Thursday, April 18, 2024

කුරුණෑගල මැද්දේ , නගරාධිපති යුද්දේ !

Must read

ayg_2017_12_21

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාරගැනීම අවසන්වීමට ඇත්තේ නියමිතව ඇත්තේ අද දහවල් දොළහටය. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් තම පක්ෂවලට අදාල නාම යෝජනාපත‍්‍ර ඊයේ දහවල් කුරුණෑගල දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරි ගාමිණී ඉලංගරත්න වෙත භාරදුන් අතර එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අද දිනයේදී නාමයෝජනා භාරදීමට නියමිතව තිබිණි. මැතිවරණ කොමිසම විසින් මැතිවරණ දිනය ලෙස පෙබරවාරි 10 වැනිදා නම් කෙරුණේ පසුගිය සදුදා දිනයේදී වුවත් නාමයෝජනා සකස්කිරීම මුල්කරගනිමින් ඊට පෙර සිටම දේශපාලන කරළිය නම් හොදහැටි රත් වී තිබිණි. නාමයෝජනා මුල්කරගනිමින් ඒ ඒ පක්ෂ තුළ ඇතිව තිබූ ආරවුල්, සිත්රිදවීම්, කලකිරීම්, අඩදබර ආදිය පිල්මාරු කිහිපයකටත් මුලපුරා තිබිණි. එබැවින් අද අඵ යට ගිනි ඉඩ වෙන්කෙරෙන්නේ මැතිවරණය එළඹෙන්නටත් පෙර රත් වී ගිය වයඹි දේශපාලනයේ පුංචි ඡන්ද සූදානමේ නොඇසුණු සහ නොකියැවුණු සිදුවීම් වෙනුවෙනි.

කුරුණෑගල එජාප අපේක්ෂකයෝ දැඩි තීන්දුවක.

වයඹ පළාතේ එකම මහ නගර සභාව වන කුරුණෑගල මහ නගර සභාව වෙනුවෙන් අපේක්ෂක ලැයිස්තු සකස්කරන්නට යාමේදී ප‍්‍රධාන පක්ෂ තුනෙහිම විවිධ ගැටලු සහ ආරවුල් ඇති වී තිබිණි. එජාප අපේක්ෂක කණ්ඩායම තුළ ගැටුමක් හටගෙන තිබුණේ නගරාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමක් සම්බන්ධයෙනි. කුරුණෑගල එජාප කළමණාකරු ලෙස කටයුතු කරන නීතිඥ ෆිලීෂියන් පෙරේරා නගරාධිපති අපේක්ෂකත්වය දිනාගැනීම වෙනුවෙන් වැඩ පටන්ගෙන තිබුණේ මීට වසරකටත් පෙර සිටය. මැතිවරණය පෙනෙන මානයේ නොතිබියදී පවා තමන් නගරාධිපති අපේක්ෂක ලෙස ඇගවෙන අයුරින් කටයුතු කළ ෆිලීෂියන් මැතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමත් සමග තමන් එජාප නගරාධිපති අපේක්ෂකයා ලෙස හදුන්වාගනිමින් එළිපිටම වැඩට බැස්සේය. එජාපය විසින් කුරුණෑගල නගරාධිපති අපේක්ෂකයා ලෙස නිල වශයෙන් තමන්ව නම් කර ඇති බව කී ෆිලීෂියන් මුහුණුපොත ඔස්සේ පවා ඒ පිළිබද ප‍්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ කර තිබිණි. ෆිලීෂියන් විසින් එල්ලාගෙන තිබූ නගරාධිපති අපේක්ෂක බෝඩ් ලෑල්ල කුරුණෑගල මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක වරුණ පේ‍්‍රමරත්න ඇතුලු අනෙක් අපෙක්ෂකයින් කලබල කරවන්නට සමත් වී තිබිණි. ඒ නිසාමදෝ නගරාධිපති අපේක්ෂකයෙකු නම් කිරීම මුල්කරගනිමින් දෙපිරිස අතර සීතල සටනක් ආරම්භ වූ අතර එජාප සෙසු අපේක්ෂකයින්ගේ ඉල්ලීම වූයේ නගරාධිපති අපේක්ෂකත්වයට කිසිවෙකු නම් නොකර එම අපේක්ෂකත්වය විවෘතව තබන ලෙසටය. නමුත් එජාපයේ ඉහළපෙළ සමග ඇති සබදතා උපරිම ලෙස පාවිච්චි කළ ෆිලීෂියන් දිගින් දිගටම කටයුතු කරමින් සිටියේ සිය නගරාධිපති අපේක්ෂකත්වය යළි යළි තහවුරු කරගැනීමටය. කුරුණෑගල එජාප සංවිධායක, නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ වෙතින් පළවූයේද නගරාධිපති අපේක්ෂකත්වයට කිසිවෙකු නම් නොකිරීමේ තීරණය අනුමත කරන පිළිවෙතකි. ඒ නිසාම නියෝජ්‍ය ඇමැති අශෝක් වෙතද ඇගිලි දිගුවන්නට වූයේ ඔහුගේ බිරිද කුරුණෑගල නගරාධිපති ධූරයට පත්කිරීමේ සැලසුමක් මත ෆිලීෂියන්ගේ නගරාධිපති අපේක්ෂකත්වයට අකුල් හෙලන බව කියමිනි. නගරාධිපති අපේක්ෂක සටන තවදුරටත් රත්කරවමින් සිය සුදුසුකම් සහිත (නම් ගම් රහිත ) කටවුට් කිහිපයක් කුරුණෑගල නගරය පුරා ප‍්‍රදර්ශණය කරවන්නට ෆිලීෂියන් විසින් මීට දෙසතියකට පෙර ක‍්‍රියාකර තිබූ අතර අපේක්ෂක සටනේ උණසුම පෙන්වමින් එම කටවුට්වලින් කිහිපයක්ම පිහිපහර වැදී කැපී ගොස් තිබිණි. නගරාධිපති අපේක්ෂකත්වය දිනාගැනීම වෙනුවෙන් ෆිලීෂියන් එලෙස හුදෙකලා සටනක නිරතවෙමින් සිටියදී අනෙක් සියලු අපේක්ෂකයින් ඊට එරෙහිව සටන් වදින බවක් පෙනෙන්නට තිබිණි. ෆිලීෂියන් සහ සෙසු අපේක්ෂකයින් යන කණ්ඩායම් දෙකම ඉලක්ක කරගත් විවිධ ආරංචි, කටකතා සහ ඕපාදූපයන්ද කුරුණෑගල නගරය සිසාරා පියඹා යමින් තිබූ අතර දේශපාලනයේදී මුල්තැන්හි ලා නොසැලකෙන ආගම, සමාජ තත්වය වැනි පුද්ගලබද්ධ කරුණු අලලා නිර්මාණය වූ හුදු මඩ ප‍්‍රචාරයන්ද ඒ අතර විය. කුරුණෑගල මහනගර සභාව සහ කුරුණෑගල ප‍්‍රාදේශීය සභාව වෙනුවෙන් එජාපයෙන් තරග වදින සියලු අපේක්ෂකයින් පසුගිය සදුදා උදෑසන නියෝජ්‍ය ඇමැති අශෝක් විසින් සිය නිවසට කැදවා තිබුණේ නාමයෝජනාපත‍්‍රවලට අස්සන් තැබීමටය. කොට්ඨාශවලින් තරග කරන අපේක්ෂකයින් මෙන්ම අතිරේක ලැයිස්තුවලට ඇතුළත්ව සිටින අපේක්ෂකයින් සියලුදෙනාත් එදින අශෝක් ඉදිරිපිටදී නාමයෝජනා පත‍්‍රවලට අස්සන් තැබූ නමුත් ෆිලීෂියන් පෙරේරා නම් නාමයෝජනා අස්සන් තැබීමට එහි පැමිණියේ නැත. ඒ අනුව ෆිලීෂියන්ගේ අස්සනෙහි අඩුව පමණක් ඉතිරිකරමින් කුරුණෑගල මහනගර සභාව වෙනුවෙන් එජාප නාමයෝජනා ලැයිස්තුව සකසා අවසන් කෙරිණි. ඉන් අනතුරුව පැවැති සාකච්ඡාවකදී කුරුණෑගල මහ නගර සභා එජාප අපේක්ෂක පිරිස විසින් ආන්දෝලනාත්මක යෝජනාවක්ද සම්මත කරගත්හ. අපේක්ෂක සුමේධ අරුණශාන්ත විසින් ගෙනා එම යෝජනාවෙන් කියැවුණේ ෆිලීෂියන් නගරාධිපති අපේක්ෂකත්වයට නම් කරන්නේ නම් අනෙක් සියලු අපේක්ෂකයින් මැතිවරණයට තරග කිරීමෙන් ඉවත්වන බවකි. හිටපු මන්ත‍්‍රී බුද්ධික ඇලේලේපොල විසින් එම යෝජනාව ස්ථිර කළ අතර සෙසු අපේක්ෂකයින් සියලූදෙනා අත් ඔසවා ඊට ඒකමතික අනුමැතිය පළකලහ. අදාල යෝජනාව පිළිබදව සිරිකොත මූලස්ථානය දැනුම්වත් කරන ලෙසට මන්ත‍්‍රීවරු අශෝක්ට දැනුම්දුන්හ.මේ හේතුවෙන්දෝ ඊයේ පස්වරුව වනතෙක්ම ෆිලීෂියන් විසින් සිය නාමයෝජනාවට අස්සන් තැබූ බවක් දැනගත හැකි නොවීය. ජනයුගය මුද්‍රණයට යන අවස්ථාව වනවිට අඵ යට ගිනි වෙත ලැබුණු නිලනොලත් ආරංචිවලින් කියැවුණේ උද්ගත වී ඇති අර්බුදකාරී තත්වය හමුවේ ෆිලීෂියන් විසින් අපේක්ෂක ලැයිස්තුවෙන්ද ඉවත්වීමට තීරණයක් ගෙන ඇති බවකි. යම් හෙයකින් ෆිලීෂියන් අපේක්ෂකත්වයෙන් ඉවත්වන්නේ නම් එම පුරප්පාඩුව සදහා හිරියාල හිටපු එජාප සංවිධායක ආසිරි හේරත් පත්කෙරෙන බවද කියැවෙමින් තිබිණි. පත‍්‍රය මුද්‍රණයට යන අවස්ථාව වනවිට පැවැති තත්වය එසේ වුවත් එහි ඇත්ත නැත්ත මෙම සටහන කියවන විට තහවුරු වී තිබිය හැකිය. කෙසේවෙතත් හිටපු නාගරික මන්ත‍්‍රී ඉසුරු ජයවර්ධන හැර අනෙක් සියලු එජාප මන්ත‍්‍රීවරුන් මෙවර කුරුණෑගල මහ නගර සභා අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් වී සිටින අතර නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහගේ බිරිද වන විශාඛා අබේසිංහ ලැයිස්තුවට ඇතුළත් වී සිටින්නේ මල්කඩුවාව කොට්ඨාශයේ එජාප අපේක්ෂිකාව වශයෙනි. පසුගිය සමයේදී එජාපයෙන් ඉවත් වී මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සමග කටයුතු කළ හිටපු නාගරික මන්ත‍්‍රී විජයානන්ද වෙඩිසිංහ මෙන්ම ප‍්‍රකට නීතිඥවරයෙකු වන ප‍්‍රියංකර ඩයස්ද එජාප ලැයිස්තුවේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වී සිටිති.

හිටපු නාගරික මන්ත‍්‍රී කමල් ගුණසිංහගේ අභාවයත් සමග කුරුණෑගල මහ නගර සභාව වෙනුවෙන් සැකසෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ලැයිස්තුවද දැඩි අර්බුදයකට පත්වී ඇති බව ලැබෙන ආරංචිවලින් කියැවෙයි. ඒ අනුව ශ‍්‍රීලනිප ලැයිස්තුවෙන් ඉදිරිපත් වන එකම හිටපු නාගරික මන්ත‍්‍රීවරයා බවට පත්ව ඇත්තේ ත්‍යාරාජා ක‍්‍රිෂ්ණපාල පමණි. එබැවින් කුරුණෑගල මහ නගර සභාව දිනාගැනීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එජාපය සහ පොහොට්ටු කණ්ඩායමට සමග තරග කිරීමට සිදු වී ඇත්තේ පළපුරුද්ද සහ අත්දැකීම් අඩු නවක අපේක්ෂක පිරිසක් සමගය. කුරුණෑගල මහ නගර සභාව වෙනුවෙන් ඉදිරිපත් කරන පොදුජන පෙරමුණු කණ්ඩායම තුළත් ගැටුම්වලින් අඩුවක් නැති බව කියැවෙමින් තිබේ. හිටපු නගරාධිපති ගාමිණී පෙරමුණගේ කණ්ඩායම් නායක ලෙස හදුන්වාගනිමින් සිය ප‍්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති අතර ගාමිණීට වඩා පොහොට්ටුව තුළ ජ්‍යෙෂ්ඨත්වයෙන් වැඩි තුෂාර සංජීව විසින් ඊට ප‍්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි ඉදිරි දිනවලදී දැකගත හැකිවනු ඇත. හිටපු නාගරික මන්ත‍්‍රීවරුන් වන චූලා මෙන්ඩිස් සහ අබ්දුල් සත්තාර්ද මැතිවරණයට ඉදිරිපත් නොවන බවට පසුගිය දිනවදී ආරංචි ගණනාවක් පැතිර ගිය නමුත් එම ආරංචි බොරු කරවමින් සත්තාර් සහ චූලා පසුගිය අගහරුවාදා පොහොට්ටුවේ නාමායෝජනා පත‍්‍රවලට අස්සන් තැබූහ.

දවසෙන් දවස පැටව් ගහන, ශ‍්‍රීලනිප දිස්ත‍්‍රික් සංවිධායක තනතුරු.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් සංවිධායකවරුන්ගේ ගණන පහළොවක් දක්වා ඉහළ දමමින් මහින්ද බක්මීවැව සහ ක්ෂත‍්‍රිය රාජපුත‍්‍ර වීරසිංහ පසුගිය සෙනසුරාදා ජනපති මෛත‍්‍රීගේ අතින් පත්වීම් ලබාගත්හ. මාවතගම ප‍්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන රාජපුත‍්‍ර වීරසිංහ, මහින්ද රාජපක්ෂ පාලන සමයේදී රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතෙකු ලෙසද කටයුතු කළ අයෙකි. මහින්දට බලය අහිමිවීමත් සමග එජාපය පැත්තට වැඩි නැඹුරුවක් පෙන්නුම් කළ වීරසිංහ, විජේදාස රාජපක්ෂ සහ ජේ. සී. අලවතුවල යන මන්ත‍්‍රී දෙපළ සමග එක්ව ඩී. එස්. සේනානායක චරිතය අලලා නිපදවෙන විත‍්‍රපටයක සම නිෂ්පාදකවරයෙකු ලෙසද කටයුතු කළේය. ඒ අතරම දොඩම්ගස්ලන්ද එජාප සංවිධායක තනතුර ලබාගැනීම වෙනුවෙන් වීරසිංහ විසින් තවත් මෙහෙයුමක් ආරම්භ කර තිබූ නමුත් එම උත්සාහය අසාර්ථකවීම නිසාදෝ වීරසිංහගේ අලුත් නවාතැන බවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පත්වී තිබිණි. කෙසේවෙතත් කුරුණෑගල දිස්ත‍්‍රික්කයම ආවරණය වන පරිදි ශ‍්‍රීලනිප දිස්ත‍්‍රික් සංවිධායකවරුන් පහළොස්දෙනෙකු පමණ මේ වනවිට පත්කර ඇති නමුත් ඒ අතුරින් සක‍්‍රිය තත්වයේ සිටින බව පෙනෙන්නේ සම්පත් දේශාන් වර්ණපුර සහ අබ්දුල් ලතීෆ් වැනි සංවිධායකවරුන් දෙතුන් දෙනෙක් පමණි. පත්වීම් ලිපිය ලබාගැනීමෙන් පසුව කුරුණෑගල පැත්තේ පස් නොපෑගූ දිස්ත‍්‍රික් සංවිධායකවරු මෙන්ම, කුරුණෑගල ජනතාව සුදුද කඵද කියාවත් නොදන්නා දිස්ත‍්‍රික් සංවිධායකවරුන්ද මේ අතර සිටීම විශේෂත්වයක් වෙයි.

පවුලේ මිනිස්සුන්ටත් ටිකිරි බණ්ඩා එපා වෙයි !

වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා මේ වනවිට වැටී සිටින දේශපාලන අගාධයෙන් කිසිදිනෙක ගොඩවීමක් නොමැති බව ඉර හද මෙන් පැහැදිලිය. ටිකිරි බණ්ඩා සැලකෙන්නේ ඉහේ කෙස් ගණනට ඡන්දවලට ඉදිරිපත් වී ඇතත් පළාත් සභාවෙන් එහාට යාගත නොහැකි වූ අසාර්ථක දේශපාලනඥයෙකු ලෙසිනි. තමන්ට ලබාගැනීමට නොහැකි තැන වෙනත් අයෙකුට දෙන්නටවත් ටිකිරි බණ්ඩා කිසිදිනෙක කටයුතු නොකළ අතර ඒ නිසාම පොල්ගහවෙල ආසනය තුළ අද වනවිට දෙවැනි පෙළ නායකත්වයක් පවා නැත. ටිකිරි බණ්ඩාගේ කැපිලි කෙටිලි හමුවේ නොවැටී ඔලුව උස්සාගෙන සිටීමට හැකි වූයේ ලිවේරා ගුණතිලක ඇතුලු දෙතුන් දෙනෙකුට පමණි. ‘‘මට බැරි නම් කාටවත් නෑ’’න්‍යාය අකුරටම අනුගමනය කරමින් පොල්ගහවෙලින් නැගී ආ අංකුර නායකයින් ගණනාවක් උපන් ගෙයිම මියැදෙන තැනට වැඩ කළ ටිකිරි බණ්ඩාට පසුගිය සතියේදී නම් වැඩ වැරදුණේය. ඒ මෙතෙක් කාලයක් අනුන්ට දැමූ කැපිල්ල තමන්ගේ ලෙයටම දමන්නටයාම හේතුවෙනි. ටිකිරි බණ්ඩාගේ වැඩිමල් සොහොයුරුගේ පුත‍්‍රයා වන ඩිමේෂ් අධිකාරි යනු සිය බාප්පාගේ දේශපාලනය වෙනුවෙන් අපමණ කැපවීම් කළ අයෙකි. මැතිවරණවලදීත්, පළාත් සභාවේදීත් ටිකිරි බණ්ඩා වෙනුවෙන් නැහීගෙන වැඩකළ ඩිමේෂ් පොදුජන පෙරමුණෙන් පොල්ගහවෙල ප‍්‍රාදේශීය සභාවට තරග කිරීමේ අපේක්ෂාවෙන් පසුවිය. නමුත් තවත් අධිකාරි කෙනෙකු අතට දේශපාලන බලය පත්කරන්නට බියවීම හේතුවෙන්දෝ ඩිමේෂ් අධිකාරි පොදුජන පෙරමුණු ලැයිස්තුවෙන් කපාදැමීමට ටිකිරි බණ්ඩා පසුගිය සතියේදී කටයුතු කළේය. ටිකිරිගේ කැපිල්ලෙන් අපේක්ෂා භංගත්වයටත්, ලැජ්ජාවටත් පත් වූ ඩිමේෂ්ට පිහිට වූයේ පොල්ගහවෙල ශ‍්‍රීලනිප සංවිධායක අනුරාධ හේවගේය. ටිකිරි ඉවත විසිකළ ඩිමේෂ් වෙනුවෙන් පොල්ගහවෙල ශ‍්‍රීලනිප ලැයිස්තුවේ තැනක් හදාදෙන්නට අනුරාධ කඩිනමින් පියවර ගත්තේය. ඒ අනුව ටිකිරි බණ්ඩාගේ සෙවණැල්ල මෙන් රැදී සිටි ඩිමේෂ් අධිකාරි ඊයේ දිනයේදී ශ‍්‍රීලනිප ලැයිස්තුව යටතේ පොල්ගහවෙල ප‍්‍රාදේශීය සභාව වෙනුවෙන් නාමයෝජනා භාරදුන්නේය. ඩිමේෂ්ට දැමූ කැපිල්ල පාරාවළලලක් බවට පත්වෙමින් ටිකිරි බණ්ඩා වෙතද ආපසු පියඹා එමින් පවතින බවක් දැන් පෙනෙයි. මක්නිසාද යත් ‘‘පවුලේ එකාටත් මෙහෙම කළා නම් අපිට මොනවා නොකරයිදැයි’’පොල්ගහවෙල පොදුජන පෙරමුණු සාමාජිකයින් පවා දැන් ප‍්‍රශ්න කරන්නට පටන්ගෙන ඇති බැවිනි. එබැවින් පොදුජන පෙරමුණ පොල්ගහවෙලින් ජයග‍්‍රහණයක් අපේක්ෂා කරන්නේ කළ යුතුව ඇත්තේ ජනතාව පමණක් නොව තමන්ගේ මිනිස්සුවත් ගණන් නොගන්නා දුර්වලයින් පැත්තකට කර ගමන සැලසුම්කර ගැනීමය.

හිරියාල සංවිධායකත් පුංචි ඡන්දෙට එයි.

තමන්ද ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභාව සදහා තරග කරන බව හිරියාල එජාප සංවිධායක ජගත් මංජුල යාපා විසින් සිය අපේක්ෂක කණ්ඩායමට පසුගිය සතියේදී දැනුම් දුන්නේය. පසුගිය මහ මැතිවරණයට පළමුවරට තරග කරමින් හොද සටනක් දුන් ජගත් මෙවර පළාත්පාලන මැතිවරණයට තරග කිරීමේ සූදානම් වන බවක් පසුගිය සතිය දක්වාම පෙන්වූයේ නැත. නමුත් පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට සූදානමින් සිටි ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති දයා රණසිංහ සහ ඇමැති අකිලගේ මස්සිනා වන උදය විජයනායකගේ ඉදිරිපත්වීම අවිනිශ්චිත තත්වයක පැවැතීම ජගත් ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභා මැතිවරණයට තරගකිරීමට ආසන්නතම හේතුව වී ඇති බව කියැවෙයි. හුණුපොල කොට්ඨාශය නියෝජනය කරමින් තරග කිරීමට සූදානම්වන ජගත් දැන් කියන්නේ දේශපාලනයේ පහළම තැන සිට තමන් අලුත් ගමනක් ආරම්භ කිරීමට සූදානම් බවය.

උපුටාගැනීම – ජනයුගය පුවත්පත, 2017 දෙසැම්බර් 21  වැනිදා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article