Friday, April 19, 2024

හෙරොයින් වැටලීම්වලදී වසර තුනක් අසමත් වූ කුරුණෑගල අපරාධ අංශය 2017 දී වැඩ පෙන්වයි.

Must read

African American in Prison

පසුගිය වසර තුනක කාලය තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට අසමත් වූ නමුත් 2017 වසරේ මුල් මාස 10 තුළදී පමණක් මත්කුඩු ජාවාරම්කිරීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයින් 55 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති බව කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ දත්තවලින් අනාවරණය වෙයි.

කුරුණෑගල නගරයේ ව්‍යාපාරිකයින්, වෙළදසැල් සේවකයින් ඇතුලු සමාජයේ විවිධ පිරිස් දැනුවත් කර ආරක්ෂක කමිටු පිහිටුවීම හරහා ජනතාවගෙන් ලැබුණු තොරතුරුවල ආධාරයෙන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වූ බව කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. එම්. සී. දිසානායක මහතා කියයි. කුරුණෑගල කොට්ඨාශ විස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය සහ දූෂණ මර්දන ඒකකය මෙන්ම පොලිස් බුද්ධි අංශ නිලධාරින් යොදවා කළ මෙහෙයුම් ගණනාවක්ද මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට උපකාරී වී තිබේ.

කුරුණෑගල මූලස්ථාන පොලිස් අපරාධ විමර්ශණ අංශ වාර්තාවලට අනුව 2014, 2015 සහ 2016 යන වසරවලදී කිසිදු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට එම අංශයට හැකි වී නැත. එසේ නමුත් අන්තරාකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්තාවලට අනුව 2016 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හොරොයින් භාවිතා කළ පුද්ගලයින් 739 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අමතරව ගංජා භාවිතා කිරීම සමබන්ධයෙන් පුද්ගලයින් 2129 දෙනෙකු සහ වෙනත් මත්ද්‍රව්‍ය  භාවිතා කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 206 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අනුව නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 3074 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම ප්‍රමාණය නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධයෙන් 2016 වසරේදී සමස්ත දිවයිනෙන්ම අත්අඩංගුවට ගත් පිරිස අතරින් 3.9 ‰ ක් වෙයි.

 මේ පිළිබදව ජනාධිපති මත් නිවාරණ කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම පැවැසුවේ පසුගිය සමයේදී මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් සම්බන්ධයෙන් පොලිසියෙන් වාර්තා වූ දුර්වලතා හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරින් යොදවා වැටලීම් ආරම්භ කළ බවය. ඒ හේතුවෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් ප්‍රමාණය වැඩි වී ඇති නමුත් මත්ද්‍රව්‍ය භාවිතයේ අඩුවීමක් දක්නට නොමැතිවීම කණගාටුවට කරුණක් බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය. කෙසේවෙතත් පොලිසිය වෙනුවට විකල්ප ලෙස යොදවා ගත් සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරින්ගේ කාර්යක්ෂමතාවය පිළිබදව පවා තමන්ට සෑහීමකට පත්විය නොහැකි බවද වෛද්‍ය කිතලවආරච්චි මහතා වැඩිදුරටත් පැවැසීය.

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශය මගින් මෙම වසරේ මුල්මාස 10 තුළ සිදුකළ අත්අඩංගුවට ගැනීම්වලදී එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සන්තකයේ තිබූ ග්‍රෑම් 750 කට වැඩි මත්කුඩු තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ. මෙම සියලු අත්අඩංගුවට ගැනීම් 2017 ජනවාරි 17 වැනිදා කුරුණෑගල අපරාධ විමර්ශණ අංශය වෙත නව ස්ථානාධිපතිවරයෙකු පත්වීඒමෙන් පසුව සිදුකර තිබීම විශේෂත්වයකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් වැඩිදෙනෙකු කුරුණෑගල නගරයේ පිහිටි මැල්කන්ද, කොටකන්ද, වැව්ගල, විල්ගොඩ සහ එලුගල වැනි නොදියුණු ප්‍රදේශවල ජීවත්වන අය වන අතර, කොළඹ ප්‍රදේශයෙන් ඔවුන් වෙත සැපයෙන මත්කුඩු තොග, මිලිග්‍රෑම් එක බැගින් වන සේ ඇසුරුම් කර  කුරුණෑගල නගරය සහ ඒ අවට බෙදාහැර ඇති බව අනාවරණය වී තිබේ. මෙම පිරිසෙන් වැඩි දෙනෙකු මත්කුඩු භාවිතා කිරීමට ඇබ්බැහිවීමෙන් පසුව ඒවා ජාවාරම් කිරීමට පුරුදු වී ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. 2017 වසරේ මුල්කාර්තුව තුළදී, හොරොයින් භාවිතය සදහා ඇබ්බැහි වී සිටි කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ වෙසෙන පුද්ගලයින් 17 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවද අන්තරාකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් නිකුත් කළ කාර්තු වාර්තාවෙහි දැක්වෙයි.

කුරුණෑගල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන, කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එඩ්මන්ඩ් මහේන්ද්‍රන් යන මහත්වරුන්ගේ උපදෙස් මත කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් රත්නායක සහ සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක මංගල වික්‍රමනායක සහ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. එම්. සී. දිසානායක යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මෙම මත්කුඩු ජාවාරම්කරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article