Friday, April 19, 2024

දාපු ළමයි ගැන හිටපු ඇමැති හෙළිකරයි ! ‘‘ වයඹ අලු යට ගිනි BUDGET SPECIAL “

Must read

ayg_2017_12_14 ayg_2017_12_14_1

මහ ඇමැති ධර්මසිරි දසනායක විසින් පළාත් සභාවට ඉදිරිපත් කළ 2018 වර්ෂය සදහා වන අයවැය කෙටුම්පත පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් ඒකමතිකව සම්මත කරනු ලැබුවේ පසුගිය සිකුරාදා පස්වරුවේදීය. අයවැය ඒකමතිකව සම්මතවීම මහ ඇමැති ධර්මසිරිගේ අමන්දානන්දයට හේතු වූ බවක් පෙණුනු අතර ඒ නිසාදෝ අයවැය අවසන්වීමෙන් පසුව ප‍්‍රධාන අමාත්‍යංශ කමිටු රැස්වීම් ශාලාවේදී හදිසි මාධ්‍ය සාකච්ඡාවක්ද කැදවා තිබිණි. වයඹ පළාත් සභාව තුළ නොනිල වශයෙන් ක‍්‍රියාත්මක වෙමින් පවතින හවුල් ආණ්ඩුකරණයේ තවත් ප‍්‍රතිඵලයක් ලෙස මාධ්‍ය හමුව සදහා පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයෙන්ම මැති ඇමැතිවරුන් අසුන්ගෙන සිටීම විශේෂත්වයක් විය. මහ ඇමැති ධර්මසිරි, ඇමැති පියසිරි රාමනායක, ඇමැති සුමල් තිසේරා, මන්ත‍්‍රී එන්. ටී. එම්. තාහිර් ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මාධ්‍ය හමුවට වාඩි වී සිටි අතර, විපක්ෂ නායක ශමල් සෙනරත් සහ විපක්ෂ සංවිධායක චිත‍්‍රාල් ප‍්‍රනාන්දු විපක්ෂය නියෝජනය කරමින් මාධ්‍ය හමුවට වාඩි වී සිටියහ. වයඹ පළාත් සභා ඉතිහාසය තුළ සියලු අමාත්‍යංශ වැය ශීර්ෂ සහ අයවැය කෙටුම්පතක් මන්ත‍්‍රීවරුන්ගේ ඒකමතික ඡන්දයෙන් සම්මත වූ එකම අවස්ථාව මෙය වන බව මහ ඇමැති ධර්මසිරි ආඩම්බරයෙන් කීවේ විපක්ෂ නායක ශමල්වත් යාබද අසුනේ තබාගෙනය.

මහ ඇමැති ධර්මසිරි විසින් පසුගිය 05 වැනිදා වයඹ පළාත් සභාව වෙත ඉදිරිපත් කළ අයවැය සහ ඒ ඒ අමාත්‍යංශ වැය ශිර්ෂයන් පිළිබද විවාදය දින හතරක් පුරාවට පැවැත්විණි. සිව් දිනක් පුරාවට පැවැති අයවැය විවාදයට ඇණුම් බැණුම්, අපහාස උපහාස, වාද විවාදවලින් පමණක් නොව කවි සින්දුවලින්ද අඩුවක් නොවීය. පත්තරයක් පිරෙන තරමට වුවත් ලිවිය හැකි තරමේ රසවත් සහ උණුසුම් අදහස් මෙන්ම සිදුවීම්ද ඉපිද වූ වයඹ අයවැය විවාදයේ ‘‘හොදම ටික’’වෙනුවෙන් අද අඵ යට ගිනි පිටුවේ සම්පූර්ණ ඉඩ වෙන්කෙරෙයි.

අයවැය විවාදයේ දෙවැනි දිනය වෙන්වී තිබුණේ වයඹ ප‍්‍රධාන අමාත්‍යංශය වෙනුවෙනි. මහ ඇමැති ධර්මසිරි යටතේ පවතින අධ්‍යාපන, පළාත් පාලන සහ පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තු මෙන්ම ජනකලා කේන්ද්‍රය, පරිසර අධිකාරිය, කර්මාන්ත සේවා කාර්යංශය ඇතුලු ව්‍යස්ථාපිත ආයතන අටක් සම්බන්ධයෙන් එම විවාදයේදී මන්ත‍්‍රීවරුන් අදහස් දැක්වූහ. සෙසු ආයතනවලට වඩා අධ්‍යාපනය සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරුන් වැඩි බරක් තබා අදහස් දැක් වූ අතර පළාත් සභා රැස්වීම් ශාලාවේ මහජන ගැලරියෙන් වැඩි කොටසක්ම පිරීගොස් තිබුණේ කලාප, කොට්ඨාශ අධ්‍යක්ෂවරුන් ඇතුලු පළාත් අධ්‍යාපන නිලධාරින්ගෙනි. ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අදහස් දැක් වූ මන්ත‍්‍රී ආර්. එම්. එම්. රත්නායක පාසල්වල පවතින අඩුපාඩු සම්බන්ධයෙන් අදහස් දැක්වීය. ‘‘අපේ පළාතේ බොහෝ පාසල්වල දරුවන්ට ඉගෙනගන්න හරි හමන් පන්ති කාමරයක් නැහැ. වැස්සට තෙමෙමින්, අව්වට වේලි වේලි තමයි මේ දරුවෝ ඉගෙන ගන්නේ. මේ තත්වය ගැන ඇත්තමට මට හරි කණගාටුයි. මට සල්ලි තිබුණා නම් මම මේ දරුවන්ට ගොඩනැගිල්ල ගාණේ හදලා දෙනවා. නමුත් මගේ ගෙදර බිත්ති ටික කපරාරු කරගන්න වත්කමක් නැති මම කොහොමද ලක්ෂ විසිපහ, තිහ දීලා අලුතෙන් ගොඩනැගිලි හදවන්නේ.’’මන්ත‍්‍රී රත්නායක සංවේදී අයුරින් කීවේය.

ප‍්‍රධාන අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයේදී විපක්ෂය වෙනුවෙන් අදහස් දැක්වීමට එජාප මන්ත‍්‍රී අජිත් රෝහණ නැගී සිටීමත් සමග සුපුරුදු ලෙසම සභාව සිනා සාගරයකට පෙරළිණි. ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ අපහාස උපහාස මැද අජිත් පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් අදහස් දැක්වීය. ‘‘ඒකාබද්ධ විපක්ෂයේ කට්ටිය දැන් කියනවා පළාත් පාලන ආයතනවල මන්ත‍්‍රීවරු නැති නිසා ඩෙංගු වැඩිවෙලාලු. මන්ත‍්‍රීවරු නැති නිසා ඩෙංගු වැඩිවෙලා කියන්නේ මොකෝ ඒ කාලේ මන්ත‍්‍රීවරු ගිහින් දුම් ගැහැව්වැයැයි. ’’අජිත් සිය උපහාස ස්වරයෙන් කියද්දී සභා ගැබ සිනහවේ ගිලීගියේය. අජිත්ගේ එම ප‍්‍රකාශයත් සමග ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ කෑකෝ ගැසීම් වැඩි වූ අතර ‘‘ඕවා පොල්ගහවෙල නැති වුණ හිතේ අමාරුවට කියන කතා. ’’යැයි කියනු ඇසිණි. ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ බාධාකිරීම් මැද සිය කතාව අවසන් කළ අජිත් සිය අසුනේ වාඩිවුණේ ‘‘මේ මෝඩ හැතිකරේ මට කතා කරන්නවත් දෙන්නේ නෑ. ’’යැයි ආණ්ඩු පක්ෂය දෙසට අත දිගුකර කියමිනි.

විපක්ෂ මන්ත‍්‍රී මංජුල බණ්ඩාර සිය අදහස් දැක්වීම අවසානයේදී අයවැය විවාදයට සවන්දීමට පැමිණ සිටි අධ්‍යාපන නිලධාරින්ට ස්තූති කරන්නට අමතක නොකළේය. ‘‘වයඹ අධ්‍යාපනය සම්බන්ධයෙන් කරන කැපවීම සම්බන්ධව මම මේ වෙලාවේ අපේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමාට, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමාට සහ කලාප අධ්‍යක්ෂවරු ඇතුලු සියලු නිලධාරින්ට ස්තූති කරන්න ඕනෑ.’’යැයි මංජුල කීවේය. මංජුල ඉදිරිපිට ආණ්ඩු පක්ෂය පැත්තේ අසුන්ගෙන සිටි ඇමැති සුමල් තිසේරා ‘‘ඇයි ගුරු උපදේශකවරු ?’’යැයි කියමින් මංජුලට නක්කලේ දැම්මේය. ඇමැති සුමල්ගේ උපහාසය සිනාමුසු මුහුණින් පිළිගත් මංජුල ‘‘ඔව්, ගුරු උපදේශකවරු, කොට්ඨාශ අධ්‍යක්ෂවරු, විෂය අධ්‍යක්ෂවරු, විදුහල්පතිවරු, ගුරුවරු, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුලූ මේ සියලු දෙනාට ස්තූතියි. ඒ වගේම කතාවේ අමතක වුණු තැන් මතක් කරලා මට උදව් කිරීම ගැන අපේ කෘෂිකර්ම ඇමැතිතුමාටත් ස්තූතියි. ’’යැයි කී මංජුල හැරෙන තැපෑලෙන් සුමල් වෙත ද හින්ට් එකක් පාස් කළේය.

මහ ඇමැති ධර්මසිරි අප් කරන්නට හෙවත් ටිකක් ඔසවා තබන්නට ගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ මන්ත‍්‍රී රංජිත් ගුණසේකරට අයවැය විවාදයේ දෙවැනි දිනයේදී ඇබැද්දියකටත් මුහුණපාන්නට සිදුවිය. මන්ත‍්‍රී ගුණසේකර සිය කතාව අතරමගදී කීවේ ‘‘ගරු මහ ඇමැතිතුමනි, මට පේනවා මේ අධ්‍යාපනයේ විශාල හිඩැසක් තියෙනවා කියලා. අපේ හිටපු ඇමැතිතුමා පවා මේ හිඩැස දැකලා නැහැ. ’’ගුණසේකර කියද්දී සභාව පුරා සිනා හඩ පැතිරී ගිය අතර ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු මන්ත‍්‍රී ගුණසේකර වෙත උසුඵ විසුලු කරන්නට වූහ. ‘‘ඕ අයි සී වෙලා ඉන්න කාලේ හිඩැස හොයාගන්න බැරිවුණාද ?’’මන්ත‍්‍රී සුමිත් රාජපක්ෂ මහහඩින් කීවේය. ‘‘පොඩි තව්, පොඩි තව් ’’යැයි මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් ඇතුලු පිරිසක් කෑ ගසන අයුරුද ඇසිණි. ‘‘ඔයාට හිඩැස් පේන කාලේ පහුවුණා. ඔයාට දැන් හිඩැස් පේන්නේ නෑ.’’මන්ත‍්‍රී සන්ධ්‍ය කීවේය. විපක්ෂයේ බාධාකිරීම් ගණනකට නොගත් ගුණසේකර සිය අදහස් දැක්වීම දිගටම කරගෙන ගියේය. ‘‘දැන් බලන්න ප‍්‍රධාන ඇමැතිතුමනි, ඔබතුමා විසින් වයඹ අධ්‍යාපනයේ දැක්ම විදිහට යොදාගෙන තිබෙන මේ පාඨය. ප‍්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්. මොනතරම් වටිනා පාඨයක්ද ? ’’ගුණසේකර කියද්දී ආණ්ඩු පක්ෂය පැත්තෙන් නැගී සිටියේ හිටපු අධ්‍යාපන ඇමැති සන්ධ්‍ය රාජපක්ෂය. ‘‘මේ ඔයා නොදන්න දේවල් කතා නොකර ඉන්න. අවුරුදු විසි හතරක් තිස්සේ තියෙන්නේ ඔය දැක්ම තමයි. ඕක මගේ කාලෙත් තිබුණා, ඊට ඉස්සරත් තිබුණා. ඇමැති මාරුවුණාට අධ්‍යාපනයේ දැක්ම මාරුවෙන්නේ නැහැ. මෙයා හිතාගෙන ඉන්නේ ඇමැතිගෙන් ඇමැතිට අධ්‍යාපනයේ දැක්ම මාරුවෙනවා කියලා. ’’යැයි සන්ධ්‍ය කියද්දී ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු කොක්හඩලා සිනාසුණහ.

මෙම විවාදයේදී මන්ත‍්‍රී චිත‍්‍රාල් ප‍්‍රනාන්දු වෙන්නප්පුවේ පාසලකට ළමුන් ඇතුලත් කිරීම ගැනත්, මන්ත‍්‍රී ධර්මසිරි ඇරැව්ගොඩ ප‍්‍රශ්නපත‍්‍ර මුද්‍රණය කිරීමේ ගැටලු ගැනත් විවේචනාත්මක ලෙස අදහස් දැක්වූහ. ප‍්‍රධාන අමාත්‍යවරයාගේ පිළිතුරු කතාවට පෙර අවසන් අදහස් දැක්වීම ලැබී තිබුණේ මන්ත‍්‍රී සන්ධ්‍ය රාජපක්ෂ වෙතය. 2017 වසරේ මාස දහයක පමණ කාලයක් අධ්‍යාපන ඇමැතිධුරය හෙබවූ සන්ධ්‍ය මන්ත‍්‍රීවරුන්ගෙන් එල්ල වූ එක් එක් චෝදනාවලට පිළිතුරු දෙන්නට කටයුතු කළේ හිටපු ඇමැතිවරයා ලෙස අදාල චෝදනාවල වගකීම තමන් වෙත භාරගනිමිනි. සන්ධ්‍ය කතාව ආරම්භ කර විනාඩි කිහිපයකට පසුව මන්ත‍්‍රී චිත‍්‍රාල් සිය අසුනෙන් නැගිට්ටේය. ‘‘සමාවෙන්න ඇමැතිතුමා, ඔබතුමා දැන් ඇමැති නෙවෙයි මන්ත‍්‍රීනේ. ඒ නිසා වැඩිපුර කාලය ලැබෙන එකක් නැහැ. කාලය ඉවරවෙන්න කලින් අර කොන්වන්ට් එක ගැන මම අහපු ප‍්‍රශ්නයට උත්තර දෙනවද ? ඉස්සර පුරුද්දට ගොඩක් කතා කරන්න යන්න එපා. ’’චිත‍්‍රාල් කියද්දී විපක්ෂයෙන් සිනාහඩක් මතුවිය. බයවෙන්න එපා, ‘‘උත්තර දෙනවා. මට ටෙ‍්‍රවින් මන්ත‍්‍රීතුමාගේ කාලෙත් දීලා තියෙන්නේ කතාකරන්න කියලා. හරි මම එහෙනම් ඕකට උත්තර දීලා ඉන්නම්කෝ. ’’ සන්ධ්‍ය කියද්දී සන්ධ්‍යට පසුපස අසුනේ සිටි මන්ත‍්‍රී මල්රාජ් පීරිස් ‘‘බූරුවගේ වැඩේ කරන්න යන්න එපා හලෝ. ’’යැයි කියමින් චිත‍්‍රාල්ට බැණවදින අයුරුද ඇසිණි. ඝෝෂාව මැද්දේම සන්ධ්‍ය දිගටම කතා කළේය. ‘‘පාසල්වලට ළමයි බදවාගනිද්දී අද විතරක් නෙවේ දැනට අවුරුදු විසි අටක් තිස්සේ ඉදන්ම වුණේ, මන්ත‍්‍රීවරුන්ගේ සහ වෙනත් අයගේ අභියාචනා ලැබුනයින් පස්සේ අර ලැයිස්තුවේ ඉතුරු ප‍්‍රමාණයට කෙලින්ම නම් කරලා යවන එකයි. හැබැයි අපි සම්මුඛ පරීක්ෂණයක් තියලා ඒක කළා. හරි, ශමල් සෙනරත් මැතිතුමාගේ ළමයි මම දාලා දීලා නැද්ද ? අජිත් රෝහණගේ ළමයි මම දාලා දීලා නැද්ද ?’සන්ධ්‍ය විපක්ෂයේ සිටි ශමල් සහ අජිත් රෝහණ වෙත ඇගිල්ල දිගු කර අහද්දී ආණ්ඩු පක්ෂය ගලක් වැදුණු දෙබරයක් මෙන් ඇවිස්සී ගියේය. සිය අසුන්වලන් නැගී සිටි ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු විපක්ෂනායක ශමල් දෙසට දෑත් දිගු කරමින් කෑ කෝ ගසන්නට වූයේ එතෙක් සැගවී තිබූ රහසක් හෙළිකරගත් පිරිසකගේ හැසිරීම පෙන්වමිනි. ආණ්ඩු පක්ෂයේ සමච්චල් කිරීම් මැද ශමල් නැගී සිටියේය. ‘‘මම මෙතුමාගෙන් ඉල්ලීමක් කළා තමයි. නමුත් අදටත් ඒ දරුවා ඉස්කෝලෙට අරගෙන නෑ.’’ශමල් කීවේය. සන්ධ්‍ය ඊට අනිත් පැත්තට උත්තර දුන්නේය. ‘‘ මම බොරු කියන්නේ නෑ. මම තමුන්නාන්සේලාට ගෙනත් පෙන්වන්නම්. මෙතුමා දුන්නු නමක් මම දාලා දීලා තියෙනවා ඉස්කෝලෙකට. මම ළග ඊට අදාල සියලු ලිපි ලේඛණ තියෙනවා. හරි, අජිත් රෝහණ මම ළමයි දාලා දීලා නැද්ද ? “ සන්ධ්‍ය කෙලින්ම මන්ත‍්‍රී අජිත් රෝහණ ප‍්‍රශ්න කළේය. සන්ධ්‍යගේ කටේ තරම දන්නා නිසාදෝ අජිත් රෝහණ ඊට ඔව් යැයි කීවේ හිස දෙපසට වනමිනි. අජිත්ගේ එම ප‍්‍රතිචාරය ආණ්ඩු පක්ෂයට හොද උත්තේජනයක් සැපයූ බවක් පෙන්වමින් ආණ්ඩු පක්ෂයෙන් යළිත් මහා ඝෝෂාවක් නැගිණි. ඝෝෂාව මැද්දේම සන්ධ්‍ය කතා කළේය. ‘‘මම කිසිම දේශපාලනයක් බලන්නේ නැතිව ළමයි ඉස්කෝලවලට දාලා දුන්නා. වෙන එකක් තියා යූඇන්පි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට පවා මම ළමයෙක් ඉස්කෝලෙකට දාලා දීලා තියෙනවා. ’’සන්ධ්‍ය දිගින් දිගටම කතා කරන්නට විය. සන්ධ්‍යගේ ප‍්‍රහාරය හමුවේ විපක්ෂ නායක ශමල් සුපුරුදු අවිය සන්ධ්‍යට එරෙහිව ඔසවන්නට විය. ‘‘ඇමැතිකම නැතිවෙච්ච හිතේ අමාරුවට කෑ ගහනවා. ’’ශමල් කීවේය. ශමල්ගේ එම කතාව සන්ධ්‍යගේ කටේ සැර වැඩි කළ බවක් පෙණුනු අතර සන්ධ්‍ය වෙඩි උණ්ඩ වැළක් වැනි වචන වැලකින් ශමල් අමතන්නට විය. ‘‘හරි, මගේ ඇමැතිකම නැතිවුණා කියෙමුකෝ. ඔයා මොකද ? ඔයා හැමදාම ඔතැන තමයි. ඔයා පටන්ගත්තේ ඡන්ද 75000 කින්. ගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් මුලු කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන්ම ගත්තේ ඡන්ද 22000යි. මම ඉස්කෝලේ යන කාලෙත් මෙයා පළාත් සභාවේ. අවුරුදු විසි පහක් තිස්සේ පළාත් සභාවේ. ලැජ්ජා නැද්ද ? මෙයාගේ ගෝලයෝත් දැන් කැබිනට් ඇමැතිවරු. පාර්ලිමේන්තු යන්නා තියා පාර්ලිමේන්තු යන පාරවත් තව දන්නේ නැහැ. අනුන්ගේ තනතුරු ගැන දුක්වෙන්න ඉස්සරවෙලා කණ්නාඩියක් ඉස්සරහට ගිහින් තමන් දිහා බලාගත්තා නම් හරි.’’සන්ධ්‍ය ශමල්ගේ මූණටම කියාගෙන කියාගෙන ගියේය. සන්ධ්‍යගේ දැඩි ප‍්‍රහාරය මැද අමාරුවෙන් ඉඩක් ලබාගත් ශමල් කීවේ ‘‘ඔච්චර තරහ ගන්න එපා. නැත්නම් නහරක්වත් පුපුරලා තව මගුලක් වෙයි මෙතැන ඊළගට.’’යැයි කියාය. ශමල්ගේ එම කතාව සභාවත් සමග සිනාහඩ සභාවේ පැතිරිණි. ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී ආනන්ද චන්ද්‍රලාල් අයවැය ගැන සිය අදහස් දැක්වූයේ කවි පන්තියකිනි. අවසන් කවියෙන් තමා නියෝජනය කරන පොහොට්ටුවට ජය පැතීමටත් ආනන්ද වගබලා ගත්තේය.

වයඹ පළාත් මාර්ග, ප‍්‍රවාහන, නිවාස හා ඉදිකිරීම්, කර්මාන්ත සහ ග‍්‍රාම සංවර්ධන ඇමැති ගුණදාස දෙහිගම අසනීප තත්වයක් හේතුවෙන් මෙවර අයවැය විවාදයට සහභාගි නොවූ නමුත් ඔහුගේ අමාත්‍යංශයේ වැය ශීර්ෂයත් පළාත් සභාවේදී ඒකමතිකව සම්මත විය. පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරු කිහිපදෙනෙකුම කෙටියෙන් කරුණු දැක්වීමෙන් පසුව දෙහිගමගේ අමාත්‍යංශ වැය ශීර්ෂය සම්මත කර ගැණිනි. දෙහිගමගේ අමාත්‍යංශයේ වැය ශීර්ෂය කෙටියෙන් විවාද කර අවසන්කිරීම හේතුවෙන් අයවැය ඡන්ද විමසීමත් කල්වේලා ඇතිවම පැවැත්වීමේ දුලබ වරමක් එදින වයඹ සභාවට පළාත් සභාව වෙත උදාවිය. මක්නිසාද යත් පෙර වර්ෂවලදී අවසන් දිනට නියමිත අමාත්‍යංශ වැයශීර්ෂ විවාදයන් බොහෝ දීර්ඝව ඇදීයාම හේතුවෙන් අයවැය ඡන්ද විමසීම පවත්වන්නට සිදුවූයේ රාත‍්‍රි කාලයේදීය. එම විවාදයේදී මන්ත‍්‍රී සන්ධ්‍ය රාජපක්ෂ තවත් අංචියක් ඇද්දේ තමන් හැදූ වෙන්නප්පුවේ පාරකට එජාප අපේක්ෂකයින් දෙදෙනෙකු විසින් බෝඩ් ගසාගෙන ඇති බව කියමිනි. අදාල සිදුවීම මුල්කරගනිමින් සන්ධ්‍ය විසින් එජාපය දැඩි ලෙස විවේචනය කිරීම ගැන විපක්ෂ මන්ත‍්‍රී සහබ්දීන්ට ඇල්ලුවේ නැත. ඔහු සන්ධ්‍යගේ අදහස් දැක්වීමට බාධාකරන්නට වූ අතර එම බාධාකිරීම ගැන සන්ධ්‍යට යකා නැග්ගේය. ‘‘පොල්ගහවෙල ඉදගෙන වෙන්නප්පුවේ පාරවල් ගැන ඔයා මොනවාද දන්නේ ? කොළඹට වෙලා ඉදලා අද විතරක් පළාත් සභාවට ඇවිත් මොනවද මේ කියන්නේ ? වාඩිවෙන්න. ’’ සන්ධ්‍ය කියද්දී ආණ්ඩු පක්ෂයේ සෙසු මන්ත‍්‍රීවරුන්ද සහබ්දීන් වෙත අවලාද නගන්නට වූහ. අවලාද අසමින් වුවත් මන්ත‍්‍රී සහබ්දීන්ද සන්ධ්‍යගේ අදහස්වලට පෙරළා ප‍්‍රතිචාර දක්වන්නට විය. ‘‘අයිසේ, තමුසේ ඉදගන්නවා.’’බැරිම තැන සන්ධ්‍ය කීවේය. සැණෙකින් නැගී සිටි විපක්ෂ නායක ශමල් , සන්ධ්‍ය විසින් තමුසේ යන වචනය භාවිතා කිරීම ගැන විරෝධය පළකළේය. ‘‘හරි, මම ඒ ටික හැන්සාඩ් එකෙන් අයින් කරන්නම්. ‘‘ආරවුල සමථයකට පත්කරවමින් සභාපති ටිකිරි බණ්ඩා කීය.

අයවැය විවාදයේ අවසන් වැය ශීර්ෂය ලෙස විවාදයට ගනු ලැබුවේ ඇමැති සුමල්ගේ කෘෂිකර්ම අමාත්‍යංශය පිළිබද විවාදයයි. විශ‍්‍රාමික පොලිස් නිලධාරියෙකු මෙන්ම ඉඩම් හිමි වැවිලිකරුවෙකු වන මන්ත‍්‍රී රංජිත් ගුණසේකර එම විවාදයේදී අදහස් පළකලේ වගාව පිළිබද සිය ප‍්‍රායෝගික අත්දැකීම්ද පැහැදිලි කරමිනි. ‘‘මගේ වත්තේ මෙන්න මේ තරමේ කෙහෙල්කැන් හැදෙනවා.’’යැයි කියූ ගුණසේකර වරෙක දෑත් දෙසපසට විහිදා කෙසෙල්කැනේ ප‍්‍රමාණය පෙන්වද්දී ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු සිනාසෙන්නට වූහ. ‘‘ හිනා නෙවෙයි, රුපියල් දෙදාස් පන්සීයක්, තුන්දාහක් විතර මුදලකට කොළඹින් ගන්නවා ඒ කෙහෙල්කැන්. නමුත් ගම්වල ගොවීන්ගේ කෘෂි නිෂ්පාදනවලට එවැනි මිලක් ලබාගන්න බැහැ. ’’ ගුණසේකර කීවේය. ‘‘ඉතිං ඔයාට තියෙන්නේ ගමේ මිනිස්සුන්ගේ කෙහෙල්කැන් ටිකත් එකතු කරගෙන කොළඹ ගෙනියන එකනේ. ’’මන්ත‍්‍රී මල්රාජ් කියද්දී ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු බක බක ගා සිනාසෙන්නට වූහ. ‘‘හිනාවෙන්න දෙයක් නෙවෙයි මම මේ ඇත්ත කියන්නේ. අද උදේ මගේ වගාවේ පොටෝ ගහලා ඔස්ටේ‍්‍රලියාවේ ඉන්න මගේ දරුවන්ටත් යවලයි මම අද මෙතැනට ආවේ. ඒ තරම් සතුටක් මට මේ වගාවෙන් තියෙනවා. ’’යැයි ගුණසේකර කීවේය.

දින හතරක අයවැය විවාදය අවසන්කරමින් ඒ පිළිබද ඡන්ද විමසීම පැවැත්වුණේ පසුගිය සිකුරාදා පස්වරුවේදීය. එහිදී එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් සමග එක්ව ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන මන්ත‍්‍රීවරුන්ද අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කිරීම විශේෂත්වයක් විය. ඒ අනුව 2018 වයඹ අයවැය ඒකමතිකව සම්මත වූ අතර එම දුලබ අවස්ථාව උදාවී තිබුණේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රී නාමල් කරුණාරත්න ඒ වනවිට සභාගැබේ නොසිටීම හේතුවෙනි. නාමල් සභාගැබේ සිටියා නම් මෙම තත්වය වෙනස්වීමට වැඩි ඉඩක් තිබූ අතර ඡන්ද විමසීමේදී නාමල් අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කරන්නට අවස්ථාව තිබිණි. එදින දහවල් කාලයේත් නාමල් සභා ගැබේ රැදී සිටි නමුත් ඡන්දය විමසන අවස්ථාව වනවිට නාමල් සිටියේ පළාත් සභාවේ අල්ලපු වැටේ පිහිටි කුරුණෑගල මැතිවරණ කාර්යාලයේය. ඒ ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ඇප තැන්පත් කිරීමේ කටයුත්තේ නියැලෙමිනි. ඇප තැන්පත් කිරීමේ කටයුත්ත අවසන් වූ සැණින් නාමල් දනිපනි ගා සභා ගැබට පැනගත් නමුත් ඊට මිනිත්තු කිහිපයකට පෙර අයවැය ඡන්ද විමසීම අවසන් වී තිබිණි. කෙසේවෙතත් අයවැය ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේදී වයඹ පළාත් සභාව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 52 දෙනාගෙන් සභාගැබ තුළ රැදී සිටියේ මන්ත‍්‍රීවරුන් 36 දෙනෙකු පමණි. මන්ත‍්‍රීවරුන් වෙත පැවැරී ඇති වගකීම් පැහැරහැරීම සහ කඩකිරීම ගැන වැඩිපුර ලියන්නට යාම ඇතැම් මන්ත‍්‍රීවරුන්ගේ වෛරයට පවා පාත‍්‍රවිය හැකි කාරණාවක් වුවත්, අතිශය කණාගාටුවෙන් යුතුව ලියා තබන්නට සිදුවන්නේ වයඹ පළාතේ ජනතාව විසින් පත්කර එවූ ගරු මන්ත‍්‍රීවරුන් පහලොස්දෙනෙකුම අයවැය ඡන්ද විමසීමේදීවත් පළාත් සභා ගර්භය තුළ රැදී නොසිටිය බවය. ඒ අතරින් අසනීප තත්වය මත පළාත් සභාවෙන් නිවාඩු ලබාගෙන තිබුණේ ඇමැති දෙහිගම පමණක් බවද වැඩිමනත් ලියා තැබිය යුතුවෙයි.

උපුටාගැනීම – ජනයුගය පුවත්පත, 2017 දෙසැම්බර් 14  වැනිදා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article