Breaking News

මුනි දළදා රැකදුන්නත් දිවිය පුදා, කීරවැල්ල මිනිසුන් අමතකද මෙදා ?

keerawalla_parapura

පෙර රජ දවස සිංහල රාජ නීතියට අනුව ලක්දිව රාජ්‍යයේ උරුමකරු උභයකුල පාරිශුද්ධ පරම්පරාවකින් පැවත එන රාජකීයයකු විය යුතු අතර එම උරුමකරු දළදා වහන්සේගේ උරුමකරුද විය යුතු බව ඉතිහාසය පිරික්සන විට දත හැකිය. කාලිංගයේ සූරිය වංශික ගුහසීව රජුගේ දියණි හේමමාලා කුමරියත් කාලිංගයේ උදේනි රජපුත් දන්ත කුමරුත් විසින් කාලිංග දේශයේ සිට ශී‍්‍ර දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කළ අතර ඔවුන් දෙදෙනාගේ දරු පරපුර දළදා වහන්සේගේ භාරකාරත්වය ඇතිව විසූ ක්ෂත‍්‍රීය වංශිකයෝ වූහ. මේ නිසා පසුකාලීන බොහෝ රජවරුන් දන්ත කුමාර පරපුරේ කුමාරිකාවන් අග‍්‍ර මහේසිකාවන් කළ අතර ඔවුන්ගෙන් ලත් පුතුනුවන් මෙරට ඔටුණු පැළදීමට සුදුස්සෝ වූ බව ඉතිහාසයේ සදහන්ය.

ලොව පුරා බෞද්ධයන්ගේ ඉමහත් පූජනීයත්වයට පත් ශ‍්‍රී දළදා වහන්සේ මෙවක ඵෙතිහාසික මහනුවර නගරයේ ශ‍්‍රී දළදා මාළිගාවේ වැඩවෙසෙන අතර එම උතුම් වස්තුව එම ස්ථානයට පැමිණියේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙදහස් පන්සියයකටත් වඩා වැඩිවූ ඉතිහාසයක් තුළ ගමන් කළ සතුරු උවදුරු, බාධක වලින් පිරීගිය දීර්ඝ චාරිකාවකට පසුවය. ශතවර්ෂ ගණනාවක් පුරා රාජධානි ගණනාවක රාජ පරම්පරා ගණනාවක රජවරුන් මෙරට රාජ්‍ය පාලනය ගෙන ගියද එම කාලපරිච්ඡේදය පුරාම ශ‍්‍රී දළදා වහන්සේ දිවි පරදුවට තබා රැකගත්තේ දන්ත, හේමමාලා දරුපරපුරින් පැවත එන කීරවැල්ල රජ පරම්පරාව වේ. එසේ වුවද රජවරුන්ට බිසෝවරුන් සපයමින් ශ‍්‍රී දන්ත ධාතූන් වහන්සේගේ දිවි පරදුවට තබා රැකගත් එම කීරවැල්ල රාජකීය පරපුර ක‍්‍රි.ව 1739 දී සිංහල රාජධානියේ අවසානයත් සමගම කාලයේ වැලිතලාවෙන් යටපත්ව ගොස් ඇත. එම රාජකීය පරපුරට අත්වූ ඉරණම කුමක්ද? මෙම පරපුර වඳ වී ගියේද? නැතහොත් එම පරපුරේ සමාජ තත්වය අකෘතඥ රජුන් අතින් අහිමි කරනු ලැබීද යන්න පිළිබදව ඉතිහාසයේ නොලියවුනු රහසක් වී ඇත.

දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කරවන ලද දන්ත කුමරු සහ හේමමාලා කුමරිය පිළිබද අප සියලුදෙනාම ඉමහත් ගරුත්වයකින් යුතුව කතා කළද ඔවුන්ගෙන් පැවත එන කීරවැල්ල රාජකීය පරම්පරාවේ අතීත තොරතුරු, වර්තමාන තොරතුරු හෝ එම රාජකීය පරපුරට අත්වූ ඉරණම පිළිබදව අප කිසිවකුගේ අවධානය යොමු නොවූ තරම්ය. සිංහල රාජධානියේ අවසානයත් සමග මොවුන් පිළිබදව කිසිදු තැනක සදහන් නොවුනද මෙම පරපුරින් පැවතෙන්නෝ දළදා මාළිගාවට කිසිදු සම්භන්ධයක් නොමැතිවත් අද දක්වාම ජීවත් වෙති. තමන් එම පරපුරේ බව පවා ඔවුන් බොහෝ දෙනෙක් නොදනිති. අපගේ මේ වෑයම සකල ලංකාවාසී සියලුදෙනාගේ අවධානයෙන් ගිලිහී ගිය කීරවැල්ල රාජකීයයන්ගේ වර්තමාන පරපුර පිළිබද තවදුරටත් කාලයේ වැලිතලාවෙන් වැසී යාමට නොදී ඒ පිළිබද තොරතුරු රටට හෙළිකිරීමය.

keerawalla_2

ලොව පුරා වෙසෙන බෞද්ධයන්ගේ ශාස්තෘවරයාණන් වූ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව ශ‍්‍රී දේහය ආදාහනය කළ අතර ඉන් ශේෂ වූ ධාතූන් වහන්සේලා දඹදිව රජකළ නොයෙක් රාජ්‍යයන්හි රජ දරුවන් විසින් බෙදා හදා ගන්නා ලදී. එම අවස්ථාවේදී ඛේම නැමැති රහතන් වහන්සේ විසින් බුදුන් වහන්සේගේ වම් දළදා වහන්සේ ලබාගෙන එය එවකට දඹදිව කළිගු රට පාළකයන් අතට පත් කරන ලදී. එවක පටන් දළදා වහන්සේ මහත් පුදසරින් රැක බලා ගැනීම එම වංශයේ රජුන් විසින් අඛණ්ඩව සිදු කරන ලදී. කාලයාගේ ඇවෑමෙන් ගුහසීව නම් රජ කෙනෙකු එම පරපුරේ රාජ්‍යත්වයට පත්වූ අතර එම යුගයේ පාණ්ඩ්‍ය දේශයේ රජු විසින් දළදා වහන්සේ විනාශ කිරීමට උත්සාහ කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස දන්ත ධාතුව සතුරු ආක‍්‍රමණ වලින් ආරක්ෂා කිරීමේ අරමුණින් කාලිංගයේ සූරිය වංශික ගුහසීව රජුගේ දියණි හේමමාලා කුමරියත් කාලිංගයේ උදේනි රජපුත් දන්ත කුමරුත් වෙස් ගන්වා ඔවුන් අත වම් දළදා වහන්සේ ලක්දිව විසූ තම මිත‍්‍ර කිත්සිරි මෙවන් රජු වෙත එවූ බව ඉතිහාසයේ සදහන්ය.

දළදා වහන්සේගේ ආරක්ෂාව පතා තම රාජ්‍යය වෙත එවන ලද බව අසා ඉතාමත් සතුටට පත් කිත්සිරි මෙවන් රජු දළදා මන්දිරයක ශ‍්‍රී දළදා වහන්සේ තැන්පත් කරවා පුද පූජා කළ අතර දන්ත හේමමාලා යුවලට වර්තමානයේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පිහිටි බෙලිගල් කෝරළයේ කීරවැල්ල ජනපදය ඔවුන්ගේ පදිංචිය සදහා ලබා දී දළදාව බලා ගැනීමට භාර කළේය. එතැන් පටන් මෙම පරපුර කීරවැල්ල පරපුර ලෙස හදුන්වනු ලැබූ අතර එම ප‍්‍රදේශය කීරවැල්ල පත්තුව යන නාමයෙන් හදුන්වා ඇත. කල්යත්ම සියලු බෞද්ධයන්ගේ අතිමහත් ගෞරවාදරයට පාත‍්‍ර වූ ශ‍්‍රී දළදා වහන්සේ ශ‍්‍රී ලංකා රාජ්‍යයේ රාජ්‍යත්වයේ සංකේතයක් බවට පත්විය. ලක්දිව රාජ්‍යයේ උරුමකරු උභයකුළ පාරිශුද්ධ රාජකීයයකු වියයුතු බවට සිංහල රාජ නීතියක් ඇති වූ අතර දන්තු කුමරු සහ හේමමාලා කුමරිය කාලිංග වංශික ක්ෂත‍්‍රීයයන් වීම හේතුවෙන් බොහෝ රජ දරුවන් එම පරපුරේ කුමාරිකාවන් තම අගමෙහෙසුන් බවට පත්කර ගත්හ. ඒ අනුව දන්ත හේමමාලා කීරවැලි පරම්පරාව රජ දරුවන්ට අග මෙහෙසුන් සැපයූ බිසෝ පරපුරක් විය. අග මෙහෙසියගේ පියා හෝ සහෝදරයා දළදා වහන්සේගේ භාරකාරත්වය ඉසිලූ අතර ඔහු කීරවැල්ලේ මහා රාළහාමි යනුවෙන් හදුන්වා ඇත. මේ නිසා සිංහල රාජ්‍යයත් දළදා වහන්සේත් අතර අවියෝජනීය සම්බන්ධයක් ඇති විය.

keerawalla_4

දළදා වහන්සේගේ උරුමය රාජකීය සංකේතයක් ලෙස සැලකීමට පසුකාලීන රජවරුන් හුරු වූ නිසා පසු කාලවලදී ඇති වූ සතුරු ව්‍යසන, අභ්‍යන්තර කැරළි කොළාහල වලදී දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කිරීමට සිදු විය. මින්පසුව ලක්දිවට එල්ල වූ සියලු සතුරු ආක‍්‍රමණ වලදී සහ කැරළි කොළාහල වලදී රාජ්‍ය උරුමයේ සංකේතය අත්පත් කර ගැනීම හෝ එය විනාශ කිරීම සතුරන්ගේ ඉලක්කය වූ නිසා කීරවැල්ල පරපුරේ රාජකීයයන් විසින් එය විවිධ ස්ථාන කරා ගෙනයන ලදී. මේ අනුව සතුරු ආක‍්‍රමණ හමුවේ රාජධානීන්හි සංක‍්‍රමනයත් සමග දන්ත ධාතූන් වහන්සේද අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ සහ කොට්ටේ යන රාජධානී වෙත රැගෙන යන ලද අතර එම යුග ගණනාව පුරාව දන්ත ධාතූන් වහන්සේ රැක බලා ගැනීමේ වගකීම පැවරුනේ මෙම කීරවැල්ල පරම්පරාවටය.

දන්ත හේමමාලාවන්ගෙන් අනතුරුව කීරවැල්ල පරපුරේ මුලින්ම සදහන් වනුයේ එම දෙපළගේ පුත් වූ අනුරාධපුර රාජධානි සමයේ රජකළ කීරවැල්ලේ දාඨාවංශ කුමරු සහ එම කුමරුගේ දේවිය වන රත්නමාලා කුමරිය පිළිබදවයි. අනතුරුව ඔවුන් දෙපලගේ පුත් ශ‍්‍රී නාම බංඩාර කුමරු ශ‍්‍රී මාලා කුමරිය විවාහ කරගන්නා අතර ඔවුන් දෙපළගේ පුත් කුමරුන් වන කීරවැල්ලේ රත්නපාල බංඩාර කුමරු පත්මමාලා කුමරිය විවාහ කර ගනී. එම දෙපළගේ කුමරු ශ‍්‍රී මල් බංඩාර කුමරු වන අතර ඔහු දෙවන පරාක‍්‍රමබාහු රජුගේ මව් වන සෝමමාලා කුමරිය විවාහ කර ගනී. එම දෙපළගේ කුමරු වන රංමල් බංඩාර විසින් කීරිමාලා කුමරිය විවාහ කරගන්නා අතර එම දෙපළගේ කුමරු රතනබංඩාර කුමරු වේ. ඔහු රනමාලා කුමරිය විවාහ කරගන්නා අතර ඔවුන් දෙපළගේ කුමරු මහානාම කුමරු රංතිලකා නීල කුමරිය විවාහ කර ගනී. ඔවුන් දෙදෙනාට දියණියන් තිදෙනෙකු සහ එක් පුතෙකු සිට ඇති අතර ඉන් පුතු වූ කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන්න කුමරු (මහා රාළහාමි ) උඩරට රජු වූ සේනා සම්මත වික‍්‍රමභාහුගේ දියණිය වන හන්තාන දේවිය හා සරණගොස් ඇත. මෙම කීරවැල්ලේ මහා රාළහාමිට පිරිමි දරුවන් හය දෙනෙකු සහ එක් දියණියක් ඉපදී ඇත.

අනුරාධපුර රාජධානී සමයේදී දන්ත හේමමාලා යුවල පැමිණීමෙන් පසු කෝට්ටේ යුගය දක්වා යුග පහක් ගෙවී ගියද සතුරු ආක‍්‍රමණ වලින් පිරුණු එම යුග වලදී දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කළ එම රාජකීය පරම්පරාව පිළිබදව වංශකතාවල කිසිදු තොරතුරක් සදහන් නොවේ.එසේ වුවද මෙම දීර්ඝ කාලය තුළ නිහඩවම මෙම උතුම් වස්තුව ආරක්ෂා කිරීම සිදුවූයේ ඔවුන් අතින්ම බවට කිසිදු සැකයක් නොමැත. මෙම කාළිංග වංශික පරපුර පිළිබදව නැවතත් යම් තොරතුරු මතුවනුයේ කෝට්ටේ යුගයේ ආරම්භයත් සමගය. කෝට්ටේ, මහනුවර, සීතාවක, රයිගම හා දැදිගම වැනි ප‍්‍රාදේශිය රාජ්‍යවලද නායකයන් ඥාතීත්වයෙන් යා කළේ කීරවැල්ල පරපුරේ කුමරියන් සමග සිදු වූ අවාහ විවාහ හරහාය.

කෝට්ටේ යුගයේදී දළදා වහන්සේ භාරව කටයුතු කළේ කීරවැල්ලේ මහා රාළහාමි නෙහොත් අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් විසිනි. සහවන පරාක‍්‍රමබාහු රජුගේ මෙහෙසිය වූ රන්මැණිකේ කීරවැල්ලේ කුමරියගේ පියාණන් වූයේ අනුරුද්ධ අධිකාරම්ය. හයවන පරාක‍්‍රමබාහු රජුට පුතුන් නොමැති වූයෙන් ඔහුගේ ස්වර්ණමාණික්‍යයා බිසවගේ සහෝදරී වූ කීරවැල්ල කුමරියගේ පුතුන් වන සපුමල් හා අම්බුලුගල කුමාරවරුන් පුත් තනතුරේ තබා රැකබලාගත් අතර අනතුරුව ඔවුන් රජ බවට පත්විය. එවකට ශ්‍රේෂ්ඨ පඩිවර තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන්ගේ මව් සීලවතී කුමරියද කීරවැල්ල පරපුරේ කුමාරිකාවක් විය. පසුව අම්බුලුගල කුමරු අටවන පරාක‍්‍රමබාහු නමින් රාජ්‍යත්වයට පත් වූ අතර ඔහු කීරවැල්ල පරම්පරාවේ කුමාරිකාවන් දෙදෙනෙකු සරණාපාවා ගෙන ඇත. කෝට්ටේ යුගයේ සුප‍්‍රසිද්ධ විජයබා කොල්ලය දිගහැරෙන්නේද තවත් කීරවැල්ල පරපුරේ කුමාරිකාවන් දෙදෙනෙකු හයවන විජයබාහු රජු විසින් බිසෝකර ගැනීමෙනි. ඔහු පළමුව කීරවැල්ලේ අනුලා කහතුඩය කුමාරිකාව විවාහ කරගෙන තම සොයුරු පරරාජසිංහ කුමරු සමග එකගෙයි දීග කෑ අතර දෙවනුව කීරවැල්ලේ කුමාරිහාමි නමින් බිසවක් සරණපාවාගෙන ඇත. රාජ්‍යත්වය සම්භන්ධයෙන් ඔවුන්ගේ දරුවන් අතර ඇති වූ යුද්ධය විජයබා කොල්ලය නම්විය. එවක මැණික් කඩවර සිටි ශ‍්‍රී රාජසිංහ රජුගේ මස්සිනා වූ කීරවැල්ලේ මහා රාළහාමි කෝට්ටේ දළදා භාරකාරිත්වය ඉසිලීය. මෙකළ උඩරට රජ කළ රජු ආදායම කෝට්ටේ රජුට නොදෙන බැවින් ශ‍්‍රී රාජසිංහද කීරවැල්ලේ රාළහාමිද එක්ව උඩරටට පහරදී උඩරට රජු යටත් තරගෙන ඇත. එහිදී ඇති වූ එකගත්වය මත උඩරට රජුගේ දියණිය කීරවැල්ල කුමරු විසින් විවාහ කරගෙන ඇත. මේ විවාහය නිසා ඔවුන්ට වැලි කොලේ රාළහාමි, උබ්බේරියේ රාළහාමි, වාසලගෙයි රාළහාමි, කීරවැල්ලේ රාළහාමි යන පුතුන්ද කීරවැලි බාල බිසෝ සන්තන දේවි නම් දියණියන් ද උපන්හ. කෝට්ටේ යුගයේ අවසාන දළදා භාරකාරත්වය ඉසිලූ හිරිපිටියේ රාළ මේ පුතුන් අතරින් අවසානව සදහන් කළ කීරවැල්ලේ රාළහාමි ගේ පුත‍්‍රයෙකුවේ.

හයවන පැරකුම්බා රජු සහ බුවනෙකබා රජුගේ කාලයෙන් පසු කෝට්ටේ සමෘද්ධිය පිරිහී ගියේය. බුවනෙකබා රජුගේ කාලයේදී මග වැරදී දොන් අපෝන්සුද නොරෙඤ්ඤෝ නැමැති පෘතුගීසි නායකයා ලංකාවට පැමිණි අතර ඔහු බුවනෙකබා රජු සමග ඇතිකරගත් ගැටුමේදී රජු මරණයට පත්විය. රජුගේ මරණයෙන් පසු ක‍්‍රිස්තු ධර්මය වැළදගත් රූකඩ රජකු වූ ධර්මපාල රජු රාජ්‍යත්වයට පත් වූ අතර එවකට දළදා වහන්සේ හිරිපිටයේ රාළගේ භාරකාරත්වය යටතේ කෝට්ටේ දළදා මැදුරේ වැඩසිටීය. හිරිපිටියේ රාළ සිහිනයක් දැක ඇති අතර එම සිහිනය තේරූ කළ කෝට්ටේ විසීම අන්තරාදායක බවත් පෘතුගීසීන් විසින් දළදා වහන්සේ විනාශ කරන්නට යන බවත් අවබෝධ කරගත් ඔහු දළදා වහන්සේ තැන්පත් කර තිබූ ඇත්දත්මුවා දා කරඩුව තම උරයෙහි සගවාගෙන සීතාවක මායාදුන්නේ රජුවෙත පැමිණී ඇත. මායාදුන්නේ රජුගේ බිසවද කීරවැල්ලේ පරපුරට අයත් බිසවක් වන අතර දළදා වහන්සේ තමා සන්තකයට පත්වීමෙන් රජු මහත් සතුටට පත්වී ඇත. මේ අවධිය වන විටත් සීතිවක රාජධානිය නිරන්තරයෙන් සතුරු කරදර වලට භාජනය වී ඇති බැවින් දළදා වහන්සේගේ ආරක්ෂාවට වැඩපිළිවෙලක් සකස් කළයුතු බව වටහාගත් රජු හිරිපිටියේ රාළ සමග දළදා වහන්සේ දෙල්ගමුව විහාරයට පිටත් කර හැරියේය. හිරිපිටියේ රාළ ගේ නිර්භීතකම නොවන්නට අද දළදා වහන්සේ සිංහල ජාතියට අහිමි වන්නට ඉඩ තිබිණ.

keerawalla_3

කෙසේ නමුදු කෝට්ටේ යුගයේ අවසානය සහ මහනුවර යුගයේ ආරම්භක සමය කීරවැල්ල පරපුරේ සමෘද්ධිමක් කාලයේ අගභාගය විය. මහනුවර ඔටුණු පළන් කුමාරවරුන් දඹදිවින් නායක්කර් වංශික බිසෝවරුන් ගෙන ආ අතර එතෙක් කීරවැල්ල පරපුරේ කුමාරිකාවන් පාවා ගැනීමේ සිරිත අභාවයට ගියේය. නායක්කර් රජවරු බලයට පත්වීමත් සමගම එතෙක් පාරම්පරිකව පැවත ආ දළදා භාරකාරිත්වය හෙවත් දියවඩන නිළමේ තනතුර කීරවැල්ලේ කාලිංග වංශික නොවන වෙනත් ප‍්‍රභූන්ට ලැබුණු අතර කීරවැල්ල වංශ නාමය ඉතිහාසයේ තනිකරම මැකී ගියේය.

කෝට්ටේ යුගයේ අවසන් කාලයේ සීතාවක විසූ දරුණු පාළකයන් වන මායාදුන්නේ සහ පළවන රාජසිංහ වැනි රජවරුන් දරුණු ක්ෂත‍්‍රීය සංහාරයක යෙදුනු අතර මේ එම පරපුරේ සංහාරය පිළිබදව එක් නිදසුනක් විය හැකිය. මින් ඇතැම් කීරවැල්ල වංශිකයන් පෘතුගීසීන් වෙත පළාගොස් ක‍්‍රිස්තු ආගම වැළද පෘතුගීසී නම් ආරූඩ කරගෙන විසූ අතර තවත් සමහරක් අප‍්‍රකටව ජීවත් වුවත් කිසි දිනක නැවත කරළියට නොආහ. කීරවැල්ල පරපුර ක‍්‍රි.ව 1739 දී සිංහල රාජධානියත් සමග යටපත් කිරීමට කටයුතු කළද ඉහත සදහන් කළ කීරවැල්ල රාළහාමි උඩරට රජදුව හා විවාහ වී ලැබුණු කීරවැල්ල රාළහාමි, වැළිකළ රාළහාමි, උබ්බේරිය රාළහාමි, අලුත්ගෙයි රාළහාමි, ගුම්ගමුවේ රාළහාමි යන අයගේ පරපුරු අද දක්වාද පවතී. මීට අමතරව මෙම පරපුරට අයත් පරම්පරා නාම වන ටික්කම, මහාවංශ යන නාම දරන්නන් ද අද දක්වාම පවතී.

මෙරට රජවරුන්ට අග මෙහෙසුන් සපයමින් දළදා වහන්සේ ආරක්ෂා කරමින් නිහඩව මෙරටට විශාල මෙහෙවරක් කළ කීරවැල්ල පරපුර පිළිබද සොයා යන ගමනේදී අපට කීරවැල්ල අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් පරපුරේ නිළමේ වරයාගෙන් පැවත එන වර්තමාන පරපුර නියෝජනය කරන වයඹ පළාතේ මහව ප‍්‍රදේශයේ ගාලේවැව, නාගොල්ලාගම පදිංචි කීරවැල්ල අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් මුදියන්සේලාගේ දොන් උදය දීප්ත වසන්ත සෙනෙවිරත්න මහතා හමුවිය. තම පරපුරට වර්තමානයේ ඇතිවී තිබෙන තත්වය පිළිබදව ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“ මම කුඩා කාලයේදී මගේ වැඩිහිටියෝ කියනවා ඇහිලා තියනවා අපි දළදාව භාර පරපුරේ අය කියලා. ඒ කාලෙදී ඒ පිළිබදව නොතේරුනත් මම යමක් තේරුම් ගන්න පුලුවන් වයසට ආවහම ඒ පිළිබදව සොයන්න පටන් ගත්තා. ඒ අනුව මම දළදාව පිළිබවද ලියවී ඇති සෑම මූලාශ‍්‍රයක්ම සොයාගෙන අධ්‍යයනය කළා. මට එහිදී වැටහුනා මමත් ඒ පරපුර නියෝජනය කරන එක් පුරුකක් කියලා. කීරවැල්ලේ පරපුර කියන්නේ ඉතාමත් සාමකාමී පිරිසක්. ඒ අය කවදාවත් යුද්ධයකට ආවේ නැනැ. පළවෙනි රාජසිංහ රජතුමා කීරවැල්ල පරපුර විනාශ කරන්න කටයුතු කළ අවස්ථාවේදී ඒ පරපුරේ සාමාජිකයන් ආරක්ෂාව සදහා විවිධ ප‍්‍රදේශ වලට ගිහිං සැගවී ජිවත් උනා. සමහර අය තමන්ගේ වාසගම පවා වෙනස් කරගෙන තිබෙනව. දොන් ජුවන් ධර්මපාල රජු ක‍්‍රිස්තුධර්මය වැළදගෙන දළදාව විනාශ කරන්න ගිය වෙලාවේ හිරිපිටියේ නිළමේතුමා දන්තධාතුව රැගෙන ප‍්‍රදේශයෙන් පළාගියා. ඒක දන්ත හේමමාලාවන් දළදාව ආරක්ෂා කරන්න කරපු පරිත්‍යාගයට නොදෙවෙනි පරිත්‍යාගයක්. එතුමා දළදාව රැගෙන පළා නොගියා නම් අද අපිට වැදුම් පිදුම් කරන්න දන්ත ධාතුවක් නැහැ. කීරවැල්ල පරම්පරාව දිවි පරදුවට තියලා දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කළත් අද වනවිට දළදා මාළිගාව ආසන්නයේ ඉදිකරලා තියන කෞතුකාගාරයේ කීරවැල්ල නාමයවත් නැහැ. කීරවැල්ල පරපුරේ හිටිය කිසිදු දියවඩන නිළමේවරයෙකුගේ නමක්වත් සදහන් වෙන්නේ නැහැ. එම පරපුරේ වර්තමාන සාමාජිකයන්ට දළදා මාළිගාවේ පෙරහැරේ හෝ ඇසල මංගල්‍යය පෙරහැරේ කිසිදු අවස්ථාවක් නැහැ. දළදා වහන්සේ වෙනුවෙන් මේ තරම් කැප කිරීමක් කළ පරපුරක් මෙසේ අමතක කිරීම පිළිබදව එම පරපුරේ කෙනෙක් විදියට මං ඉතාම කණගාටු වෙනවා. “

keerawalla_1

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා සමාජ විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය එච්.එම්.බී.ඒ.ආර් හේරත් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“හේමමාලා දන්ත කුමරුගෙන් පැවත එන දළදා වහන්සේගේ භාරකාරිත්වය ඉසිලූ කීරවැල්ල රාජකීය පරම්පරාව ශතවර්ෂ ගණනාවක් තිස්සේ මේ රටේ ජීවත් උනා. මේ පරම්පරාවට අවසානයේදී කුමක්ද සිදුවූයේ, ඔවුන් කොහේද ගියේ කියන ප‍්‍රශ්නය තිබුණා. කෝට්ටේ රාජධානි සමයේ හිටපු ධර්මපාල රජතුමා පෘතුගීසීන් සමග සබදතා පවත්වලා තිබෙනවා. මේ යුගයේ හිටිය දළදාව බාර දියවඩන නිළමේවරයාගෙන් පැවත එන රාජකීය කීරවැලි පරම්පරාවේ අවසාන පුරුක තමයි දැනට ඉතුරුවෙලා ඉන්න මේ සෙනවිරත්න පරම්පරාව. කීරවැල්ල පරම්පරාව පිළිබදව දැනට සොයාගෙන ඇති ඵෙතිහාසික තොරතුරුත් සහ පුස්කොළ පොත් වලින් සොයාගත්ත කරුණුත් පෘතුගාලයෙන් සොයා ගත්ත ලිපි ලේඛණත් මම හොදින් පරික්ෂා කර බැලුවා. දැනට සොයාගෙන ඇති එම ඵෙතිහාසික හා සමාජ විද්‍යාත්මක සාධක සියල්ලම අනුව පැහැදිලිව ඔප්පු කරන්න පුලූවන් මේ අය සැබෑ ලෙසටම දළදාව ලංකාවට ගෙනාව කීරවැලි පරම්පරාවේ ලේ ඥාතීන් වශයෙන් සිටි රාජකීය කීරවැලි පරම්පරාවේ දැනට ඉතිරිවෙලා ඉන්න අවසාන පුරුක බව. අතීතයේදී දියවඩන නිළමේ තනතුර පරම්පරාවෙන් හිමි වුවත් මේ වන විට එම තනතුර හිමි වන්නේ ඡන්දයක් මතයි. ඡන්දයෙන් මේ තනතුර තෝරා පත් කර ගැනීමත් එක්ක මේ පරම්පරාවට තිබුණ සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම බිදවැටිලා. දැනට මෙවැනි පරපුරක් ඉතිරි වෙලා තියන එකත් ලොකු දෙයක්. ඒ නිසා මේ පරපුරට වාර්ෂිකව දළදා වහන්සේට පූජෝපහාර පවත්වලා දළදා මාළීගාවේ කටයුතු වලට සහභාගී වෙන්න ක‍්‍රමවේදයක් හදලා දෙනවා නම් කීරවැලි පරම්පරා නාමය ඉදිරියටත් නොනැසී පවති කියලා මං විශ්වාස කරනවා.“

  පඬුවස්නුවර – දර්ශි අතපත්තු

About ajantha

Check Also

moped_bike_robbery

යතුරු කටට කතුර දමා මෝපෙඩ් බයිසිකල් උස්සන හැටි මෙන්න ! (VIDEO)

මෝපෙඩ් වර්ගයේ සැහැල්ලු යතුරුපැදි සොරකම් කිරීමේ යෙදී සිටි බව කියන ආබාධිතයෙකු ඇතුලු තිදෙනෙකු සහ ඔවුන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *