Thursday, March 28, 2024

පොහොට්ටුවේ නාමයෝජනා බයිසිකලෙන් කච්චේරියට එයි ! වයඹ අළු යට ගිනි NOMINATIONS SPECIAL

Must read

ayg_2017_12_29ayg_2017_12_29_2

ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන වෙනුවෙන් නාමයෝජනා භාරගැනීම පසුගිය 21 වැනිදා දහවල් දොළහට අවසන් විය. අමනාපකම්, වාද භේද සහ පිල්මාරු මැද රැසකට පාර කැපූ, නාමයෝජනා කාලසීමාවේ තිරය පිටුපස සිදුවීම් වෙනුවෙන් අද අඵ යට ගිනි ඉඩ වෙන්කෙරෙයි.

නාමයෝජනා භාරගැනීම අවසන් වූ දිනයට පෙර එළැඹුණු 20 වැනිදා රාත‍්‍රිය බොහෝ දෙනෙකුට නින්ද අහිමි කළ රාත‍්‍රියක් විය. විශේෂයෙන්ම ප‍්‍රධාන පක්ෂවල නාමයෝජනා ලැයිස්තු සැකසීමේදී ඇතිව තිබූ ආරවුල් අවසන් මොහාත දක්වාම සමථයකට පත්නොවීම හේතුවෙන් එම පක්ෂ මූලස්ථාන එදින රාත‍්‍රියේ අපේක්ෂකයින් විසින් ආක‍්‍රමණය කර තිබිණි. කුරුණෑගල මහ නගර සභාව වෙනුවෙන් එජාප නගරාධිපති අපේක්ෂකයෙකු නම් කිරීම මුල්කරගනිමින් අපේක්ෂක ෆිලීෂියන් පෙරේරා සහ නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ අතර ඇතිව තිබූ ආරවුල එදින රාත‍්‍රියේ සිරිකොත මූලස්ථානය රත් කරන්නටත් හේතු වී තිබිණි. එජාප මහ ලේකම්, සභාපති සහ දිස්ත‍්‍රික් නායක අකිල ඇතුලු පිරිසක් එදින මහ රෑ මැද්දේ ෆිලීෂියන් සහ අශෝක් සමග එම ගැටළුව පිළිබද අවසන් සාකච්ඡාවක යෙදී සිටියහ. ෆිලීෂියන් විසින් තමාව නගරාධිපති අපේක්ෂක ලෙස නම් කළ යුත්තේ ඇයිදැයි පැහැදිලි කරද්දී අශෝක් විසින් නගරාධිපති අපේක්ෂකයෙකු නම් නොකළ යුතු බවට කරුණු දැක්වීම නිසා සාකච්ඡාව අවස්ථා කිහිපයකදීම උණුසුම් වී ගියේය. ෆිලීෂියන් නගරාධිපති අපේක්ෂක ලෙස නම් කළ යුතු බවට සාකච්ඡාවේ අනෙකුත් පාර්ශ්ව විසින් කරුණු දැක්වීම අශෝක්ගේ කෝපය අවුලවන්නට සමත් වී තිබිණි. ‘‘ එහෙනම් ඔයාලා ඕන එකක් කරගන්න. ’’ යැයි කී අශෝක් සිය අත වූ ලිපි ගොනුවත් විසිකර දමා සාකච්ඡාවෙන් නැගිට ඉවත් වී ගියේය. කෙසේවෙතත් එවැනි ගැටුම් මැද දීර්ඝව ඇදීගිය සිරිකොත සාකච්ඡාවත් අවසන් වූයේ නිශ්චිත තීරණයකින් තොරවය. සාකච්ඡාවෙන් ලැබී තිබූ එකම යහපත් ප‍්‍රතිඵලය වූයේ එතෙක් වේලා නාමයෝජනා පත‍්‍රයට අස්සන් කර නොතිබූ ෆිලීෂියන් ඊට සිය අස්සන යෙදීම පමණි. සාකච්ඡාව අවසන් කළ ෆිලීෂියන් සහ අශෝක් සිය වාහන වල නැගී වෙන් වෙන්ව කුරුණෑගලට පැමිණ තිබුණේ 21 වැනිදා අලුයම් කාලයේදීය. ෆිලීෂියන් නාමයෝජනාවට අස්සන් කිරීම අශෝක් විසින් සිය මතය ජයග‍්‍රහණය කිරීමක් ලෙසත්, ෆිලීෂියන් විසින් විසින් ඔහුගේ මතය ජයග‍්‍රහණය කිරීමක් ලෙසත් සිතාගෙන ඇති බව තහවුරු වූයේ 21 වැනිදා උදෑසනය. එදින කච්චේරිය ඉදිරිපිටට පැමිණි ඇමැති අශෝක්ගෙන් මාධ්‍යවේදීහු නගරාධිපති අපේක්ෂක අර්බුදය ගැන ප‍්‍රශ්න කළහ. ‘‘ එක්සත් ජාතික පක්ෂය විසින් තීරණය කරලා තියෙනවා කොළඹ මහනගර සභාව හැර නෙක් කිසිදු මහ නගර සභාවක් සදහා නගරාධිපති අපේක්ෂකයෝ හෝ කණ්ඩායම් නායකයො නම් කරන්නේ නෑ කියලා. ඒ නිසා කුරුණෑගලට මහනගර සභාවටත් ඒක පොදුයි. විශේෂයෙන්ම පක්ෂ නායකතුමා මට ප‍්‍රකාශ කරලා තියෙනවා මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසුවත් කුරුණෑගල ආසනයේ සංවිධායකවරයා සහ බලයලත් නිලධාරියා වශයෙන් මගේ නිර්දේශය මත තමයි නගරාධිපතිවරයා පත්කරන්නේ කියලා. ඒ නිසා මගේ නිර්දේශය මත ඉදිරියේදී නගරාධිපතිවරයෙක් පත්වේවි. ඒ නිසා අපේ පක්ෂයෙන් කිසිසේත්ම නගරාධිපති අපේක්ෂකයෙක් නම් කරලා නැහැ. ලැයිස්තුවේ ඉන්න මේ සියලුදෙනාම නගරාධිපති අපේක්ෂකයෝ කියලා තමයි මම කියන්නේ. ඒ නිසා ඕනෑම කෙනෙකුට මම තමයි නගරාධිපති අපේක්ෂකයා කියාගෙන තමන්ගේ ගමන් යන්න පුලුවන්. හැබැයි මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසුව නගරාධිපතිවරයා නම් කරන්නේ මගේ නිර්දේශය මතයි. ’’ අශෝක් තමා වටා සිටි එජාප අපේක්ෂක පිරිස පෙන්වමින් කී නමුත් ඒ වනවිට එතැන ෆිලීෂියන් සිටියේ නැත. ෆිලීෂියන් එතැනට ආවේ අශෝක් ඇතුලු පිරිස එතැනින් පිටත් වී ගොස් ටික වේලාවකට පසුවය. අශෝක් විසින් මාධ්‍යයට කළ ප‍්‍රකාශය පිළිබදව යමෙකු විසින් ෆිලීෂියන්ගේ කණේ තියා තිබිණි. ෆිලීෂියන් කච්චේරිය ඉදිරිපිට සිටි මාධ්‍යවේදීන් දැක එතැනට ආවේය. ‘‘ අශෝක් මම ගැන කියලා වොයිස් කට් මොනවා හරි දුන්නද ? ’’ ෆිලීෂියන් ඇසීය. ‘‘ඔබතුමාගේ නමක් සදහන් කරලා නම් මොනවත් කිව්වේ නැහැ. නමුත් නගරාධිපති අපේක්ෂකයෙක් නම් කරලා නෑ කියලා කිව්වා. ’’මාධ්‍යවේදීන් කියද්දී ෆිලීෂියන්ගේ මුහුණ රතු වී ගියේය.  ‘‘ එයා කොහාමද එහෙම නෑ කියන්නේ. ඊයේ රෑ එයත් ඉන්න තැනම තමයි මාව නගරාධිපති අපේක්ෂකයා විදිහට නම් කළේ. හරි වැරදියිනේ එහෙම කියනවා නම්. ’’ ෆිලීෂියන් කීවේය. ‘‘හරි. එහෙනම් ඔබතුමාගේ අදහසත් දෙන්න. අපි ඒකත් දාන්නම්.’’  මාධ්‍යවේදීහු කීහ. ලැබුණු අවස්ථාව ප‍්‍රයෝජනයට ගත් ෆිලීෂියන් මාධ්‍යයට අදහස් දැක්වීය. ‘‘ අගමැතිතුමා විසින් මාව තමයි නගරාධිපති අපේක්ෂකයා විදිහට නම් කරලා තිබුණේ. නමුත් අශෝක අබේසිංහ ඇමැතිතුමාගේ යම් විරෝධයක් හේතුවෙන් මම නාමයෝජනා පත‍්‍රය අස්සන් කිරීමෙන් වැළැකී හිටියා. මේ නගරාධිපති අපේක්ෂක ධූරය සහ කණ්ඩායම් නායකත්වය මට ලැබෙනවා කියලා පිළිබද ස්ථිර ප‍්‍රකාශයක් නොවෙනවා නම් තරග නොකරන බවත් මම එතැනදී පැහැදිලිවම කිව්වා. ඒ නිසාම ඊයේ රාත‍්‍රියේදී අගමැතිතුමා මාව කැදවලා, පක්ෂ මහ ලේකම්තුමා, සභාපතිතුමා සහ දිස්ත‍්‍රික් නායකතුමා ඉදිරියේ පැහැදිලි ප‍්‍රකාශයක් කළා කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකවරයා සහ කණ්ඩායම් නායකයා විදිහට මාව පත්කළා කියලා. අශෝක් අබේසිංහ මැතිතුමාවත් සිරිකොත මූලස්ථානයට ගෙන්වලා තමයි මේ පත්කිරීම සිදුකළේ. කාට හරි මේ ගැන සැකයක් තියෙනවා නම් අගමැතිතුමාගෙන් හරි, පක්ෂ මූලස්ථානයෙන් හරි අහලා බලන්න පුලුවන්. පක්ෂය විසින් ඒ වෙනුවෙන් ලිපි නිකුත් කිරීමක් නම් කරලා නැහැ. මොකද කොළඹ මහ නගර සභාව වෙනුවෙන් රෝසි සේනානායක මහත්මිය නගරාධිපති අපේක්ෂකත්වයට නම් කරලා තිබුණත් ඇයටවත් මේ වෙනකම් ලිපියක් නිකුත් කරලා නැහැ. නමුත් කුරුණෑගල මහ නගර සභාව වෙනුවෙන් නගරාධිපති අපේක්ෂක සහ කණ්ඩායම් නායක ලෙස එක්සත් ජාතික පක්ෂය විසින් මාව ස්ථිර වශයෙන්ම පත්කරලා තියෙන බව ඉතාම වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරනවා. ’’  ෆිලීෂියන් කීවේය. අශෝක් සහ ෆිලීෂියන් විසින් මාධ්‍යයට කළ එම පරස්පර ප‍්‍රකාශත් සමග කුරුණෑගල නගරාධිපති අපේක්ෂක නම් කිරීම සම්බන්ධයෙන් එජාපය තුළ ඇති වී ගැටුව අවසන් නොමැති බව යළිත් වරක් තහවුරු කළේය. කෙසේවෙතත් ෆිලීෂියන් විසින් ලබන 4 වැනිදා සිය නගරාධිපති සටන නිල වශයෙන් ආරම්භ කිරීමට සැරසෙන බවට අළු යට ගිනි වෙත තොරතුරු ලැබී ඇති අතර ඇමැති අශෝක් ඇතුලු සෙසු අපේක්ෂකයින් විසින් ඊට දක්වන ප‍්‍රතිචාරය කෙසේවනු ඇතිදැයි ඉදිරි දිනවලදී දැකගනු හැකිය. මෙවැනි පසුබිමක එජාපයට කුරුණෑගල මහ නගර සභාව වෙනුවෙන් තරග වදින්නට සිදු වී ඇත්තේ දෙකොණ පත්තු වෙන විලක්කුවක් දෝත දරාගෙන බව පැහැදිලිය. මක්නිසාද යත් පොහාට්ටු, ශ‍්‍රීලනිප සහ ජවිපෙ කණ්ඩායම් සමග නගර සභාවේ බලය දිනාගැනීම වෙනුවෙන් එළියේදී සටන් කරන අතරේ නගරාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි තෝරාගැනීම වෙනුවෙන් කණ්ඩායම ඇතුළේ තව සටනක යෙදිමට එජාප අපේක්ෂකයින්ට සිදු වී ඇති බැවිනි.

20 වැනිදා රාත‍්‍රියේ පොදුජන පෙරමුණේ තත්වයත් ඊට දෙවැනි විය. කුරුණෑගල දිස්ත‍්‍රික්කයට අදාලව එම පක්ෂයේ නාමයෝජනා සකස් කෙරුණේ වැව රවුමේ පිහිටි මන්ත‍්‍රී ජොන්ස්ටන්ට අයත් නිවසේදීය. අවුල් වියවුල් මැද අනෙකුත් නාමයෝජනා ලැයිස්තු සකස්කර අවසන් කෙරුණු නමුත් උඩුබද්දාව සහ දඹදෙණියේ පැවැති අපේක්ෂක ලැයිස්තු අවුල් ලිහාගන්නා විට අලුයම දෙකත් පසු වී තිබිණි. අදාල අපෙක්ෂක ලැයිස්තු සහතික කිරීම සදහා කොළඹ නෙලුම් මාවත කාර්යාලයට යැවීමට ඒ වනවිට රියදුරෙක් හෝ වාහනයක් සොයාගත නොහැකිවීම නිසා මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සිය වාහනයට නැග තනිවම කොළඹ බලා පිටත්විය. ජොන්ස්ටන්ගේ රිය පැදවීමේ නිපුණතාවය මොනවට ප‍්‍රදර්ශණය කරමින් පැය එක හමාරක් ගෙවෙන්නටත් පෙර අපේක්ෂක ලැයිස්තු ටික පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයට භාරදීමට ජොන්ස්ටන් සමත් වී තිබිණි. සහතික කෙරුණු අපේක්ෂක ලැයිස්තු කුරුණෑගලට වැව රවුම නිවස වෙත ආපසු එනු ලැබූ අතර ප‍්‍රතික්ෂේපවීම් වැළැක්වීම සදහා ඒවා තව වරක් දැඩි පරීක්ෂාවට ලක් කෙරිණි. එම පරීක්ෂා කිරීම් අවසන්වනවිට පෙරවරු එකොළහ වී තිබුණු අතර ඒ වනවිට නාමයෝජනා භාරගැනීමට ඉතිරිව තිබුණේ එක් පැයක් පමණි. මේ නිසා නාමයෝජනා පත‍්‍ර ඇතුලු ලියකියැවිලි කට්ටලය සිය වාහනයට දමාගත් මන්ත‍්‍රී සාලින්ද කුරුණෑගල කච්චේරිය බලා එන්නට වාහනය වැව රවුම පාරට දැම්මේය. නාමයෝජනා භාරදීමට පැමිණෙන එජාප රථ වාහන වෙනුවෙන් පොලිසිය විසින් වැව රවුම වෙන්කර දී තිබූ බැවින් ඒ වනවිට වැව රවුමේ පැවැතියේ අධික වාහන තදබදයකි. විනාඩි කිහිපයක් ගෙවී ගිය නමුත් සාලින්දට වාහනය අගලක්වත් එහා මෙහා කළ නොහැකි විය. නාමයෝජනා භාරගැනීම අවසන්වන වේලාවද වේගයෙන් ළගාවෙමින් තිබිණි. මේ නිසා අන්තිමේදී තීරණය වූයේ යතුරු පැදියකින් හෝ නාමයෝජනා ලැයිස්තු කච්චේරිය වෙත යැවීමට තීරණය විය. පොදුජන පෙරමුණේ මාධ්‍ය කටයුතුවල නියැලෙන තරුණයෙකු වන සුරේෂ් නුවන් තාරක සහ මන්ත‍්‍රී ජොන්ස්ටන්ගේ ආරක්ෂක නිලධාරියෙකු යතුරු පැදියක නැගී කච්චේරිය බලා පිටත් වූ අතර අදෑසන 11.15 පමණ වනවිට කච්චේරිය තුළට මගබලාගෙන සිටි පොදුජන පෙරමුණු බලයලත් නිලධාරින් අතට නාමයෝජනා ලැයිස්තු පත්කරන්නට සුරේෂ් සමත් විය.

පසුගිය දිනවල මෙරට වෙළදපොල තුළ ‘‘ ටිපෙක්ස් ’’ දියර අලෙවිය පිළිබදව සමීක්ෂණයක කළහොත් එහි අලෙවිය දින කිහිපයක් තුළ සීඝ‍්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවක් අනාවරණය කරගත හැකිවනු නොඅනුමානය. මෙම මැතිවරණය ඉතිහාසයට එක්වනු ඇත්තේ ‘‘ ටිපෙක්ස් කිරීම්  ’’ සදහා වැඩි ඉඩක් ලැබුණු මැතිවරණයක් ලෙසය. ප‍්‍රධාන පක්ෂවල අපේක්ෂක ලැයිස්තු සකස්කිරීමේදී ඒ තරමට කැපිලි කෙටිලි බහුල විය. ටිපෙක්ස් දියරයේ තෙත වියළී යන්නටත් පෙර ඒ මත වෙනත් නමක් ලියා සකස් කළ අපේක්ෂක ලැයිස්තු ගැනත්, අස්සන් කර ගෙදර එන්නටත් පෙර ලැයිස්තුවෙන් නම කැපී ගිය අපේක්ෂකයින්ද ගැනත් අසන්නට ලැබිණි. නාමයෝජනා ලැයිස්තුවල කැපිලි කෙටිලි කෙතරම් තිබුණේදැයි කිවහොත්, නාමයෝජනා පත‍්‍ර සංශෝධනය කිරීමේදී පක්ෂ මහ ලේකම්වරයා විසින් අදාල සංශෝධනය ඉදිරිපිට යොදනු ලබනු කෙටි අස්සන ඇතැම් අපේක්ෂක ලැයිස්තුවල සියලු අපේක්ෂකයින්ගේ නම්වලට ඉදිරියෙන් වැදී තිබූ අයුරුද දැකගත හැකිවිය.

නාමයෝජනා භාරගැනීම අවසන්වීමට ඔන්න මෙන්න තිබියදී කුරුණෑගල කච්චේරිය අසලට පැමිණ සිටි පොල්ගහවෙල එජාප සම සංවිධායක, මන්ත‍්‍රී අජිත් රෝහණද එතැන කලබල කරමින් සිටියේ තම අපේක්ෂිකාවකගේ නම ලැයිස්තුවෙන් කපා දමා වෙනත් අපේක්ෂිකාවක් පත්කර ඇති බව කියමිනි.  ‘‘ මේ මැතිවරණය සදහා ඉතාම හොද කණ්ඩායමක් පත්කරලා හිටියා. ඒ කණ්ඩායමේ හිටපු සමන්ලතා ජයසිංහ කියන මගේ අපේක්ෂිකාවක් කපලා ඒ වෙනුවට වෙනත් කාන්තාවක් දාලා තියෙනවා. මෙහෙම කපලා දාලා තියෙන්නේ ඉතාම දක්ෂ කාන්තාවක්. මගේ ඇසුත් වහලා තමයි ඒ නම ටිපෙක්ස් කරලා තියෙන්නේ. හැබැයි මොන කැපිලි කැපුවත් පොල්ගහවෙල මගේ කලාපේ මම දිනනවා. නමුත් අනෙක් කලාපේ ගැන නම් මට එහෙම කියන්න දන්නේ නැහැ. ඒ කලාපේ සංවිධායකතුමත් එහෙන් ඉල්ලන්න බැහැ කියලා දැන් මගේ කලාපෙන් ඉල්ලනවා. විනයක් ඇති මනුස්සයෙක් විදිහට මම ඒකටත් ඉඩදුන්නා. එහෙමත් කරලා තමයි අන්තිම මොහොත් මගේ අපේක්ෂිකාවත් කපලා දාලා තියෙන්නේ.  ’’ අජිත් කීවේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන සදහා වන නාමයෝජනාපත‍්‍ර පසුගිය 19 වැනිදා භාර දී අවසන් කළ නමුත් දොඩම්ගස්ලන්ද ආසනයේ ශ‍්‍රීලනිප නාමයෝජනා භාරදෙනු ලැබුවේ අවසන් දිනයේදීය. නාමයෝජනා භාරදීම පමා වුණේ ඇයි දැයි දොඩම්ගස්ලන්ද ශ‍්‍රීලනිප සංවිධායක නිල්වලා විජේසිංහගෙන් අළු යට ගිනි පිටුව කළ විමසීමකදී ඔහු දුන්නේ අපූරු පිළිතුරකි.  ‘‘ වැටුණු පොල් ටිකක් අහුලා ගත්තානේ. වැටුණු පොල්වල හොදට තෙල් තියෙනවා. ’’ ඔහු කීවේ එජාපයේ සිට ශ‍්‍රීලනිපයට එකතුකරගෙන සිටි අපේක්ෂකයින් දෙදෙනෙකු වන මොරතිහේ පියරත්න සහ දෙල්විට සෝමදාස පෙන්වමිනි. එජාප ලැයිස්තුවෙන් තර`ග කිරීමට බලාපොරොත්තුවෙන් සිටි පියරත්න සහ සෝමදාස එම ලැයිස්තුවෙන් කැපී ගොස් සිටියදී නිල්වලා විසින් ශ‍්‍රීලනිප ලැයිස්තුවට ඇතුලත් කරගෙන තිබිණි.

නාමයෝජනා භාරගැනීම බ‍්‍රහස්පතින්දා දහවල් දොළහට අවසන්වීමෙන් පසුව විරෝධතා භාරගැනීමේ කාලසීමාව ආරම්භ විය. එහිදී නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා විශාල ප‍්‍රමාණයක් ඉදිරිපත් වී තිබීම හේතුවෙන් පැය තුනක් තිස්සේ එම විරෝධතා සලකා බැලීම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේදී සිදුකෙරිණි. වැඩිම විරෝධතා ප‍්‍රමාණයක් ඉදිරිපත් වී තිබුණේ පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තු සහ අපේක්ෂකයින් වෙනුවෙනි. විරෝධතා සලකා බැලීම සදහා අපේක්ෂා නොකළ තරමේ කාලයක් ගතවීම හේතුවෙන් කච්චේරි භූමිය ඉදිරිපිටට රැස්ව සිටි මන්ත‍්‍රීවරුන්, ආසන සංවිධායකයින්, අපේක්ෂකයින්, ආධාරකරුවන් පමණක් නොව මාධ්‍යවේදීන්ද දැඩි අපහසුතාවයට පත් වී සිටියහ. විරෝධතා දැක්වීම් අවසන් කර දැන් දැන් සිය නියෝජිතයින් කච්චේරියෙන් පිටතට පැමිණෙතැයි දහසකට අධික පිරිසක් මග බලාගෙන සිටියේ බඩගනින්න සහ පිපාසය කුස තුළ පෙරළි කරමින් තිබියදීය. පිරිසගේ කුසගින්නේ තරම කියාපාමින් කච්චේරියට යාබදව පිහිටි රතු කුරුස ශාලා ආපන ශාලාවේ තිබූ කෑම බීම වර්ග පමණක් නොව යෝගට් කෝප්ප පවා දහවල් දොළහ වන්නටත් පෙර අවසන් වී තිබිණි. හිස් රාක්ක සහ හිස් බෝතල්වලින් පිරී ගිය එම ආපන ශාලාව තුළ ඉතිරිව තිබූ කේක් ගෙඩි කිහිපයත් දහවල් දෙක පමණ වෙද්දී දිවා ආහාර ලෙස අලෙවි වී තිබිණි. මේ නිසාම ඇතැමෙක් කුරුණෑගල නගරය වෙත ගොස් කෙටි කෑම වර්ග සහ බීම බෝතල් ගෙනැවිත් සිය කණ්ඩායම් අතරේ බෙදාදෙනු දැකගත හැකි වූ අතර හිටපු මන්ත‍්‍රී ආර්. ඩී. විමලදාසත් මහපාරේ සිටගෙනම වඩේ ගෙඩියකින් කුසගිනි නිවාගන්නා අයුරුද දැකගත හැකි විය.

පළාත් පාලන මැතිවරණය ඉදිරිපත් වූ නාමයෝජනා පත‍්‍ර 4 ක් සහ අපේක්ෂකයින් 23 දෙනෙකුගේ නම් ප‍්‍රතික්ෂේප කරමින් විරෝධතා සලකාබැලීම අවසන් කෙරුණේ පස්වරු 4 ට පමණය. අදාල නාමයෝජනා සහ අපේක්ෂක නම් ප‍්‍රතික්ෂේපවීමට හේතු වී තිබුණේ නොසැලකිලිමත් බව හේතුවෙන් සිදු වූ අඩුපාඩු බව දැකගත හැකිවිය. පොල්පිතිගම ප‍්‍රාදේශීය සභාව සදහා ඩී. එම්. පී. බී. දසනායකගේ නායකත්වයෙන් ඉදිරිපත් කළ ස්වාධීන කණ්ඩායම් නාමයෝජනා පත‍්‍රය ප‍්‍රතික්ෂේප වී තිබුණේ කණ්ඩායම් නායකයාගේ අස්සන එහි සටහන් වී නොතිබීම හේතුවෙනි. මෙම ස්වාධීන කණ්ඩායමේ විශේෂත්වය වූයේ එම කණ්ඩායම එජාප, ශ‍්‍රීලනිප, පොදුජන පෙරමුණ ඇතුලු ප‍්‍රධාන පක්ෂවලින් නාමයෝජනා නොලැබුණු අපේක්ෂකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් වීමය. මැතිවරණ අපේක්ෂකත්වය පිළිබද බලාපොරොත්තුව දෙවැනි වරටත් බිද දමමින් එම කණ්ඩායම ස්වාධීනව තරග කිරීමට ඉදිරිපත් කළ නාමයෝජනා පත‍්‍රයත් ප‍්‍රතික්ෂේප වී ගියේය. යහපාලනය සදහා වූ ජාතික පෙරමුණ විසින් මහව ප‍්‍රාදේශීය සභාව සදහා ඉදිරිපත් කළ නාමයෝජනා පත‍්‍රය ප‍්‍රතික්ෂේප වී තිබුණේ අපේක්ෂකයින් විසින් ලබාදෙන දිවුරුම් ප‍්‍රකාශ ඇතුළත් නොවීම හේතුවෙනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් පොල්ගහවෙල ප‍්‍රාදේශීය සභාව වෙනුවෙන් ඉදිරිපත් කළ නාමයෝජනා පත‍්‍රයට නියමිත කාන්තා අපේක්ෂිකාවන් ගණන ඇතුළත් නොවීම හේතුවෙන් ප‍්‍රතික්ෂේප වෙද්දී රිදීගම ප‍්‍රාදේශීය සභාව වෙනුවෙන් මුස්ලිම් කොංග‍්‍රසය ඉදිරිපත් කළ නාමයෝජනා පත‍්‍රය ප‍්‍රතික්ෂේප වූයේ නියමිත අපේක්ෂකයින් ගණන ඇතුළත් නොවීම හේතුවෙනි.

උපුටාගැනීම – ජනයුගය පුවත්පත, 2017 දෙසැම්බර් 29 වැනිදා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article