Thursday, March 28, 2024

සාමනේර දෙනමකට අතවර කළ හතරලියද්දේ නාරද රක්ෂිතයට.

Must read

naradha arrested

අවුරුදු 14 සහ 10 වයස්වල පසුවන ලාබාල සාමනේර භික්ෂූන් වහන්සේ දෙනමක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන චීවරධාරියෙකු ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට රම්බඩගල්ල මහේස්ත‍්‍රාත් ජී. එන්. ප‍්‍රියදර්ශණී මහත්මිය ඊයේ (10 දා) නියම කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ බරන්දන, කරදගොල්ල ශ්‍රී විද්‍යාවර්ධන පිරිවෙනහි  විහාරාධිපති වශයෙන් කටයුතු කරන හතරලියද්දේ නාරද නැමැති චීවරධාරියෙකි. දෙසොහොයුරන් වන මෙම සාමනේර දෙනම අදාල චීවරධාරියා යටතේ සාමනේර අධ්‍යාපනය ලබමින් එම විහාරස්ථානයේ වාසය කර තිබේ. සැකකාර චීවරධාරියා විසින් අවස්ථා ගණනාවකදී මෙම සාමනේර හිමිවරුන් දෙදෙනා ලිංගික අපයෝජනයට ලක්කර ඇති අතර, චීවරධාරියාගේ මෙම විකෘති හැසිරීම් ඉවසා සිටීමට නොහැකි තැන විහාරස්ථානයෙන් පලාගිය සාමනේර දෙනම ඔවුන්ගේ නිවසට ගොස් තිබේ. සාමනේර හිමිවරුන් විසින් හෙළිකළ තොරතුරුවලට අනුව ඔවුන්ගේ මව විසින් කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි කාර්යාලයට ඒ පිළිබදව පැමිණිලි කර තිබේ.

අදාල පැමිණිල්ල පිළිබදව ක‍්‍රියාත්මක වූ කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතාගේ උපදෙස් මත අදාල විහාරස්ථානය වෙත පෙරේදා රාත‍්‍රියේ ගිය රිදීගම පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් අදාල චීවරධාරියා අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් චීවරධාරියා ඊයේ දහවල් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණු අතර වින්දිත සමනේර භික්ෂූන් දෙනම වෛද්‍ය පරීක්ෂණයක් සදහා ඉදිරිපත් කරන ලෙසටද රම්බඩගල්ල මහේස්ත‍්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.

කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතාගේ උපදෙස් මත රිදීගම පොලිසියේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ඩී. සී. පී. කුමාරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් , ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි, කාන්තා උප පොලිස් පරීක්ෂිකා මධුමාලි මහත්මිය ඇතුලු නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article