Saturday, April 20, 2024

රාගෙදර පතල් කම්කරුවෝ පොළව යට උපවාසය අත්හරිති.

Must read

ragedara_protest_finished

තම රැකියා සුරක්ෂිත කරන ලෙසට ඉල්ලමින් , පොළව මතුපිට සිට අඩි 183 ක් පමණ ගැඹුරින් පිහිටි මිනිරන් දෝනාවකට සිට පවත්වාගෙන ගිය උපවාසය අවසන් කළ මැල්සිරිපුර, රාගෙදර පතල් කම්කරුවෝ මීට ටික වේලාවකට පෙර පොළව මතුපිටට පැමිණ සිය උපවාසය අවසන් කළහ.

ඒ, රාගෙදර පතලේ වත්මන් සභාපති කීර්ති වික‍්‍රමරත්න මහතා සහ පතල් සේවකයින් අතර කුරුණෑගල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේදී අද පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවය. එහිදී රාගෙදර පතල සම්බන්ධයෙන් දැනට ඇති වී තිබෙන ආයෝජක සහ නීත්‍යානුකූල ගැටලු විසදා ගැනීම සදහා මාස එක හමාරක කාලයකට පතල වසා දැමීමටත්, එම කාලය තුළ පතල් සේවකයෙකු වෙනුවෙන් රුපියල් 22500 ක වැටුපක් සහිතව නිවාඩු ලබාදීමටත් පතල් පාලනාධිකාරිය පොරොන්දු වී තිබේ. සේවකයින්ගේ අනෙක් ඉල්ලීම් පිළිබදව වැඩිදුර සාකච්ඡා කිරීම සදහා පෙබරවාරි 15 වැනිදා කුරුණෑගල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේදී නැවත රැස්වීමටත් දෙපාර්ශ්වය එහිදී එකග වී තිබේ. එම එකගතාවයට අනුව තමන් දින පහක් තිස්සේ පවත්වාගෙන ආ උපවාසය අත්හළ පතල් සේවකයින් ඉණිමංවල ආධාරයෙන් අද පස්වරුවේ පොළව මතුපිටට පැමිණියහ.

ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රාගෙදර පතළ වසා දැමීමට සහ තම සේවය අවසන් කිරීමට පතල් පාලනාධිකාරිය විසින් තීරණය කර ඇති බව පවසමින් පසුගිය 29 වැනිදා පතල් සේවකයින් විසින් මෙම උපවාසය ආරම්භ කළහ. එතැන් සිට දින පහක් තිස්සේ මිහිතුළ රැදී සිටිමින් උපවාසයේ යෙදුණු මෙම පිරිස පතල වසා දැමීමේ තීන්දුව අහෝසිකර තම රැකියා සුරක්ෂිත කරන බවට සහතිකයක් ලැබෙන තෙක් උපවාසය අත්නොහරින බවට අවධාරණය කළහ.

රාගෙදර පතල තුළ හටගෙන ඇති අර්බුදකාරී තත්වය පිළිබදව එහි වත්මන් සභාපති කීර්ති වික‍්‍රමරත්න මහතාගෙන් පසුගිය 31 වැනිදා වයඹ ටුඩේ කළ විමසීමකදී හෙතෙම පැවසුවේ ආයෝජකයින්ගේ ගැටලුවක් මත රාගෙදර පතල කෙටි කාලයක් සදහා වසා දැමීමට තීරණය කළ බවය. විදෙස් සමාගමක් සමග හවුල් ආයෝජනයක් ලෙස රාගෙදර පතල පවත්වාගෙන ගිය බවත්, මීට මාස හතකට පමණ ඉහතදී එම විදෙස් ආයෝජකයින් විසින් ව්‍යාපෘතිය සදහා මුදල් යෙදවීම එකවර ප‍්‍රතික්ෂේප කළ බවද පැවැසීය. ඒ හේතුවෙන් පතළ පවත්වාගෙනයාම පිළිබද විශාල ගැටලුවක් මතු වූ නමුත් සේවකයින්ට අපහසුතාවයක් සිදුනොවනු පිණිස මාස හතක් පුරාවට තමන් විසින් තනිව පතල පවත්වාගෙන ආ බවත් හෙතෙම පැවැසීය. අයෝජකයෙකු නොමැතිව තවදුරටත් පතල පවත්වා ගෙනයාම දුෂ්කර බැවින් නව ආයෝජකයෙකු සොයාගැනීමට සහ පතල සම්බන්ධයෙන් ඇති නීතිමය ගැටලු කිහිපයක් නිරාකරණය කරගැනීමේ අරමුණ ඇතිව පතලේ මිනිරන් කැණීම් කටයුතු පමණක් තාවකාලිකව නැවැත්වීමට තීරණය කළ බවද ඔහු පැවැසීය. අදාල ගැටලු විසදාගැනීමෙන් පසුව පතලේ කැණීම් නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පතල් සේවකයින් වෙත පැහැදිලි කරදීමෙන් පසුව ඔවුන් විසින් එම තීරණය පිළිගත් බවද කීය. කෙසේනමුත්, සේවකයින් කිහිප දෙනෙකුගේ මෙහෙයවීම මත මෙවැනි උපවාසයක් ආරම්භ කර ඇති බවද හෙතෙම එදින වැඩිදුරටත් පැවසීය.

කුරුණෑගල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේදී පැවැති සාකච්ඡාව අවසන් කළ පතල් සේවක නියෝජිතයින් එම කාර්යාලයෙන් ඉවතට පැමිණි අයුරු.

ragedara_protest_1

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article