගසක් මෙන් සිය අසුනෙන් නැ`ගිට්ටේය. ‘‘මොකෙක්ද ? ගරු සභාපතිතුමනි මෙතැන රීති ප‍්‍රශ්නයක් තියෙනවා. මේ කතා කරන කාරණාව පක්ෂ ප‍්‍රධානින් එකතුවෙලා, සාකච්ඡා කරලා තීන්දුවක් අරගෙන තියෙන කාරණාවක්. ඒ ගැන පළාත් සභාවේ කතා කරලා මොකක්ද අපිට ගන්න පුලුවන් තීන්දුව. මේක පෞද්ගලික කරුණු යටතේ ඉදිරිපත් කරන්න පුලූවන් කාරණාවක් නෙවෙයි. ’’යැයි කී ශමල් අසුන් ගත්තේය. ‘‘පළාත් සභා මන්ත‍්‍රීවරයෙක් වශයෙන් මට මේක පුද්ගලිකව බලපානවා. තමුන්නාන්සේට ඒක තේරෙන්නේ නැති වුනාට විපක්ෂයේ සමහර මන්ත‍්‍රීවරු අපිත් එක්ක මේ ගැන කතා කළා. තමුන්නාන්සේ ඊළග සැරේ පරදින හින්දා ඒ ගැන ගැටලුවක් නැතුව ඇති. ’’විපක්ෂ මන්ත‍්‍රීවරු කෑ කෝ ගසද්දී සන්ධ්‍ය දිගටම කියාගෙන ගියේය. ‘‘මේ ක‍්‍රමය හරහා මන්ත‍්‍රීවරුන්ගෙන් සියයට පනහක් තෝරන්න පක්ෂ ලේකම්වරයාට බලය දීලා තියෙනවා. අපේ බහුතර මන්ත‍්‍රීවරු කැමැති නැහැ ලැයිස්තුවලින් මෙතැනට එන්න. අපිට ඕනෑ තරම් ඡන්ද තියෙනවා. පක්ෂ භේදයෙන් තොරව මුලු පළාත් සභාව මේකට විරුද්ධ විය යුතුයි. ඒ දවස්වල තමුන්නාන්සේලා මහ ලොකුවට කෑ ගැහැව්වා පළාත් සභාවේ වැඩ පිටට දෙනවා කියලා. දැන් සියලු දේවල් කරන්නේ පිට. පළාත් සභාවේ බලතල ආරක්ෂා කරන්න කියලා කෑ ගහපු විපක්ෂ නායකතුමා අද ඒ කටින්මද, නැත්තම් වෙනත් තැනකින්ද දන්නේ නැහැ මේ කතා කරන්නේ ? රටේ මැතිවරණ ක‍්‍රම තුනක්. මිනිස්සු අවුල්වෙනවා. මේක ආණ්ඩුවක්ද ? ’’සන්ධ්‍ය කියාගෙන කියාගෙන ගියේය. ‘‘ඇමැතිකම නැතිවෙච්ච හිතේ අමාරුවට කෑ ගහනවා මිස වෙන මොනවා කරන්නද ? ’’ශමල් සිය අසුනේ සිට සන්ධ්‍යට සම්ච්චල් කරන්නට විය. ‘‘තමුන්නාන්සේ පැහෙන්නේ නැතිව ඉන්නකෝ. මගේ ඇමැතිකම ගැන මම බලාගන්නම්. ඒක මට තිබුණත් නැතත් තමුන්නාන්සේලාට ඇති කෙංගෙඩියක් නැහැනේ. මම එදත් කිව්වේ, තමුන්නාන්සේ හැමදාම ඔතැන තමයි. කවදාවත් ආසනයක් දිනන්න බැහැ. ’’සන්ධ්‍ය කියද්දී ශමල් යළි අසුනෙන් නැගිට්ටේය. ‘‘මම අඩුම ගාණේ මෙතැන හරි ඉන්නවා. තමුන්නාන්සේට තිබුණු තැනත් නැතිවුණානේ. තිබුණු දේත් නැති කරගෙන තවත් මොනවද මේ කියන්නේ’’ශමල් පැවැසීය. ශමල්ගේ බාධාකිරීම් මැද්දේම සන්ධ්‍ය ඔහු වෙත අභියෝගයක්ද එල්ල කළේය. ‘‘මම තමුන්නාන්සෙට අභියෝග කරනවා පුලුවන් නම් එන ප‍්‍රාදේශිය සභා මැතිවරණයේදී දඹදෙණිය ආසනය දිනලා පෙන්වන්න කියලා.’’සන්ධ්‍ය කියද්දී ආණ්ඩු පක්ෂය සිනා සයුරක ගිලී ගියේය. ‘‘ඔයා ඉදගන්න. මගේ කාලය මට ඕනෑ. ඔය සමහර අම්බරුවෝ මේ දවස්වල නිකම් කෑ ගහනවා. උන්ට හාන්න තැන් නෑ, හැම තැනම මඩවෙලා. ඒ වගේ අම්බරුවෝ කෑ ගැහැව්වයි කියලා මම ගණන් ගන්නේ නෑ.’’විපක්ෂ නායකවරයා දිගින් දිගටම සමච්චලයට ලක්කරමින් සන්ධ්‍ය කිවේය. ‘‘ඇමැතිකම නැති වුණාට පස්සේ බූරුවෙක් වගේ කෑ ගහනවා.’’ සන්ධ්‍ය වෙත පිළිතුරු දෙමින් ශමල් ද කීවේය. ‘‘දුකට, දුකට.’’ යැයි කියමින් විපක්ෂයේ මන්ත‍්‍රීවරු ශමල්ට උඩගෙඩි දුන්හ. ‘‘කවුරු හරි ලණුවක් දුන්නොත් ඒක කාලා ගෑ ගහනවා. මනුස්සයෝ, තමුන්ට අධ්‍යාපන ඇමැතිකම ගැලපෙන්නෙම නෑ. ඒක අයින් කරපු එක ලොකු දෙයක්. නැත්නම් මෙහෙම ලණු කයිද ? ශමල් කීය. කරුණු කිහිපයක් ඔස්සේ ආණ්ඩුවත්, පළාත් සභාවේ විපක්ෂයත් විවේචනය කරමින් විනාඩි 15 ක පමණ කාලයක් කරුණු දැක් වූ සන්ධ්‍ය අසුන් ගැනීමත් සමග සභාව යළි සන්සුන් විය.

ඉඩම් ඇමැති කලාකරුවන්ට සම්මාන දෙයි.

විවිධ ක්ෂේත‍්‍රයන්හි දක්ෂතා දැක් වූ කලාකරුවන් පිරිසක් ඇගයීමේ උත්සවයක් පසුගිය ඉරිදා සංවිධානය වී තිබූණේ මහව, සයිමන් නවගත්තේගම රංග ශාලාවේදීය. අනුලා කරුණාතිලක, බන්දු සමරසිංහ, ක‍්‍රිස්ටෝපර් පෝල්, ටෙනිසන් කුරේ, ශ‍්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ සහ සයිමන් නවගත්තේගම වෙනුවෙන් ඔහුගේ බිරිද ඇතුලු පිරිසක් මෙහිදී ඉඩම් රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායකගේ අතින් ස්වර්ණ සිංහ සම්මානයෙන් පිදුම් ලැබූහ. සම්මානලාභී ශිල්පීන්ට අමතරව සනත් ගුණතිලක, ජයලාල් රෝහණ සහ නිහාල් නෙල්සන් ඇතුලු තවත් කලාකරුවන් පිරිසක්ද ඇමැති ටී. බී.ගේ ඇරැයුමින් උත්සවයට එක් වී සිටියහ. ප‍්‍රවීන රංගන ශිල්පි ජයලාල් රෝහණ ඉතාම කෙටියෙන් නමුත් උත්සවය ඇමැතුවේ තරමක වෙනස් ආකාරයකටය. ‘‘මම සාමාන්‍යයෙන් දේශපාලනඥයින්ගෙන් අවසර ගන්නේ නෑ. මොකද මම ඒ අයගෙන් ජීවත් නොවන නිසා. ඒ නිසා මම කාටවත් බයත් නැහැ. නමුත් මෙතැනදී කලාකරුවෙක් විදිහට ටී. බී. ඒකනායක ඇමැතිතුමාගෙන් අවසර ගන්නවා. ’’යැයි කියමින් සභාවෙන් අවසර පැතූ ජයලාල් ඉන් අනතුරුව හෙළ ඇවැතුම් පැවැතුම්වලට සිදුවී ඇති හානිය ගැන කෙටි අදහස් දැක්වීමක් කර කතාව අවසන් කරන්නට සූදානම් විය. ‘‘කතාව ඉවර කරන්නට කලින් තවත් පොඩි දෙයක් කියන්න ඕනෑ. කවුද දන්නේ නෑ මේ හෝල් එක වටේට ඇකේෂියා ගස් පේළියක් හිටවන්න කියපු මිනිහා ? අපේ රටේ මී මැස්සෝ ටික නැත්තටම නැතිවෙලා ගිහින් තියෙන්නේ ඔය ඇකේෂියා ගස් නිසයි. ඒ නිසා මේ ඇකේෂියා ගස් ටික කපලා දාන්න පුලුවන් නම් ඒක සයිමන් නවගත්තේගම මහත්තයාටත් කරන ගෞරවයක්.’’යැයි කී ජයලාල් සිය අසුන වෙත ගොස් එහි වාඩිවිය. පසුව ජයලාල් රෝහණගේ අසුන වෙත ගිය ඇමැති ටී. බී , ජයලාල් වෙත දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් සිදුකරන අයුරු දැකගත හැකි විය. එම කරුණු පැහැදිලි කිරීම ඇකේෂියා ගස් මුල්කරගත් එකක් වීමට වැඩි ඉඩක් ඇත්තේ, සයිමන් නවගත්තේගම රංග ශාලාව පමණක් නොව එම භූමියේ ඇති ගහකොල පවා නිර්මාණය වී ඇත්තේ ඇමැති ටී. බී. ගේ අදහස් සහ උපදෙස් අනුව වීම හේතුවෙනි.

උපුටාගැනීම – ජනයුගය පුවත්පත, 2017 නොවැම්බර් 16  වැනිදා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article