Wednesday, April 24, 2024

හදපු පාරට මන්ත‍්‍රී , බෝඩ් ගහගෙන ඇමැති !

Must read

ayg_2017_11_30

එජාප මන්ත‍්‍රීට පොහොට්ටුවෙන් ඇරැයුමක්.

රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා සහ වයඹ පළාත් සභා මන්ත‍්‍රී චිත‍්‍රාල් ප‍්‍රනාන්දු අතර කලෙක සිට පවතින ආරෝවේ තවත් අදියරක් පසුගිය සතියේ කලඑළි බැස්සේය. ඒ එළිපිටදී නොව මුහුණුපොත හරහාය. ඊට හේතු වී තිබුණේ චිත‍්‍රාල්ගේ මැදිහත්වීමෙන් කළ සංවර්ධන කටයුත්තකට ඇමැති නිරෝෂන් විසින් බෝඩ් එකක් එල්ලාගැනීමය. ඇමැති නිරෝෂන්ගේ අනුදැනුම ඇතිව හෝ නැතිව එල්ලී තිබූ අදාල බැනරය සම්බන්ධයෙන් මන්ත‍්‍රී චිත‍්‍රාල් විසින් ඔහුගේ ෆේස්බුක් ගිණුම හරහා දැඩි විවේචනයක යෙදී තිබිණි. ‘‘ මදැයි ඉඳලා ඉඳලා පාරක් හැදෙව්වා ? (වෙන්නප්පුවේ හිගන දේශපාලනය ) ’’ යැයි මාතෘකාව යොදා තිබූ චිත‍්‍රාල්ගේ අදහස් දැක්වීම මෙසේ විය. ‘‘වෙන්නප්පුව සුදුවැල්ල හන්දියෙන් ශාන්ත ජෝශප් පාරට පිවිසුම ගැන ප‍්‍රදේශවාසීන් අවුරුදු ගාණක ඉදන් මැසිවිලි නැගුවා. මට මේක කිව්ව දා ඉදන් ප‍්‍රාදේශීය සභාවේ අරමුදල්වලින් වැඩේ කරගන්න ප‍්‍රාදේශීය සභාවේ ලේකම්තුමා එක්ක මං සුලුපටු මහන්සියක් නෙමේ වුනේ. අමාරුවෙන් වැඩේ ඉවර කරගත්ත දා රෑ මෙන්න කවුද මහත්තයෙක් මුදල් වෙන් කලා කියලා බෝඩ් එකකුත් ගහලා ගිහිල්ලා. කොහොමත් මගේ මූණත් තහඩුව ගහන්න හිටියේ නෑ, දවසෙන් කපලා දාන නිසා. ඒත් මේ වගේ ගොන් ආතල් ගන්න මහත්තුරුන්ට ඒකෙන් ස්වයං වින්දනයක් ලැබේනම් ඒකත් මදෑ? බැනර් ගහලා මදි , ඇත්තටම සල්ලි ටිකක් ගෙනල්ලා පාරේ ඉතිරි ටිකත් කොරාපල්ලා ඉක්මනට. වැඩි විස්තර දකුණු, බටහිර වෙන්නප්පුව ජනතාවගෙන් සහ ප‍්‍රාදේශීය සභාවේ ලේකම් තුමාගෙන්. (මගේ මුහුණු පොත මේ වගේ නොවැදගත් දේවල්වලටවත්, මේ වගේ භාෂා විලාසයකටවත් යොදාගෙන්නේ නැති නමුත්, මේ වගේ එලොවටත් මෙලොවටත් නැති වැඩ ගැන ජනතාව දැනුවත් විය යුතු නිසා මෙය පළකලෙමි.) ’’ යැයි චිත‍්‍රාල් ලියා තිබිණි. අදාල මාර්ගය අයිනේ නිරෝෂන්ගේ රුව සහිත බැනරයක් එල්ලා ඇති අයුරුත්, මාර්ගය පිළිසකර කරදීමට මැදිහත්වීම සම්බන්ධයෙන් ස්තූතිය පළකරමින් වෙන්නප්පුව ග‍්‍රාම සංවර්ධන සමිතිය විසින් චිත‍්‍රාල් වෙත එවා තිබූ ලිපියක ඡායාරූපයකුත් සිය අදහස් දැක්වීම සමග චිත‍්‍රාල් විසින් මුහුණුපොතට අමුණා තිබිණි. චිත‍්‍රාල් විසින් පළකල ඡායාරූපයේ ඇමැති නිරෝෂන්ගේ රුව අඩක් බොද කර තිබූ නමුත්, අදාල පෝස්ටුවට ලැබී තිබූ අදහස් දැක්වීම්වලින් සහ බොද වී නොතිබුණු කොටසින් ඒ රාජ්‍ය ඇමැති නිරෝෂන් බව හදුනාගැනීමට අසීරු නොවීය. චිත‍්‍රාල්ගේ විවේචනය සම්බන්ධයෙන් විවිධ අදහස් පළවෙමින් තිබියදී සුවිශේෂි අදහස් දැක්වීමක් හෙවත් කමෙන්ටුවක් වෙත චිත‍්‍රාල්ද පෙරළා ප‍්‍රතිචාර දක්වා තිබිණි. චිත‍්‍රාල්ට එල්ලවන කෙණෙහිලිකම්වලට විකල්පයක් යෝජනා කරමින් ඔහුට පොදුජන පෙරමුණ සමග එක්වන ලෙස විවෘත ආරාධනාවක් කර තිබුණේ මන්ත‍්‍රී සන්ධ්‍ය රාජපක්ෂගේ ඥාති පුතෙකු වන විමුක්ති රාජපක්ෂ විසිනි. ‘‘අයියේ ඔයාට ලොකු අනාගතයක් තියෙනවා. ප‍්‍රසිද්ධියේ කියන්නේ. එන්න අපිත් එක්ක අත්වැල් බැදගන්න.’’විත‍්‍රාල්ගේ පෝස්ටුවට ප‍්‍රතිචාර වශයෙන් විමුක්ති ලියා තිබිණි. විමුක්තිගේ සිත නොරිදෙන අයුරින් එම ආරාධනාව ප‍්‍රසිද්ධියේ ප‍්‍රතික්ෂේප කරන්නට චිත‍්‍රාල් වගබලාගෙන තිබිණි. ‘‘මම සාමාන්‍යෙන් කමෙන්ට්වලට උත්තර දෙන්නේ නෑ. ආරාධනාවට ස්තූතියි මල්ලියා. වෙන්නප්පුවේ අපිට කරන දේවල් වලින් දශමයයි මේ දැම්මේ. හැබැයි මේක දාල යනව නම් ගෙදර හරි, උසාවි රස්සාවට හරි මිසක් වෙන පක්ෂෙක දේශපාලනය කරන්න කිසිම අදහසක් නෑ. මේ තරම් හරි දුරක් අපිව ගෙනාවෙ යූ ඇන් පී එක සහ යූ ඇන් පී කාරයෝ. එයාලා ඇති කියනකන් දේශපාලනේ කරනවා. හැබැයි මගේ පක්ෂයෙන් විතරයි.’’ චිත‍්‍රාල් සිය ගිණුම හරහා විමුක්ති මුහුණුපොත ඔස්සේ අමතමින් ලියා තිබිණි‍.

දොඩම්ගස්ලන්දේ උත්සවයෙන් ඇමැතිවරු මගහැරියාද ?

දොඩම්ගස්ලන්ද එජාප ආසන සංවිධායක තනතුර මුල්කරගනිමින් හටගෙන ඇති අර්බුදය විසෙදන ලකුණු තවමත් පහළ වී නැති වුවත් දොඩම්ගස්ලන්ද ශ‍්‍රීලනිප සංවිධායක ලෙස කටයුතු කරන නිල්වලා විජේසිංහ නම් පසුගිය සතියේදී අවදි වූ බවක් පෙණිනි. අවදි වූ බවක් පෙණුනේ යන වැකිය භාවිතා කිරීමට සිදුවූයේ පසුගිය සතිය වනතෙක්ම දොඩම්ගස්ලන්ද ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙකු සිටිනවාදැයි සැබැවින්ම දැකගත නොහැකි වූ බැවිනි. නිල්වලා දොඩම්ගස්ලන්ද ආසන සංවිධායක ලෙස පත්වීම් ලැබුවේ පසුගිය අපේ‍්‍රල් මස 07 වැනිදා වුවත් මාස 08 කට ආසන්න කාලයක් ගෙවුණු නමුත් එහි පක්ෂ කාර්යාලයක් හෝ විවෘත කර තිබුණේ නැත. පක්ෂයේ සාකච්ඡා සහ උත්සව අවස්ථාවලට සහභාගිවීම පවා නිල්වලා විසින් මගහරිමින් සිටින බවට දොඩම්ගස්ලන්ද ශ‍්‍රීලනිප පාක්ෂිකයෝ එළිපිටම චෝදනා කළහ. මෙවැනි තත්වයක් මත පසුගිය කාලයේ පැවැති ශ‍්‍රීලනිප කුරුණෑගල මධ්‍ය සංවිධාන සාකච්ඡා කිහිපයකදීම දොඩම්ගස්ලන්ද සංවිධායකවරයා වශයෙන් නිල්වලා විජේසිංහ දක්වමින් සිටින නොසැලකිල්ල සහ උදාසීන බව දැඩි ලෙස විවේචනයට ලක්විය. නිල්වලා දොඩම්ගස්ලන්ද එජාප සංවිධායක තනතුර වෙත ඇස ගසාගෙන සිටින බවටත් එම සාකච්ඡාවලදී චෝදනා එල්ල වූ ඔහු පිළිබදව අවසන් තීරණයක් ගැනීමටද එවැනි සාකච්ඡාවලට සහභාගි වූ පක්ෂයේ මැති ඇමැතිවරුන් විසින් තීන්දු කළහ. මෙවැනි පසුබිමක් තුළ මාස 8 කට ආසන්න කාලයක් පවත්වාගෙන ආ නිහඩ බව හදිසියේ බිද දමමින් වැඩ අල්ලන්නට නිල්වලා විසින් පසුගිය සතියේදී කටයුතු කළ බවක් දැකගත හැකිවිය. ඒ ඉකුත් සෙනසුරාදා රිදීගම නගර මධ්‍යයේදී ශ‍්‍රීලනිප පක්ෂ කාර්යාලයක් විවෘත කරමිනි. වසරකට ආසන්න කාලයක් තිස්සේ නිල් කොඩියක් දැකගත නොහැකි වූ රිදීගම නගරය නිලෙන් සරසා, දැවැන්ත කටවුට් කිහිපයක්ද සහිතව නිල්වලා විසින් සිය පක්ෂ කාර්යාලය සකස්කරගෙන තිබිණි. ශ‍්‍රීලනිප ඇමැතිවරුන්වන අනුර යාපා, දයාසිරි ජයසේකර සහ මහ ඇමැති ධර්මසිරි දසනායකගේ සහභාගිත්වයෙන් එම කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ආරාධනා කරමින් ඇරැයුම්පත් විශාල ප‍්‍රමාණයක්ද නිල්වලා විසින් පක්ෂ ක‍්‍රියාකාරීන් වෙත යවා තිබිණි. පක්ෂ කාර්යාලය විවෘත කිරීමෙන් පසුව රිදීගම නගර මධ්‍යයේ ජන හමුවක්ද සූදානම් කර තිබිණි. නමුත් අභාග්‍යයකට මෙන් නිල්වලා විසින් පාක්ෂිකයින් වෙත යැවූ ආරාධනා පත‍්‍රයේ නම් සදහන් වූ මැති ඇමැතිවරුන් කිසිවෙකුත් නිල්වලාගේ උත්සවයට සහභාගි වූයේ නැත. නිල්වලාගේ ජාම බේරාදෙන්නට මෙන් එහි පැමිණි සිටියේ ශ‍්‍රීලනිප තරුණ සංවිධානයේ ලේකම් ශාන්ත බණ්ඩාර පමණි. නිල්වලාගෙන් ආරාධනා ලැබූ මැති ඇමැතිවරුන් හිතාමතාම එම උත්සවය මග හැරියාදැයි එසේ නොමැති නම් සැබෑ ලෙසම රාජකාරි කටයුතු හේතුවෙන් එම උත්සවයට නොපැමිණියාදැයි ඊට සහභාගි වී සිටි අය අතර කසුකුසුවක්ද නැගිණි.
දොඩම්ගස්ලන්ද එජාප සංවිධායක අර්බුදයත් පවතින්නේ සමථයකට පත් නොවූ තත්වයකය. පළාත් සභා මන්ත‍්‍රී එම්. එස්. පෙරේරා දොඩම්ගස්ලන්ද එජාප සංවිධායකවරයෙකු ලෙස නැවත පත්කරමින් සිරිකොතින් නිකුත් කර තිබූ ලිපියක් පසුගිය සතියේදී ඔහුගේ හිතවතුන් විසින් මුහුණුපොත හරහා ප‍්‍රසිද්ධියට පත්කර තිබිණි. ඒ අනුව දොඩම්ගස්ලන්ද ආසනය සදහා සිරිකොත මගින් එජාප සංවිධායකවරුන් දෙදෙනෙකුම මේ වනවිට පත්කර සිටිති.

සනත් නිශාන්ත මහින්දගේ මූණටම කියයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ එක්ව ඉදිරි මැතිවරණයට තරග කිරීම පිළිබදව පක්ෂ දෙකේ මුල්පෙළ නියෝජිතයින් විසින් මේ වනවිට සාකච්ඡා ආරම්භ කර තිබේ. මුල්පෙළ නායකයින් පක්ෂ දෙක සමගි කිරීම සදහා වෑයමක යෙදෙන නමුත් බිම් මට්ටමේ සාමාජිකයින් වෙතින් ඒ පිළිබදව පළවෙමින් තිබෙන්නේ අයහපත් ප‍්‍රතිචාරයක් බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන්ම පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරණ ග‍්‍රාමීය නායකයින් සහ සාමාජිකයින් ඉදිරි මැතිවරණ ජයග‍්‍රහණය පිළිබදව අධිතක්සේරුවකට එළැඹ සිටින බවක් පෙනී යයි. එබැවින් ඔවුන්ගේ අදහස වී ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සම`ග එක්වීම අවශ්‍ය නොවන බවත්, පොදුජන පෙරමුණ ලෙස තනිව තරග කර මැතිවරණය ජයග‍්‍රහණය කළ හැකි බවත්ය. පොදුජන පෙරමුණ නියෝජනය කරන පුත්තලම් දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත පෙරේරාද සැලකෙන්නේ ශ‍්‍රීලනිප – පොදුජන පෙරමුණු දීගයට දැඩි ලෙස විරුද්ධ අයෙකු ලෙසය. ඒ නිසාම මන්ත‍්‍රී සනත් නිශාන්ත සිය මුහුණුපොත් ගිණුම හරහා හිටපු ජනපති මහින්ද වෙත අනතුරු ඇගවීමක් කර තිබිණි. ‘‘ඔයා මේ සැරේ සිරිසේනට රැවටුනොත් අපිත් නෑ. ඔන්න ඔයාගේ මූණටම කිව්වා. ’’යැයි සිය මුහුණුපොත් ගිණුමේ සටහන් කළ සනත් ඊට පහතින් මහින්ද සහ මෛත‍්‍රීගේ ඡායාරූප දැක්වෙන පෝස්ටුවක්ද ඇතුළත් කර තිබිණි. ‘‘මහින්ද මහත්තයෝ, ආපු ගමන තනියම යන්න. සිරිසේනට ආපහු කිරි පොවලා දෂ්ඨ කරගන්න එපා. ’’යැයි එම පෝස්ටුවේ පහළ කොටසේ සටහන් වී තිබිණි.

ජනපති මහ ඇමැතිගේ කාමරයට එයි.

ජනපති මෛත‍්‍රී පසුගිය සිකුරාදා දවස ගතකළේ කුරුණෑගලය. සිකුරාදා උදෑසන නිකවැරටියට පැමිණි මෛත‍්‍රී එහි සංවිධානය වී තිබූ වැඩසටහන් කිහිපයකටම එක්විය. බුදුමුත්තාව රජමහා විහාරස්ථානයටත්, රජබිම විද්‍යාලයේ ඉදිකෙරුණු නව විද්‍යාගාර ගොඩනැගිල්ල විවෘත කිරීමට සහ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකෙරෙන සිව් මහල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමටද මෛත‍්‍රී එක්විය. ඉන් අනතුරුව මෛත‍්‍රීගේ ප‍්‍රධානත්වයෙන් ජනහමුවක් සංවිධානය වී තිබුණේ නිකවැරටිය සතිපොළ භූමියේදීය. පසුගිය සතියේදී මහත් ආන්දෝලනයට ලක් වූ ‘‘කොලේ ඉරාගෙන, ඇගේ හලාගෙන අඩන්න එපා. ’’යන ප‍්‍රකාශය ජනපති මෛත‍්‍රී විසින් කළේ එම ජන හමුව අමතමිනි. මෑතකදී ශ‍්‍රීලනිප ආණමඩුව සංවිධායක ලෙස පත්වීම් ලැබූ ආනන්ද සරත් කුමාරද එම ජනහමුවට එක් වී සිටීම විශේෂත්වයටක් විය. ජන හමුවෙන් අනතුරුව නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක විසින් සූදානම් කර තිබූ දිවා ආහාරය සදහාත් එක් වූ මෛත‍්‍රී ඉන් අනතුරුව කුරුණෑගලට එන්නට පිටත්විය. තිත්තවැල්ල වැව් අසලදී වාහනය බැසගත් මෛත‍්‍රී නාවික හමුදාවේ සහයෝගය ඇතිව තිත්තවැල්ල වැවේ පාසි ඉවත්කෙරෙන අයුරුද දැකබලා ගත්තේය. එතැනට පැමිණ සිටි ප‍්‍රදේශවාසීන් විසින් කළ ඉල්ලීමකට අනුව ඔවුන් කිහිපදෙනෙකු සමග ඡායාරූපවලට පෙනී සිටීමටද ජනපති ඉදිරිපත් විය. අනතුරුව පළාත් සභා සංකීර්ණය වෙත පැමිණි මෛත‍්‍රී පළාත් සභා ශ‍්‍රවණාගාරයේදී පැවැති වයඹ විජයාභිමානී ව්‍යවසායක විශිෂ්ටතා සම්මාන උළෙලට එක්විය. වයඹ කර්මාන්ත සේවා කාර්යාංශය සංවිධානය කර තිබූ මෙම මෙම සම්මාන උළෙලේදී කර්මාන්ත, නිෂ්පාදන, කෘෂිකර්ම, පශූ සම්පත් සහ ධීවර හා සංචාරක ඇතුලූ ක්ෂේත‍්‍ර ආවරණය කරමින් ව්‍යවසායකයින් වෙත සම්මාන පිරිනැමිණි. අගය වැඩි කළ නිෂ්පාදන අංශයේ හොදම ව්‍යවසායකයා ලෙස සම්මානය දිනාගෙන තිබුණේ හිරියාල එජාප සංවිධායක ජගත් මංජුල යාපා විසිනි. ජගත්, ජනපති අතින් සම්මානය ගනිද්දී ඇමැති රිෂාඩ් බදුර්දීන් ජනපතිට කීවේ ‘‘ සර්, මෙයා මෙහේ යූඇන්පී ඕර්ගනියසර් ’’කියාය. ආ, එහෙමද ? ජනාධිපතිවරණයේදී මටත් උදව් කළානේ. ඔයා යූඇන්පී එකට ගියාද ? ’’ජනපති ජගත්ගෙන් ඇසීය. ‘‘ඔව් සර්, මට හිරියාල ලැබුණා. ’’ජගත් ජනපතිට පිළිතුරු බැන්දේය. ‘‘ඒකට කමක් නෑ. වැඩ ටික කරගෙන යන්න. ’’යැයි මෛත‍්‍රී කීවේ ජගත්ගේ උරහිස මත අත රදවා සිනාසෙමිනි. ජනපති මෛත‍්‍රී සම්මාන උත්සවය ආරම්භයේ සිට අවසානය දක්වාම එහි රැදී සිටීම විශේෂත්වයක් විය. උත්සවයෙන් අනතුරුව මෛත‍්‍රී, වයඹ ප‍්‍රධාන අමාත්‍ය කාමරයට ඇතුලුවූයේ එහි සූදානම් වී තිබූ තේ පැන් සංග‍්‍රහයකට එක්වීමටය. පළාත් සභාවේ මැති ඇමැතිවරුන් සියලුදෙනාම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ජනපති සමග තේ පානයට එක් වී සිටිනු දැකගත හැකිවිය. ජනපති මෛත‍්‍රී පළාත් සභාවෙන් නික්ම ගියේ එදින තමන් අතින් සම්මාන ලැබූ ව්‍යවසායකයින් සියලුදෙනා සමග ප‍්‍රධාන අමාත්‍ය කාර්යාල පිවිසුමේ ඇති පියගැටපෙළ මතදී සමූහ ඡායාරූපයකටත් පෙනී සිටීමෙන් අනතුරුවය.

උපුටාගැනීම – ජනයුගය පුවත්පත, 2017 නොවැම්බර් 30  වැනිදා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article