Wednesday, April 24, 2024

පාසල් වේලාව තුළ වයඹ ටියුෂන් තහනම් !

Must read

no_tition_on_school_time_nwp

පාසල් වේලාව තුළ පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීම සපුරා තහනම් කෙරෙන නීතිරීති ඇතුළත් වයඹ පළාත් අධ්‍යාපන ප‍්‍රඥප්තිය ලබන වසරේදී පළාත් සභාවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බව වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ, මැල්සිරිපුර ව්‍යාපාරිකයින්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ ආර්ථික අපහසුතා සහිත පාසල් දරු දැරියන් වෙත පාසල් උපකරණ සහ සපත්තු කට්ටල ප‍්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ප‍්‍රධාන අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

‘‘ පළාත් සභාව සතු ප‍්‍රධානම විෂයක් වුනත් අධ්‍යාපනය සම්බන්ධයෙන් අපේ පළාතට ප‍්‍රඥප්තියක් නැහැ. ඒ නිසා අපි දැන් කමිටුවක් පත්කරලා අධ්‍යාපන ප‍්‍රඥප්තියක් කෙටුම්පත් කරගෙන යනවා. ඒකට අපි විශේෂයෙන්ම ඇතුළත් කරලා තියෙනවා පාසල් පැවැත්වෙන කාලය තුල පාසල් දරුවෝ මුල්කරගෙන උපකාරක පන්ති පවත්වන්න බැහැ කියලා නීතියක්. ඒ අනුව උදේ හත හමාරේ සිට හවස එක හමාර දක්වා පාසල් දරුවෝ සම්බන්ධ කරගෙන උපකාරක පන්ති පවත්වන්න කාටවත් බැහැ. ඒ ගැන කවුරු තරහ වුනත් මට කරන්න දෙයක් නැහැ. එක හමාරෙන් පස්සේ ඕනෑ තරම් පන්ති පවත්වගන්න පුලුවන්. ඒකට අපිට කමක් නැහැ. උපකාරක පන්ති ගුරුවරු රෑ දහය එකොළහ වෙනකම් හරි උගන්වයි. දෙමව්පියෝ ගිහිල්ලා තමන්ගේ දරුවෝ ගෙවල්වලට එක්කරගෙන එයි.  ’’

‘‘ පාසල් වේලාව තුළ මේ විදිහට උපකාරක පන්ති පවත්වන්න ගියාම වෙන්නේ දරුවෝ පාසල් එන්නේ නැතුව පන්තිවලට දුවන එකයි. අහිංසක දෙමව්පියන්ට මේක බොහොම අමාරු තත්වයක්. සල්ලි තියෙන අයට නම් ප‍්‍රශ්නයක් නැහැ. නමුත් දුප්පත් මිනිස්සුන්ට මේක ලොකු ප‍්‍රශ්නයක්. පොහොසත් අයගේ දරුවෝ උපකාර පන්තිවලට යද්දි දුප්පත් දරුවෝ පන්තියකට යන්න බැරිව කොන්වෙනවා. නිදහස් අධ්‍යාපනය තුළ දුප්පත් පොහොසත් කවුරුත් එකයි. මේ වගේ කරුණු කාරණා ගණනාවක් සැලකිල්ලට අරගෙන මත තමයි අපි මේ වගේ නීතියක් ගේන්න යන්නේ. දැනට වයඹ පළාත තුළ ක‍්‍රියාත්මක වෙන ඉරිදා සහ පෝය දිනවල උපකාර පන්ති පැවැත්වීමේ තහනමත් ඒ විදිහටම ක‍්‍රියාත්මක වෙනවා. ඊට අමතරව තමයි අපි ලබන වසරේදී මේ නීතියත් ගේන්නේ.  ’’

‘‘ සමහර පාසල් තියෙනවා උසස් පෙළ පන්ති පැවැත්වෙන්නේම නෑ. අපි විද්‍යාගාර දීලා තියෙනවා, ගුරුවරු දීලා තියෙනවා, ඒ අයට පඩි ගෙවනවා, අවශ්‍ය සම්පත් සියල්ලමත් දෙනවා. නමුත් උසස් පෙළ දරුවෝ කවුරුවත් අවසාන අවුරුදු දෙකේදී පාසල් එන්නේ නෑ. පන්තිවලට යනවා. ගම්බද පාසල්වල දරුවෝ නම් පාසල් එනවා ඇති. නමුත් කුරුණෑගල නගරයේ තියෙන ඉස්කෝලවල දරුවෝ පාසල් එන්නේ නෑ. පන්ති ගිහින් තමයි එයාලා ඉගෙන ගන්නේ. විදුහල්පතිවරු සහ ගුරුවරු අපිට කියනවා ළමයි පාසල් එන්නේ නැති නිසා පන්ති පවත්වාගෙන යන්න බැහැ කියලා. ඒ නිසයි අපි මේ උපකාරක පන්ති පැවැත්වීම පිළිබදව ක‍්‍රමවේදයක් හදන්න යන්නේ. හැබැයි අපි කියන්නේ නෑ මේ උපකාරක පන්ති එපා කියලා. කැමැති කෙනෙකුට ඉගෙනගන්න ඒවත් තියෙන්නේ ඕනෑ. නමුත් නිදහස් අධ්‍යාපනයට බාධාවක් වෙන ආකාරයට උපකාරක පන්ති පවත්වන්න දෙන්න බෑ කියන එකයි අපේ තීන්දුව.  ’’  යැයි පැවැසීය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article